ජලසම්පාදන වෘත්තිය සමිති වැඩි වැටුප් ඇතුලු කම්කරු ඉල්ලීම් පාවා දෙයි

ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ කම්කරුවන්ට 2021 ජනවාරි මාසයේ ලබාදීමට නියමිතව තිබූ සියයට 30 ක ත්‍රෛවාර්ෂික වැටුප් වැඩිවීම අප්‍රේල් මාසය ගත වෙද්දීත් ලබා දී නොමැත. එයට එරෙහිව කම්කරුවන් අතර වැඩුනු බලගතු විරෝධය හමුවේ, පාලකයන් විසින් අප්‍රේල් මාසය සඳහා මූලික වැටුපෙන් සියයට 25ක දීමනාවක් ලබා දී ඇත්තේ, වැටුප් වැඩි කිරීම සඳහා මෙතෙක්  කැබිනට් අනුමැතිය ලැබී නොමැති බව බව ප්‍රකාශ කරමිනි.

ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ කම්කරුවන් පැවැත්වූ වැටුප් උද්ඝෝෂනය -2021 මාර්තු 23

තමන්ට නියමිත වැටුප් වැඩිවීම ජනවාරි සහ පෙබරවාරි මාස වල නොලැබීම පිලිබඳව කම්කරුවන් අතර කැකෑරුනු නොසන්සුන්තාවය හමුවේ, මාර්තු 23 වෙනි දා, ජලසම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය කෑම පැයේ රැස්වීමක් සහ පිකට් කිරීමක් සංවිධානය කලේය.

රත්මලාන ප්‍රධාන කාර්යාලය, තෙලවල පුහුනු මධ්‍යස්ථානය, රත්මලාන යන්ත්‍රාගාරය සහ බස්නාහිර දකුන ප්‍රාදේශීය සේවා කාර්යාලය වැනි ස්ථාන කිහිපයකට සීමා කෙරුනු මෙම උද්ඝෝෂනයට සේවකයෝ පන්සියයක් පමන සහභාගී වූහ.

එම උද්ඝෝෂනයේ ප්‍රධාන ඉල්ලීම් වූයේ මූලික වැටුප සියයට 30 කින් ඉහල දැමීම, 2018 සිදුකර ඇති වැටුප් විෂමතා ඉවත් කිරීම සහ දායක විශ්‍රාම වැටුපක් ලබා ගැනීමයි.

ජල සම්පාදන මන්ඩලයේ  වෘත්තීය සමිති හතලිස්තුනක් අතරින් වෘත්තීය සමිති හතලිහක් මෙම උද්ඝෝෂනය සංවිධානය කල ඒකාබද්ධ සන්ධානයට ඇතුලත් වේ. ඉංජිනේරු සංගමය, ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් සංගමය, ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් ජල සම්පාදන සේවා සංගමය සහ ගනකාධිකාරිවරුන්ගේ සංගමය  සන්ධානයේ ප්‍රධාන වෘත්තිය සමිති වේ.

උද්ඝෝෂනයට හොරිකඩ කම් කල රාජපක්ෂ ආන්ඩු ගැති සමාජවාදී ලංකා කම්කරු සමිතිය, පොදුජන පෙරමුනු සේවක සංගමය සහ ජලසම්පාදන කම්කරු සේවක සංගමය උද්ඝෝෂනයෙන් වැලකී  සිටියහ. 

කෙසේ වෙතත්, ඒකාබද්ධ සන්ධානය ද, ජල සම්පාදන කම්කරුවන්ට හිමි සියයට 30 ක වැටුප් වැඩිවීම සඳහා වන සටන පාවා දෙමින්, ඉහත සියයට 25 ක දීමනාව මූලික වැටුපට එකතු කිරීමේ ඉල්ලීමක් දැන් පෙරට දමා ඇත. කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අතිවිශාල කම්කරුවන් පිරිසක් ස්ථිර කිරීම ඇතුලු අනෙකුත් සියලු ඉල්ලීම් අතහැර දමා වැටුප් ඉල්ලීම ද කප්පාදු කොට ඇති මෙම සන්ධානය, තම පාවාදීම වසන් කරනුවස් ව්‍යාජ සටන්කාමිත්වයක් පෙන්වමින්, සියයට 25 ක වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම ඉටු නොකලහොත්  දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් අරඹන බවට පාරම්බාති. 

සන්ධානයට අයත්, ජල සම්පාදන සේවා සංගමයේ නායකයෙකු වන උපාලි රත්නායක ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ විෂයභාර ඇමති නානායක්කාර තම සන්ධානයට සාකච්ඡා පවා ලබා නොදෙන බවයි. මෙසේ වැලපුනු රත්නායක අවසානයේදී කියා සිටියේ, 'සාමාජිකත්වයද කැමති' නිසා සියයට 25 ක වැටුප් වැඩි වීමට එකඟ වීම හැර වෙනත් විකල්පයක් නැති බවයි. කෙසේ නමුත්, ඇමති නානායක්කාර ඇතුලු ආන්ඩුව පාර්ශ්වයෙන් එවන් වැඩි කිරීමක් ගැන මෙතෙක් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කොට නොමැත.  

මීට වසර තුනකට පෙර 2018 වැටුප් වැඩි වීමේදී ද වෘත්තීය සමිති මෙවැනිම පාවාදීමක් කරමින් සියයට 30 වැඩිවීම සියයට 23 දක්වා කප්පාදු කිරීමට එකඟ විය. 

සමිතිවල මෙම පාවාදීමට එරෙහිව කම්කරුවෝ කීපදෙනෙක්ම ලෝසවෙඅ ට කතා කලහ.  එහි ව්‍යාපෘතියක සේවය කරන ඉංජිනේරුවෙකු පැවසුවේ තමා මෙන් තරුන ඉංජිනේරුවන් පනස් දෙනකු පමන කොන්ත්‍රාත් පදනම සේවයේ යොදවා ඇති බවයි. ඔවුන් ස්ථිර කිරීමේ ඉල්ලීම අත්හැර දැමීම සම්බන්ධයෙන් ඔහු සියලු සමිති වලට තම විරුද්ධත්වය පල කලේය..

ජල සම්පාදන ව්‍යාපෘති සැලසුම්කරනය සඳහා කොන්ත්‍රාත්තු ලබා ඇති පුද්ගලික ආයතනවල සේවයේ නියුතු සේවිකාවක් පැවසුවේ තමන් වෘත්තීය සමිති වලටවත් සම්බන්ධ කරගෙන නොමැති බව සහ වැටුප් වැඩි කිරීම්, ප්‍රසාද දීමනා හෝ අතිකාල තමන්ට නොලැබෙන බවයි.

නව ජල සම්බන්ධතා සැපයීම සිදුකරන උදාන ඉන්ජිනියරින් සමාගමේ කොන්ත්‍රාත් සේවකයකු  පැවසුවේ තමාගේ මූලික වැටුප  රුපියල් 23,000 ක් බවයි. ඔහුට රුපියල් 40,000ක පමන වැටුපක් ලබාගැනීමට උදේ අටේ සිට රාත්‍රී 8 පමන වෙනතුරු වැඩ කිරීමට සිදු වී තිබේ.

ජල සම්පාදන මන්ඩලය නව ජල සම්බන්ධතා සැපයීමේ සිට නව ව්‍යාපෘති සැලසුම්කරනය දක්වා පුලුල් පරාසයක කොන්ත්‍රාත් පදනමේ සේවකයන් යොදා ගනිමින් සිටින්නේ රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ කොටසක් ලෙසිනි. එම කම්කරුවෝ ඉහලම සූරා කෑමකට ලක්වෙති.

ජීවන වියදම සහ රැකියාවන්හි අනාරක්ෂිතභාවය ඉහලයාම කොවිඩ් වසංගතය ම ද තීව්‍ර කරනලද ලෝක ධනේශ්වර ආර්ථික අර්බුදය හමුවේ ලොව පුරා කම්කරුවන් මුහුනදෙන  තත්වයකි. තම ජාත්‍යන්තර සගයන් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව අනුයන පිලිවෙත වන්නේ එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමයි. රාජ්‍ය වියදම් කප්පාදුව එහි මූලිකම අංගයකි. 

එම තතු තුල ජල සම්පාදන කම්කරුවන්ගේ වැඩිවැටුප් ඉල්ලීම් ආන්ඩුවේ පිලිවෙත සමග සෘජුව ගැටේ. එය සමිතිවල විරෝධතා උද්ඝෝෂන වලින් ආපසු හැරවිය හැක්කක් නොවේ. වැඩිවැටුප් ඇතුලු දැවෙන ඉල්ලීම් දිනාගැනීම සඳහා, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහිව, සමස්ත කම්කරු පන්තිය ඒකාබද්ධ කරගත් ස්වාධීන දේශපාලන අරගලයක් අත්‍යවශ්‍ය වෙයි.

වරාය කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ, ගුරුවරුන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ අරගල ඇතුලු ලංකාවේ සහ අනෙකුත් රටවල සියලු කම්කරු අරගලයන්හි අත්දැකීම වන්නේ වෘත්තීය සමිති එවන් අරගලයකට පරම ලෙසින්ම සතුරු බවයි. එපමනක් නොව, ඒවා ධනපති ප්‍රහාරයන් කම්කරුවන්ගේ හිස මත පතිත කිරීම සඳහා පාලකයන් සමග එක්ව වැඩ කරන උපකරනයන් ය. 

ජල සම්පාදන කම්කරුවන් ඇතුලු සියලු කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී, නව සංවිධාන රූපයන් ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සටන තම අතට ගත යුතු වන්නේ එබැවිනි.

Loading