වසර 75 කට පෙර: ජර්මානු ස්ටැලින්වාදීන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් එක්වී සමාජවාදී එක්සත් පක්ෂය පිහිටුවති

ඔටෝ ග්‍රෝටෙවොල් (දකුනේ) සහ විල්හෙල්ම් පීක් (වමේ) එස්පීඩී සහ කේපීඩී ඒකාබද්ධ කිරීම මුද්‍රා කරයි.

1946 අප්‍රේල් 21 වැනිදා සෝවියට් රුසියාව විසින් වාඩිලාගෙන ගෙන සිටි ජර්මනියේ නැගෙනහිර කොටස තුල දී ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී) ඒකාබද්ධ වී සමාජවාදී එක්සත් පක්ෂය (එස්ඊඩී) පිහිටුවන ලදී.

මෙම නව පක්ෂය පිහිටුවන ලද්දේ කුනු වූ අත්තිවාරම් මත ය. දශක ගනනාවකට පෙර පලමු වැනි ලෝක යුද්ධයට සහය දැක්වීමත් සමග සමාජවාදී ඉදිරිදර්ශනයෙන් බිඳී ගිය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා එක් වූයේ සෝවියට් සංගමයේ කම්කරු පන්තියෙන් දේශපාලන බලය උදුරා ගත්, පරපෝෂිත නිලධරයේ අවශ්‍යතාවන්ට අනුකූලව ජාතිකවාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කල ස්ටැලින්වාදීන් ය.

එස්ඊඩීය පිහිටුවීම සිදු වූයේ 1945 මැයි මාසයේදී මිත්‍ර පාක්ෂිකයන් විසින් නාසි තන්ත්‍රය පරාජය කිරීමෙන් පසු ඇවිලුනු දේශපාලන බිඳවැටීම් මධ්‍යයේ ය. එස්පීඩී සහ කේපීඩී යන පක්ෂ දෙක ම සෝවියට් නිලධරය සහ අධිරාජ්‍යවාදී බලවතුන් අතර, යුද්ධයේ අවසාන අදියරවලදී, ඇති වූ ගනුදෙනුව මත පදනම් වූහ. ඔවුහු සෝවියට් රුසියාව විසින් වාඩිලාගෙන සිටි නැගෙනහිර ජර්මනිය තුල පන්ති අරගලය මැඩපැවැත්වීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරමින් ගෝලීය ධනවාදී පිලිවෙල යථා තත්ත්වයට පත් කිරීමට කැපවී සිටියහ. නැගෙනහිර ජර්මනියේ විශාලතම නගරය වූයේ, ජර්මනියේ පෙර අගනුවර වූ, බෙදී ගිය, බර්ලිනය යි. නාසීන්ගේ මිලියන ගනන් අපරාධ තුලින් කම්කරුවන්ගේ ඇස් පනාපිට ධනවාදය අපකීර්තියට පත් වී තිබූ අතර යුද්ධයේ අවසානයත් සමඟම යුරෝපය පුරා කම්කරු සභා සහ වෙනත් ආකාරයේ අරගලයන් ඇති වෙමින් තිබිනි.

නාසීන් පරාජයට පත් වූ පසු එස්පීඩීයේ මධ්‍යම කාරක කමිටුව ප්‍රතිසංස්කරනය කෙරිනි. ෆැසිස්ට්වාදය යටතේ කුඩු වී තිබූ එම සංවිධානයේ පාලන බලය නැවත ලබාගැනීම සඳහා යොමුවෙමින්, ඔවුන් ඉක්මනින්ම ස්ටැලින්වාදීන් සමඟ එක්සත් ගිවිසුමක් යෝජනා කලහ. මෙම යෝජනාවේ එල්ලය වූයේ පිටුවහලේ සිටි එස්පීඩී නායකත්වයට සහ හැනෝවර් (Hanover) හි සිටි කර්ට් ෂූමාකර්ගේ (Kurt Schumacher) නායකත්වයෙන් යුත් කන්ඩායමට එරෙහිව ය. තමන්ගේම සංවිධානයක් තැනීමට පටන් ගත් කේපීඩීය මුල දී මෙම යෝජනාව ප්‍රතික්ෂේප කලේය.

කෙසේ වෙතත්, 1946 අප්‍රේල් වන විට, ස්ටැලින්වාදීන් එක්සත් වීමට සූදානම් වී සිටියහ. එස්පීඩීයේ බර්ලින් නායකත්වය ද ඉක්මනින් එකඟත්වයට පැමිනියහ. ජර්මනියේ අනෙක් කොටසේ, එනම්, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ එක්සත් ජනපදය විසින් පාලනය කෙරුනු කොටසේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටි ෂූමාකර් සහ සෙසු එස්පීඩී නායකයින් මෙම ගනුදෙනුවට විරුද්ධ වූහ. ඔවුන් විවෘත ප්‍රති-කොමියුනිස්ට්වාදී ආස්ථානයක් දැරූ අතර, එමගින් අධිරාජ්‍යවාදී බලවතුන් වෙත ඔවුන්ගේ ඇති නැඹුරුව ඉක්මවා යාවි දැයි බියක් ද විය.

ලෝසවෙඅ පැහැදිලි කර ඇති පරිදි, එස්ඊඩීය නියෝජනය කලේ “නිලධරයන් දෙකක ඒකාබද්ධ වීමකි”. එය සිදු වූයේ එස්පීඩීය සහ කේපීඩීය මූලික දේශපාලන ප්‍රශ්නවලට එකඟ වූ නිසා ය: එනම්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය මර්දනය කිරීම සහ නිලධාරිවාදී රාජ්‍යයක් පිහිටුවීම යන එකඟතාවයන් ය.

Loading