විදුලිබල මන්ඩල සේවකයෝ වැටුප් ඉල්ලීම් මත උද්ඝෝෂනය කරති

වසර තුනකට වරක් සිදුකෙරෙන වැටුප් වර්ධක ලබා නොදීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මත  ලංකා විදුලිබල මංඩලයේ (ලංවිම) සේවකයෝ  අප්‍රේල්  8  වෙනිදා ලෙඩ නිවාඩු වාර්තා කර එක්  දින වර්ජනයක යෙදුන අතර, එදින දහවල් කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක යෙදුනාහ. ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ බල මන්ඩලයට අනුව උතුරු- නැගෙනහිර ඇතුලුව දිවයින පුරා ලංවිම සේවකයින්  23,000 ක් පමන වර්ජනයට එක් වී ඇත. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයට 1000 ට වැඩි පිරිසක් සහභාගී වූහ

ලංකා විදුලිබල මංඩලයේ (ලංවිම) සේවකයෝ අප්‍රේල් 8 වෙනිදා දහවල් කොලඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනය

මෙම වැටුප් උද්ඝෝෂනයේ ම කොටසක් ලෙස මීට පෙරාතුව මාර්තු 24 වෙනිදා ද සේවකයන් 1000 පමන සහභාගිත්වයෙන් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක්  පැවැත්වුනි. අදාල වැටුප් වර්ධකය 2021 ජනවාරි මාසයට ලබාදිය යුතු වුවත් මෙතෙක් එය සිදු වී නැති බව ලංවිම සේවකයෝ පැවසූහ.

වැටුප් වර්ධකයට අමතරව,  එය ලබා දීමේ දී දැනට සෙසු ශ්‍රේනි හා විධායක ශ්‍රේනි අතර පවතින 1:8 වැටුප් වර්ධක අනුපාතය 1: 6 අනුපාතයට අනුව සකස් කරන ලෙස ද, බඳවා ගැනීම්  හා උසස්වීම් නිසි පටිපාටියකට අනුව සිදු කිරීම හා ප්‍රමානවත් අනතුරු දීමනාවක් සහ විශ්‍රාම වැටුපක් ගෙවන ලෙස ද ලංවිම සේවකයෝ ඉල්ලති.

සේවක උසස්වීම් පරිපාටිය උල්ලංඝනය කරමින් පාලනාධිකාරියේ ඉහල නිලධාරීන් තමන්ට රිසිසේ උසස්වීම් සහ වැටුප් වැඩිවීම් ඔවුන් විසින් ම ලබා ගැනීම, එමගින් වැටුප් විෂමතාවයන් නිර්මානය කිරීම, අත්තනෝමතික ලෙස සේවකයන් මර්දනය නතර කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත  ලංවිම තාක්ෂනික නිලධාරි සහ විදුලි අධිකාරී සේවකයන් ද මාර්තු 23 වෙනිදා අසනීප නිවාඩු වාර්තාකර එක් දින වර්ජනයක යෙදුන අතර එදින දහවල් කොලඹ ප්‍රධාන  කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනයක යෙදුනි. උද්ඝෝෂනයට 1000 ක් පමන සහභාගී වූහ. 

අප්‍රේල් 8 වෙනිදා  වර්ජනය කැඳවුම් කල ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන ලංකා විදුලි සේවක සංගමය,  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය විසින් මෙහෙයවන ශ්‍රී  ලංකා නිදහස් සේවක සංගමය සහ ජාතික සමගි බලවේගය සමග සන්ධාන ගත වී සිටින ජාතික සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති  එකතුවකි. සේවකයන් සියයට 36 ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඇත. එහෙත් ලංවිම බලධාරීන්ගේ යෝජනාව සියයට 22 කි. අවම වශයෙන් සියයට 30 ක වැටුප් වැඩිවීමක් නොදෙන්නේ නම් “අරගලය අඛන්ඩව පෙරට ගෙන යන” බව  සමිති නායකයෝ කීහ.  

මෙම උද්ඝෝශනවලට ලංවිම සේවකයන් බහුතරයක සහභාගිත්වය පෙන්නුම් කරන්නේ, කොරෝනා වසංගතය විසින් තම ජීවන තත්වයන් විනාශයට අද දමා ඇති තතු තුල ජීවන වියදමට සරිලන වැටුපක්, යහපත් සේවා කොන්දේසි සහ වෘත්තීමය අයිතිවාසිකම් සඳහා සටන් කිරීමට ලංවිම සේවකයන් අතර පවතින බරපතල උවමනාව  සහ අධිෂ්ඨානයයි.

කෙසේ නමුත් තම ඉල්ලීම් ලැබීම ගැන ලංවිම සේවකයන් අතර විශ්වාසයක් නැත. උද්ඝෝෂනයට සහභාගී වූ අම්පාරේ ලංවිම සේවකයෙකු වන හර්ෂ ගුනවර්ධන මෙසේ පැවසීය: “දුෂ්කරතා විඳගෙන මෙම අරගලයට සම්බන්ධ වුනත් ඉල්ලීම් ලැබීම ගැන විශ්වාසයක් නැහැ. අපි හැම අවුරුද්දෙම ඇවිල්ල මෙහෙම උද්ඝෝෂනය කරනවා. නමුත් අපේ ප්‍රශ්න වලට ස්ථීර විසඳුමක් නැහැ.”  

වෘත්තීය සමිති ගැන විශ්වාසයක් නැති බව ද ඔහු කීවේය. “වෘත්තීය සමිති වැඩ කරන්නේ ඒවා සම්බන්ධ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයට අනුව. ධනපති ආන්ඩුවල ට සහයෝගය දෙනවා. කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන ගැඹුරින් සාකච්චා කිරීමක් හෝ වැඩපිලිවෙලක් නැහැ” යි ඔහු සඳහන් කලේ ය.

මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහිව වතු සමාගම, පොලීසිය සහ ලංකා කම්කරු කොංග්‍රසය ඒකාබද්ධව ක්‍රියාවට දමා ඇති දඩයම සහ මර්දනය ඔහු දැඩි ලෙස හෙලා දුටුවේය. “රුපියල් 1000 කින් අද ජීවත් වෙන්න බැහැ. ඒ වැටුපවත් නොදීමට විරුද්ධව සටන් කිරීම  ඉතාම සාධාරනයි. ඒ නිසා එම අරගලයේ යෙදුන කම්කරුවන්ට එරෙහි දඩයමට විරුද්ධව ඔවුන්ව ආරක්ෂා කල යුතුයි. සීඩබ්ලිව්සී සමිතිය එම දඩයමට සම්බන්ධවීම අහම්බයක් නෙමෙයි. මේ වෘත්තීය සමිති වැඩ කරන්නෙත් එහෙම තමයි” යැයි ඔහු පැවසීය.  

සිංහල -දෙමල වශයෙන් වාර්ගික පදනමක කම්කරුවන් බෙදීමට විරුද්ධ බවත් ඔවුන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් ඒකාබද්ධව සටන් කලයුතු බවත් ඔහු පැවසීය.

කම්කරු පන්තියේ එවන් ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට නම් ධනපති ආන්ඩු සහ හාම්පුතුන්ගේ උපකරන  ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමේ අවශ්‍යතාවය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් කල පැහැදිලි කිරීමට එකඟතාවය පල කල ඔහු ඒ සම්බන්ධව ඉදිරියේ දී තවදුරටත් සාකච්චා කිරීමට සහ ලෝසවෙඅ ලිපි අධ්‍යයනය කිරීමට එකඟ විය.

විදුලි සැර වැදීමෙන් වසරකට සේවකයන් 8-10 ක් මියයන බව තාක්ෂනික නිලධාරියෙකු වන සපුගස්කන්දේ එන්එම් අබේසේකර පැවසීය. “ඒ අයට නිසි වන්දියක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ පවුල් වලට සාධාරනයක් ඉටුවෙන්නෙත් නැහැ. වෘත්තීය සමිති දේශපාලන පක්ෂවලට සහ ආන්ඩුවලට ගැතිකම් කරනව. පසුගිය වසර 72 ක් මේ රට පාලනය කල ආන්ඩු එකක්වත් කම්කරුවන්ගේ ප්‍රශ්න විසඳුවේ නැහැ”. ජනතා විමුක්ති පෙරමුනේ හිතවාදියෙකු වන ඔහු “ජවිපෙට දුන්නොත් හරියට කරයි කියල හිතන” බව පැවසීය. 

ජවිපෙ සහ සෙසු ධනපති පක්ෂ අතර වෙනසක් නැත. සුලු ධනේශ්වර හා සිංහල ස්වෝත්තමවාදී සංවිධානයක් ලෙස බිහි වූ එය අද  ධනපති දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයකි. එය 1970 සිට බලයට පත් වූ ධනපති ආන්ඩුවලට ඒ හෝ මේ ආකාරයෙන් සහයෝගය දුන්නේය. ජවිපෙ යනු, සිංහල සහ දෙමල කතා කරන කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදා වෙන් කිරීමට ධනපති පාලකයන් ගෙනගිය වර්ගවාදී යුද්ධයේ පෙරමුනු සහායක පක්ෂයක් විය. ධනපති පක්ෂවල ජාතිකවාදී ක්‍රියාමාර්ගයන්ගෙන් ජවිපෙ ක්‍රියාමාර්ගය වෙනස් නොවන අතර එය පෙනී සිටින්නේ කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නොව ධනපති පන්තියේ සහ මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙනි. 

සෙසු වෘත්තීය සමිති මෙන් ම, ජවිපෙ ට සම්බන්ධ වෘත්තීය සමිතිවල පිලිවෙත  වී ඇත්තේ ද කම්කරුවන්ගේ අරගල හුදකලා කර පාවාදීමය. ලංවිම කම්කරුවන් 2017 දී ගෙනගිය දින අටක වැටුප් අරගලය එවන් එක් උදාහරනයක් පමනි. සිරිසේන වික්‍රමසිංහ ආන්ඩුවේ මර්දනය ඉදිරියේ යටත් වූ ජවිපෙ ලංකා විදුලි සේවක සංගමය ඇතුලු ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සියයට 4 ක වැටුප් වැඩිවීමකට එකඟතාවය ප්‍රකාශ කරමින් එය පාවා දුන්නේය.

ලංවිම කම්කරුවන්ගේ අරගලය, කොරෝනා වසංගතය විසින් තීව්‍ර කෙරී ඇති ලෝක ධනවාදී අර්බුදයේ බර, රැකියා, වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදුව හරහා කම්කරුවන් මත පැටවීමට, ධනපති පාලක පන්තීන් සහ හාම්පුතුන් විසින් ගෙනයන වැඩකටයුතු වලට එරෙහිව ගෝලීයව සහ ශ්‍රී ලංකාව තුල වර්ධනය වන පන්ති අරගලයේ කොටසකි. 

පසුගිය දින කිහිපය තුල ජල සම්පාදන, සෞඛ්‍ය, බැංකු සහ අධ්‍යාපන ඇතුලු මෙරට රාජ්‍ය ක්ෂේත්‍රයන්හි ද, පුද්ගලික අංශයේ වතු හා නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ ද අරගල මාලාවක් පැන නැගුනි. එම අරගල මගින් සනිටුහන් කෙරෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ සහ  ධනපති හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය තුල වැඩෙන අතෘප්තිය සහ සමාජ නොසන්සුන්තාවයි. වෘත්තීය සමිති උත්සාහ කරන්නේ කම්කරු පන්තිය තුල වැඩෙන එම නොසන්සුන්කම ආන්ඩුවට සහ හාම්පුතුන්ට පීඩනය යෙදීමේ නිස්සාර විරෝධතා උද්ඝෝෂන වලට  කොටුකර විසුරුවාලීමට ය. 

නය ගැතිකම ඉහල යද්දී, දේශීය සහ විදේශීය ආදායම් පහත වැටීම හේතුවෙන් බරපතල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුවට මෙන්ම ධනපති හාම්පුතුන්ට බලපෑම් දැමීම මගින් කම්කරු පන්තියේ කවර කොටසකටවත් රැකියා, වැටුප් ඇතුලු තම සමාජ අයිතීන් දිනා ගත නොහැකිය.

කම්කරු පන්තියට තම අයිතීන් දිනාගත හැක්කේ පාලක පන්තියේ හා ධනපති හාම්පුතුන්ගේ උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩනගන කම්කරු ක්‍රියා කමිටු මගින්, නව දේශපාලන ඉදිරිදර්ශනයක්, එනම් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පාදක ව දියත් කරන පොදු අරගලයක් තුලින් පමනි.

Loading