රසායනාගාර නිල දත්තයන්ට අනුව ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100, 000 ඉක්මවයි

2021 අප්‍රේල් 03 දින වන විට ලංකාවේ කොවිඩ් ආසාදිතයින් ප්‍රමානය ලක්ෂයේ සීමාව ඉක්මවා තිබූ බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය එදින නිකුත් කල නිවේදනයක සඳහන් වෙයි. රසායනාගාර සේවාවේ නිල දත්තයන්ට අනුව එදින වන විට ලංකාවේ කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 103,640ක් වූ බව එම නිවේදනය කියා සිටී. කෙසේ නමුත්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල සංඛ්‍යා ලේඛන වලට අනුව, අද දින මධ්‍යහ්නය වනවිට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 96.439 කි. මරන සංඛ්‍යාව 617ක් වෙයි.

සංඛ්‍යා අතර පවත්නා මෙම පරස්පරය ගැන එම නිවේදනය මෙසේ පවසයි: “..... මෙකී නිල දත්ත පරස්පරය මගින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් වසංගතයේ සංඛ්‍යාත්මක දත්ත පිලිබඳව පටලැවිල්ලක සිටින බවය. ඒ හේතුව නිසාම ඒ මත පදනම්ව සිදු කරන ප්‍රකාශ විද්‍යාත්මක නොවන, හුදු ප්‍රකාශ පමනක් බවට පත් විය හැකි බැවින්, ප්‍රකාශ නිකුත් කිරීමේදී සැලකිලිමත් වන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටිමු.”

මහධනපතියන්ගේ ලාභ ඉපැයීම් ක්‍රියාවලිය අඛන්ඩව ගෙනයනුවස් ආර්ථිකය විවෘතව තබා ගැනීමේ අරමුනෙන්, රට තුල කොවිඩ්-19 “පාලනය” කර ඇතිබව මවාපෑමට රාජපක්ෂ ආන්ඩුව ආරම්භයේ සිටම ක්‍රියා කලේය. ඒ සඳහා අනුගමනය කල ප්‍රධානතම ක්‍රමවේදය ආසාදිතයන් හඳුනා ගැනීමේ පීසීආර් පරීක්ෂන ඉතා අවම මට්ටමක පවත්වා ගැනීමයි. සැබෑ දත්ත සහ සංඛ්‍යා වසන් කිරීම තවත් ක්‍රමවේදයකි. රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ නිවේදනයෙන් එලිමහනට පැමින ඇත්තේ ආන්ඩුවේ එම බොරුවයි.

වසංගතයේ “පාලනය“ පිලිබඳ ආන්ඩුවේ ව්‍යාජය නඩත්තු කිරීම සඳහා දෛනිකව සිදු කරන පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව කෙතරම් අඩුකර ඇත්ද යත් සති ගනනාවක සිට දෛනිකව සිදු කෙරෙන පරීක්ෂන සංඛ්‍යාව 5,000 කට ආසන්න අගයකට පහල දමා ඇත. සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ සංඛ්‍යා දත්තවලට අනුව, අප්‍රේල් 14, 15 සහ 16 දා සිදු කර ඇති පරීක්ෂන සංඛ්‍යාව පිලිවෙලින් 5065, 4024 සහ 4107 කි. මෙහි ප්‍රතිඵලය ලෙස දෛනිකව හඳුනා ගැනෙන රෝගීන් සංඛ්‍යාවේ සාමාන්‍යය 200 වැනි පහත් අගයක් ලෙස මවාපෑමට ආන්ඩුවට හැකියාව ලැබී ඇත.  

ඉන්දියා හා බංග්ලාදේශය වැනි අසල්වැසි රටවල ආසාදිතයන් විශාල ලෙස වාර්තා ‌වෙද්දි ලංකාවේ දිනකට රෝගීන් 200 ක් වාර්තා වීම විශාල ජයග්‍රහනයක් බවට, කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මේ මස 12 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පම්පෝරි ගැසුවේ මෙම ව්‍යාජය මත පදනම් වෙමිනි.

අසල්වැසි ඉන්දියාව, මෙලෙස පම්පෝරි ගැසූ ප්‍රධානතම රටකි. අගමැති නරේන්ද්‍ර මෝදි දිගින් දිගටම කියා සිටියේ,“ලොව විශාලතම එන්නත්කරනය ක්‍රියාත්මක කරන” තම තන්ත්‍රය අනුගමනය කල “සාර්ථක” ක්‍රමවේදයන් නිසා වසංගතය පාලනය කිරීමට හැකිවූ බවයි. මෙම පම්පෝරි වලට විපරීතව, පසුගිය සතිය වන තෙක් ඉන්දියාවේ එන්නත් මාත්‍රා දෙකක්ම ලබා ගෙන ඇත්තේ ජනගහනයෙන් සියයට 0.8 ක් පමනි. 

ගෙවීගිය සතිදෙක තුල ඉන්දියාව තුල සිදුවූ වර්ධනයන් මෝදිගේ ප්‍රලාපයන් කීතුකර දමයි. ඉන්දියාවේ මහාරාෂ්ඨ ඇතුලු ප්‍රාන්ත ගනනාවකම, බ්‍රිතාන්‍යයෙන් සහ දකුනු අප්‍රිකාවෙන් සොයා ගැනුනු සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත වෛරස ප්‍රභේද මගින් මේ වන විට දෛනික ආසාදිත සංඛ්‍යාව 200,000 ක් ද මරන සංඛ්‍යාව 1,000 ක් ද ඉක්මවා තිබේ. පසුගිය සතිය තුල, ඉන්දියාව රෝගීන් සංඛ්‍යාව අතින් බ්‍රසීලය අභිබවා ලොව දෙවන ස්ථානයට පත් වූ අතර වෛද්‍ය විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ එය නුදුරේ දීම ඇමරිකා එක්සත් ජනපදයත් ඉක්මවා පලමු තැනට පත් වනු ඇති බවටයි. 

රෝහල් ඇඳන් පිරී ඉතිරි ගොස්, දැවැන්ත ලෙස කප්පාදුවට ලක් කර තිබෙන ඉන්දියාවේ සෞඛ්‍යය  සේවාවම බිඳ වැටීමේ තර්ජනය මතු කර ඇත. තත්වය එසේ තිබියදීත් මෝදි ආන්ඩුව මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීමට අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා විවෘතව තබා තිබේ.  

දේශසීමා නොතකන මෙම ගෝලීය වසංගතය, ලංකාව තුල ද ක්ෂනිකව පුපුරායාමේ තර්ජනය සෑම අතින්ම වර්ධනය වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා පාලකයන් අනුගමනය කරන, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල්, කවර හෝ සීමාවකින් තොරව විවෘතකොට පවත්වාගෙන යාමේ “නව සාමාන්‍යය” හෙවත් “වෛරසය සමග ජීවත්වීමේ” සාපාරාධී පිලිවෙත සම්බන්ධයෙන්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ රවි රන්නන්-එලිය අප්‍රේල් 17 දා නිකුත් කල ට්විටර් පනිවිඩයක මෙසේ සඳහන් වෙයි:

“මම පුදුම නොවෙමි. ඉන්දියාව, බ්‍රසීලය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, දකුනු අප්‍රිකාව වැනි වෛරස පාලනය කල නොහැකි ලෙස පැතිරීමට ඉඩ දී ඇති බොහෝ ස්ථාන වඩාත් බෝවන ප්‍රභේද බිහි කර ඇත. මෙය 'වෛරසය සමඟ ජීවත් වීමේ' මිලයි. වඩාත් නිවැරදි යෙදුම 'වෛරසය සමඟ මිය යාම' විය හැකිය.”

මෙවන් ව්‍යසනකාරී පසුබිමක ලංකාවේ ආන්ඩුව ද “වෛරස පාලනය කල නොහැකි ලෙස පැතිරීමට” සෑම අතින්ම  ඉඩ දී ඇත. අවම වශයෙන් ලංකාවට සුවිශේෂිත අප්‍රේල් උත්සව සමයේදී හෝ කිසිම සංචරන සීමාවක් පැනවීම ආන්ඩුව සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කලේය. 

මහජනතාව උත්සව සමයේ කඩ සාප්පු, ගම්බිම් සහ විනෝද චාරිකා යෑමෙන් උද්ගත විය හැකි ව්‍යසනකාරී තත්වය ගැන හොඳින් දන්නා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, එහි වගකීම මහජනතාව මත මුලුමනින්ම පටවමින් මෙසේ පැවසීය: “ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කලහොත් ලබන මැයි මාසයේ දී නරක ප්‍රතිඵල භුක්ති විදීමට සිදු වනු ඇත.” 

සංචරන සීමා නොපැනවීම යුක්ති සහගත කිරීම සඳහා ශවේන්ද්‍ර සිල්වා කඩතුරාව ලෙස යොදා ගත්තේ පෙර අගුලු දැමීම් මගින් ජනයා “විරැකියාවට පත්වීම හා විවිධාකාර ආර්ථික දුෂ්කරතාවලට මුහුන දීම” යි. 

රාජපක්ෂ ආන්ඩුව අනුයන්නේ “වසංගතයට යොදන පිලියම් වසංගතයට වඩා දරුනු විය නො යුතු යි” යන සංකල්පය මත ඇමරිකාවේ පාලනාධිකාරය සිට ඉන්දියාවේ මෝදි ආන්ඩුව දක්වා ගෙන යන මිනීමරු පිලිවෙතයි. සිල්වා ඇතුලු ආන්ඩුවේ උත්සුකය කම්කරුවන් විරැකියාවට හා ආර්ථික දුෂ්කරතාවලට පත්වීම සම්බන්ධව නොව, වසංගතය මගින් උග්‍ර කෙරෙන ආන්ඩුවේ ආර්ථික අර්බූදය හා පැන නංවා ඇති ජාත්‍යන්තර වෙලඳ තරගය තුල ආයෝජන ආකර්ෂනය කර ගැනීම හා මහ ධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කර දීම පිලිබඳවයි.

කටුනායක ඇතුලු රටපුරා අපනයන සැකසුම් මධ්‍යස්ථානවල අඛන්ඩව රෝගීන් වාර්තා වෙමින් තිබූ අතර උත්සව නිවාඩුවට එම කම්කරුවන්ගෙන් බහුතරයක් සිය ගම්බිම් බලා පිටත්ව ගියේ සිය වැඩබිම්වල හා නේවාසිකාගාර තුල දී පීසිආර් පරීක්ෂනවලට භාජනය නො කෙරුනු තත්වයක් යටතේ ය. මාර්තු 16 දා ලංකාදීප වාර්තාවකට අනුව 'මේ දක්වා කටුනායක නිදහස් වෙලෙඳ කලාපය තුල පිහිටි කර්මාන්තශාලා 51 ක සේවය කරන 1,142 දෙනකු  කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ. 

කොලඹින් බැහැර වන අය සඳහා අහඹු ඇන්ටිජන් පරීක්ෂන සිදු කරන බවත්, මහජනයා එම පරීක්ෂන මග හැරිමේ අවදානමක් පවතින නිසා එවැනි පරීක්ෂන සිදු කරන ස්ථාන පිලිබඳව පෙර තියා දැනුම් නො දෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුනවර්ධන උත්සව සමයට පෙර ප්‍රකාශ කර තිබුනි. නමුත් සිදු කරන ලද එවැනි කිසිදු අහඹු පරීක්ෂනයක් පිලිබඳව මාධ්‍ය වාර්තා පල වන්නේ නැත.  

පාසල් විවෘතකර තැබීම වසංගතය පැතිරීමේ ප්‍රධානතම හේතුවක් බව ජාතික සහ ජාත්‍යන්තර විශේෂඥයන් යලියලිත් පෙන්වා දෙන තතු තුල, දෙවන පාසල් වාරය අද ආරම්භ කෙරුනි. පසුගිය වාරයේ අවසන් සතියේ පමනක්, කොලඹ ආනන්ද විද්‍යාලයෙන්, මොරටුව කලාපයේ පාසලකින් සහ හලාවත අධ්‍යාපන කලාපයේ මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලයෙන් ආසාදිත සිසුන් සහ ගුරුවරුන් සොයා ගැනුනු අතර සිය ගනනක් නිරෝධායනයට ලක් කෙරුනි. 

ජාතිකවාදය, සමාගම්වල ලාභ ඉලක්කයන් හා භූ-දේශපාලන ආතතීන් හේතුවෙන් ලොවපුරා එන්නත්කරනය අඩාල කෙරී ඇත. එහි ප්‍රතිඵලය වන්නේ දිනෙන් දින වෛරසය ශක්තිමත් වී මරන සංඛ්‍යාව ඉහල යෑම යි. කොවිශීල්ඩ් හෙවත් ඉන්දියාවේ සෙරම් ඉන්ස්ටියුට් ඔෆ් ඉන්ඩියා ආයතනය නිෂ්පාදනය කල ඇස්ට්‍රා සෙනකා එන්නතේ මීලග තොගය නැවත ලැබෙන තුරු ලංකාවේ මෙතෙක් සිදු කල එන්නත්කරනය ද මේ වන විට නවතා දමා ඇත. ඉන්දියාව මෙම එන්නත අපනයනය කිරීම නවතා දමා ඇත්තේ එරට දෛනිකව ආසාදනය වන ආසාදිතයන්ගේ දැවැන්ත ඉහල යෑම හේතුවෙනි. 

ලංකාව පසුගිය ජනවාරි මස 29 දා සිට ආරම්භ කල පලමු එන්නත් තොගයෙන් මාස දෙකක කාලයක් තුල එන්නත්කරනයට ලක් කොට ඇත්තේ 900,000 ක පිරිසක් පමනි. ඒ පිරිසට ලබා දිය යුතු දෙවන මාත්‍රාව සඳහා පලමු එන්නත් මාත්‍රා 600,000 ක් අවශ්‍ය වුවත් ඉතිරිව ඇත්තේ ඉන් හරි අඩක් පමනි. ඒ තත්වය තුල අප්‍රේල් 19 දා සිට දෙවන මාත්‍රාව ලබා දීම ආරම්භ වන්නේ ඇස්ට්‍රා සෙනකා එන්නතේ විශාල හිගයක් පවත්නා සහ එම එන්නත් තොග බලාපොරොත්තු වන දිනයන් හි ස්ථීරවම ලැබේ ද යන්න අවිනිශ්චිත වූ තත්වයකයි.

සෑම අතින්ම පැහැදිලි වන්නේ වසංගත පාලනය හුදු වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් නොවන බවයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසංගතය ආරම්භයේ සිටම පෙන්වාදුන් පරිදි එය ජයගත හැක්කේ, ධනපති ලාභ පද්ධතියට එරෙහි ලෝක කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් හරහා පමනි. 

Loading