අත්හිට වූ පත්වීම් ඉල්ලා උතුරේ සෞඛ්‍ය සේවක සහායකයෝ විරෝධතා මාලාවකට එලැඹෙති

[මෙම ලිපිය 2021 මාර්තු 25 වන දින இலங்கையின் வடக்கில் இடைநிறுத்தப்பட்ட நியமனங்களை வழங்கக் கோரி சுகாதாரப்பணி உதவித் தொழிலாளர்கள் தொடர் போராட்டத்தில் ஈடுபட்டுள்ளனர் යන මැයෙන් දෙමල බසින් පල වූ ලිපියේ පරිවර්තනයකි.]

පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තම ස්ථිර පත්වීම් අත්හිටුවනු ලැබීමට විරෝධය පල කරමින්, උතුරු පලාතේ සෞඛ්‍ය සේවක සහායකයෝ 400 ක් පමන, මාර්තු පලමු වැනි දා සිට විරෝධතාවයේ යෙදී සිටිති. උතුරු පලාතේ දිස්ත්‍රික්ක පහේම රැකියා අහිමි වූ සෞඛ්‍ය කම්කරුවන් විරෝධතාවය නියෝජනය කරන අතර, වහාම යලි රැකියාවේ පිහිටුවන ලෙස ඔවුහු ඉල්ලති.

කම්කරුවෝ 12 දෙනෙක්, තම රැකියා ඉල්ලා, මාර්තු 7 වැනි දා සිට උපවාසයක් ආරම්භ කලහ. මෙම ඉල්ලීම කෙරෙහි ආන්ඩුවේ නොතකා හැරීම හමුවේ කෝපයට පත් කම්කරුවෝ මාර්තු 11 දෙවරක් ඒ-9 මාර්ගය අවහිර කර වීදි විරෝධතා දියත් කිරීමට කටයුතු කලහ. මෙම විරෝධතා පැය දෙකක පමන කාලයකට පාර අවහිර කර තැබීමට සමත් විය. ඊට පෙර ද ඔවුන් කීප විටක් මෙ ලෙස පාර හරස් කර විරෝධතාවලට යොමු වුනහ.

යාපනය ඒ-9 පාර අවහිර කරමින් සෞඛ්‍ය සේවා සහයක කම්කරුවන් පැවැත් වූ විරෝධතාව

“කනිෂ්ඨ ශ්‍රේනියේ III වන පත්වීම ලබා දී ඇති සෞඛ්‍ය සේවා සහායකයින් වන අප නැවත සේවයේ පිහිටුවනු!” යන බැනරය ප්‍රදර්ශනය කරමින් උතුරු පලාත් ආන්ඩුකාර ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක වාඩි වී සිටින මෙම කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකු කාන්තාවන් වන අතර සමහරු ලදරුවන් ද අතැතිව අරගලයට සහභාගී වී සිටිති.

ආන්ඩුව සහ උතුරු පලාත් ආන්ඩුකාරවරයා තම විරෝධතා නොතකා සිටීම ගැන කෝපයට පත් 30 හැවිරිදි කම්කරුවෙක්, මාර්තු 15 වනදා,  “මම මැරුනමවත් අඩුම තරමේ රස්සා ලැබෙයි, මම මැරෙන්නම්” යැයි පවසමින්, A-9 මාර්ගය මධ්‍යයේ දී, තම සිරුරට පෙට්‍රල් වත් කර ගිනි තබා ගැනීමට ප්‍රයත්න දරා ඇත.

උතුරු පලාත් ආන්ඩුකාර කාර්යාලය ඉදිරිපිට තාවකාලික ඉදිකිරීමක විරෝධතාවේ නිරත වන කම්කරුවෝ

බෙදුම්වාදී විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව අනුප්‍රාප්තික ආන්ඩු ගෙනගිය ලේවැකි යුද්ධය, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් 2009 දී රුදුරු අවසානයකට ගෙන එද්දීත් ඊට පසුවත් මෙම කම්කරුවන් ස්වේච්ඡා සේවකයන් ලෙස දශකයකට අධික කාලයක් වැටුප් රහිතව හෝ සොච්චම් වැටුප් සහිත ව සෞඛ්‍ය සේවයේ නිරත ව ඇත. 

එ ලෙස සේවය කල කම්කරුවන්ට ස්ථිර පත්වීම් ලබා දීමට 2019 සැප්තැම්බර් 28 සහ 29 යන දිනවල උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව තෝරා ගත් පිරිසකට පමනක් නොවැම්බර් 18 වන දින ස්ථිර පත්වීම් ලබා දී තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් පසු එලැඹුනු නොවැම්බර් 25 වැනි දා කම්කරුවන් සේවයට වාර්තා කල විට ඔවුන්ගේ පත් වීම් අවලංගු කර දමා ඇති බව දැනුම් දී ඇත.

පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව සෞඛ්‍යය ඇතුලු ක්ෂේත්‍ර හයක ලබා දුන් ස්ථිර පත්වීම් රාජපක්ෂ ආන්ඩුව පැමිනි විගස අත්හිටුවනු ලැබුනි. පසුව ක්ෂේත්‍ර 5 ක ස්ථිර පත්වීම් නැවත පිහිටුවනු ලැබුන ද උතුරු පලාතේ සෞඛ්‍ය සේවකයින්ගේ පත්වීම් ලබා දී නොමැත.

කම්කරුවන් ආන්ඩුව සමග කතා කර මේ සම්බන්ධයෙන් තීරනයක් ගත යුතු බව පවසමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ලිස්සා ගිය බව කම්කරුවෝ පවසති.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජපක්ෂ ආන්ඩුවේ තවත් නියෝජිතයෙකු වන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමින ඇති බව දැනගත් විරෝධතාකරුවෝ බදාදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගේට්ටුව වටලා සටන් පාඨ කීමට පටන් ගත්හ.

පසුගිය රජය මැතිවරන නීතිරීතිවලට පටහැනිව මෙම පත්වීම් ලබා දී ඇති බව ප්‍රකාශ කල අලුත්ගමගේ කැබිනට් මන්ඩලයට කතා කොට යෝජනාවක් සම්මත කර ප්‍රශ්නය විසඳා දෙන තෙක් අරගලය අත්හරින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් එය සම්පූර්නයෙන් නොපිලිගත් කම්කරුවන් උපවාසය පමනක් තාවකාලිකව අතහැර දමා ඇත.

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (පොපෙ) චාවකච්චේරි ප්‍රාදේශීය සංවිධායක ලෙස තමන්ව හඳුන්වා දුන් පුද්ගලයෙක්, මීට පෙර අවස්ථාවක උපවාසය අත්හැර දමන ලෙස ඉල්ලා සිටියේ කම්කරුවන්ගේ ගැටලුව ආන්ඩුව සමග සාකච්ඡා කරන බවට පොරොන්දු වෙමිනි. පත්වීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාල බලධාරීන් කම්කරුවන් ඉදිරියට ම ගෙන එන බව ද පැවසූ එම පුද්ගලයා ඉන් අනතුරු ව මේ දක්වා කම්කරුවන් හමුවට නැවත පැමින නැත.

කම්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා පියවර ගන්නා බවට හිස් පොරොන්දුවක් ලබා දීම සඳහා දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් විරෝධතා ස්ථානයට පැමිනියේ ය.

කොවිඩ්-19 වසංගතය මැද ආන්ඩුව පෙරට ගනිමින් සිටින රැකියා සහ වැටුප් කප්පාදුව ඇතුලු සියලු කප්පාදු පියවරවලට මෙන්ම, මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් කරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වේගවත් ගමන පිලිබඳව, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), දෙමල මහජන සභාව සහ දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්), නිහඬ පිලිවෙතක් අනුගමනය කරමින් ඒවාට සහයෝගය ලබා දෙති. 

එක්සත් ජනපදයේ පිටුබලය යටතේ, ශ්‍රී ලංකාවට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පක්ෂ සම්පූර්නයෙන්ම කැපවී සිටිති. එසේ කරනුයේ දෙමල ධනේශ්වරයට විශේෂ වරප්‍රසාද ලබා ගැනීමේ අරමුනෙනි.   

ස්ථිර පත්වීම් ලිපි ලැබී ඇති සෞඛ්‍ය සේවකයින් 454 දෙනාගෙන් සමහ‌රෙක් කියා සිටින්නේ තමන් 1998 සිට සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයන් ලෙස වැටුප් නොලබමින් සේවය කරන බවත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වසර 10 කට වැඩි කාලයක් පුන්‍යාධාර පදනමින් රෝහල්වල සේවය කරන බවත් ය.

මෙම සෞඛ්‍ය කම්කරුවන්ගේ රැකියා කප්පාදුව, ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුව, එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මතපැටවීමට ගෙනයන සමස්ත වැඩකටයුතුවල කොටසකි. අනෙක් අතට, උතුරේ සෞඛ්‍ය සේවකයින්ගේ අරගලය, හෙදියන්, වරාය සේවකයින්, වතු කම්කරුවන්, දුම්රිය සේවකයින් සහ තවත් බොහෝ කම්කරුවන් කප්පාදු පියවරයන්ට එරෙහි ව ගෙන යන අරගලයේ කොටසකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දක්වමින් වැඩ වර්ජිත කම්කරුවන් තම ජීවන තත්ත්වය පැහැදිලි කලේය.

රොබියාස් මඩුත්තීන්

47 හැවිරිදි රොබියාස් මඩුත්තීන් පැවසුවේ 2010 සිට තමා ස්වේච්ඡා පදනම යටතේ සේවය කරන බවයි. “ලක්ෂයකට රැකියා සපයන බව කියා සිටින ආන්ඩුව [අන්ත දුගී පවුල්වල තරුනයන්ට රැකියා සම්පාදනය කිරීමට යයි පවසමින් ආන්ඩුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගොඩනගා ඇති ශ්‍රම බලකාය] අපගේ පත්වීම අත්හිටුවලා තියෙනවා. අපේ පවුල්වල ආර්ථික අමාරුකම් ගැන නොහිතා අපි දශක ගනනාවක් ස්වේච්ඡා සේවයේ යෙදිලා තියෙනවා. ඒ නිසා ආන්ඩුව අපිට දීපු පත් වීමේ ලිපිවලට අනුකූල ව වැඩ කරන්න ඕන.”

දෙදරු පියෙකු වන ක්‍රිෂ්නකුමාර් තෙලිප්පලෙයි මූලික රෝහලේ වසර 8 ක් සේවය කරයි. ඔහු වසර 4 ක් වැටුප් රහිතව සේවය කර ඇති අතර වසර 4 ක් දිනකට රුපියල් 350 ක සොච්චම් වැටුපකට සේවය කර ඇත.

ක්‍රිෂ්නකුමාර් මෙසේ පැහැදිලි කලේය. “මෘත ශරීරාගාර හා වෙනත් රැකියාවල නියුක්ත වීමට කාර්ය මන්ඩලයේ හිඟය හේතුවෙන් උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයන් ලෙස බඳවා ගත්තා. ඒ අනුව වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල කාන්තාවන් බොහෝ දෙනෙකුත්  පිරිමින් කිහිප දෙනෙකුත් ස්වේච්ඡා පදනම මත සෞඛ්‍ය සේවා සහයකයන් ලෙස වැඩ කලා. ඔවුන්ගෙන් සම්මුඛ සාකච්ඡා මගින් පිරිමින් සියයට 30 ක් ද, කාන්තාවන් සියයට 60 ක් ද, තවත් කාන්තාවන් සියයට 10 ක් සහායික ප්‍රධානීන් ලෙසත් තෝරා ගෙන මේ විදියට රැකියා පත් වීම් ලබා දුන්නා.” 

“ආන්ඩුව අපට පත්වීම් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය ඇතිව, අපි අඩු වැටුපක් නැති නම් වැටුප් රහිතව දෛනික ආහාර වේලක් පමනක් අර ගෙන වැඩ කලා. නමුත් ආන්ඩුව දැන් අපව කුසගින්නට ඇදලා දාලා.”

45 හැවිරිදි දයාබරන් “අපි අව් වැසි නොතකා, යුද තත්වයන් තුල පවා ජීවිත අවදානම නොතකා ජනතාවට සේවය කලා. නමුත් ඒකට ආන්ඩුව අපිට දීපු තෑග්ග තමයි මේ” යැයි පැවසීය. “අපිට මේ  රැකියා ලැබුන හොත්, මෙච්චර කාලයක් තිස්සේ අපි මුහුන දෙන දුෂ්කරතාවලට ඒක සහනයක්. මගේ 5 දෙනෙකු ඉන්න පවුල දුප්පත්කමේ පතුලට ම එරිලා. අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල යාම අපිව ලොකු අර්බුදයකට ඇද දාලා තියෙනවා. මේකට ආන්ඩුව සම්පූර්නයෙන්ම වග කියන්න ඕන.” 

ධර්මිනී ගුනසේකරම්

1998 දී සේවයට එක්ව ඇති ධර්මිනි ගුනසේකරම් මෙසේ පැවසුවා ය: “මුලදී මට මසකට රුපියල් 3,000 ක් වටිනා සහල්, තිරිඟු පිටි වැනි ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා. පසුව මම ග්‍රාමීය සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයෙකු (RHV) ලෙස සේවය කලා. මට මාසෙකට රුපියල් 3,000 ත් 6,000 ත් අතර මුදලක් ගෙව්වා. එපමන වැටුපක් හෝ ගෙව්වේ කීප දෙනෙකුට පමනයි. වසර පහක් තිස්සේ ඒ රැකියාව කරලා, 2012 සිට කිසිදු වැටුපක් නොමැතිව මම ස්වේච්ඡා රාජකාරීවල යෙදිලා හිටියා.”

“මට මීට කලින් තුන් හතර වතාවක් රැකියා ස්ථිර කර දෙන්න එන්න කියලා රැවටීම්වලට ලක් කලා. මෙවර පත්වීම් ලිපිය කෙසේ හෝ ලැබුනා. නමුත් ඒකත් දැන් අත්හිටුවලා. මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් කියන්නේ පත්වීම් ලබා දීමේ හැකියාව ඇත්තේ පලාත් ආන්ඩුකාරවරයාට බවයි. නමුත් ආන්ඩුකාරවරයා අපව හමුවීම ප්‍රතික්ෂේප කර ගෙන ඉන්නවා. දශක දෙකකට වැඩි කාලයක් සේවය කල අප වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු” යැයි  ඇය පැවසුවා ය.

Loading