ආන්ඩුව “අසත්‍ය ප්‍රකාශ” වැලැක්වීමේ කඩතුරාව යටතේ අන්තර්ජාලය වාරනය කිරීමට සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, පසුගිය 19 වනදා “අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රකාශ වලින් ආරක්ෂා වීමට” අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ පනතක් සඳහා කැබිනට් යෝජනාවක් සම්මත කලේය. 

මෙය, රාජපක්ෂ ආන්ඩුවේ විරුද්ධවාදීන්ගේ දේශපාලන විවේචන සහ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව තුල වැඩෙන විරෝධය අන්තර්ජාලය තුල ප්‍රකාශයට පත්වීම වැලැක්වීමත්, එකී ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් අන්තර්ජාලය හරහා සංවිධානයවීමට වලකැපීමත් එල්ල කරගත් රුදුරු ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරකි. 

පනත ඉදිරිපත් කිරීමට දිනයකට පෙර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් අධිකරන අමාත්‍ය අලි සබ්රි සඳහන් කලේ සිංගප්පූරුවේ ඇති “අන්තර්ජාල අසත්‍යකරනයන් හා විකෘතකරනයන්ට එරෙහි පනත - 2018" ආකාරයේ පනතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.

මෙය, රාජපක්ෂ ආන්ඩුව සහ පෙර පැවති ආන්ඩු පසුගිය කාලය පුරා අන්තර්ජාල වාරනය සඳහා ගෙන ගිය වැඩකටයුතු වඩා ඉහල තලයකට නැංවීමකි. දේශීය වෙබ් අඩවි නියාමනය කිරීමට සහ සමාජ මාධ්‍ය පරිශීලකයන් ලියාපදිංචි කිරීමට කටයුතු යොදන බව ආන්ඩුව පසුගිය වසරේ නිවේදනය කලේය. 

පසුගිය සිරිසේන-වික්‍රමසිංහ පාලන සමයේ මෙම වාරනය නීතිගත කිරීම සඳහා කීප වරක්ම උත්සාහ දැරූ නමුත්, ආන්ඩුව මුහුනදුන් දේශපාලන අර්බුදය සහ නැගුනු මහජන විරෝධය හමුවේ එය හකුලා ගැනීමට සිදුවිය. 2019 පාස්කු ප්‍රහාරය දඩමීමා කර ගනිමින් ජනාධිපති සිරිසේන දෙවරක්ම සමාජ මාධ්‍ය වාරනය කලේය.

2018 සිංගප්පූරුවේදී සම්මත කෙරුනු ඉහත පනත, අන්තර්ජාලය තුල තොරතුරු බෙදාහදා ගැනීම වාරනය කල හැකි අධිකාරී බලතල ආන්ඩුව අත ගොනු කරන ලද එකකි. එමගින් ආන්ඩුවට අන්තර්ජාලය තුල පලවන ඕනෑම දෙයක් "නිවැරදි" කරන ලෙස නියෝග කල හැකිය. පනත යටතේ පවරන චෝදනා වලට වැරදිකරු වුවහොත් දස වසරක් දක්වා වූ සිර දඬුවමකට හෝ ඩොලර් මිලියනයක් දක්වා වූ දඩයකට යටත් වේ. මෙම පනත, සිංගප්පූරුව තුල විරුද්ධවාදීන්ගේ අදහස් වාරනය සහ මර්දනයට යොදාගැනීම පිලිබඳ කුප්‍රකටය.

අලි සබ්‍රි-(ෆේස්බුක් පිටුවෙනි)

අලි සබ්රි, මාධ්‍ය සාකච්ඡාව තුලදී පනත තුල සලකා බැලෙන කරුනු කාරනා ඉදිරිපත් කලේය. ඔහු සඳහන් කලේ “රටේ ජාතික ආරක්ෂාවට සහ ජාතින් අතර සංහිඳියාවට හානි නොකිරීම, සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අසත්‍ය ඉදිරිපත් නොකිරීම, ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්ති නාමය විනාශ නොකිරීම.” ආදී කාරනා වලට “යටත්ව” භාෂනයේ නිදහස ක්‍රියාත්මක විය යුතු බවයි. මෙහි සරල අදහස, ඉහත ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ආන්ඩුවේ පිලිවෙත් සහ ධනපති රාජ්‍යය විවේචනය කෙරෙන කවර හෝ ප්‍රකාශයක් නව පනත යටතේ නීති විරෝධී කල හැකි බවයි.

ආන්ඩුවේ මූලික උත්සුකය පවතින්නේ සබ්රි ප්‍රථමයෙන් සඳහන් කල “ජාතික ආරක්ෂාව” සම්බන්ධයෙනි. කුමන සලු පිලි යොදා සැරසුවත් "ජාතික ආරක්ෂාව" යනු කම්කරු පීඩිත මහජනතාවගෙන් එල්ල වන තර්ජනයෙන් ධනපති පන්තියේ සහ ධනපති රාජ්‍යයේ ආරක්ෂාවයි. 

ජාතීන් අතර සංහිඳියාව සම්බන්ධයෙන් ආන්ඩුවේ උත්සුකය ව්‍යාජයකි. ලංකාවේ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු සියල්ලම මුස්ලිම් සහ දෙමල විරෝධී වර්ගවාදය යහමින් වැපිරවූවන් ය. ඔවුන්ට ඒ සම්බන්ධයෙන්, තිස්වසරක් පුරා දෙමල විරෝධී යුද්ධයක් දියත් කල ලේ වැකි ඉතිහාසයක් පවතී.

වඩා දුර දිග යමින් සබ්රි සඳහන් කලේ සිංගප්පූරුවේ පවතින ආකාරයට සමාජ මාධ්‍යවල තොරතුරු ප්‍රචාරය වීම නියාමනය කිරීමට “නීතිමය රෙජීමයක්” පිහිටුවිය යුතු බවයි.  රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සමාජ මාධ්‍ය වල පලවන දෑ පිලිබඳ අවධානය යොමු කරමින්, "භාෂනයේ නිදහස කියලා ඕන දෙයක් කරන්න පුලුවන් වල්බූරු නිදහසක් නෑ” යනුවෙන් සබ්රි තර්ජනාත්මකව සඳහන් කලේය. මේ අනුව භාෂනයේ "නිදහසේ" සීමාව නිර්නය කරන්නේ මෙම "නීතිමය රෙජිමයෙන්" ය.

කොවිඩ් වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ගෝලීය ධනේශ්වර පද්ධතියේ අර්බුදයට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුව එයට ප්‍රතිචාර ලෙස මහජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙතට එල්ල කරන ප්‍රහාරය තීව්‍ර කරමින් සිටී. මෙම ප්‍රහාරය කම්කරු පීඩිත මහජනතාවගේ වැඩෙන අරගල රැල්ලක් ජනිත කර ඇති අතර, සෞඛ්‍ය සේවකයෝ, ගුරුවරු සහ වතු කම්කරුවෝ දැනටමත් අරගලයට පැමින සිටිති. 

මෙම තතු යටතේ රාජපක්ෂ ආන්ඩුව සීමිත හෝ විවේචනයක් නොඉවසන අතර, පැනනැගී ඇති අරගල රැල්ලට එම විවේචනයන් මගින් ගිනි අවුලුවනු ඇතැයි බිය වී සිටී. විවේචනශීලී මාධ්‍යවේදීන් සහ කලාකරුවන්ට එරෙහිව කරන බුරා පැනීම්, පහරදීම් සහ සිරගත කිරිම් ඇතුලු රුදුරු මර්දනය පිටුපස ඇත්තේ මෙම භීතියයි. 

වැඩෙන පන්ති අරගල රැල්ලට රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිචාරය වනුයේ මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කරමින් එය රුදුරු ආකාරයෙන් තලා දැමීමයි. 

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම පසුගිය දිනක ආඥාදායක පාලනයක් ඉල්ලා සිටිමින් හිට්ලර් මෙන් ක්‍රියා කරන ලෙස ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටීම පාලක පන්තියේ මෙම ප්‍රතිගාමී අවශ්‍යතාව ඉහලින්ම ප්‍රකාශයට පත්වූ අවස්ථාවකි. මෙම ආඥාදායක ගමනේ ප්‍රමුඛතම අංශයක් ලෙස රාජපක්ෂ ආන්ඩුව මිලිටරීකරනය තීව්‍ර කරමින් සිටී. පසුගිය 20 වනදා ජනාධිපති නිකුත් කල ගැසට් නිවේදනයක් මගින් පරිපාලන දිස්ත්‍රික්ක පහකට මහජන සාමය පවත්වාගෙන යාමේ කඩතුරාව යටතේ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තැබින. 

අන්තර්ජාල හා සමාජ මාධ්‍ය දෙසට ආන්ඩුවේ අවධානය සුවිශේෂිව යොමු වීමට මූලික හේතුව වනුයේ, ඒවා ධනපති ආන්ඩුවල හොරනෑ ලෙසින් ක්‍රියා කරන සාම්ප්‍රදායික මාධ්‍ය වලට ප්‍රතිවිරුද්ධව මහජනතාවගේ විරෝධය ප්‍රකාශයට පත් වන ක්ෂේත්‍රයන් වීම නිසා ය. 

වැඩෙන මහජන විරෝධය අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යයන් හරහා පුපුරා යනු ඇතැයි බියපත්ව සිටින ආන්ඩුව යුහුසුලුව පියවර ගනිමින් සිටින්නේ, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය මත අධිකාරය පවත්වා ගනිමින් ඒවා රුදුරු ආකාරයෙන් මර්දනය කිරීමටයි. 

2019 දී සයිබර් ආරක්ෂක සමුලුවකට සහභාගී වෙමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ “සයිබර් අවකාශීය යුද්ධයක්” සඳහා ආන්ඩුව සූදානම් විය යුතු බවයි. රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින්නේ එම යුද්ධය යි.

කොලඹට සංක්‍රමනය වී සිටින වතුකරයේ තරුනයන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා 2018 ඔක්තෝබරයේ දී ගාලුමුවදොර පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂනය

ඊජිප්තු විප්ලවය, ප්‍රන්සයේ “යෙලෝ වෙස්ට්” ව්‍යාපාරය, ඉන්දියාවේ ගොවි විරෝධතා උද්ඝෝෂනය සහ කොලඹට සංක්‍රමනය වී සිටින වතුකරයේ තරුනයන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා 2018 ඔක්තෝබරයේ දී ගාලුමුවදොර පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂනය ආදිය සංවිධානය කිරීමේදී සමාජ මාධ්‍ය ජාලා ඉෂ්ඨ කල කේන්ද්‍රීය භූමිකාව සම්බන්ධයෙන් ආන්ඩුව ඉතා දැනුවත් ය.   

රාජපක්ෂ ආන්ඩුව පමනක් නොව, අන්තර්ජාලය තමන්ට එරෙහිව වර්ධනය වන අනතුරක් ලෙසින් දැක ගන්නා ලොවපුරා පාලක පන්තීහු "අසත්‍ය ප්‍රකාශ වැලැක්වීමේ" මුවාවෙන් අන්තර්ජාල වාරනය තුල බොහෝ දුර ගමන් කරමින් සිටිති. නේපාලය තුල සමාජ මාධ්‍ය වාරනය කිරීම සඳහා පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මේ ආකාරයේම තොරතුරු තාක්ෂන පනතක් ඉදිරිපත් කලේය. ඉන්දියාව තුල පසුගිය දිනවල කොරෝනා වසංගතයට ආන්ඩුව දක්වන සාපරාධී ප්‍රතිචාරයට එරෙහිව ට්විටර් සටහන් පලකල ගිනුම් අවහිර කිරීමට ආන්ඩුව විසින් පියවර ගත්තේය.

මෙම අන්තර්ජාල වාරනයේ මූලික ඉලක්කය වනුයේ, කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි. එය ගූගල් සෙවුම් යන්ත්‍රය තුල නිරන්තර වාරනයට ලක් වෙමින් පවතී.  

Loading