ඉදිරිදර්ශන

ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද යුද්ධය: ඓතිහාසික අපරාධයක්

[පහත පලවන්නේ 2021 අප්‍රේල් 16 දින The US war in Afghanistan: A historic crime  යන මාතෘකාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පලකෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයකි.]

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බදාදා (14) නිවේදනය කලේ ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු මිලිටරි මැදිහත්වීම 2021 සැප්තැම්බර් 11 වන විට අවසන් කරන බවත්, ඇමරිකාව විසින් 2001 ඔක්තෝබර් 7 වන දින මධ්‍යම ආසියානු රට යටත් කර ගැනීමේ 20 වන සංවත්සරයට සති කිහිපයකට පෙර අවසන් ඇමරිකානු සෙබලා ද එම රට හැර යන බවත් ය.

බයිඩන්, ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් කරන බවට පොරොන්දු වූ තුන්වන ඇමරිකානු ජනාධිපතිවරයා ය. එහි සිටින 3,500 ට ආසන්න සංඛ්‍යාවක් අතරින් අන්තිම ඇමරිකානු සෙබලුන් ද රට හැර ගියත්, ජනාධිපති අෂ්රෆ් ඝානිගේ රූකඩ ආන්ඩුවට මුක්කු ගසන සීඅයිඒ ක්‍රියාකාරීන්, කුලී හේවායන් සහ පැරෂුට් භටයන් දහස් ගනනක් තවමත් ඉතිරිව සිටිනු ඇත. පෙන්ටගනය, එක්සත් ජනපදය විසින් “ත්‍රස්තවාදී” ඉලක්ක යැයි කියාගන්නා ඕනෑම තැනකට අභිමතය පරිදි බෝම්බ හෙලනු ඇත, මිසයිල විහිදුවනු ඇත. ඉරාකයේ මෙන් යුද හමුදා නැවත අලුතින් යොදවනු ඇත. එය සිදුවීමට ඉහල විභවයක් පවතී.

ජනාධිපති ජෝ බයිඩන් 2021 අප්‍රේල් 14 වන බදාදා ධවල මන්දිරයේ ඇති ගිවිසුම් කාමරය තුල, ඇෆ්ගනිස්ථානයෙන් ඉතිරි එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම ගැන කතා කරයි. (ඒපී ඡායාරූපය / ඇන්ඩෘෘ හාර්නික්, එකතුව)

නමුත් බිඩෙන්ගේ නිවේදනය එක්සත් ජනපද ඉතිහාසයේ දීර්ඝතම යුද්ධයේ ශේෂ පත්‍රයක් ඇඳගැනීමට අවස්ථාවක් සපයයි, එය ඇෆ්ගනිස්ථානයේ ජනතාවට ගනනය කල නොහැකි දුක් වේදනා ඇති කලේය, අතිවිශාල සම්පත් නාස්ති කලේය, ඇමරිකානු සමාජය කෲරත්වයට පත් කලේ ය.

නිල සංඛ්‍යාලේඛන අනුව, ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 100,000 කට වැඩි පිරිසක් යුද්ධයෙන් මිය ගොස් ඇත, මෙය අව තක්සේරුවක් බවට සැකයක් නැත. එක්සත් ජනපදය මෙම යුද්ධය දියත් කලේ “කැරලි විරෝධී”, එනම් භීෂන ක්‍රමෝපායන් හරහා ය: විවාහ මංගල්‍ය උත්සව වලට බෝම්බ දැමීම, ඩ්‍රෝන් ප්‍රහාර, පැහැරගෙන යාම් සහ වද හිංසා පැමිනවීම්. 2015 දී යුද්ධය තුල සිදුවූ අතිශයින්ම කෲර වූ එක් අපරාධයකදී, එක්සත් ජනපද ගුවන්යානයක් ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් හි දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ රෝහලකට (Doctors Without Borders hospital) පැය භාගයක දීර්ඝ ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයින් 42 දෙනෙකු මරා දැමීය.

මිලිටරි ඉවත්වීම නිවේදනය කරන බයිඩන්ගේ කෙටි ප්‍රකාශය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්‍රධාන වශයෙන් වගකිවයුතු රටේ පවතින දරුනු තත්වයන් ගැන කිසිදු සඳහනක් නැත.

එක්සත් ජනපදයේ සැබෑ අරමුනු හිතාමතාම වැරදි ලෙස නිරූපනය කිරීම මත පදනම් වූ යුද්ධය, 2001 සැප්තැම්බර් 11 සිදුවීම් වලට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකානු ජනතාව වෙතට ගෙනයනු ලැබූ අතර එය කිසි විටෙකත් බැරෑරුම් විමර්ශනයකට භාජනය නොවීය. එය යථාර්ථයේ දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අවශ්‍යතා පසුපස හඹා යාමේ දී ඓතිහාසිකව පීඩිත ජනතාවක ආධිපත්‍යය තුල යටත් කර ගැනීම අරමුනු කරගත් නීති විරෝධී ආක්‍රමනශීලී යුද්ධයකි.

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හමුදාව විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන්, එය දියත් කල බුෂ් පරිපාලනය හෝ එය පවත්වාගෙන ගිය ඔබාමා පරිපාලනය ඇතුලු කිසිවෙකු වග නොකියති. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් (මෑතකදී) රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ප්‍රශංසා ලබන්නේ ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා විවෘතව ගොරහැඩි හෝ ආඥාදායක නොවන බැවිනි.

බැරැක් ඔබාමා ජනමාධ්‍ය විසින් සලකනු ලබන්නේ කීර්තිමත් තැනැත්තෙකු ලෙස ය. එහෙත් ඔහු ධුරයේ සිටි සෑම දිනකම යුද්ධ කල එකම ඇමරිකානු ජනාධිපතිවරයා ය. ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ගේ සිට හිලරි ක්ලින්ටන් දක්වා ඉහල පෙලේ සහායකයින් කෝටි ගනන් විශ්‍රාම වැටුප් ලබති. ඔබාමාගේ උප ජනාධිපති දැන් ධවල මන්දිරය අරක්ගෙන සිටී. මෙම සාපරාධී යුද්ධයට එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටිකයින් ඇතුලු සෑම කොටසක්ම සහාය දුන් අතර, සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඒ සඳහා ඡන්දය දුන්නේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු අධිරාජ්‍යවාදී මැදිහත්වීමට විරුද්ධව අසමසම වාර්තාවක් තබා ඇති අතර එය 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සිදුවූ ආරම්භක ආක්‍රමනය දක්වා දිව යයි. එක්සත් ජනපද ආක්‍රමනය පිලිබඳ අපගේ පලමු ප්‍රකාශය 2001 ඔක්තෝබර් 9 දින ප්‍රකාශයට පත් කරන ලදී. ලෝසවෙඅ කර්තෘ මන්ඩලය පැහැදිලි කලේ “අපි ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට විරුද්ධ වන්නේ ඇයි” යනුවෙනි. අපි මෙසේ ලිවීමු:

මෙම හෝ ඕනෑම යුද්ධයක ස්වභාවය, එහි ප්‍රගතිශීලී හෝ ප්‍රතිගාමී ස්වභාවය තීරනය වන්නේ ඊට පෙර ඇති වූ ක්ෂනික සිදුවීම්වලින් නොව, පන්ති ව්‍යුහයන්, ආර්ථික පදනම් සහ ඊට සම්බන්ධ රාජ්‍යයන්ගේ ජාත්‍යන්තර භූමිකාවන් මගිනි. මෙම තීරනාත්මක දෘෂ්ටි කෝනයෙන් බලන කල එක්සත් ජනපදය විසින් ගෙනයනු ලබන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයකි.

ඇමරිකානු පාලක ප්‍රභූවේ දුරදිග යන ජාත්‍යන්තර අවශ්‍යතා සඳහා එක්සත් ජනපද ආන්ඩුව යුද්ධය ආරම්භ කලේය. යුද්ධයේ ප්‍රධාන අරමුන කුමක්ද? දශකයකට පෙර සෝවියට් සමූහාන්ඩුවේ බිඳවැටීම මධ්‍යම ආසියාවේ දේශපාලන රික්තයක් ඇති කල අතර එය ලෝකයේ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් සංචිත වල දෙවන විශාලතම නිධියයි.

ඇෆ්ගනිස්ථානය උපාය මාර්ගික ප්‍රවේශය සපයන කැස්පියන් මුහුදු කලාපය තුල තෙල් බැරල් බිලියන 270 ක් පමන ඇති අතර එය ලෝකයේ ප්‍රත්‍යක්ෂ සංචිතවලින් සියයට 20 ක් පමන වේ. පෘථිවියේ ගෑස් සංචිතයෙන් අටෙන් එකක් පමන වන ස්වාභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 665 ක් ද එහි අඩංගු වේ.

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු මැදිහත්වීම ආරම්භ වූයේ 2001 දී නොව 1979 ජූලි මාසයේදී කාටර් පරිපාලනය විසින් සෝවියට් පිටුබලය ලත් රජයට එරෙහිව සටන් කරන හමුදාවන්ට ආධාර කිරීමට තීරනය කිරීමත් සමඟ ය. එහි අරමුන, ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නියෙව් බ්‍රෙසින්ස්කි පැවසූ පරිදි “සෝවියට් සංගමයට එහි වියට්නාම් යුද්ධය ලබා දීම ය.” 1979 දෙසැම්බරයේ සෝවියට් ආක්‍රමනයෙන් පසුව, සීඅයිඒ, පාකිස්තානය සහ සෞදි අරාබිය සමඟ එක්ව ඉස්ලාමීය මූලධර්මවාදීන් ඇෆ්ගනිස්ථානයට ගොස් ගරිල්ලා යුද්ධයක යෙදීමට කටයුතු කලේය. මෙම මෙහෙයුම ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයට ගෙනැවිත් අල්කයිඩා සංවිධානය නිර්මානය කලේය.

තලේබාන් සංවිධානය පකිස්ථාන අවි ආයුධ හා පුහුනුව, සෞදි මුදල් සහ ඇමරිකානු දේශපාලන පිටුබලය යන අංශවල නිෂ්පාදිතයක් විය. මූලධර්මවාදී කන්ඩායම පාකිස්තානයේ සරනාගත කඳවුරුවලින් මතු වූයේ “ආගමික ෆැසිස්ට්වාදයක්” ලෙසින් වුවද, එය දශක ගනනාවක යුද්ධයේ හා පීඩනයේ අතුරු ඵලයකි. ක්ලින්ටන් පරිපාලනය 1995-96 දී එය අත්පත් කර ගත්තේ “ස්ථාවරත්වය” යථා තත්ත්වයට පත් කිරීමේ හොඳම අපේක්ෂාවෙන් යයි හුවාදැක්වීය.

1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්ථානය සමඟ එක්සත් ජනපද සබඳතා භ්‍රමනය වූයේ රුසියාව, ඉරානය සහ චීනය පසුකර යන මාර්ගයක කැස්පියන් ද්‍රෝනියෙන් තෙල් හා ගෑස් ගෙන ඒම සඳහා යෝජිත නල මාර්ග වටා ය. කලාපය තුල නිරන්තර එක්සත් ජනපද රාජදූතයා වූ සල්මේ කලීල්සාඩ් සහ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපදයේ පිටුබලය ලැබූ පලමු ජනාධිපති හමීඩ් කර්සායි යන දෙදෙනාම තෙල් දැවැන්තයා වූ යුනොකල් (Unocal) වෙනුවෙන් වැඩ කලහ.

බුෂ් පරිපාලනය 2001 දී තලේබාන්වරුන්ට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ග ගන්නා බවට කිහිපවිටක් ම තර්ජනය කලේය. 9/11 ත‍්‍රස්ත ප‍්‍රහාර “සියල්ල වෙනස් කල” සිදුවීම්වලට වඩා දිගුකාලීන සැලසුම් සහගත ප‍්‍රහාරයකි. අවශ්‍ය කඩතුරාව සපයාගැනීමට 9/11 ප්‍රහාරයට එක්සත් ජනපද බුද්ධි අංශ අවසර දී ඇති බවට සැලකිය යුතු සාක්ෂි තිබේ.

ඇෆ්ගනිස්ථානය වේගයෙන් යටත් කර ගැනීම සහ තලේබාන් තන්ත්‍රය බිඳ වැටීම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සාපරාධී රුදුරු බව හෙලි කල සිදුවීමක් ලෙස ලෝසවෙඅ විශ්ලේෂනය කරන ලදී. එක්සත් ජනපද බෝම්බ හෙලීම්වලින් දහස් ගනනක් මිය ගිය අතර තවත් දහස් ගනනක් එක්සත් ජනපදයේ පිටුබලය ලබන මිලීෂියා හමුදා විසින් ඝාතනය කෙරුනි. කාබුල්හි පිහිටුවන ලද තන්ත්‍රය, හිටපු තලේබාන් නිලධරයන් වන පෂ්තුන් ගෝත්‍ර (Pashtun tribe) ප්‍රධානී හමීඩ් කර්සායි සහ තජික්, උස්බෙක් සහ හසාරා සුලුතරයන් පදනම් කරගත් උතුරු සන්ධානය (Northern Alliance) වැනි අස්ථාවර සන්ධානයකි.

සියලු අසල්වැසි රාජ්‍යයන්හි, බුෂ් සහ ඔබාමා පරිපාලනය යටතේ විවිධ කාලවලදී භටයන් 100,000 ක් දක්වා වර්ධනය වූ දැවැන්ත ඇමරිකානු කාර්ය සාධක බලකායක් විසින් සිදුකල එක්සත් ජනපද ආක්‍රමනය, භූදේශපාලනය කෙරෙහි ඉරානය, රුසියාව, චීනය සහ පාකිස්තානයට නොඅඩු අස්ථාවර බලපෑමක් ඇති කලේය. එය ඔවුන්ගේ දේශසීමා හරහා සිදුකල නොනවතින තර්ජනයකි. සිරියාවේ, ලිබියාවේ සහ යේමන් හි සිවිල් යුද්ධ සහ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් මගින් දැන් විනාශ කරනු ලැබූ සමස්ත මැද පෙරදිගම පුලුල් ලෙස අස්ථාවර කිරීම සඳහා කොන්දේසි නිර්මානය කල 2003 ඉරාක ආක්‍රමනය තුලින් බුෂ් පරිපාලනය අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ ඊටත් වඩා ලේවැකි ක්‍රියාවක් සිදු කලේය.

බුෂ් සහ ඔබාමා පාලනාධිකාරිය වාර්තාගත මිලිටරි අයවැය සමඟ දේශීය පොලිස්-රාජ්‍ය ක්‍රියාමාර්ග, නිරීක්ෂන රාජ්‍යය ගොඩනැගීම සමග ආර්ථික කප්පාදුව ක්‍රියාත්මක කලේය - අයවැය කප්පාදුව, වැටුප් කප්පාදුව සහ වැඩ කරන ජනතාවගෙන් බහුතරයකගේ ජීවන තත්ත්වය නරක අතට හැරීම සිදුවිය.

1991 ගල්ෆ් යුද්ධයෙන් ඇරඹි ඇෆ්ගනිස්ථානයේ යුද්ධය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පුපුරා යාමේ කොටසක් බවද, තම ආර්ථික අවනතිය තුලනය කරගැන්මේ උත්සාහයක් ලෙස එක්සත් ජනපදය විසින් සිදුකරන ලද්දක් බවද ලෝසවෙඅ පැහැදිලි කලේය. ඩේවිඩ් නෝර්ත් 2016 දී යුද්ධයේ සියවසක කාර්තුවක් කෘතියේ පෙරවදනෙහි ලියා ඇති පරිදි: “එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධවල අවසාන සියවස් කාර්තුව අන්තර් සම්බන්ධිත සිදුවීම් දාමයක් ලෙස අධ්‍යයනය කල යුතුය. ගෝලීය ආධිපත්‍යය සඳහා වන එක්සත් ජනපද මෙහෙයුම්වල උපායමාර්ගික තර්කනය මැද පෙරදිග හා අප්‍රිකාවේ නව යටත් විජිත මෙහෙයුම් වලින් ඔබ්බට විහිදේ. දැනට පවත්නා කලාපීය යුද්ධ, එක්සත් ජනපදය රුසියාව හා චීනය සමඟ වේගයෙන් උත්සන්න වන ගැටුම්වල අංගයන් වේ.”

මෙම පුරෝකථනය තහවුරු වී ඇත. ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපද මිලිටරි හමුදා ඉවත් කර ගැනීමේ බයිඩන්ගේ සැලසුම් පිටුපස ඇති ප්‍රධාන කරුනක් නම්, රුසියාව හා සියල්ලටත් වඩා චීනය සමඟ ගැටුම් උත්සන්න කිරීම සඳහා එක්සත් ජනපද හමුදාවේ සම්පත් යොමු කිරීමයි. මෑත සතිවලදී, බයිඩන් නැගෙනහිර ආසියාවේ වඩ වඩාත් ප්‍රකෝපකාරී ක්‍රියා මාලාවක් අධීක්ෂනය කර ඇති අතර, එක්සත් ජනපද හමුදාව “මහා බල ගැටුමකට” සූදානම් වීමේ අවශ්‍යතාවය සිය නිල මූලධර්ම තුල සටහන් කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ දශක දෙකක ලේවැකි අපරාධ පිලිබඳ සැබෑ ගනනයක් සිදුකරමින්, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. ලෝසවෙඅ සහ ජාත්‍යන්තර කමිටුව විසින් උරදරා ඇති කාර්යය මෙයයි.

Loading