වසංගතය ව්‍යසනකාරීව පුපුරා යද්දී ජනාධිපති රාජපක්ෂ රට අගුලුදැමීම ප්‍රතික්ෂේප කරයි

වඩාත් මාරාන්තික මෙන්ම වැඩි වේගයකින් ව්‍යාප්ත වන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේද රට තුල පැතිරයද්දී පසුගිය සෙනසුරාදා තම මාධ්‍ය අංශය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරනය කලේ ආන්ඩුවට රට අගුලු දැමීමක් සඳහා කවර හෝ අවශ්‍යතාවයක් නැති බවයි. 

රට පූර්න වශයෙන් අගුලු දැමීම පිලිබඳව මහජනතාව අතරේ වැඩෙන උත්සුකයන්ට එරෙහිව යමින් රාජපක්ෂ පවසා ඇත්තේ  “කොවිඩ් උවදුරට විසඳුමක් ලෙස රට යම් කාලයකට වසා දැමිය යුතු යැයි සමහරු කල්පනා කරන නමුත් දිගු කාලීනව එය ජන ජීවිතයට හා ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරවන ක්‍රියාදාමයක්” බවයි.

රට අගුලුදැමීම ජන ජීවිතයට හානිකර වනු ඇතැයි රාජපක්ෂ මවාපාන කනස්සල්ල ව්‍යාජ එකකි. රාජපක්ෂ සැබැවින්ම කනස්සලු වන්නේ එවැනි අගුලු දැමීමකින් මහ ධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය අඩපන වීම ගැන පමනි.

වසංගතය ආරම්භයේ සිටම මහජන ජීවිත ආරක්ෂා කිරීම ගැන සාපරාධී ලෙස නොතැකූ රාජපක්ෂගේ පිලිවෙත් ධනපති ලාභය ආරක්ෂා කරදීමේ උවමනාවෙන් නිර්නය වුනි. පසුගිය වසරේ මාර්තුවේදී ක්‍රමයෙන් ආසාදිතයන් හමුවන්නට පටන් ගැනීමත් සමග රට අගුලු දැමීම පිලිබඳ අවශ්‍යතාවය මහජනතාව අතරින් මතුවෙද්දී රාජපක්ෂ පැවසුවේ “එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී පවා රට වසා දැමීමක් සිදුනොවුන තත්වයක් යටතේ වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා රටට අගුලු දැමීමක් අනවශ්‍ය” බවයි. 

එම ප්‍රකාශයෙන් සතියක් යාමටත් මත්තෙන් ආන්ඩුව දිවයිනටම ඇඳිරිනීතිය පනවනු ලැබුවේ  ආන්ඩුවේ උදාසීන ප්‍රතිචාරයන්ට එරෙහිව සමාජය තුලින් බලගතු විරෝධයක් මතුවීමෙන් පසුව පමනි.   

රට තුල කොවිඩ්-19 “පාලනය” කර ඇති බවට කයිවාරු ගසමින් රාජපක්ෂ ආන්ඩුව ආරම්භයේදී ආසාදිතයන් හඳුනා ගැනීමේ පීසීආර් පරීක්ෂන ඉතාම අවම මට්ටමක පවත්වාගෙන ගියේය. එලෙස වසංගතය සමාජය තුල පැතිරයාමට ඉඩහැරීමේ ප්‍රතිපල ලෙස රටතුල ශීඝ්‍රලෙස ආසාදිතයන් වාර්තාවීමට පටන් ගැනුනි. සීමිත ලෙස ඉහල නංවන ලද පීසීආර් පරීක්ෂන හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසය වෙද්දී දෛනිකව රෝගීන් 800ක් පමන වාර්තා වෙමින් තිබියදී ආන්ඩුව දැනුවත් ලෙස එම පරීක්ෂන හරි අඩකටත් වඩා කප්පාදු කලේය. ඒ හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම අඩුවෙද්දී තමන් රෝගය පාලනය කල බවට ආන්ඩුව යලිත් පම්පෝරි ගසන්නට පටන් ගත්තේය.  

එම සාපරාධී ක්‍රියාවේ භයානක ප්‍රතිපල අද වනවිට එලිමහනට පැමින තිබේ. බොහෝ සෙයින් අවගනනය කෙරී ඇති ආන්ඩුවේ සංඛ්‍යාලේඛන වලට අනුව පවා ලංකාවේ ආසාදිතයන් ගනන 100, 000ක සීමාව පසුකර ඇති අතර වාර්තාවන මරන සංඛ්‍යා ව 644කි. අප්‍රේල් 21 සිට ඊයේ දිනය දක්වා පිලිවෙලින් 578, 657, 931, 880ක් සහ 783, 997ක් වැනි ඉහල මට්ටම් වලින් දිවයින පුරා ආසාදිතයන් වාර්තා වී ඇත. ආන්ඩුව තවමත් දෛනිකව පීසීආර් පරීක්ෂන ප්‍රමානවත් ලෙස වැඩිකර නොමැති නිසා සැබෑ අගයන් මීට වඩා කිහිපගුනයකින් විශාලය.

වසංගතය වඩාත් උත්සන්න වන තතු තුල රාජපක්ෂ රට අගුලු දැමීම ප්‍රතික්ෂේප කිරීමේදී ඔහු ප්‍රතිරාව නංවන්නේ ලොව ඉහලම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාකරමින් පෙර නොවූ විරූ ව්‍යසනයක් හරහා ගමන් කරමින් සිටින ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ වචනයි. මෝදි මෑතකදී පැවසුවේ ඉන්දියාව ගලවාගත යුත්තේ වසංගතයෙන් නොව “පූර්න අගුලු දැමීමකට ලක්වීමේ තර්ජනයෙන්” බවයි. මෝදිගේ මෙන්ම රාජපක්ෂගේ මෙම ප්‍රතිචාරයන් සමස්තයක් ලෙස ලොව පුරා පාලක පන්තීන් මහජන ජීවිත කෙරෙහි දක්වන සාපරාධී නොතැකීමේ පිලිබිඹුවයි. 

24 වනදා දෙරන රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය සුසී පෙරේරා රටේ තැනින් තැන හුදකලා කිරීම් පනවමින් ආන්ඩුව ගෙනයන වැඩපිලිවලේ නිශ්ඵලභාවය අවධාරනය කලාය. “වසංගතය තවදුරටත් ශීඝ්‍ර ලෙස පැතිරෙනවා. මෙහෙම ගිහින් ආර්ථිකය නැත්තටම නැති වෙලා යන්නත් පුලුවන්. මේ ටැප් එක වසා දැමිය යුතුයි. ලංකාව වගේ පොඩි රටකට ටැප් එක ඇරගෙන පොඩි රෙදි කෑලි, ස්පොන්ජ් දදා තැන තැන මොප් කර කර සත්කාර සේවාවාන් පවත්වාගෙන යන්න බැහැ” යැයි ඇය පැවසුවාය. 

මහජන ජීවිත වලට ඉහලින් ධනපති ආර්ථිකය පිහිටුවන රාජපක්ෂ ආන්ඩුව වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස් වලට පයින් ගසා ඇති නමුත් මහ ධනපතියන්ගේ ඉල්ලීම් වලට එකපයින් එකඟ වී ඇත. ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත හිමියන්ගේ සංසදය සමග මාර්තු 15 වනදා පැවති සාකච්ඡාවකදී “නිෂ්පාදන පලදායිත්වය” ඉහල දැමීම සඳහා කර්මාන්තශාලා තුල පවතින සීමිත සෞඛ්‍යාරක්ෂක නිර්දේශ ලිහිල්කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීමට රාජපක්ෂ පුර්න සහයෝගය ලබාදුන්නේය. 

පසුගිය වසරේ වසංගතය ආරම්භ වෙද්දී ඉතා කෙටි කාලයක් වසා තැබුනු ලංකාවේ කර්මාන්තශාලා ආන්ඩුවේ පූර්න අනුමැතිය සහිතව අඩු කම්කරුවන් ගනනක් සමගින් සූරාකෑම තියුනු කරමින් ඉක්මනින්ම යලි ඇරඹුනි. කම්කරුවන් වසංගතයේ ගොදුරු බවට පත්වන අතරේ ඔවුන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව හේතුවෙන් විනාශකාරී ආර්ථික මට්ටම් වෙත කඩා වැටෙද්දී ගෝලීයව මෙන්ම ලංකාව තුලත් ධනපතියෝ තම ලාභ පොදි තරකර ගත්හ. 

කම්කරුවන් සූරාකෑම සඳහා වසංගත තත්වය උපරිමයෙන් යොදාගැනීමට මහා ව්‍යාපාරිකය දිරිමත් කරමින් පසුගිය වසර අගදී වානිජ මන්ඩලය ඉදිරියේ කල කතාවකදී, රාජපක්ෂ පැවසුවේ, සියල්ලන් වසංගතය සමග ජීවත්වීම හෙවත් නව සාමාන්‍යයට හුරුවිය යුතු බවත් “යම් යම් ආකාරවලින් මෙම නව සාමන්‍යය යහපත් ප්‍රතිඵල අත්කරදෙනවා විය හැකි” බවත්ය.  

ආන්ඩුවේ වරදාන යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා මේ වනවිට වසංගතය පැතිරයාමේ තෝතැනි බවට පත්වී ඇත. කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ අත්සන සහිතව පසුගිය 23වනදා ආන්ඩුව කඩිමුඩියේ සකස්කරගත් ඊනියා කොවිඩ් මර්දන මාර්ගෝපදේශයක් නිකුත් කල අතර අපනයන අරමුනු කරගත් කර්මාන්ත සඳහා සේවයට කැඳවාගත යුතු කම්කරුවන්ගේ කිසිදු සීමා කිරීමක් එමගින් නිර්දේශ කෙරී නැත. 

නව ප්‍රභේදය වාතය මගින් බෝවන බවටත්, තරුනයින්ට පවා දරුනු රෝග ලක්ෂන ඇති කරන බවටත් වෛරසය පිලිබඳ පරීක්ෂන පවත්වන විශේෂඥ කන්ඩායම් විසින් කරන අවධාරනය පාසල් සහ කර්මාන්තශාලා වසා දැමීමේ හදිසිභාවය ඉස්මතු කර ඇතත් උක්ත මාර්ගෝපදේශය පාසල් දිගටම පවත්වාගෙන යෑමට නිර්දේශ කර තිබේ. 

සිසුන් සහ ගුරුවරුන් ආසාදනය වීම නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල් වසා දැමීමට ආන්ඩුවට බල කෙරී ඇති නමුත් එම අනතුර නොතකා පාසල් පවත්වාගෙන යාමට ඊයේ පැවති සාකච්ඡාවලදී ආන්ඩුව තීන්දු කර තිබේ. බස්නාහිර සහ වයඹ පලාත් හි පාසල් දින හතරක් වසා තබන බව ආන්ඩුව ප්‍රකාශ කර ඇත්තේ සිසුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් අතරින් මතුවන විරුද්ධත්වය සමනය කර ගැනීමට මිස ඔවුන්ගේ ජීවිත ගැන කවර හෝ තැකීමකින් නොවේ. ආර්ථිකය ඉදිරියට ගෙනයනු වස් රට තුල ආරක්ෂිත තත්වයක් පවතින බව මවාපෑම සඳහා පාසල් විවෘත කර තබාගැනීමට ආන්ඩුවට දැඩි උවමනාවක් පවතියි.    

මේ අයුරින් වසංගතය පැතිරයාම සඳහා සෑම කොන්දේසියක්ම සකසමින් රාජපක්ෂ තම නිවේදනය තුල පවසන්නේ, “කොවිඩ්-19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරනය පමනක්” බවත්, ඒ සඳහා “විධිමත්ව සැකසූ වැඩපිලිවෙලක් රජය සතු” බවත්ය. කම්කරු පන්තිය මුලාවේ හෙලමින් ඔවුන් කර්මාන්තශාලා තුලට දැක්කීම ඉලක්ක කරගෙන රාජපක්ෂ කරන මෙම ප්‍රකාශයන් ප්‍රයෝගකාරීය. 

මහජනතාව වෙත පුලුල් ලෙස එන්නත් ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම ආන්ඩුව මුල සිටම අතහැර දැම්මේය.  හැකිතාක් ප්‍රමාද කිරීමෙන් පසුව පසුගිය ජනවාරි අගදී එන්නත්කරනය ඇරඹීමෙන් ගතවී ඇති මාස තුනක කාලයක් තුල එහි පලමු මාත්‍රාව ලබාදී ඇත්තේ ජනගහනයෙන් යන්තම් සියයට 5කට පමනි. විශේෂඥයන්ට අනුව සමාජය තුල ප්‍රතිපලදායක ලෙස ප්‍රතිශක්තියක් ඇතිවීම සඳහා එන්නතෙහි මාත්‍රා දෙකම ලබාදිය යුතු ප්‍රමානය මුලු ජනගහනයෙන් සියයට 60-70 ක් අතර ප්‍රතිශතයකි. 

වසංගතයට විසඳුම එන්නත පමනක් බව රාජපක්ෂ පවසද්දී, වසංගතයේ ව්‍යාප්තියට සරිලන පරිදි අනෙකුත් සෞඛ්‍ය පහසුකම් පුලුල් කිරීම අතහැර දැමීම සඳහා ඔහුගේ සූදානම ප්‍රකාශයට පත්වෙයි. රාජ්‍ය ඇමතිනී ප්‍රනාන්දුපුල්ලේ විසින්ම ඊයේ මාධ්‍ය වෙත පැවසුවේ ලංකාවේ රෝහල් තුල හදිසි ප්‍රතිකාර ඇඳන් අවසානය කරා ලඟාවී ඇති බවයි. ප්‍රතිකාර ලබන රෝගීන් ඉහලයත් ම ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ශ්වසනාධාර සහ ඔක්සිජන් හිඟවීමේ අන්තරායකටද මුහුනදෙමින් සිටියි. 

සෑම අනුප්‍රාප්තික ආන්ඩුවක් විසින්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගෙන ගිය කප්පාදු පිලිවෙත් රාජපක්ෂ ආන්ඩුව තවත් උග්‍ර කලේය. වසංගතයේ අනතුර මතුවෙද්දී සෞඛ්‍ය අංශ ශක්තිමත් කරනු වෙනුවට රාජපක්ෂ ආන්ඩුව කලේ  2020 අයවැයෙන් සෞඛ්‍යය  සඳහා වෙන්වන වියදමෙන් තවත් රුපියල් බිලියන 18ක් කප්පාදු කිරීමයි. ආන්ඩුවල කප්පාදුව හේතුවෙන් සෞඛ්‍ය  පහසුකම් බරපතල ලෙස ක්ෂයවී යාම දැවැන්ත ව්‍යසනයකට පාර කපා ඇති අන්දම පිලිබඳ උදාහරන මේ වන විට අසල්වැසි ඉන්දියාවෙන් සැපයෙමින් තිබේ.  

“අභියෝගය සාර්ථකව ජයගැනීමට නම් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිලිපැදිය යුතු” බව තම නිවේදනයේ සඳහන් කරමින් වසංගතය පැතිරයාමේ වගකීම මහජනතාව පිටපැටවීමට රාජපක්ෂ යත්න දරයි. වසංගතය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීමබව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞසං) ප්‍රධානියා පවසා ඇති බව රාජපක්ෂ තවදුරටත් උලුප්පා දක්වයි. 

වසංගතය මුල සිටම හැකිතාක් පරීක්ෂන  කලයුතු බවටත්, සංචරන සීමා පැනවිය යුතු බවටත් ලෝක සෞඛ්‍ය සංවිධනය විසින් පුන පුනා කල අවධාරනයන් මුලුමුනින් ප්‍රතික්ෂේප කල ආන්ඩුවක ප්‍රධානියා දැන් මහජනතාවට ඇඟිල්ල දිගුකරද්දී එලිමහනට පැමිනෙන්නේ ඔහුගේ නරුම වංචනිකත්වයයි. වසංගතයේ විනාශයට කම්කරු පන්තිය හෝ අවශේෂ පීඩිත කන්ඩායම් කිසිලෙසකින් හෝ වගකීමක් නොදරන අතර එය රාජපක්ෂද ඇතුලත් සමස්ත ධනපති පාලක පන්තියේ මිනීමරු ප්‍රතිපත්තිවල නිර්මිතයයි.

ජාතික රාජ්‍යයන්ට බැඳීගත් සහ ලාභය අරමුනු කරගත් ධනපති ක්‍රමයට ගෝලීය වසංගතය ජයගැනීමේ මගක් නැත. වසංගතය මැඩලීමේ ශක්‍යතාවය පවතින්නේ සමාජවාදී පදනමක සංවිධානය කෙරුනු කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයකට පමනි. ඒ සඳහා තීරනාත්මක ඉදිරිදර්ශනයක් සපයමින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ  ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් කරා පෙරට!  ප්‍රකාශනය තුල එවන් ගෝලීය ව්‍යාපාරයක් සටන් වදින ක්‍රියාමාර්ගය මෙසේ අවධාරනය කරයි.

"ගෝලීය වසංගතයට, එමෙන් ම යුද්ධයට, සමාජ අසමානතාවට, සූරා කෑමට සහ ආඥාදායකත්වයට එරෙහි සටන යනු සමස්ත ධනපති සමාජ සහ ආර්ථික පර්යායයට එරෙහි සටනකි. සියලු රටවල කම්කරුවන් බලය තමන් අතට ගැනීමටත්, කතිපයාධිකාරය අස්වාමික කිරීමටත්, පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ අරමුනින්, තාර්කික, විද්‍යාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කෙරුනු නිෂ්පාදන ක්‍රමයක් මත පදනම් වූ සමාජවාදී සමාජයක් ගොඩනැගීමටත් පොදු දේශපාලන ප්‍රහාරයකට ඒකාබද්ධ විය යුතු ව ඇත."

මෙම දේශපාලන ප්‍රහාරය සඳහා කම්කරුවන් සූදානම් කිරීමේදී තීරනාත්මක වන හජාජාක ජාත්‍යන්තර ඔන්ලයින් මැයි රැලිය මැයි මස පලමු වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.30ට පැවැත්වේ. එම රැලියට සම්බන්ධ වන මෙන් ලංකාවේ කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යයන් ඇතුලු සියලු හිතන මතන කන්ඩායම් වලින් අප ඉමහත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.

දැන්ම ලියාපදිංචි වන්න.

Loading