චීනයට එරෙහි තම බලපෑම් තරකර ගැනීම අරමුනු කරගෙන ඉන්දියානු අගමැති බංග්ලාදේශ සංචාරයක

[පහත පලවන්නේ මාර්තු 31 දින Indian premier visits Bangladesh to counter China යන මාතෘකාවෙන් පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

දේශපාලන සහ ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම හා කලාපයේ චීන බලපෑම අඩපන කිරීම අරමුනු කරගෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සිකුරාදා, බංග්ලාදේශයේ දෙදින සංචාරයක යෙදුනි. බංග්ලාදේශය ද ඇතුලුව, දකුනු ආසියාවෙන් පැමිනි මුස්ලිම් සංක්‍රමනිකයින් පීඩාවට පත්කරන තම ආන්ඩුවේ මුස්ලිම්-විරෝධී පුරවැසි සංශෝධන පනත (සීඒඒ) හේතුවෙන් ආතති සහගතව ඇති බංග්ලාදේශය සමඟ සබඳතා, නැවත තහවුරු කර ගැනීමට මෝදිට අවශ්‍ය විය. බංගලාදේශ අගමැති ෂීක් හසීනා සහ අනෙකුත් ආන්ඩුවේ හා විපක්ෂ නායකයන් සමඟ ඔහු සාකච්ඡා පැවැත්වීය. 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හූස්ටන්හි සභාව අමතයි (ඒ්පී ෆොටෝ / මයිකල් වයිකේ )

කොරෝනා වෛරස් වසංගතය මතුවීමෙන් පසු සිදුවූ මෝදිගේ  පලමු විදෙස් සංචාරය එය විය. එය, බංග්ලාදේශය සමඟ සබඳතාවලට දෙන වැදගත්කම නවදිල්ලිය විසින් සලකුනු කරයි. නවදිල්ලිය සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට තම ආන්ඩුව දක්වන උනන්දුව ඉස්මතු කරමින් හසීනා, ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මෝදිව පෞද්ගලිකවම පිලිගත්තා ය. 

මෝදිගේ බංග්ලාදේශ සංචාරය සිදු වූයේ එක් පැත්තකින් ඉන්දියාව සහ එක්සත් ජනපදයත්, අනෙක් පසින් චීනයත් ලෙස, දකුනු ආසියාව තුල එදිරිවාදිකම් උත්සන්න වීමේ සන්දර්භය තුල ය. චීනය සමඟ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ආක්‍රමනශීලී ගැටුමේ පෙරටුගාමී රාජ්‍යයක් බවට  ඉන්දියාව පත්ව ඇත. 2015 දී ශ්‍රී ලංකාවේ සහ 2018 දී මාලදිවයිනේ, චීනයට හිතවත්ව පැවති පාලන තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුම් වලදී නවදිල්ලිය වොෂින්ටනය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කර ඇත. බංගලාදේශය සමඟ සබඳතා වඩාත් ගැඹුරු කිරීමේ උත්සාහයක යෙදී සිටින අතරතුර මෝදි, එක්සත් ජනපදය වෙනුවෙන් වැඩ කරන අතර, චීනයට එරෙහිව ඉන්දියාවේ භූදේශපාලනික අවශ්‍යතා පසුපස හඹා යමින් සිටී. 

චීනය වට කිරීම සහ අවසානයේ යුද්ධය සඳහා, එක්සත් ජනපදය සන්ධාන ගොඩනඟමින් සිටී. මෝදිගේ  සංචාරය සිදු වූයේ, චීනය ඉලක්ක කර ගනිමින් ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුලු එක්සත් ජනපදය ප්‍රමුඛ අර්ධ-සන්ධානයක් වන කොඩ් නමින් හැඳින්වෙන චතුර්පාක්ෂික ආරක්ෂක සංවාදයේ පලමු සමුලුවෙන් සති දෙකකට පසුව ය. මෝදිගේ ඩකා සංචාරයට පෙර සති අන්තයේ දී, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, චීනයට එරෙහිව දෙරට අතර මූලෝපායාක සහයෝගිතාවය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ දින තුනක් සංචාරය කලේය. මෝදිගේ සංචාරයෙන් දින දෙකකට පසුව, ඉන්දීය නාවික හමුදාව, එක්සත් ජනපද නාවික හමුදාව සමඟ ඒකාබද්ධ අභ්‍යාසයක් පැවැත්වූ අතර, ඊට යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් ගුවන් යානා හාරක නෞකාව සහ එහි ප්‍රහාරක බලඇනිය සමඟ සම්බන්ධ විය. 

මෝදිගේ සංචාරය නිල වශයෙන් බංග්ලාදේශයේ නිදහසින් 50 වන සංවත්සරය සැමරීමේ උත්සවවලට සහභාගී වීම සඳහා විය. 1971 මුල් භාගයේ සිදු වූ වර්ධනයන් බංග්ලාදේශය බිහි කිරීමට හේතු වූ අතර, එය 1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියාව, මුස්ලිම් පාකිස්තානයක් හා හින්දු ආධිපත්‍යයක් සහිත ඉන්දියාවක් බවට වාර්ගිකව බෙදීමේ ප්‍රතිඵලය විය. පාකිස්තානය කිලෝමීටර් දහස් ගනනකින් වෙන් කරන ලද කොටස් දෙකකින් සමන්විත විය - වර්තමාන පාකිස්තානය වන බටහිර පකිස්ථානය සහ බංග්ලාදේශය එකල්හි නැගෙනහිර පකිස්ථානය ලෙස.

බටහිර පකිස්තානයේ පාලක ප්‍රභූන් විසින්, බෙංගාලි ජනගහනය සහිත නැගෙනහිර පාකිස්තානය, මිලිටරි ශක්තිය ද ඇතුලුව බලය පාවිච්චි කර යට පත් කරගෙන සිටියහ. මහජන කෝපය, 1971 මුල් භාගයේදී සන්නද්ධ ගැටුමටක ගමන්කල ජාතික විමුක්ති ව්‍යාපාරයකට තුඩු දුන් අතර, එය පාවිච්චි කරමින්, එවක ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි නැගෙනහිර පාකිස්තානයට හමුදා යැවීය. 

ඉන්දීය හමුදාව, පාකිස්තානයට ලේ වැකි පහරක් එල්ල කල අතර ජාතික ධනේශ්වරයේ අංශ විසින් නායකත්වය දුන් කම්කරුවන් හා ගොවීන් සම්බන්ධ බංග්ලාදේශ ජාතික ව්‍යාපාරය ද මර්දනය කලේ ය. නව බංග්ලාදේශ ආන්ඩුව මෙහෙයවනු ලැබුවේ හසීනාගේ පියා හා පලමු‍‍‍ අගමැති ධුරයට පත් වූ මුජිබි රහ්මාන් විසිනි. 1947 වාර්ගික බෙදීම මගින් නිර්මානය කරන ලද ප්‍රතිගාමී කලාපීය රාජ්‍ය ව්‍යුහයන්, ඉන්දියාව සිය මිලිටරි මැදිහත්වීම තුලින් ආරක්ෂා කරන ලදි. 

මෝදිගේ සංචාරය සිදු වූයේ ඔහුගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) බංග්ලාදේශයට මායිම්ව ඇති බටහිර බෙංගාලය ඇතුළුව, ඉන්දියානු ප්‍රාන්ත පහක ප්‍රදේශීය  මැතිවරනයකට මුහුන දී සිටින තත්වයක දී ය. ඡන්දදායකයින්ට බලපෑම් කිරීමේ සෘජු උත්සාහයක යෙදෙමින් මෝදි ඩකා නගරයෙන් පිටත හින්දු කෝවිලකට ගිය අතර, එය බටහිර බෙංගාලයේ ද සැලකිය යුතු ජන කන්ඩායමක් වන මතුවා ප්‍රජාවට පූජනීය ය. 

හසිනා සමඟ කල සාකච්ඡා වලදී, කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 1.2 ක් බංග්ලාදේශයට ලබා දෙන බවට මෝදි පොරොන්දු විය. නමුත් මිලියන 160 ට වැඩි බංග්ලාදේශ ජනගහනය හා සසඳන විට මෙය සොච්චමකි. කෙසේවෙතත්, ඉදිරි මාස දෙක සඳහා ඉන්දියාව එන්නත් අපනයනය නතර කර ඇති තත්වයේ දී, මෙම පොරොන්දුව සැලකිය යුතු සහනයක් විය. ජනවාරියේදී, නවදිල්ලිය ඩකා වෙත මාත්‍රා මිලියන හතක් ලබා දුන් අතර, ඊට ප්‍රදානයක් ලෙස ලබාදුන් මිලියන දෙකක් ද ඇතුලත් විය. මෙම පරිත්‍යාගය බංග්ලාදේශය තුල, ඉන්දියාවේ දේශපාලන බලපෑම ඉහල නැංවීමේ උත්සාහයකි. 

මෝදිගේ වැදගත්ම සාකච්ඡාව වූයේ න්‍යෂ්ටික සහයෝගිතාවය සම්බන්ධවය. ඉන්දියානු නය පරාසයකින් ආවරනය කල ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි වටිනාකමක් සහිත බංග්ලාදේශයේ රූපූර් න්‍යෂ්ටික බලාගාරයේ සම්ප්‍රේෂන මාර්ග සංවර්ධනය කිරීමට නව දිල්ලිය සම්බන්ධ වී සිටී. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ආශ්‍රිත තීරනාත්මක යටිතල පහසුකම් රුසියානු රොසැටම් රාජ්‍ය පරමානුක බලශක්ති සංස්ථාව විසින් ඉදිකරනු ලැබේ. ප්‍රධාන නොවන යටිතල පහසුකම් බංග්ලාදේශ සහ ඉන්දියානු ඉදිකිරීම් සමාගම් වෙත පැවරී තිබේ.

මෝදි සංචාරයේදී දෙරට, වෙලඳ, ආපදා කලමනාකරනය, තොරතුරු තාක්ෂනය, තරුන කටයුතු සහ ක්‍රීඩා සම්බන්ධ ගිවිසුම් පහකට අත්සන් තැබීය. කෙසේ වෙතත්, බංග්ලාදේශය හරහා මුහුදට වැටීමට පෙර බටහිර බෙංගාලය හරහා ගලා බසින ටීස්ටා ගඟේ ජලය බෙදා ගැනීම පිලිබඳ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුව පිලිබඳ කිසිඳු එකඟතාවයකට පැමිනියේ නැත. එය බටහිර බෙංගාලයට වෙනස්කමක් වනු ඇතැයි යන ප්‍රතිගාමී පටු තර්කනය මත, බටහිර බෙංගාලයේ මහ ඇමති මැමතා බැනර්ජි, බංග්ලාදේශය සමඟ වන ඕනෑම ජලය බෙදා ගැනීමේ ගිවිසුමකට විරුද්ධ ය. වත්මන් ප්‍රාන්ත මැතිවරනයේදී, තම භාරතීය ජනතා පක්ෂයට එරෙහිව බටහිර බෙංගාලි ප්‍රාදේශීයවාදය අවුලුවාලීමට බැනර්ජිට හැකි බැවින්, මෝදි ජලය බෙදා ගැනීම පිලිබඳ කිසිදු ගිවිසුමකට යාම මඟ හරින ලදි.

චීන බංග්ලාදේශ සබඳතා අඩපන කිරීමටත්, එය බීජිනයට එරෙහි ඔවුන්ගේ ප්‍රහාරයට සම්පූර්නයෙන්ම ඒකාබද්ධ කිරීමටත්, ඉන්දියාව සහ එක්සත් ජනපදය උත්සුක වෙති. ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සැප්තැම්බර් මස මුලදී හසීනාට දුරකථන ඇමතුමක් ලබා දුනි. එය දුර්ලභ අවස්ථාවකි. වොෂින්ටනයෙන් මිලිටරි දෘඩාංග මිලදී ගැනීම වැඩි කරන ලෙස එක්සත් ජනපදය බංග්ලාදේශයට බලපෑම් කරයි. අපාචි හෙලිකොප්ටර් සහ මිසයිල මිලදී ගැනීම සඳහා බංග්ලාදේශය දැනටමත් එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කරමින් සිටී. චීනය දැනට ඩකාවේ ප්‍රධාන මිලිටරි සැපයුම්කරු වන අතර, 2010 සිට 2019 දක්වා කාලය තුල චීන මිලිටරි උපකරන සඳහා ඩොලර් බිලියන 2.59 ක් වියදම් කර ඇත. 

වොෂිංටනයේ වැටලීමට එරෙහිව, චීනය විසින් දකුනු හා මධ්‍යම ආසියාව හා යුරෝපය සම්බන්ධ කරන මහාමාර්ග, දුම්රිය හා නල මාර්ග ජාලයක් වන චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් (බීආර්අයි) හි හවුල්කරුවෙකි, බංග්ලාදේශය. චීනය, ඩකා හි ප්‍රධාන ආයෝජකයා වන නමුත්, එක්සත් ජනපදය සිය ආයෝජන තල්ලුව වැඩි කර තිබේ. සැප්තැම්බර් 30 වන දින පැවති අන්තර්ජාල සංවාදයකදී එවක එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කීත් ක්‍රාච්, බංග්ලාදේශයේ බලශක්ති, තොරතුරු තාක්ෂන, ‌ඖෂධ සහ කෘෂිකාර්මික අංශවල ආයෝජනය කරන ලෙස එක්සත් ජනපද සමාගම්වලින් ඉල්ලා සිටීමට එකඟ විය. 

එක් පැත්තකින් ඉන්දියාව සහ එක්සත් ජනපදය, සහ අනෙක් පැත්තෙන් චීනය අතර වඩ වඩාත් අස්ථිර සමතුලිතතාවයක බංග්ලාදේශය නිරතව සිටී. මෝදිගේ සංචාරයට දිනකට පෙර, හසීනාගේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ උපදේශක ගවුහර් රිස්වි මෙසේ පැවසීය: “අපි චීනයේ බීආර්අයි හි කොටසක් වන නමුත් ඉන්දු-පැසිෆික් සම්බන්ධතාවයේ කොටසක් වීමට අපි ඉතා කැමැත්තෙන් සිටිමු… අපි [ඉන්දියාව සහ චීනය අතර] තෝරා ගැනීමට යන්නේ නැත". 

මෝදිගේ සංචාරය අතරතුර, සීඒඒ ඇතුළු ආන්ඩුවේ මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහිව බංග්ලාදේශයේ විරෝධතා පැනනැගුනි. ඩකා අගනුවර ප්‍රධාන මුස්ලිම් පල්ලියෙන් ආරම්භ වූ මෙම විරෝධතා, රටේ අනෙකුත් දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත විය. පාරවල්වල ගෘහ භාන්ඩ හා ටයර් පුලුස්සා දැමූ පෙලපාලිකරුවන්ට පොලීසිය පහර දුන්නේය. මෙය ඩකා ආන්ඩුවේ වැඩෙන ඒකාධිපතිත්වය පිලිබඳ තවත් ඇඟවීමකි. හසීනා යටතේ, ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය සහ එහි සගයන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් දරුනු ලෙස මර්දනය කරන අතර, බලහත්කාර අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී මිනීමැරුම් වැඩි වී තිබේ. 

Loading