වැඩි වැටුප් ඉල්ලා විරෝධතාවයේ නිරත වූ බදුල්ලේ ගුරුවරු ලෝසවෙඅ සමග කතා කරති

අප්‍රේල් 05 දා බදුල්ල නගරයට රැස්වූ පන්දහසකට ආසන්න පාසල් ගුරුවරු, වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් මත විරෝධතා උද්ඝෝෂනයක නිරතවූහ. ඌව පලාත් සභාව අසලින් ආරම්භ කෙරුනු පාගමනකින් බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පල දක්වා පැමිනි ඔවුහු එහිදී රැස්වීමක් පැවැත්වූහ. මගදෙපස රැස්ව සිටි මහජනයා පාගමනේ යෙදුනු ගුරුවරුන් හඬනැගූ සටන්පාඨ වලට උද්යෝගයෙන් සවන්දුන් අතර, ජලය ආදිය සපයමින් ඔවුනට සහයෝගය ලබා දුනි.

ගුරුවරුන් ඈත දුෂ්කර ප්‍රදේශවලින් පවා පැමින විරෝධතාවයට සහභාගි වූ බැවින් ද තවත් ගුරුවරුන් දහස් ගනනක් අසනීප නිවාඩු වාර්තා කර තිබුනු බැවින් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ බොහොමයක් පාසල් එදින වසා දමන්නට සිදුවිය.

ගුරුවරු, වැඩි වැටුප් ඉල්ලා බදුල්ල නගරයේ පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනය

මෙය, ඉහල යන ජීවන වියදම හමුවේ තම වැටුප් වැඩි කර ගැනීම සඳහා ලංකාවේ පාසල් ගුරුවරුන් ගෙනයන විරෝධතා උද්ඝෝෂන මාලාවක මෑතම පියවර විය. පෙබරවාරී මස 24 දා අනුරාධපුර නගරයේ ද, මාර්තු 25 දා කුරුනෑගල නගරයේ ද පැවති විරෝධතාවන්ට ද දහස් ගනනින් ගුරුවරු සහභාගිවූහ. 

මේ සියලු විරෝධතා කැඳවා තිබුනේ, ලංකා ගුරු සංගමය (ලංගුස) හා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) ඇතුලු ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් විසිනි.   

බදුල්ලේ විරෝධතාවයට සහභාගිවූ ගුරුවරුන් අතර මැදිහත් වූ ලෝක සමාජවාදී වෙබ් අඩිවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ ඔවුන් සමග සාකච්ඡාවක යෙදී ගත්හ. තම ජීවන සහ සේවා කොන්දේසි වලට එල්ල වන ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ දැඩි අවශ්‍යතාව සාකච්ඡාවන්ට සහභාගි වූ සියලු දෙනාම පාහේ ප්‍රකාශ කලහ. එහෙත්, එම සටන කිනම් ඉදිරිදර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් මත පාදකවිය යුතුද යන්න ගැන බහුතරය තුල පැවතියේ ව්‍යාකූලත්වයකි.

තම සේවා කාලය තුල මේසා පරිමාන ඉහල සහභාගිත්වයකින් යුත් ගුරු විරෝධතා දැක නොසිටි බන්ඩාරවෙල ගනිත ගුරුවරයෙක්, එය සමිතිවල “කැපවීමේ” සහ “එකමුතුවේ” ප්‍රතිඵලයක් ලෙස විස්තර කරමින් මෙසේ පැවසීය:  “මේ පාර වෙනදාටත් වඩා ගුරු සමිති එකට ඒකාබද්ධ වෙලා තියෙනවා. ගුරුවරුන්ගෙත් ඉහල සහභාගීත්වයක් තියෙන නිසා වැටුප් වැඩි කිරීමක් කරයි කියලා හිතනවා.” 

ගුරුවරුන්ගේ “ඉහල සහභාගීත්වය”, ලෝක ධනේශ්වර ක්‍රමයේ ගැඹුරු වන අර්බූදයට ප්‍රතිචාර ලෙස දෂක ගනනාවකට පසු යලි පැන නංවා ඇති ජාත්‍යන්තර පන්ති අරගලයේ ප්‍රකාශනයක් බව ජාතික සහ ජාත්‍යන්තර උදාහරන මගින් ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්හ. 

මෙම ජාත්‍යන්තර අරගලයන්හි වැඩෙන ලක්ෂනයක් වන්නේ, දීර්ඝ  කාලයක් පුරා කම්කරු පන්තික සටන්කාමිත්වය සිරකරගෙන සිටි වෘත්තීය සමිති නිලධරයට පිටතින් ඒවා පුපුරා ඒමයි. මෙම අරගල, ධනපති ආන්ඩු වලට සහ හාම්පුතුන්ට බලපෑම් දැමීමේ විරෝධතා සීමාවෙන් ඔබ්බට  වර්ධනය වී ධනපති ක්‍රමයට සහ ධනපති රාජ්‍යයන්ට අභියෝග කරතැයි, සමිති නිලධරය සහ පාලකයන් යන දෙපාර්ශ්වයම භීතියට පත්ව සිටිති. 

විරෝධතාව සංවිධානය කිරීමට සමිති නිලධරය වෙනදාට වැඩි උනන්දුවක් සහ එකමුතුවක් පෙන්වූයේනම් එය පිටුපසින් පවතින්නේ,  ගුරුවරුන් අතර වේගයෙන් වැඩෙන මෙම සටන්කාමිත්වය විරෝධතා වටවංගුවල කෙසේ හෝ සිරකොට, ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමයට එරෙහි අරගලයක් දෙසට වර්ධනයවීම වැලැක්වීම බව වාර්තාකරුවෝ ඔහුට පෙන්වා දුන්හ. 

ගුරුවරුන් ඇතුලු සමස්ත කම්කරු පන්තියේ මෙම රැඩිකලීකරනය සාධනීය ලක්ෂනයක් වන නමුදු, එය ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනක් දෙසට, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන සටනක් දෙසට යොමුකර නොගතහොත් අත්වනුයේ දැවැන්ත පරාජයක් බව වාර්තාකරුවෝ පැහැදිලි කලහ.

වසර හතක සේවා කාලයක් ඇති සිංහල විෂය ඉගැන්වීම් කරන ගුරුවරයෙක් පැවසුවේ ඔහුගේ පලමු පත්වීම “දුෂ්කර සේවාවක්” බවයි. “නය වාරිකවලට කැපිලා දැන් මගේ අතට ලැබෙන්නේ රුපියල් 10,000 විතර මුදලක් විතරයි. ජීවන වියදම අහස උසට නැගඇති තත්වයක් යටතෙ ඒකෙන් හරිහමන් විදියට මාසයක් කාල ඇඳල ජීවත් වෙන්න බෑ. මේ වගේ ආර්ථික දුෂ්කරතා නිසා තමයි ගුරුවරු අද සටනට ඇවිත් තිබෙන්නේ” යයි ඔහු ප්‍රකාශ කලේ ය. 

ගුරු සේවය “සංවෘත” සේවාවක් බවට පත්කිරීමට පාලකයන් දරන ප්‍රයත්නයට වෘත්තීය සමිති විසින් දෙන සහායට විරුද්ධත්වය පල කරමින් ඔහු මෙසේ පැවසීය: “අවුරුදු විසි පහක් වැටුප් ප්‍රශ්නය නො විසඳු, අධ්‍යාපනය විනාශ කරමින් ඉන්න පාලකයො සංවෘත සේවයක් මගින් ගුරුවරුන්ට යහපතක් කරයි කියලා විශ්වාස කරන්න පුලුවන් කාට ද? අපි අනෙක් කම්කරුවන්ගෙන් වෙන් කරල ඒකාබද්ධ අරගල වැලැක්වීමත්, ඒ මගින් අධ්‍යාපනය පෞද්ගලීකරනය වගේ කප්පාදු ක්‍රියාවට දැමීමත් තමා සංවෘත සේවාවේ අරමුන”. 

ගුරු වැටුප් කප්පාදුව ඇතුලුව මහජන අධ්‍යාපනයට එරෙහි ප්‍රහාරය සමස්ත කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයක් බව පැවසූ ඔහු, “පොදුවේ අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට එල්ල වෙලා තියෙන ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කල යුතුයි. එමෙන්ම එවන් අරගලයක් සමාජවාදය එල්ල කර ගත්තක් විය යුතුයි කියන තැන මම ඉන්නවා. මෙම අදහස් මට ලැබුනේ  ලෝසවෙඅ ලිපි කියවීමෙන්” යයි වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය. 

ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් වැටුප් ඇතුලු අනෙකුත් අයිතීන් දිනා ගත හැකි ය යන බංකොලොත් ඉදිරිදර්ශනය යටතේ වසර 25 ක් පුරා ගුරුවරුන්ගේ වැටුප් අරගලය පාවා දී ඇති ආකාරය මෙහිදී ගුරුවරුන් සමග සාකච්ඡා කෙරුනි.    

කම්කරු පන්තිය භේද කිරීම සඳහා 2018, 2019 වසරවල දී පාලක පන්තිය මුදාහල වාර්ගික ආගමික ප්‍රකෝපකරනයන් කපා ගෙන ගුරුවරු ධෛර්යමත්ව එලඹීගත් වර්ජන කිහිපයක්ම ආන්ඩුවේ බොරු පොරොන්දු හමුවේ හකුලා දැමූ සමිති, 2020 දී කොරෝනා වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට රාජපක්ෂ ආන්ඩුවට පූර්න පිටුබලය ලබා දුන්නේ ය.  

අනුරාධපුර සහ කුරුනෑගල විරෝධතාවල දී ප්‍රකාශ කල කල ආකාරයටම, “අරගලය අඛන්ඩව ගෙන යනවා, ජයග්‍රහනයෙන් කෙලවර කරනවා” යයි ලංගුස ලේකම් ජෝසප් ස්ටාලින් බදුල්ලේ විරෝධතාව අවසානයේ පැවති රැස්වීමේදී ප්‍රකාශ කලේ ය. පලාත්බදව විරෝධතා සංවිධානය කිරීම සිදු කරන බව පැවසූ ලංගුසේස ලේකම් මහින්ද ජයසිංහ, මේ මාසේ 29 ගාල්ලේ දීත් මැයි මාසයේ දී මහනුවර දීත් ආකාරයට විරෝධතාව “රටපුරාම ගෙනහිල්ලා ජයග්‍රහනයෙන් කෙලවර කරනවා කියන්න අපි ආවේ”යනුවෙන් බෙරිහන් දුන්නේය.  

“ජයග්‍රහනයෙන් කෙලවර කිරීමේ” සමිති නායකයන්ගේ පොරොන්දු පිලිබඳව කවර හෝ විශ්වාසයක් නො මැති බව බන්ඩාරවෙල පාසලක ගුරුවරයෙක් පැවසීය. “සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් කෙසේ වෙතත්, අවම වශයෙන් දිවයිනේ සියලු ප්‍රදේශවල ගුරුවරුන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය නොකොට මෙවැනි ප්‍රාදේශීය විරෝධතා සංවිධානය කිරීමෙන්මත් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් ආන්ඩුවට අභියෝග කෙරෙන අරගලයකට එරෙහිබව නේද?” යැයි ඔහු ප්‍රශ්න කලේය. 

“වර්ජනයක් කලත්, ලෙඩ නිවාඩු දාලා ගෙදර ඉන්න කියල වෘත්තීය සමිති අපිට කියනවා. එහෙම වර්ජන කරලා වැඩක් නෑ. ආන්ඩුවට අභියෝග කරන්න නම් අවශේෂ කම්කරු පන්තියට කැඳවුම් කිරීම, ඒ සඳහා දේශපාලන ඉදිරිදර්ශනයක් හා ක්‍රියාමාර්ගයක් තිබීම අවශ්‍යයි. වෘත්තීය සමිති ඊට හතුරුයි. වසර 24 ක් පුරා සමිති පෙන්නලා තියෙන්නේ ඒ කාරනයයි. මම දැනටමත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ප්‍රකාශයට පත් කරන “අධ්‍යාපන සේවකයන් සඳහා සසප පනිවිඩ” කියවනවා. එය “මගේ මිත්‍ර ගුරුවරු අතර බෙදා හරිනවා“ යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

කොවිඩ්-19 වසංගත තත්වය මධ්‍යයේ ගැඹුරු වන ගෝලීය අර්බුදය හමුවේ ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව මුහුන දී තිබෙන අර්බූදය පිලිබඳව වාර්තාකරුවෝ ගුරුවරුන් සමග සාකච්ඡා කලහ. ආන්ඩුවට නය සඳහා වාරික ගෙවීමට පමනක් 2024 දක්වා වාර්ෂිකව රුපියල් බිලියන 4.5 බැගින් අවශ්‍ය කෙරේ.  

එසේම, දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 7 ටත් වැඩි අය-වැය හිඟය පහල දැමීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් දැඩිව ක්‍රියාවට දැමීමට රාජපක්ෂ බැඳී සිටී. ඒ යටතේ මේ වසරේ අය-වැයෙන් අධ්‍යාපන හා සෞඛ්‍යය වියදම් පිලිවෙලින් රුපියල් බිලියන 40 කින් හා 29 කින් කප්පාදු කලේ ය. 

මෙම කප්පාදු හමුවේ වැඩෙන පන්ති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් කරා ජනාධිපති රාජපක්ෂ වේගයෙන් මාරු වෙමින් සිටී. රාජ්‍ය වියදම් කප්පාදු කරන අතරේ, මෙවර අය-වැයෙන් මිලිටරි වියදම් බිලියන 40 කින් ඉහල දමා ඇත්තේ මිලිටරීකරනය වඩාත් ගැඹුරු කිරීමේ අරමුනෙනි. 

ධනපති ක්‍රමයේ අර්බූදය හමුවේ වෘත්තීය සමිති ජාත්‍යන්තරව පරිවර්තන වී ඇත්තේ මෙම ධනේශ්වර අර්බූදයේ බර කම්කරු පන්තිය මත පටවන ධනපති ආන්ඩුවල සහ මහ ව්‍යාපාරිකයන්ගේ උපකරන බවට යන්න සාකච්ඡාවන්හි දී දීර්ඝව පැහැදිලි කෙරින. 

වෘත්තීය සමිති වලින් ස්වාධීනව පාසල්, රෝහල්, වැඩපොල, වැඩබිම් සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය හා ඒ සඳහා සසප ගෙන ඇති ආරම්භකත්වය පිලිබඳව ගුරුවරු සැලකිය යුතු උනන්දුවක් පෙන්නුම් කලහ. 

Loading