වෘත්තීය සමිති, වරාය කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් පාවා දෙති

පාලකයන්ට අවශ්‍ය පරිදි තම වැටුප් ඉල්ලීම් කප්පාදු කරමින්, වරාය වෘත්තීය සමිති එහි පාලනාධිකාරිය සමග සාමූහික ගිවිසුමකට අත්සන් තබා ඇත. මූලික වැටුප සියයට 30 කින් වැඩි කරන ලෙස සහ රුපියල් 15,000 ක මාසික දීමනාවක් ලබාදෙන ලෙස මුලදී කල ඉල්ලීම සමිති විසින් හකුලාගෙන ඇති අතර, වසර තුනක් සඳහා වන මෙම ගිවිසුමට අනුව වැඩිවනුයේ මූලික වැටුපෙන් සියයට 25 ක් පමනකි. මාසික දීමනා ඉල්ලීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කෙරී ඇත.

වෘත්තීය සමිති 25ක් අත්සන් තබා ඇති ගිවිසුමට අනුව, ශ්‍රේනි15ක කම්කරුවන් 8801කට මාසික වැටුප් වැඩිවන්නේ රු 5160 සිට රු 7000 දක්වා පමනි. ඉහල යන ජීවන වියදමට අනුව මෙම වැටුප් වැඩිවීම කිසිසේත් නොසෑහෙන බව කම්කරුවෝ කියා සිටිති.

කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කලේය.“අපිට ලබෙන අඩු වැටුපෙන් පවුලක් නඩත්තු කල යුතුයි. ලමයින්ගෙ අධ‍්‍යාපනයට බේත් වලට මුදල් වියදම් කල යුතුයි. ආහාරමිලේ දැවෑන්ත ඉහලයාම දැරීම අපහසුයි. දැන් නිදහස් අධ්‍යාපනයවත් රෝහල් සේවයවත් ක්‍රියාත්මක නැහැ. මේ තත්වයේදී මේ වැටුප් වැඩිවීම පිලිගන්න බැහැ.”  

ගිවිසුමට එරෙහිව කම්කරුවන් අතරින් පැන නැගිය හැකි විරෝධය ගසාකෑමේ අරමුනෙන්, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ ) සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය (වපොසේස) සහ තවත් වෘත්තීය සමිතියක් ගිවිසුමට අත්සන් තබා නොමැත.  අප්‍රේල් 7 දින පත්‍රිකාවක් නිකුත් කරමින් එම වෘත්තීය සමිති පවසා ඇත්තේ, “සියයට 25ක වැටුප් වැඩිවීමට අමතරව රු 15000ක දීමනාවක් වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටිනු ලැබූවත් අමාත්‍යවරයා ඊට එකඟ නොවීම නිසා” ගිවිසුමට අත්සන් නොතැබූ බවයි.

වැටුප් අරගලයේ යෙදී සිටින අනෙකුත් ක්ෂේත්‍රයන් හි කම්කරුවන්ගේ සහ වරාය කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනයවීම වැලැක්වීම සඳහා කම්කරුවන් අතර භේද වර්ධනය කිරීමට වපොසේස ඇතුලත් සියලු වෘත්තීය සමිති ආරම්භයේ පටන්ම ප්‍රයත්න දැරූහ. වපොසේස ඇතුලත් වෘත්තීය සමිති එකමුතුව විසින් මාර්තු 29 දින නිකුත් කරන ලද පත්‍රිකාවක මෙසේ සඳහන් වෙයි: “රටටම ඩොලර් ගේන ලාභ ලබන අර්ධ රාජ්‍ය ආයතනයක් විදිහට සමහර අලාභ ලබන අර්ධ රාජ්‍ය ආයතනවල වැටුප් තලවල තත්වයත් අපේ වරාය තත්වයත් ගත්තම අහසට පොලව වගේ.” 

ඔහු මෙසේද පැවසීය: “තෙල් සංස්ථාවෙ මේ වන විටත් සියයට 25ක වැටුප් වැඩිවීමකට එකඟතාවය පලකරලා ඉවරයි. වරාය විදිහට අපි ඉන්නෙ ඔවුන් හැමෝටම පහලින්”. රාජ්‍ය ආයතනයන්හි ලාභය සහ අලාභය අනුව කම්කරුවන්ගේ වැටුප් තල නිර්මානය විය යුතු බවට කෙරෙන මෙම අන්ත ප්‍රතිගාමී තර්කනය තුල ඇත්තේ කම්කරුවන් එකිනෙකාට විරුද්ධව පිහිටුවීමේ ආයාසයයි.

කම්කරුවන් භේදකොට පුද්ගලීකරනයට එරෙහි ඒකාබද්ධ අරගලයක් වලක්වනුවස්, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව 2018 දී වරාය සේවකයන්ට නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ අනුව ඉහල ශ්‍රේනීන්හි මාසික වැටුප රු 18000කින් වැඩි කෙරුනු අතර, පහල ශ්‍රේනිවල වැටුප් වැඩිවූයේ රු10,000කින් පමනි. එයින් ද රු 5000ක් දීමනාවක් ලෙසිනි. ඉන් අනතුරුව මේවනතෙක් වැටුප් වැඩි කිරීමක් සිදුව නැත.  

සියලු කම්කරුවන් සඳහා, “ශිෂ්ටසම්පන්න ජීවිතයකට සරිලන වැටුපක් ලබාදෙනු!” යන ඉල්ලීම වෙනුවට, වරායේ කම්කරුවන් අතරමත් බෙදීමකට උසිගැන්වෙන, “වැටුප් විෂමතා ඉවත් කරනු!” යන ඉල්ලීම වෘත්තීය සමිති නිරන්තරව තොරොම්බල් කරති.

ගිවිසුම අත්සන් කරමින් සමිති කල පාවාදීමට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන කෝපය, සමිති වලට පිටතින් පුපුරා යතැයි බියපත්වූ වපොසේස ඇතුලු වෘත්තීය සමිති, මාර්තු 30 දින ප්‍රෝඩාකාරී නිවේදනයක් නිකුත් කලේය. “සාධාරන වැටුප් වැඩිවීමක් ලබාගැනීම සඳහා බල කිරීමේ උද්ඝෝෂනය අප්‍රේල් 01 දින කෑම විවේකයේදී” පැවැත්වෙන බව එහි සඳහන් විය.

එදිනම නැවත නිවේදනයක් නිකුත් කල එම සමිති මෙසේ පැවසීය: “නොවැලැක්විය හේතුවක් මත උද්ඝෝෂනය නොපැවැත්වෙන බව වරාය සේවකයන්ට සහෝදරත්වයෙන් දන්වා සිටිමු.” අප්‍රේල් 01 දින, වපොසේස ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන කම්කරුවන් ආමන්ත්‍රනය කරමින් වංචනික ලෙස කියා සිටියේ බහුතරයේ උවමනාව මත උද්ඝෝෂනය නතර කල නමුත් සටන ඉදිරියට ගෙනයන බවයි.

ජවිපෙ සමිතියේ මෙම ප්‍රෝඩාව හමුවේ ව්‍යාකූලවූ කම්කරුවන් කිහිප දෙනෙක්, ගිවිසුමට අත්සන් කල වෘත්තීය සමිතීන්ගෙන් බිඳී  වපොසේසට බැඳුනු බවද වාර්තාවේ. එහෙත් වැටුප් අරගලය ඉදිරියට ගෙනයාමට කිසිදු වැඩපිලිවෙලක් එම සමිතියට ද නොමැති බව අත් දකිමින් සිටින බව කම්කරුවෙක් පෙන්වා දුන්නේය.

කොවිඩ්-19 වසංගතය විසින් උග්‍රකෙරී ඇති ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර දැවැන්ත කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට එරෙහිව ලොවපුරා වැඩෙන පන්ති අරගල ජාත්‍යන්තර පරිමානව ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව වඩාත් තීව්‍ර වී ඇත. එම තතු තුල, මෙම සමිති ජාතිකවාදී උද්ඝෝෂන ඉස්මත්තට ගනිමින් කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුවට වල කපමන් සිටිති.

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ඊසීටී), ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් ඉන්දියානු අදානි සංගතය සමග බද්ධ සමාගමකට පැවරීමට එරෙහිව කම්කරුවන් අතර පැනනැගි විරෝධය, හුදු ඉන්දියානු විරෝධයක් තුල ගිල්වා පුද්ගලීකරනයට එරෙහි අරගලය අවමංගත කිරීමට ජවිපෙ සමිතිය ඇතුලු සියලුම සමිති එක්ව කටයුතු කලහ. 

වරාය තුල කොවිඩ් 19 වසංගතය වේගයෙන් පැතිරෙද්දී අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩට කැඳවීම ප්‍රතික්ෂේප කරමින් කම්කරුවන් සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටියදී, වරාය “අත්‍යවශ්‍ය සේවාවක්” බවට පත්කොට ජනාධිපති රාජපක්ෂ නිකුත් කල රුදුරු නියෝගයට මෙම සියලු සමිති සහයෝගය දුන්හ.

වරාය පුද්ගලීකරනය‌ට එරෙහි සටන පාවාදීමෙන් පසු සමිති පිලිබඳව තිබූ සීමිත විශ්වාසය පවා බිදීගිය බව කම්කරුවෝ කියා සිටියහ. වැටුප් අරගලය සම්බන්ධව කරුනු දක්වමින් කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැහැදිලි කලේය:“ ජවිපෙ සමිතිය කියනවා 2005, 2018 මෙන්ම 2021  දීත් සාමූහික ගිවිසුමට ඔවුන් අත්සන් නොකල බව. නමුත් කම්කරුවන්ගේ වැටුප් අරගලය ඉදිරියට ගෙන යාමට ඔවුනට වැඩපිලිවෙලක් නැහැ. එය දැන් තහවුරුවී අවසානයි. ජවිපෙට සම්බන්ධ වපොසේස ත් සෙසු වෘත්තීය සමිතිත් අතර වෙනසක් නැහැ.”

වරාය තුල මිනිස් බල කම්කරුවන් සිය ගනනක් ඉතා අඩු වැටුප් මට්ටම් යටතේ බරපතල ලෙස සූරා කැවෙන තතු තුල වෘත්තීය සමිති ඔවුනගේ අයිතීන් වෙනුවෙන් කවර හෝ සටනක් දියත් නොකරන බව ඔහු පැවසීය.

“ධනේශ්වර ක්‍රමයට කම්කරුවන්ගේ අයිතීන් ඉටුකල නොහැකියි. ධනපති ආන්ඩු හා කේවලේ යෙදෙන වෘත්තීය සමිති සමස්තයක් ලෙස කම්කරුවන්ට සතුරුයි” යනුවෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) කරන පැහැදිලි කිරීම් මුලුමනින්ම නිරවද්‍ය බව තම අත්දැකීමෙන්ම තහවුරුවෙන බව කම්කරුවෙක් පැවසීය. 

“ලෝකයේම කම්කරු පන්තිය එකමුතු කර ස්වාධීනව බලමුලුගැන්විය යුතුයැයි කාල් මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් කලද, වෘත්තීය සමිති උත්සාහ කරන්නේ කම්කරුවන් බෙදීමට” යැයි ඔහු තවදුරටත් පැවසීය. 

තම පාලනයේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පන්ති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා මිලිටරීකරනය වඩාත් ගැඹුරු කිරීම රාජපක්ෂ ආන්ඩුවේ එල්ලයයි. මූලික කම්කරු මධ්‍යස්ථානයක් වන වරාය අධිකාරිය, විශ්‍රාමික යුද හමුදාපති දයා රත්නායකගේ සභාපතිත්වය යටතට පත් කරනු ලැබුවේ මෙහි කොටසක් ලෙසිනි.

ජාත්‍යන්තර සමාජවාදී  වැඩපිලිවෙල යටතේ තම අයිතීන් සඳහා සටන් කිරීමට වෘත්තීය සමිතිවලින් බිඳී නව සටන් සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව අනෙකුත් කම්කරුවන් ඉදිරියේ මෙන්ම වරාය කම්කරුවන් ඉදිරියේ ද තීරනාත්මකව මතුවී ඇත්තේ මේ තත්වය තුලය. 

Loading