පිලිකාකාරක පොල්තෙල් වෙලඳාම සහ මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය පිහිටුවීමේ ධනපති ක්‍රමය

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කල පොල්තෙල් තොග කිහිපයක, ඇෆ්ලොටොක්සින් (aflatoxin) නමැති පිලිකා කාරක සංයෝගය අඩංගු බවට පසුගිය මාසයේ අනාවරනය විය. එම පිලිකා කාරක පොල්තෙල් වලින් කොටසක් වෙලඳපොලට නිකුත් කෙරී ඇති බව හෙලිවීම හා එම ආනයනකරුවන් ආරක්ෂා කිරීමට ආන්ඩුව හා නිලධාරින් ගෙන යන වැඩපිලිවෙල හේතුවෙන් ඊට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් මතුවී තිබේ.

වෙලඳපොලට මහා පරිමානයෙන් පිසින තෙල් සපයන සමාගම් හතරක් විසින් මෙම පොල්තෙල් තොග ගෙන්වා ඇති අතර ඒවායේ ඇෆ්ලොටොක්සින් සාන්ද්‍රනය ආරක්ෂිත සීමාව ඉක්මවා ඇතිබව මුලින්ම අනාවරනය වූයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් කල තත්ත්ව පරික්ෂාවකදීය. පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින්ද එය තහවුරු කෙරිනි.

උක්ත පොල්තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බවට නියාමන ආයතන දෙකකින්ම නිර්දේශ වී තිබියදීත්, ඒවා ශ්‍රී ලංකා රේගුව භාරයේ තබා නොගෙන, ආනයන සමාගම් වල ගබඩා වලට ගෙන යාමට අවසර ලබා දී තිබුනේ, ඒවා රේගු අංගනය තුල තබා ගැනීමට "ඉඩ නොමැති" බව පවසමිනි. මෙලෙස මුද්‍රා තබා ගබඩාකර තබා ගත යුතුව තිබුනු පොල්තෙල් සිල්ලර බෙදා හැරීම් සඳහා නිකුත් කර ඇති බවද පසුව හෙලි විය.

මෙය ධනපති පාලක පන්තිය විසින් දැනුවත්ව සිදුකරන "සමූහ වස කැවීමකි.” ඇෆ්ලොටොක්සින් යනු කාබනික අහාර ද්‍රව්‍ය මත වැඩෙන දිලීර වලින් නිකුත් විය හැකි පිලිකා-කාරක හා විෂ සහිත සංයෝගයකි. ඇමරිකාවේ අහාර හා ඖෂධ පාලන අධිකාරියේ හා යුරෝපීය අහාර සුරක්ෂිතතා අධිකාරියේ නිර්දේශ වලට අනුව ඍජුව ආහාරයට ගන්නා ද්‍රව්‍යයක (ධාන්‍ය, එලවලු තෙල් ආදිය) මේ සියලු අෆ්ලොටෝක්සින් සාන්ද්‍රනය කිලෝග්‍රෑමයකට මයික්‍රෝ ග්‍රෑම් 10 (10μg/kg) කට වැඩිනම් එය හානිකර තත්වයකි.

ඇෆ්ලොටෝක්සින් මගින් විශේෂයෙන්ම අක්මාවේ පිලිකා ඇතිකල හැකි බවත් දරුවන් තුල වර්ධන දුබලතා වලට හේතුවිය හැකි බවත් පරීක්ෂන මගින් අනාවරනය වී තිබේ. අහාර ද්‍රව්‍ය පරනවීම සහ නිසිලෙස ගබඩා නොකිරීම, ඒවා තුල දිලීර වැඩී ඇෆ්ලොටෝක්සින් ඇතුලු අනිකුත් හානිකර සංයෝග රැස් වීමට හේතු කාරක වේ.

මෙම හානිකර පොල්තෙල් පිලිබඳව සැබෑ තොරතුරු කිසිවක් හෙලි නොකිරීමට ආන්ඩුව සහ රාජ්‍ය නිලධාරිහු මුල සිටම වග බලා ගත්හ. හිරු රුපවාහිනි නාලිකාව සමග සම්මුඛ සාකච්චාවකට සහභාගිවූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න සිදුකල ප්‍රකාශයකින්, මෙම අරමුන වඩාත් පහැදිලි විය.

මෙවැනි විෂ සහිත සංයෝග ආහාර ද්‍රව්‍ය වල නිතර හමුවෙන්නේද, එසේනම් ඒ පිලිබඳ නිවැරදි තොරතුරු වහාම මහජනතාවට නිකුත් කරන්නේද යනුවෙන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ආචාර්ය සේනාරත්න කියා සිටියේ, රජයේ ආයතන වලට එසේ තොරතුරු නිකුත් කල නොහැකි බවත්, එසේ කලහොත් "සමහර ව්‍යාපාරිකයින් හා කර්මාන්තකරුවන් සම්පූර්නයෙන් කඩා වැටීමට ඉඩ ඇති” බවයි. එවැනි අවස්ථා වලදී, ජනතාවට “ටික කාලයකට” බලපවත්නා අවදානම නොසලකා, එම ව්‍යාපාරිකයින් කෙසේ හෝ “හදා ගැනීමට” සිදුවන බවද ඇය ප්‍රකාශ කලාය.

ධනේශ්වර "ප්‍ර‍මිති" ආයතනයන්හි යතා ස්වභාවය එලිමහනට පැමිනි මෙම ප්‍ර‍කාශයෙන් ජනිත වූ දැඩි මහජන කෝපය සමනය කර ගැනීමට, ආන්ඩුව රටපුරා පොල්තෙල් වල අඩංගු ඇෆ්ලොටෝක්සින් ප්‍රමාන පරීක්ෂා කිරීමට වැඩසටහනක් දියත් කල අතර හානිකර පොල්තෙල් අඩංගු බහලු 13ක් ප්‍රති-අපනයනය කරන බව නිවේදනය කෙරිනි. නමුත් මේවා හුදු ඇස්බැන්දුම් පමනි.

පරීක්ෂන කටයුතු අවසන්වීමටත් මත්තෙන් “වෙලඳපොලේ ඇති පොල්තෙල් වල විෂ නැති බව පරීක්ෂන වලින් තහවුරු වී ඇති බව” වෙලඳ ඇමති පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය. මීට පටහැනිව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර [තත්ත්ව] පාලන අංශයේ අධ්‍යක්ෂ තිලක් සිරිවර්ධන මාධ්‍ය වලට කියා තිබුනේ මේ පරීක්ෂනය තවමත් සිදු කෙරෙමින් ඇති බවත් “ප්‍රතිපල ලැබෙන විට මහජනතාවට අහිතකර පොල්තෙල් ශරීරගතවී තිබිය හැකි” බවත්ය. හානිකර යයි තහවුරු වී ඇති පොල් තෙල්ද “ප්‍රති අපනයනය” කිරීමට රේගුව මගින් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, එසේ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රේගුව සතුද යන්න තමන් නොදන්නා බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබිනි.

කෙසේ නමුත්, අර්බුදයේ වරද ආන්ඩුවේ ඒ හෝ මේ ඇමතියා මත හෝ නිලධාරියා මත පවරමින් එය කලමනාකරන හෝ පරිපාලන දෝෂයක් ලෙස හුවා දැක්වීමට ධනපති දේශපාලනඥයින්, විශ්ලේෂකයින් හා ව්‍යාජ වම්මුන් උත්සාහ දරති. එහි සැබෑ මූලය ඇත්තේ මානව අවශ්‍යතා වෙනුවට පුද්ගලික ලාභය පාදක කරගත් ධනපති නිෂ්පාදන-ආර්ථික ක්‍රමයම තුලය.

මෙය සඟවමින් වැඩෙන මහජන කෝපය ගසා කෑමට හා කම්කරුවන් හා මහජනතාව ව්‍යාකුල කිරීමට විපක්ෂය හා ධනපති බුද්ධිමතුන් පෙලගැසෙමින් සිටිති. මහජනතාව පිලිබඳ බොරු උත්සුකයක් මවා පාමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මෙසේ ප්‍රකාශ කලේය: “ජාවාරම්කාර වෙලඳුන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතා මත කටයුතු කරමින් ආන්ඩුව ජනතාවගේ ජීවිත දැඩි අනතුරක හෙලා ඇත.” එම විෂ පොල්තෙල් විකිනීම නතර කරන ලෙස ඔහු රජයෙන් බොල් ඉල්ලීමක්ද කලේය.

ජනතා විමුක්ති පෙරමුන හා “සිංහලයේ රාවය” වැනි සංවිධාන, මෙය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයාගේ පුද්ගලික දූෂිතභාවයට සිඳුවමින්, ඔහුට දඬුවම් දිය යුතුයැයි උද්ඝෝෂනය කරති.. “මුග්ධයනි, මෙය මහජන සෞඛ්‍යය යි” යන හිසින් පසුගිය ඉරිදා දි අයිලන්ඩ් පුවත් පත පලකල කතුවැකියකින් රේගුවේ හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරින් “අපරාධකරුවන්” බවට අඟවා තිබිනි.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුන හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැනි සංවිධාන “දේශීය නිෂ්පාදන ධෛර්යමත් කෙරෙන ජාතික ආර්ථිකයක්”ගොඩනැගීමෙන් මෙවැනි ප්‍රශ්න විසඳාලිය හැකිය යන විසකුරු ජාතික වාදී වැඩපිලිවෙල ඉදිරිපත් කරයි.

හානිකර පොල්තෙල් වෙලඳපොලට නිකුත් වීම, කූට ව්‍යාපාරිකයින් හා දූෂිත රජයේ නිලධාරින් කිහිපදෙනකුගේ “පුද්ගලික අපරාධයක්” නොව, සමස්ත ධනපති පද්ධතියම වග කිව යුතු “සමාජ අපරාධයකි.” ශ්‍රී ලංකාව තුල, විෂ රසායනිකයන් ආහාර දාම වලට එක්වීම අලුත් සංසිද්ධියක් නොවේ. අවම වශයෙන් දශකයකට එපිට කාලයක සිට, මේ පිලිබඳව විද්‍යාත්මකව කරුනු හෙලිවෙමින් ඇත.

බහුලව භාවිත වන රසායනික පොහොර වර්ගවල ආසනික් ඇතුලු අතිශයින් හානිකර බැර ලෝහ අඩංගුබවට වරින්වර කරුනු හෙලි වූ අතර 2012 වසරේදී කිරිපිටි වල කුඩා දරුන්වන්ට සෞඛ්‍ය සංකුලතා ඇති කල හැකි ඩයිසයන්ඩිඇමයිඩ් (Dicyandiamide) නමැති සංයෝගය අඩංගු වී තිබුනු බවට කරුනු හෙලි විය.

වඩාත්ම උත්සුකය දනවන කාරනය වන්නේ 2019 දී ප්‍රමිති ආයතනය හා පේරාදෙනිය විශ්ව විද්‍යාලය එක්ව කල අධ්‍යයනයක් මගින්, ශ්‍රී ලංකාවේ පිසින තෙල් වල ඇෆ්ලොටෝක්සින් නිර්දේශිත සීමාවන් ඉක්මවා පවතින බව සොයාගෙන තිබීමයි. මේ කාලය තුල, අද පොල්තෙල් ගැන කිඹුල් කඳුලු හෙලන සියලු ධනපති පක්ෂ, ඒ හෝ මේ ආකාරයෙන් පාලනයට සම්බධව සිට ඇත. දැන් පන්ඩිතමානි ප්‍රකාශයන් නිකුත් කරන බුද්ධිමතුන්, වෘත්තිකයන් හා සිවිල් සංවිධාන එම පාලනයන් බලයට ගෙන ඒමට කරබදු වූහ.

මෙය ශ්‍රී ලංකාව තුල, දුෂන වංචා හේතුවෙන් ඇති වී ඇති සුවිශේෂ තත්වයක් බවට හා “ජාතික වැඩ පිලිවලක්” මගින් මෙය විසඳාලිය හැකි බවට පතුරන අමු මිත්‍යාව, ලෝකයේ දියුනු නොදියුනු සියලු ධනපති රටවල් වලින් තොරක් නැතිව මතුවන මෙවැනි උදාහරන මගින් කුඩුපට්ටම වෙයි. ලොව ධනවත්ම රට වන ඇමරිකාවේ ෆ්ලින්ට් නගරයේ ප්‍රජා ජල සැපයුමට වසර ගනනක් පුරා ඊයම් මිශ්‍ර වීමෙන් දහස් ගනනක් රෝගාතුර වී දුසිම් ගනනක් පිලිකා ආදී රෝග වලින් මියගොස් ඇති බව 2014 වසරේ හෙලිවීම, මෙයට එක් උදාහරනයක් පමනි.

විද්‍යාත්මක අවබෝධය මෙතරම් දියුනුව ඇති යුගයක මෙවැනි ගැටලු මහජනතාවගේ ජීවිතයත් මරනයත් අතර අර්බුද බවට පත්ව ඇත්තේ අහම්බයකින් නොවේ. අතලොස්සකගේ ලාභය මුල්කරගත් නිෂ්පාදන ක්‍රමයක, මහජන සෞඛ්‍යය හෝ ආහාර වල සුරක්ෂිතතාව කිසිලෙසකින්වත් ප්‍රමුඛතාවක් නොවේ.

කොවිඩ්-19 වසංගතයට ලොවපුරා පාලක පන්තීන් දැක්වූ සාපරාධී ප්‍රතිචාරය මේ පිලිබඳ බලගතුම උදාහරනය කි. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් ඇතුලු අධ්‍යාපන ආයතන වසා දැමීම වසංගතය පාලනය කිරීමේ අනිවාර්ය ක්‍රමවේදයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තරව පිලිගත් වසංගත රෝග විද්‍යාඥයන් බරපතල ලෙස අවධාරනය කරද්දී, මෙම පාලකයෝ එය සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කලේ, ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව ගෙනයාමේ අවශ්‍යතාවයෙනි.

වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තිය වසන්කොට කම්කරුවන් වැඩපොලට ද, දරුවන් පාසලට ද දැක්කීම සඳහා ආසාදිතයන් අනාවරනය කර ගැනීමේ අහඹු පරීක්ෂන හැකි තරම් පහල දැමුනි. ජීවිත වලට ඉහලින් ධනපති ලාභය පිහිට වූ මෙම ව්‍යසනකාරී පිලිවෙත් වල මානව වියදම, මේවනවිට, ජීවිත මිලියන 3 කට ආසන්න වෙයි.

පසුගිය ශතවර්ශයේ මැද භාගයේදී, කම්කරු හා මහජන අරගල වල ප්‍රතිඵල ලෙස ඇති කෙරුනු පරිසර හා සෞඛ්‍ය ආරක්ෂන නීති හා ක්‍රමවේදයන් සියල්ල, ධනපති ක්‍රමය මුහුන දී සිටින ඓතිහාසික අර්බුදය හමුවේ ලොව සියලු ධනපති පාලකයන් විසින් අඩු වැඩි වශයෙන් දියකර හැර ඇත.

පරිභෝජනයට සුදුසු සෞඛ්‍යමත් ආහාර සපයා ගැනීම ඇතුලු අනෙකුත් මානව අවශ්‍යතා සම්බන්ධයෙන් කවර හෝ තාර්කික විසඳුමක් ධනපති ක්‍රමයට ලබාදිය නොහැක. අවශ්‍යව ඇත්තේ, ලාභය සඳහා නොව මිනිසුන්ගේ අවශ්‍යතා හා සුභ සාධනය සලකා නිෂ්පාදනය කෙරෙන සමාජ ක්‍රමයකි. එය කල හැක්කේ, කෘෂිකර්මය, ආහාර සැකසීම හා බෙදා හැරිම ඇතුලු සියලු නිෂ්පාදන සහ ආර්ථික ක්‍රියාකාරකම්, කම්කරු පන්ති පාලනයට නතුකොට, සමස්ත ගෝලීය ආර්ථික ජීවිතය තාර්කිකව ප්‍රතිසංවිධානය කර ගැනීමෙනි.

Loading