ලංකා බැංකු සේවක සංගමය ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු පිලිගෙන වර්ජනය අත්හිටුවයි

විශ්‍රාම වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මත අප්‍රේල් 22 වෙනිදා  කැඳවුම්කර තිබූ රාජ්‍ය අංශයේ බැංකු සේවකයන්ගේ එක් දින සංකේත වර්ජනය, ඉල්ලීම් වලට “විසඳුම්” ලබා දෙන බවට ආන්ඩුව දුන් පොරොන්දු මත, ලංකා බැංකු සේවක සංගමය (ලබැසේස) විසින් අත්හිටුවනු ලැබීය. 1996 න් පසු බඳවා ගත් සේවකයන් ගේ දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කරන ලෙසත්, නවක සේවකයන්ගේ කොන්ත්‍රාත්  කාලය දෙවසරකට සීමා කරන ලෙසත්, ලංකා බැංකුවට අනුබද්ධ ශ්‍රී  ලංකා මර්චන්ට් බැංකුවේ  පරිපාලන අකමිකතා නිවැරැදි කරන ලෙසත් බැංකු සේවකයෝ ඉල්ලා සිටිති.

මෙම ඉල්ලීම් සඳහා වන උද්ඝෝෂනයේ කොටසක් ලෙස මාර්තු 16,17 සහ 18 යන දිනවල දහවල් කෑම පැයේ රාජ්‍ය බැංකු ඉදිරිපිට පිකට් උද්ඝෝෂන පැවැත්වුනි. වර්ජනය, ලබැසේස යේ “පටු අරමුනු” සහ “දේශපාලන අරමුනු” වෙනුවෙන් කෙරෙන්නක් ලෙස චෝදනා කරමින් ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන ප්‍රගති  බැංකු සේවක සංගමය වර්ජනයට සහයෝගය නොදෙන බව ප්‍රකාශ කර තිබුනි. එමෙන් ම, වර්ජනය පැවතුනොත් බැංකු විවෘත කිරීම සඳහා තම සාමාජිකයන් මෙහයවමින් එය කඩාකප්පල්  කිරීමේ සහ බැංකු සේවකයන් අතර ගැටුමක් නිර්මානය කිරීමට ද එම සංගමය සූදානමින් සිටියේ ය. 

ලබැසේස ස්වාධීන වෘත්තීය සමිතියක් ලෙස පෙනීසිටීමට උත්සාහ කරන නමුත්, ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සහ වෙලඳ හා පොදු  කාර්මික කම්කරු සංගමය ඇතුලු සමිති සමග පෙල ගැසී, එය ප්‍රායෝගිකව යෙදී සිටින්නේ බැංකු සේවකයන්ගේ මෙන් ම අනෙකුත් කම්කරුවන්ගේ අරගලවලට ඇබ ගැසීමේ ව්‍යායාමයක ය.

20 වෙනිදා පැවති සාකච්චාවේ දී, ගැටලුවලට “පිලිගතහැකි විසඳුම්” ලබාදීමට අමාත්‍යංශ බලධාරීන් හා බැංකු කලමනාකාරිත්වයන් එකඟ වූ බැවින් වර්ජනය අත්හිට වූ බව ලබැසේස නිකුත් කල මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි.  

අමාත්‍යංශ බලධාරීන්ගෙන් හා බැංකු කලමනාකාරිත්වයන්ගෙන් ලැබුන මෙම පොරොන්දු බැංකු සේවකයන් ලැබූ “විජයග්‍රහනයක්” ලෙස ද ලබැසේස මුහුනු පොතේ සඳහන් කර ඇත. එහෙත් බැංකු සේවකයන්, මුදල් අමාත්‍යංශ හා රාජ්‍ය බැංකු බලධාරීන්ගේ පොරොන්දුවලින් නොමග නොයා යුතුය. මෙම ගැටලු සියල්ලම විසඳන බවට අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ 2020 ජූනි 26 දින පොරොන්දු වූ නමුත්, වසරකට ආසන්න කාලයක් ගත වී තිබිය ද ඒවා කිසිවක් ඉටුවී නොමැත. 

එපමනක් නොව, 2021 ජනවාරී මාසයට ලැබිය යුතුව තිබු ත්‍රෛවාර්ෂික වැටුප් වැඩිවීම ද මෙතෙක් ලැබී නැත. විශ්‍රාම වැටුප් සහ අනෙකුත් ගැටලු සම්බන්ධ උද්ඝෝෂනයට “ප්‍රමුඛත්වය දුන්” නිසා ඒ සම්බන්ධ සාකච්චා“තරමක් පසුපසට” දැමූ බවත් ලබන මාසයේ එම සාකච්චා ආරම්භ කරන බවත් සංගමයේ ලබැසේස ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය. 

සත්‍යය නම් ලබැසේස ඇතුලු වෘත්තීය සමිතිවල පිලිවෙත වන්නේ ධනපති ආන්ඩුවට සහන පිදීම සහ  කම්කරු  පන්තියේ අයිතීන් සඳහා අරගල සංවිධානය කිරීම හිතාමතාම පැහැර හැරීමයි. සාමාජිකයන්ගෙන් එන බරපතල පීඩනයක් මත යම් අරගලයක් සංවිධානය කෙරුන ද අවසාන වශයෙන් සිදු වන්නේ එය හුදෙකලා කොට පාවාදීමය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව විසින් 1996 දී නවක බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීමට පියවර ගත්තේ ලෝක බැංකුවේ උපදෙස් මත රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යූහගත කිරීමේ කොටසක් ලෙසය. එපමනක් නොව, තරඟ විභාගයක් මගින් බැංකු සේවකයන් බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කොට මිනිස් බල සමාගම් හරහා කොන්ත්‍රාත් පදනම මත සේවකයන් බඳවා ගැනීමේ ක්‍රමයක් ද අනතුරුව ක්‍රියාවට දැමුනි.

බැංකු සේවකයන්ගේ අඛන්ඩ විරෝධය හේතුවෙන්, 2014 දී, රාජපක්ෂ ආන්ඩුව නවක සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කල නමුත් එය පෙර පැවති විශ්‍රාම වැටුප් ක්‍රමය නොවේ. නව ක්‍රමය යටතේ සේවකයාගේ වැටුපෙන් සියයට 12 කට සමාන ප්‍රතිශතයක් බැංකුව මගින් වෙන්කරනු ලබන අතර විශ්‍රාම යාමේදී සේවා කාලය අනුව විශ්‍රාමිකයාට ලැබෙන අවමය අවසාන වැටුපෙන් සියයට 10 ක් සහ උපරිමය සියයට 74කි.  

මුදල් අමාත්‍යංශය හා බැංකු බලධාරීන් සමග 21 වෙනිදා පැවති සාකච්චාවේ දී නවකයන් සඳහා විශ්‍රාම වැටුපේ අවමය සියයට 40 ක් සහ උපරිමය සියයට 72 ක් ලෙස සංශෝධනය කිරීමට එකඟ වූ බවත් ඒ සඳහා “ලිඛිත පොරොන්දුවක්” ලැබුන බවත් ලබැසේස ලේකම් සේනානායක පැවසීය. එහි අවමය සහ උපරිමය පිලිවෙලින් සියයට 60 සහ 80  ලෙස සංශෝධනය කර ගැනීමට සංගමය “උත්සාහ” කරන බව ද ඔහු සඳහන් කලේ ය. 

එහෙත් එය රාජ්‍ය සේවකයන් අතීත අරගල මගින් දිනාගත් විශ්‍රාම වැටුප් ක්‍රමයේ කප්පාදුවකි. එම ක්‍රමයට අනුව සේවකයා විශ්‍රාම යන විට ලැබූ මූලික වැටුපෙන් සියයට 80-90 විශ්‍රාමිකයාට හිමිවේ.

මෙම ප්‍රහාරයන්ට එරෙහිව 20,000 ක් පමන වන රාජ්‍ය බැංකු සේවකයන් යලි යලිත් අරගල වලට පිවිසුන නමුත් සංගමයේ නායකත්වය විසින් එම අරගල නිස්සාර විරෝධතා වලට කොටු කිරීමෙන් හා ධනපති ආන්ඩුවල ව්‍යාජ පොරොන්දු වලට යටත් කිරීමෙන් පාවා දෙනු ලැබීය. 

අප්‍රේල් 22 වර්ජනය කැඳවීමට සංගමයේ නායකයන්ට බල කෙරුනේ ද දසක දෙකකට අධික කාලයක් තුල මෙම ගැටලු නොවිසඳී තිබීම කෙරෙහි බැංකු සේවකයන් අතර ගැඹුරට මුල්බැසගෙන ඇති කෝපය හා පුලුල්ව වැඩෙන නොසන්සුන්කම නිසාවෙනි. සංගමය විසින් එය එක්දින සංකේත වර්ජනයකට සීමා කලේ ද ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දුවකට යටත් කොට බැංකු සේවකයන්ගේ අරගලයට යලි වතාවක් ඇබ ගැසීමේ අරමුන ඇතිවය.

වැටුප් සහ සෙසු සමාජ අයිතීන් කප්පාදුවට එරෙහිව බැංකු සේවකයන් අතර මෝදුවන විරුද්ධත්වය රාජපක්ෂ ආන්ඩුවේ සහ  ධනපති හාම්පුතුන්ගේ කප්පාදු පිලිවෙත් කෙරෙහි  පොදුවේ කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වයේ කොටසකි. පසුගිය සති වල ගුරුවරු, සෞඛ්‍යය, වරාය, තැපැල්, විදුලි බල, ජල සම්පාදන, නිදහස් වෙලඳ කලාප සහ වතුකරය ඇතුලු විවිධ ක්ෂේත්‍රවල දස දහස් ගනනක් කම්කරුවෝ වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් මත විරෝධතා අරගලවලට එලඹුනහ. 

එම අරගල කොරෝනා වසංගතය විසින් තීව්‍ර කරනු ලැබ ඇති ලෝක ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර ධනපති පාලක පන්තීන්  සහ හාම්පුතුන් විසින් කම්කරුවන් මත පැටවීමට එරෙහිව වර්ධනය වන ගෝලීය පන්ති අරගලය සමග බද්ධ වූ ඒවාය.

කෙසේ නමුත්  දේශීය සහ විදේශීය ආදායම් තියුනු ලෙස පහත වැටීම මධ්‍යයේ නය වගුරක එරී සිටින රාජපක්ෂ ආන්ඩුවට හෝ ලෝක වෙලඳපොල තුල ලාබය හඹායාමේ උග්‍ර  තරඟයකට ඇද  දමා ඇති ධනපති හාම්පුතුන්ට බලපෑම් දැමීම මගින් බැංකු සේවකයන්ට හෝ කම්කරු පන්තියේ කවර කොටසකට වත් තම අයිතීන් දිනාගත නොහැකිය. 

බැංකු සේවකයන් ඇතුලු කම්කරු පන්තියට තම අයිතීන් දිනාගත හැක්කේ නව දේශපාලන ඉදිරිදර්ශනයක්, එනම් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පාදක ව දියත් කරන දේශපාලන අරගලයක් තුලින් පමනි. එවන් අරගලයක් දියත් කල හැක්කේ බැංකු සේවකයන් ඇතුලු කම්කරුවන්, පාලක පන්තියේ හා ධනපති හාම්පුතුන්ගේ ඒජන්ත සංවිධාන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩනගන කම්කරු ක්‍රියා කමිටු හරහා සටන තම අතට ගැනීම තුලින් පමනි.

Loading