කෝවිඩ්-19 ව්‍යාප්තියේ අන්තරායකාරී වැඩිවීමක් පිලිබඳව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අඟවයි

ලංකාව තුල කෝවිඩ්-19 වෛරසය අසාදිත පුද්ගලයන්ගේ මෙන්ම ආසාදිත වූවන්ගෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුලත් කිරීමට වන සංඛ්‍යාවේ ද “සීග්‍ර වැඩිවීමක් නිරීක්ෂනය වී ඇතැ“ යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පසුගිය අඟහරුවාදා (20 දා) එහි මුහුනු පොතේ විශේෂ අනතුරු ඇඟවුම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.    

පසුගිය දිනවල එලෙස වාර්තා වූ රෝගීන් අතරින් ලංකාව තුල මීට පෙර හමු නො වූ වෛරස ප්‍රභේදයක් ද සොයා ගෙන ඇතැයි එම නිවේදනයේ සඳහන් කර ඇත. රෝග ව්‍යාප්තිය හා සංකූලතා තීව්‍ර වීම කෙරෙහි නව වෛරස ප්‍රභේද ඍජුව බලපා ඇද්ද යන්න නිවේදනය තුල සඳහන් කර නැතැත්, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධාන ආචාර්ය චන්දිම ජීවන්දර ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍ය පවතින බී 177 වෛරසය දැයි සැක පල කොට තිබේ.  

අප්‍රේල් උත්සව සමය අවසාන වීමත් සමග දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහල යමින් පවතී. 21 වන බදාදා සහ 22 බ්‍රහස්පතින්දා පිලිවෙලින් කොරෝනා ආසාදිතයන් 5,78 ක් සහ 657 ක් වාර්තා විය. අද සවස 6.00 වනවිට දිනය තුල හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 796 ක් ලෙස වාර්තා වෙයි. 

ඊයේ වන විට සමස්ත නිල ආසාදිත සංඛ්‍යාව 98,050 ක් වන අතර මරන සංඛ්‍යාව 630 කි. කෙසේ නමුත්, නිල රසායනාගාර දත්තයන්ට අනුව අප්‍රේල් 03 වන දා වනවිටත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 103,640 ක්ව පැවති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

වසංගත ව්‍යාප්තිය තීව්‍රවීම හේතුවෙන් මේ වන විට කුරුනෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක් හුදකලා කොට තිබේ. ඒ සමගම, ත්‍රිකුනාමලය ඇතුලු තවත් දිස්ත්‍රික්ක කීපයක් වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් කලාප ලෙස නම්කර ඇත. මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පාසල්, පොලිස් ස්ථාන ඇතුලු විවිධ ආයතනයන්හි දිනපතා ආසාදිතයන් වාර්තා වෙමින් පවතී.

උත්සව සමයෙන් පසු කොලඹ අයිඩීඑච් රෝහලට කොරෝනා ආසාදියතයන් 150 ක් ඇතුලත් කර ඇති බවත් මේ වන විට එහි දැඩි සත්කාර ඒකක දෙකම රෝගීන් ගෙන් පිරී ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ හසිත අත්තනායක 21 දා ප්‍රකාශ කලේ ය.

කොලඹ නගරය තුල රෝගීන් වාර්තා වීම සියයට 8 කින් වැඩි වී ඇතැයි කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි බදාදා පැවසූ අතර, රටපුරා නව “පොකුරු” කිහිපයක් බිහි වී ඇති බවත්, “ඉදිරි සති කිහිපය තීරනාත්මක”  බවත් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර ප්‍රකාශ කලේය. 

ආසාදිතයන් හා මරන ඉහල යමින් වැඩෙන විනාශයේ සැබෑ පරිමාව මෙතෙකුදු වසන්කරන මෙම රාජ්‍ය ආයතනයන්හි අනතුරු ඇඟවීම්වල මූලික උත්සුකය සාමාන්‍ය මහජනයා ව්‍යසනයෙන් ගලවා ගැනීම නොව, එහි වගකීම මහජනයා මත පවරා සැබෑ වගකිවයුත්තන් වන ආන්ඩුව හා මහ ව්‍යාපාරිකයන් කොක්කෙන් ගලවා හැරීමයි. 

ආන්ඩුව වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන මෙම ආයතන හා බලධාරීන් වැඩෙන අන්තරායකාරී තත්වය පිලිබඳව චෝදනා එල්ල කරන්නේ, සාමාන්‍ය මහජනයා වෙතයි. 

“පසුගිය උත්සව සමය හා ඊට සමගාමීව සෞඛ්‍යය උපදෙස් පිලිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්වය නිර්මානය වීමට හේතු වී ඇති බව නො අනුමානයි” යනුවෙන් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශ නිවේදනයේ සඳහන් වෙයි. වත්මන් රෝග ව්‍යාප්තියේ වැඩිවූයේ “උත්සව සමයේ මහජනයාගේ අපරික්ෂාකාරී හැසිරීම” යයි වෛද්‍ය විජයමුනි ඍජුව ප්‍රකාශ කරන අතර, “සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් අනුගමනය කිරීමේ දී මහජනයාට විශාල වගකීමක් ඇතැ” යි සමරවීර එයම වෙනත් අයුරකින් පවසයි. 

මහජනතාවට දොස් පැවරීමේ මෙම පිලිවෙතට ලොවපිලිගත් වසංගත රෝග විශේෂඥයෝ සහ විද්‍යාඥයෝ ආරම්භයේ සිටම තම විරුද්ධත්වය ප්‍රකාශ කලහ. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රවි රන්නන්-එලිය අද උදෑසන නිකුත් කල ට්විටර් පනිවුඩයක මෙසේ සඳහන් වෙයි: “අයථා ලෙස හැසිරීම සම්බන්ධයෙන් මහජනතාවට දොස් පැවරීම සම්පූර්නයෙන්ම වැරදිය. මෙය මූලික වශයෙන්ම, මනා (වසංගත) පාලන උපාය මාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධ ආන්ඩුවේ අසමත්භාවයේ ප්‍රතිඵලයකි.”

කෙසේ නමුත් ආන්ඩුව එවන් “මනා පාලන උපාය මාර්ග” අනුගමනය කිරීම නරුම ලෙස ප්‍රතික්ෂේප කරයි. අද දින පැවැත්වූ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමෙන් පසු මාධ්‍ය ඇමතූ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ, මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරන සීමා පැනවීමක් “කිසිදු ලෙසකින්” නොකරන බවයි.   

අවුරුදු නිවාඩුවෙන් පසු සියලු කම්කරුවෝ යලි වැඩබිම්වලට කැඳවා තිබේ. මාර්තු මස මැද සිට බස්නාහිර පලාතත් ඇතුලුව දිවයින පුරා පාසල්, පෙර පාසල් හා උපකාරක පන්ති විවෘත කල ආන්ඩුව දැන් පාසල් තුලම රෝගීන් වාර්තා වන තත්වයේ දී පවා පාසල් වසා දැමීම ප්‍රතික්ෂේප කර තිබේ. ගෙන ඇති එකම පියවර වන්නේ මංගල හා අවමංගල උත්සවවලට සහභාගී විය හැකි සංඛ්‍යාව සීමා කිරීම හා මැයි දින රැලි නතර කිරීම පමනි.  

රෝග ව්‍යාප්තිය මැඩලීම සඳහා ගතයුතු අනිවාර්යය පියවර වන අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන හා පාසල් වසා දැමීම ඇතුලු සියලූම සෞඛ්‍යාරක්ෂන ක්‍රමවේදයන් ආන්ඩුව සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කරනුයේ මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ ඉපැයීම අඛන්ඩව හා සුරක්ෂිතව ඉදිරියට ගෙන යෑම සඳහාය. කම්කරුවන් වැඩට දැක්කීමටත්, එය පහසු කරවනුවස් දරුවන් පාසල් තුල ගාල් කිරීමටත් අවශ්‍ය කෙරෙන මහජන මනෝගතිය නිර්මානය කරනුවස් වසංගතයේ ව්‍යසනකාරිත්වය වහංගු කිරීම සඳහා ආන්ඩුව ආරම්භයේ සිටම ක්‍රියා කලේය. 

දෛනිකව සිදු කරන පීසිආර් පරීක්ෂන සංඛ්‍යාව 5,000 ටත් අඩු අගයකට පහල දමා, එහි සෘජු ප්‍රතිඵලයක් වන වාර්තාවන රෝගීන් සංඛ්‍යාව පහල වැටීම හුවා දක්වමින් වසංගත තත්වය “පාලනය” වී ඇතැයි ආන්ඩුව මවා පෑවේ ය. 

වෛද්‍ය රන්නන්-එලිය ගේ තවත් ට්විටර් පනිවිඩයකින් එම මවාපෑම මෙසේ පැහැදිලි කෙරේ: “ආසාදිත සංඛ්‍යාවේ ක්ෂනිකව ඉහල ගියේ, සරලවම කිවහොත් දෛනික පරීක්ෂන සංඛ්‍යාව 15,000 දක්වා ඉහල නැංවීම හේතුවෙනි. එය මා සැමවිටම උපකල්පනය කර ඇති දේ සනාථ කරයි. හඳුනා ගැනෙන රෝගීන් ගනන අඩුවුවද, දිනපතා නව ආසාදන සංඛ්‍යාව 2,000 ක් පමන වේ.”

මෙම තතු තුල, සීඝ්‍ර ව්‍යාප්තියක් හා ඉහල මරන අනුපාතයක් පෙන්වන නව වෛරස ප්‍රභේද පිලිබඳව පරීක්ෂන වඩාත් වේගවත් සහ පුලුල් කිරීමේ අවශ්‍යතාව විද්‍යාඥයෝ පෙන්වා දෙති. නමුත් ඒ සඳහා ලංකාවේ පහසුකම් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමනක් වන අතර එහි ධාරිතාවත් සීමා සහිත ය. එහි පර්යේෂන ප්‍රධානි චන්දිම ජීවන්දර මාර්තු මස අගදීම පෙන්වා දී තිබුනේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නව වෛරස ප්‍රභේද ආසාදිත වූ පුද්ගලයන් 20 ක් පමන සොයා ගත් බවයි. 

වඩාත් කැපී පෙනෙන කරුනක් වන්නේ, මානව ජීවිත වලට ඉහලින් ධනපති ලාභය පිහිටුවීමේ මෙම මිනීමරු පිලිවෙත රාජපක්ෂ ආන්ඩුව විසින් ඉදිරියටම ගෙනයනු ලබන්නේ, එහි ව්‍යසනකාරී ප්‍රතිවිපාක අසල්වැසි ඉන්දියාව දැවැන්ත පරිමානයෙන් අත්විඳින තත්වයක වීම යි. 

2021 අප්‍රේල් 19දා ඉන්දියාවේ ජම්මුහි රජයේ රෝහලක කොවිඩ්-19 පරීක්ෂාව සඳහා පෙලගැසී සිටින මහජනයා.(AP Photo/Channi Anand)

අප්‍රේල් මැද වන විට ඉන්දියාවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයක් හා මරන දහසක් කරා ලඟා වී තිබුනි. දිනක් තුල එක් රටකින් හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා කරමින්, ඊයේ දිනයේ ආසාදිතයන් 314,835 ක් ඉන්දියාවෙන් සොයා ගැනුනි. ඊයේ දිනයේ මරන සංඛ්‍යාව 2,100 ක් ඉක්මවා ගොස් තිබෙන අතර දැඩි ඔක්සිජන් හිඟය හේතුවෙන් දිල්ලියේත් රටපුරාත් රෝහල්වල සියගනනින් මියයති. 

ශ්‍රී ලංකාව වේගයෙන් රූටා යමින් පවත්නේ එවන් ව්‍යසනයකාරී තත්වයකටයි. එම තතු තුල, එන්නත්කරන වැඩපිලිවෙල ද අකර්මන්‍ය කෙරී ඇත. මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රමාදව පවතින, ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වීමට නියමිතව තිබූ දෙවන එන්නත් තොගය ලැබේද යන්න අවිනිශ්චිත තත්වයක පවතී. ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනිකා එන්නත අපනයනය නවතා දැමීමේ එක් හේතුවක් වූයේ එරට තුල රෝගීන්ගේ දැවැන්ත වැඩි වීමයි.  

වසංගතය මැඩ පැවැත්විය හැකි එන්නත් සොයා ගෙන මේ වන විට මාස පහක පමන කාලයක් ගත වී තිබේ. නමුත් එන්නත් සමාගම්වල ලාභ, ආර්ථික ජාතිකවාදය හා භූ-දේශපාලන ආතතීන් හේතුවෙන් එන්නත්කරනය ඇතුලු රෝගය මැඩපැවැත්වීමට අවශ්‍ය ජාත්‍යන්තරව සම්බන්ධීකෘත වැඩපිලිවෙලවල් පසුපසට ඇද දමා, වෛරසය තව තවත් විනාශකාරී ලෙස ව්‍යාප්තවීමේ කොන්දේසි සැකසීම හේතුවෙන් මේ වනවිට ලොවපුරා දෛනික මරන සංඛ්‍යාව 12,000 ඉක්මවා තිබේ. 

යලි යලිත් පැහැදිලි වන්නේ කම්කරු පන්තියට ගෝලීය වසංගතයෙන් හා ඉන් අත් කර දෙන ආර්ථික විනාශයෙන් මිදිමට ධනේශ්වර ජාතික රාජ්‍යවලට බැඳී ගත් ජාතිකවාදී විසඳුම් නොමැති බවයි. තීරනාත්මකව ඉස්මතු කර ඇත්තේ, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ ධනපති ලාභ පද්ධතියට එරෙහි ලෝක කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමේ අවශ්‍යතාවයයි. 

Loading