ආන්ඩුව ව්‍යාජ චෝදනා මත අත් අඩංගුවට ගත් මාධ්‍යවේදියා දින නවයකට පසු ඇපමත නිදහස් කරයි

අප්‍රේල් 07 වනදා කොලඹ දී අත් අඩංගුවට ගත් මාලික අබේකෝන් නමැති මාධ්‍යවේදියා සතියකට වැඩි කාලයක් මරදාන පොලීසියේ රඳවා ගැනීමෙන් පසු පසුගිය 16 වනදා ඇපමත නිදහස් කෙරිනි. ව්‍යාජ චෝදනාමත කරන ලද මෙම අත් අඩංගුවට ගැනීම මගින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව විසින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත එල්ල කරමින් පවත්නා ප්‍රහාරය වඩාත් ඉහල මට්ටමකට නංවා ඇතිබව යලි පෙන්නුම් කරයි. 

මාධ්‍යවේදි මාලික අබේකෝන් - (ෆේස්බුක්)

 අබේකෝන් අත්අඩංගුවට ගනු ලැබුවේ සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධතාවයක් ආවරනය කරමින් සිටියදී ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය සහ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ආදී සංවිධාන විසින් පවත්වන විරෝධතාවන් ඡායාරූප ගතකොට ඒවා එම සංවිධානයන්හි ප්‍රචාරන කටයුතු සඳහා ලබාදෙනබව ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේය. 

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කර තිබුනු එම විරෝධතාවයේදී ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ, එහි කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද භික්ෂුව අත් අඩංගුවට ගැනීමට පොලීසිය ගත් උත්සාහය රූගත කරමින් සිටියදීය. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට හේතුව සඳහන් නොකලද පසුව ඔහුට චෝදනා ගොනු කර තිබුනේ “පොලිස් රාජකාරියට බාධා කිරීම” මතය. මෙම චෝදනා පොලීසිය විසින් ආන්ඩුවේ විරුද්ධවාදීන් මැඩීම සඳහා දිගු කාලයක් තිස්සේ යොදාගනිමින් සිටින ඒවාය.

අබේකෝන් අත් අඩංගුවට ගැනීම සහ ඉන් පසුව සිදුවූ ක්‍රියා දාමය මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීය. නීතිඥයන්ට පවා ඔහු හමුවීමේ අවස්ථාව ලබා නොදීමට පොලීසිය කටයුතු කර ඇත. අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මරදාන පොලීසිය විසින් ඔහුට කිහිපවතාවක්ම පහර දී තිබුනි. 

අබේකෝන් ලෝසවෙඅ ට කියා සිටියේ,  ජීප් රියෙන් ගෙනයන අතරතුර සහ මරදාන පොලීසිය තුලදී “පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් එකතුව පරුෂ වචනයෙන් බැන වදිමින් දරුනු ආකාරයෙන් ඔහුගේ හිසට සහ පපුවට පහර දුන්” බවයි. ඔහු  වැඩි දුරටත් සඳහන් කලේ එම පහරවල් හේතුවෙන් මෙතෙකුදු ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව සහ ආධාරකයකින් තොරව සිට ගැනීමට අපහසු බවයි.

මෙම පහරදීම් හේතුවෙන්, අබේකෝන් ගේ නීතීඥයන් අධිකරනයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා තිබිනි. කෙසේ වෙතත් පොලීසියේ පහරදීම් වසන් කරමින් අප්‍රේල් 8 වනදා අධිකරනයට ඉදිරිපත් කර තිබුනේ කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව පැවසෙන ව්‍යාජ වෛද්‍ය වාර්තාවකි. මේ හේතුවෙන් අබේකෝන්ට එම පොලිස් පහර දීමෙන් ඇතිවූ කැලැල් උසාවිය හමුවේ පෙන්වීමට සිදුවිය. පොලීසිය සිදු කල පහර දීම් හේතුවෙන් අධිකරනය තුලදී පවා මාධ්‍යවේදියාට සිහි නැතිවී ඇත. එබැවින්, පොලිස් අත්අඩංගුවෙන් ඉවත්කොට, ඔහු රිමාන්ඩ් භාරයේ රඳවා තබන ලෙස අධිකරනය නියෝග කලේය.

මාධ්‍යවේදියාට එල්ල කර ඇති මෙම නරුම ප්‍රහාරය කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි. ආන්ඩුව මෙම රුදුරු පියවර මගින් පෙන්වා ඇත්තේ, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පැමිනෙන කම්කරුවන් හා එහි සංවිධායකයන් මර්දනයට ලක් කෙරෙන අවස්ථාවන් වාර්තා කරන ඕනෑම අයෙකුට හිමිවන ප්‍රතිචාරය කුමක්ද යන්න යි. 

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය, මහජනතාව සහ මාධ්‍ය සංවිධාන අතර විශාල විරෝධයක් ජනිත කලේය. මාධ්‍යයවේදියා අත් අඩංගුවට ගැනීමෙන් පසු දිනම මරදාන පොලිසිය ඉදිරිපිට ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයක් පැවැත්විනි. “නිදහස් මාධ්‍ය ව්‍යාපාරය”, “දේශසීමා රහිත මාධ්‍යවේදියෝ” ආදී සංවිධාන මගින්ද මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය හෙලා දකිමින් මාධ්‍යවේදියා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ. 

තමාට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් අබේකෝන් මෙසේ පැවසීය: “ධනපති ක්‍රමය සුලු හෝ ආකාරයකින් විවේචනය කරන ඕනෑම අයෙක් මර්දනය කරන්න ඔවුන් සූදානම්. මේක කම්කරු පන්තියට එල්ල කෙරෙන සමස්ත ප්‍රහාරයේ කොටසක් බව මම පිලිගන්නවා.” 

අප්‍රේල් 7 වනදා මෙම මාධ්‍යවේදියා අත් අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොවේ. යාපනය ප්‍රදේශය පාදක කරගත් “ටියුබ් ටැමිල්” නම් යූ ටියුබ් චැනලයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු “එල්ටීටීඊය උත්කර්ශයට නැංවීම” යන චෝදනාව මත මාර්තු 29 වනදා අත් අඩංගුවට ගෙන ඇත. පී සුලක්ශන් නම් උතුරු පලාතේ තවත් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර ඇත්තේ, එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් තම මාධ්‍යයෙහි පල කල බවට චෝදනා කරමිනි. 

මෙලෙස, ආන්ඩුව තමන්ට පක්ෂපාතී මැර කල්ලි භාවිත කරමින් සහ ගොතන ලද චෝදනා යොදාගනිමින් මාධ්‍යවේදීන් ත්‍රස්ත කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටී.

මෙම ප්‍රහාරයන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එල්ල කර ඇති පලල් ප්‍රහාරයක කොටසකි. පසුගිය වසරේදී සෞඛ්‍ය කම්කරුවන්ට මාධ්‍ය වෙත අදහස්  පල කිරීමට නොහැකි වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කලේය. රාජපක්ෂ ආන්ඩුව මහජනතාව මර්දනය කිරීමේ අරමුනින් මිලිටරීකරනය තීව්‍ර කරමින් සිටින අතර, විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනිමින් ජනාධිපති ආඥාදායකත්වයක් නිර්මානය කරමින් සිටී.

සීමිත ආකාරයකින් හෝ තමාව විවේචනය කරන මාධ්‍යවේදීන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු කුප්‍රකටය. 2005-15 මහින්ද රාජපක්ෂ ආන්ඩුව සමයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, සිරස ආයතනයට පහර දීම ඇතුලු සිදුවීම් ගනනාවක්ම වාර්තා විය. 

මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල ප්‍රහාරයන්ට එරෙහිව වැඩුනු සමාජ විරෝධය ගසා කමින් බලයට පත්වූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රතිචාරයද ඊට නොදෙවනිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවේචනය කෙරෙන වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් ටීඑන්එල් විකාශනාගාරයට මුද්‍රා තැබිනි. සමාජ මාධ්‍ය පවා ඉතා රුදුරු ආකාරයෙන් වාරනය කෙරිනි.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රයට එරෙහිව වැඩුනු මහජන විරෝධය ගසා කනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ, “ජාතික ආරක්ෂාව තහවුරුකොට” මහජනතාවට “සෞභාග්‍යය” උදා කරන බවට සපථ වී 2019 දී බලයට පත් විය. කොරෝනා වසංගතයත් සමග ධනපති ක්‍රමයේ ගැඹුරු වන අර්බුදයේ බර මහජනතාව මත පැටවීමේදී එයට එරෙහිව මතුවන පන්ති අරගල මැඩීමේ කොටසක් ලෙස, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වලට එල්ල කෙරුනු ප්‍රහාරය ජනාධිපති රාජපක්ෂ වඩා ඉහලකට නැංවීය. එහි රුදුරුම පියවරක් ලෙස, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වාරනය කිරීමේ නව පනතක් සඳහා වන යෝජනාවක් රාජපක්ෂගේ කැබිනට් මන්ඩලය සඳුදා අනුමත කලේය.

රාජපක්ෂ බියවී ඇත්තේ ධනපති මාධ්‍ය වලින් එල්ල වන සීමිත විවේචන සහ නිදහස් මාධ්‍යවේදීන්ගේ වාර්තා මෙම පන්ති අරගල ගිනියම් කරනු ඇතැයි යන්න සම්බන්ධයෙනි. විරුද්ධ මාධ්‍යයන් “මාෆියාවන්” ලෙස හඳුන්වමින් ජනාධිපති රාජපක්ෂ පසුගිය මාසයේ ඒවාට මෙසේ තර්ජනය කලේය: “මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕන නම් උගන්වන විදිහත් මම දන්නවා” යනුවෙන් එලිපිටම සඳහන් කලේය. 

ආන්ඩුව දැන් ක්‍රියාවෙන්ම පෙන්වමින් සිටින්නේ මෙම “පාඩම්” ඉගැන්වීම යනුවෙන් සඳහන් කල රුදුරු මර්දනයයි. සමගි ජන බල වේගය, ජනතා විමුක්ති පෙරමුන සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු විරුද්ධ පක්ෂ මෙම ප්‍රහාරයන් ගැන විටින් විට කිඹුල් කඳුලු හෙලුවද ඔවුන් ආන්ඩුවේ ආඥාදායක ගමනට මුලුමනින්ම කරබදු වී සිටිති. 

වසංගතය මැඩීමට සහායදීමේ කඩතුරාව යටතේ ඔවුහු, ආන්ඩුවේ වටමේස සාකච්ඡාවලට බඩගාමින් රාජපක්ෂගේ ආඥාදායක ගමනට පූර්න සහයෝගය පල කලහ. ඔවුන් ගේ කනිපින්දම් පිටුපස පවතින්නේ වැඩෙන සමාජ විරෝධය ධනපති ක්‍රමයෙන් පිට පනිනු ඇතැයි යන කනස්සල්ලයි.

ගෝලීය ධනපති ක්‍රමයේ අර්බුදයෙන් ගලා එන මෙම ප්‍රහාරය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. මෙහි ඉහලම තුඩ වන්නේ, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුලු අධිරාජ්‍යවාදීන් ඒකාබද්ධව සිදුකල යුද අපරාධ හෙලි කල මාධ්‍යවේදියෙකු වන ජූලියන් අසාන්ජ් ට චෝදනා 175ක් යටතේ නඩු පවරමින් එල්ල කර ඇති ප්‍රහාරය යි.

Loading