අන්තරායකාරී නව වෛරස ප්‍රභේද ලංකාවේ පැතිරෙද්දී "කිසිදු ලෙසකින් රට වසා දැමීමක් නැතැ"යි හමුදාපති කියයි

ඉහල තීව්‍රතාවයකින් පැතිරෙන, තරුන ජනයාට පවා සංකූලතා ඇති කරන හා මරන අනුපාතය ඉහල නව කෝවිඩ් වෛරස ප්‍රභේද රට තුල පැතිර යමින් තිබිය දී “කිසිදු ලෙසකින් රට වසා දැමීමක් හෝ සංචර සීමා පැනවීමක් සිදු කරන්නේ නැතැ” යි කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා ඊයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ ය.

ඉන්දියාවේ දැන් සිදුවන දෑ (ආසාදිතවීම් හා මරනවල ඉහල යෑම) බලා ආරක්ෂාකාරීව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි සිල්වා ලංකාවේ රෝගීන් “සැලකිය යුතු සංඛ්‍යාවක්” වාර්තාවන ස්ථාන හුදකලා කරන බව පැවසුවේ ය. 

මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මූලිකත්වය ගන්නා “කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ” පෙරේදා සවස පැවැති සාකච්ඡාවකින් පසුවයි. මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍යය ඇමතිනි පවිත්‍රා වන්නිරච්චි, ඇමති කෙහෙලිය රඹුක්වැල්ල හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ආන්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ ය.

කෙසේ නමුත්, ඉන්දියාවේ මේ වන විට ඉදිරියට ඇදෙන මානව ඛේදවාචකය පිලිබඳව මහජනයාගේ අවධානය යොමු කල සිල්වා ඇතුලු ආන්ඩුවේ නියෝජිතයන්ගෙන් ප්‍රතිරාවය වූයේ, එම ඛේදවාචකයට වගකිව යුතු ඉන්දියාවේ දක්ෂිනාංශික නරේන්ද්‍ර මෝදි පාලනාධිකාරිය මහජන ජීවිත සම්බන්ධව දක්වන සාපරාධි නො තැකීමමයි. 

2021 අප්‍රේල් 19දා ඉන්දියාවේ ජම්මුහි රජයේ රෝහලක කොවිඩ්-19 පරීක්ෂාව සඳහා පෙලගැසී සිටින මහජනයා.(AP Photo/Channi Anand)

පසුගිය දින කීපය පුරා දෛනිකව ආසාදිතයන් 300,000 ට හා මරන 2,000 ට වැඩියෙන් වාර්තා වෙද්දි 20 දා ජාතිකව ප්‍රචාරනය කල රූපවාහිනි කතාවක දී මෝදි පැවසුවේ “පෙර නුවු විරූ සමාජ-ආර්ථික අර්බූදයක් මධ්‍යයේ, මහා පරිමාන මරනවල තර්ජනය සමග ජීවත් වෙමින් තමන්ම ආරක්ෂාව සලසා ගත යුතු” බවයි. මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ සුරක්ෂිත කිරීම සඳහා මහ පරිමාන අගුලු දැමීම් අඛන්ඩව ප්‍රතික්ෂේප කිරීමක යෙදී සිටි මෝදි ඉන්දියාව “ආරක්ෂා“ කරගත යුත්තේ වසංගතයෙන් නොව, වෛරසය පෙරට යාම නවත්වන හා ජීවිත ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් ඇගුලු දැමීමකින් බව එහිදී නරුම ලෙස ප්‍රකාශ කලේ ය.

ලංකාව තුලත් ඉන්දියාව, බ්‍රසීලය, ඇමරිකාව වැනි රටවලට සමාන විනාශයක් පැන නැගිමින් පවතින බව මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වී සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ කල ප්‍රකාශ මගින් හෙලිදරව් කෙරුනි. “අවාසනාවන්ත ලෙස නව ප්‍රභේදයක් රටට ඇතුලු වෙලා තියෙනවා. නව ප්‍රභේදය නිසා රෝගය පැතිරීම ඉතාමත්ම දරුනු විදිහට සිදු වෙනවා. තරුන අයටත් දරුනු රෝග ලක්ෂන පෙන්නවා” යයි ප්‍රකාශ කල මලවිගේ නව ප්‍රභේදය වාතය මගින් බෝ වන බව සඳහන් කලා ය.  

ලංකාවේ පසුගිය සතිය තුල ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛන්ඩව 5,00 සීමාව ඉක්වමා ගිය අතර ඊයේ දිනයේ අසාදිත සංඛ්‍යාව 9,31 ක් දක්වා ඉහල නැගුනි. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා සංඛ්‍යාව පසුගිය සතියේ 2,900 ක සිට අද වන විට 5,021 ක් දක්වා ඉහල නැග තිබේ. ඉදිරි සති තුන සති තුල වසංගතයේ “තුන්වන රැල්ලක්” වර්ධනය වනු ඇතැයි නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කරන්නේ මේ වන විට ලංකාවේ ආසාදිත රෝගීන්ගෙන් රෝහල්ගත කරන, ඔක්සිජන් අවශ්‍ය වන හා දැඩි සත්කාර ඒකකවලට ඇතුලත් කරන පිරිස වැඩි වෙමින් තිබෙන බවයි. 

වෛද්‍ය විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම මගින් මතු කෙරෙන්නේ රට පූර්න අගුලු දැමීමකට යටත් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි. එවන් අගුලු දැමීමකදී, වැටුප් හා වන්දි සහිතව අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන, වැඩබිම් වසා දැමීම හා සිසුන් සියලු දෙනාට අන්තර්ජාල පහසුකම් හා පරිගනක සම්පාදනය කරමින් ඔන් ලයින් අධ්‍යාපනය සඳහා අවස්ථා සලසා පාසල් වසා දැමීම වැනි පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කරන ආන්ඩුව ඊයේ නිකුත් කල “සෞඛ්‍යය මාර්ගෝපදේශ” මාලාව තවත් ප්‍රෝඩාවක් පමනි. සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කල එම “මාර්ගෝපදේශයන්හි” වැඩබිම්වල කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව හා පාසල් වසා දැමීම පිලිබඳ කිසිවක් නොමැත.

එම තතු තුල, පැන නැගී ඇති ව්‍යසනකාරී තත්වයේ වගකීම මහජනතාව මත පැටවීමට ඉහත මාධ්‍ය සාකච්ඡාවේදී ආන්ඩුවේ නියෝජිතයෝ උත්සාහ දැරූහ. “උත්සව සමයේ සෞඛ්‍යය නීති උල්ලංඝනය කිරීම හා පොදු ප්‍රවාහන සේවාවල ජනයා වැඩි වශයෙන් ගමන් කිරීම” වත්මන් තත්වයට හේතු වී යයි සිල්වා ප්‍රකාශ කලේ ය. 

එලඹී ඇති මෙම සති අන්තයේ ජනතාව ගමන් බිමන්, සංචාර හා උත්සව සංවිධානය කර තිබෙනවා යයි පැවසූ වන්නිආරච්චි “වැඳලා කියන්නම් අපේ දරුවෝ, සමාජ ගැන සිතලා මේ ගමන් නවත්තන්න, වගකීමක් ඇති ජනතාවක් ලෙස අපි අපේ වගකීම ඉටු කරමු” යයි කියා සිටියා ය. 

මහජනයා මත වරද පැටවීමේ ආන්ඩුවල උත්සාහය ලොවපුරා වෛද්‍ය විශේෂඥයින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රවි රන්නන්-එලිය පසුගිය දා නිකුත් කල ට්විටර් පනිවුඩයක මෙසේ සඳහන් වෙයි: “අයථා ලෙස හැසිරීම සම්බන්ධයෙන් මහජනතාවට දොස් පැවරීම සම්පූර්නයෙන්ම වැරදිය. මෙය මූලික වශයෙන්ම, මනා (වසංගත) පාලන උපාය මාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධ ආන්ඩුවේ අසමත්භාවයේ ප්‍රතිඵලයකි”. 

සිල්වා හා වන්නිආරච්චි රඟපෑවේ උත්සව සමයට පෙර ව්‍යසනකාරී ලෙස රෝගය පැතිර යමින් නො පැවති රටක තමන් ජීවත් වූ අය ලෙසයි. ආන්ඩුව, මාර්තු හා අප්‍රේල් මාසවල දෛනික පීසිආර් පරීක්ෂන 5,000 ටත් වඩා පහල දමා, එමගින් රෝගීන් වාර්තාවීමේ දෛනික සාමාන්‍යය 200 ක පමන පහත් අගයක ව්‍යාජව පවත්වාගෙන ගියේය. වෛද්‍ය රන්නන්-එලිය පවසන්නේ ඒවන විටත් රටෙහි සැබෑ දෛනික ආසාදන සංඛ්‍යාව 2000 ක පමන අගයක පැවති බවයි. ඔහුට අනුව හඳුනා ගැනෙන දෛනික ආසාදන සංඛ්‍යාව එවන් පහත් අගයක පැවතීමේ එකම හේතුව පරීක්ෂන සංඛ්‍යාව දැවැන්තව පහත හෙලීමයි.

මහජනතාව ඉදිරියේ ව්‍යාජ චිත්‍රයක් මවා එය ජයග්‍රහනයක් ලෙස උදම් ඇනූ හමුදාපති සිල්වා අලුත් අවුරුදු උත්සව සමයට පෙර සතියේ නරුම ලෙස ප්‍රකාශ කලේ “කිසිදු සංචරන සීමාවක් පැනවීමට බලාපොරොත්තුවක්” නො මැති බවයි.  

ඉන්දියාවේ මෝදි ආන්ඩුව සේම ලංකාවේ රාජපක්ෂ ආන්ඩුවත් වසංගතයේ ආරම්භයේ සිටම උත්සුක වූයේ මහජනයාගේ සෞඛ්‍යය හා ජීවිත බේරා ගැනීම පිලිබඳව නොව, මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ උත්පාදනය අඛන්ඩව සහ අබාධිතව ඉදිරියට ගෙනයාම සඳහා ආර්ථිකය කෙසේ හෝ විවෘතව තබා ගැනීම කෙරෙහිය. ධනපති ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පන්ති අරගල තලා දැමීම සඳහා වර්ධනය කෙරෙන පොලිස්-මිලිටරි යන්ත්‍රයන්, වසංගතය මධ්‍යයේ වඩාත් ශක්තිමත් කර ගැනීම තවත් ප්‍රධාන උත්සුකයක් විය.     

මහජනතාවගේ විරෝධය මධ්‍යයේ 2020 මාර්තු මාසයේ යම් ඇගුලු දැමීමකට ගමන් කලේ අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන වල යෙදී සිටි කම්කරුවන්ට, සුලු ව්‍යාපාරිකයන් හා වෙලෙන්දන්ට වැටුප්, වන්දි වැනි අත්‍යාවශ්‍යය සමාජ රක්ෂන වැඩපිලිවෙලකින් තොරව ය.  අගුලු දැමීම් අතර තුර එවන් ජන කොටස්වලට රුපියල් 5,000 ක සොච්චමක් දෙවතාවක් ලබා දීම සඳහා ආන්ඩුව වැය කලේ රුපියල් බිලියනකටත් අඩු මුදලකි. 

වසංගත අවදානම මැද දී පවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානය අනුයමින් ආන්ඩුව මේ වසරේ අය-වැයෙන් සෞඛ්‍යය වියදම් රුපියල් බිලියන 29 කින් කප්පාදු කලේ ය. ඊට විපරීතව, මහ ව්‍යාපාරිකයන්ට වසංගතයෙන් වන බලපෑම අවම කිරීම සඳහා රුපියල් බිලියන 178 ක දැවැන්ත මුදලක් ආන්ඩුව ඔවුනට සම්පාදනය කලේ ය. 

අනාරක්ෂිත කොන්දේසි යටතේ ආර්ථිකය මුලුමනින්ම විවෘත කිරීමේ දී ජනාධිපති රාජපක්ෂ කියා සිටියේ “රටේ ආර්ථිකය” කඩා වැටීමට ඉඩදිය නොහැකි බවයි. “රටේ ආර්ථිකය” යනු අන් කිසිවක් නොව, ලක්ෂ සංඛ්‍යාත මහජනයා කුසගින්නට, දරිද්‍රතාවයට සහ විරැකියාවට හෙලන අතරේ මහධනපතියන්ගේ පසුම්බිය වඩවඩාත් පුරවන ධනපති ආර්ථිකය යි.  “වසංගතයට යොදන පිලියම් රෝගයට වඩා දරුනු විය නො යුතු” යැයි මෝදි ඇතුලු ලොවපුරා පාලක පන්තීන් කියා සිටින්නේ, අගුලු දැමීම් මගින් ධනපතියන්ගේ ලාභ පොට්ටනිය කෙරෙහි ඇති කෙරෙන බලපෑම පිලිබඳ උත්සුකයෙනි.   

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කරමින්, පීසිආර් පරීක්ෂන දිනකට දහසකටත් අඩු මට්ටමක පවත්වා ගෙනගිය රාජපක්ෂ ආන්ඩුව පම්පෝරී ගැසුවේ ලොව අනෙක් රටවල් වසංගතය මැඩීමට නො හැකිව සිටිය දී ලංකාව “අපට ආවේනික ආකාරයකට” රෝගය මැඩලූ බවටයි. නමුත් පසුගිය ඔක්තෝබර් මස මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කම්කරුවන් දහසකට වැඩි ගනනක් ආසාදනය වීමත් සමග එම පම්පෝරියේ පල්ල ගැලවුනි. 

පාර්ලිමේන්තු විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), දෙමල ජාතික සන්ධානය (දෙජාස) පමනක් නොව විවිධ අංශවල වෘත්තීය සමිති නිලධරය, ව්‍යාජ-වාම පක්ෂ හා සංස්ථාපිත මාධ්‍ය ආන්ඩුවේ ආර්ථිකය විවෘත කිරීමට සහයෝගය දුන්නේ ය. අගුලු දැමීම් හා පාසල් වසා දැමීම යලි කිසිසේත් සිදු නො කල යුතු යයි කියා සිටි නොවැම්බර් මාසයේ ලංකාදීප කතුවැකියක් පලමු අගුලු දැමීම “කාලය නාස්ති කිරීමක්” යයි කියා සිටියේ ය.  

විද්‍යාවේ මහිමයෙන් වසංගතය සඳහා සාර්ථක එන්නතක් නිපදවීමෙන් පසුව පවා හැකි ඉක්මනින් එය ඇනවුම්කොට ගෙන්වා ගැනීමේදී ද රාජපක්ෂ ආන්ඩුව දැක්වූයේ ඉතා උදාසීන ආකල්පයකි. අවශ්‍ය එන්නත් මාත්‍රාවන් නොමැති කමින් අඩාල වී ඇති එන්නත්කරනය කෙසේ ඉදිරියට ගමන් කෙරේද යන්න අවිනිශ්චිතය. 

ලංකාවට පලමුව ගෙන් වූ ඉන්දියා සීරම් ආයතනයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නතේ ඉතුරුව පවතින මාත්‍රා 356,000 ක ප්‍රමානය දැනට එන්නත් කර ඇති 925,256 ක ජනයාට ලබා දිය යුතු දෙවන මාත්‍රාව සඳහා ප්‍රමානවත් නො වන බවත් ඉදිරියේ දී එය සුලු ප්‍රමානවලින් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සෙනසුරාදා ප්‍රකාශ කලේ ය.  

ඖෂධ සමාගම්වල ලාභ, ආර්ථික ජාතිකවාදය හා වර්ධනය වන භූ-දේශපාලන ආතතීන් හේතුවෙන් මේ වන විට ලොවපුරා එන්නත්කරනය අඩපන වී ඇති අතරම, වසංගතය පාලනය කිරීම කල්පමාවීමෙන් ජනිත වන බිහිසුනු වෛරස ප්‍රභේද මගින් ලංකාව ඉන්දියාව ඇතුලු ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනයා රෝගයට ගොදුරු කෙරෙමින් පවතී. 

ලොව විශාලතම එන්නත්කරනය තමා අරඹා ඇතැයි මෝදි කල පම්පෝරි ගැසීමෙන් මාස දෙකකට පසු ඉන්දියාවේ සිදුවන විනාශය පෙන්නුම් කරන්නේ, වෛද්‍ය විශේෂඥයින් ඉල්ලා සිටි වේගවත් එන්නත්කරනයට සමගාමීව, සමාජ සංචරනයන් සීමා කිරීම, රෝගීන් හඳුනා ගැනීමට පරීක්ෂන, රෝහල් ධාරිතාවන් ක්ෂනිකව ඉහල දැමීම හා නිරෝධායන කටයුතු හැකි තරම් ඉහල දැමීම ලාභ ගරන ධනපති ක්‍රමය තුල කිසිසේත් ක්‍රියාවේ යෙදවිය නො හැකි ඒවා බවයි.   

යලි යලිත් සනාථ වී ඇත්තේ කම්කරු පන්තියට ගෝලීය වසංගතයෙන් හා ඉන් අත් කර දෙන ආර්ථික විනාශයෙන් මිදීමට ධනේශ්වර ජාතික රාජ්‍යවලට බැඳී ගත් ජාතිකවාදී විසඳුම් නොමැති බවටත්, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ ධනපති ලාභ පද්ධතියට එරෙහි ලෝක කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කල යුතු බවටත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කරන ඉදිරි දර්ශනයේ නිරවද්‍යතාවයයි. 

Loading