ධනවාදය සූදානම් වන්නේ යුද්ධ කිරීමට මිස, වසංගතයට නො වේ

[මෙහි පලවන්නේ Capitalism prepares to fight wars, not the pandemic  මාතෘකාවෙන් 2021 අප්‍රේල් 28 දින පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි. ]

පසුගිය වසරේ දී, කොවිඩ්-19 වසංගතය රටින් රටට පැතිර යත්ම,  පලමුව චීනයේ ද, පසු ව ඉතාලියේ ද, ඊට පසු ව ඇමරිකාවේ ද, වංසගතයේ සෑම නව පිපිරීමක් සඳහා ම වැඩ කරන ජනතාව ප්‍රතිචාර දැක්වූයේ සංවේගය හා සහයෝගීතාව ප්‍රකාශ කිරීම සමගිනි.

ලොව පුරා කම්කරුවෝ වුහාන් හි වෛද්‍යවරුන්ට සහ බර්ගමෝ හි (ඉතාලියේ නගරයකි) හෙදියන්ට ඔල්වරසන් දුන්හ. වෛද්‍යවරු ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් සමඟ ලිපි හුවමාරු කර ගත් අතර, ඔවුන්ට පවරා ඇති රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා නවතම දැනුම හා තොරතුරු හුවමාරු කර ගත්හ. රෝගයේ මූලාරම්භය, එහි ජානමය අනුපිලිවෙල සොයා ගැනීමට සහ එන්නත් නිපදවීමට විද්‍යාඥයෝ ජාතික දේශසීමා හරහා සමීප ව සහයෝගයෙන් කටයුතු කලහ.

එක්සත් ජනපද ගුවන් හමුදාවේ එෆ් -35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා දකුනු කොරියාවේ කොරියානු අර්ධද්වීපයට බෝම්බ හෙලයි. (දකුනු කොරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය ඒපී හරහා)

නමුත් ලෝකයේ ආන්ඩුවලට වෙනත් අදහස් තිබුනි. දරුනු වසංගතයක් මධ්‍යයේ  පසුගිය වසරේ මිලියන තුනකට අධික පිරිසකගේ ජීවිත අහිමි වූ අවස්ථාවේ, ලොව පුරා ආන්ඩු වාර්තාගත මුදලක්, එනම් ඩොලර් ට්‍රිලියන 2කට ආසන්න ප්‍රමානයක් ආයුධ සහ යුද්ධයට සූදානම් වීම සඳහා වියදම් කලහ.

ගෝලීය ආර්ථික නිෂ්පාදනය සියයට 4.4කින් පහත වැටුන ද - දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ විශාලතම ආර්ථික කඩාවැටීම - ලොව පුරා මිලිටරි වියදම් සියයට 2.6කින් ඉහල ගියේ ය.

කොවිඩ්-19 වසංගතයෙන් 587,000ක් මියයමින් හා එම අගයන් තවත් ඉහල යන, එක්සත් ජනපදය හෙවත් මරනයන්ගේ ගෝලීය ප්‍රමුඛයා මේ වන විට මිලිටරිය සඳහා ලෝකයේ විශාලතම වියදම කරන්නා ද වේ. එක්සත් ජනපදය පසුගිය වසරේ දී සිය ආයුධ වියදම් ඩොලර් බිලියන 870ක් දක්වා සියයට 4.4 කින් ඉහල නැංවූ අතර, එය ඊලඟ රටවල් 10 එකතුවට වඩා වැඩි ය.

එක්සත් ජනපද හමුදාව උද්‍යෝගයෙන් මුදල් විසිරුවා හරියි. අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලවල සිට සුපර්සොනික් රහසිගත බෝම්බ හෙලන යානා සහ න්‍යෂ්ටික මිසයිල සබ්මැරීන දක්වා වොෂිංටනයේ පිම්බුනු න්‍යෂ්ටික අවි වැඩසටහනේ සෑම ශාඛාවක්ම නැවත ගොඩනඟමින් හා පතුලේ සිට ම පුලුල් කෙරෙමින් තිබේ. සමහර විට සියල්ලෙන් ඉතාමත් අනතුරුදායක ලෙස, ජපානය, තායිවානය සහ පිලිපීනය තුල ස්ථානගත කර ඇති ගොඩබිම බැලස්ටික් මිසයිල සමඟ චීන වෙරල තීරය වට කිරීම සඳහා එම මුදල් උපයෝගී කරගනිමින් ආසියා-පැසිෆික් කලාපයේ මිලිටරි වියදම් දෙගුන කිරීමට එක්සත් ජනපදය අදහස් කරයි.

මිලිටරිය සඳහා වන එක්සත් ජනපද ආන්ඩුවේ වියදම්  වසංගතය ආරම්භයේ සිට ම සෞඛ්‍ය හා එන්නත් සඳහා වන හදිසි මධ්‍යම ආන්ඩු වියදම් විශාල වශයෙන් අඩු කලේ ය. 2020 මාර්තු මාසයේ දී සම්මත කරන ලද කෙයාස් පනතට (CARES act) හදිසි සෞඛ්‍ය සේවා වියදම් සඳහා ඩොලර් බිලියන කීපයක් පමනක් ඇතුලත් වූ අතර, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් යටතේ සම්මත කරන ලද, ඇමරිකානු ගලවා ගැනීමේ සැලැස්මේ (American Rescue Plan) හදිසි සෞඛ්‍ය සත්කාර වැඩසටහන් සඳහා වියදම වාර්ෂික එක්සත් ජනපද මිලිටරි අයවැයෙන් අටෙන් එකක් පමනි.  

ලෝකයේ සියලු ම අධිරාජ්‍යවාදී රටවල් තමන්ගේ මිලිටරි වියදම් විශාල වශයෙන් පුලුල් කරමින් සිටී. ඒ අතර පෙරමුන ගනිමින් සිටින්නේ, ලෝක ආධිපත්‍යය සඳහා වූ තම ආක්‍රමනකාරී ගවේෂනය ලෝක යුද්ධ දෙකක් ඇවිලවීමට දායක වූ ජර්මනිය යි. ජර්මනියේ මිලිටරි වියදම් පසුගිය වසරේ දී සියයට පහකින් වැඩි කෙරුනු අතර එය පසුගිය දශකය තුල තුනෙන් එකකින් පමන ඉහල ගොස් තිබේ.

ප්‍රන්සය හා බ්‍රිතාන්‍යය තමන්ගේ වියදම් සියයට 2.9කින් ඉහල නැංවූ අතර එය ගෝලීය සාමාන්‍යයට වඩා සැලකිය යුතු ප්‍රමානයකි.

එක්සත් ජනපදය, ප්‍රන්සය, ජර්මනිය හා එක්සත් රාජධානියේ ආන්ඩු සියල්ල ම  කොවිඩ්-19 මැඩපැවත් වීම සඳහා අත්‍යවශ්‍ය නො වන ව්‍යාපාර වසා දැමීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, මෙම තීරනාත්මක ජීවිතාරක්ෂක වැඩ පිලිවෙල සමාජයට දැරිය නො හැකි යැයි තර්ක කරමිනි.

ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කලේ ජනතාව “වෛරසය සමඟ ජීවත් වීමට උගත යුතුව” ඇති බව යි. එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්, අගුලු දැමීම ප්‍රතික්ෂේප කරමින්,“සිරුරු දහස් ගනනක් ගොඩ ගැසීමට ඉඩ දෙන”  විකල්පය වඩා හොඳ යැයි කියා සිටියේ ය. එක්සත් ජනපදයේ, සමූහ  ආසාදනය වේගවත් ආර්ථික ප්‍රකෘතියකට තුඩු දෙනු ඇතැයි කියා සිටි ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් ප්‍රකාශ කලේ, “අපට ඔවුන් ආසාදනය වීම අවශ්‍යයි” කියා ය.

වසංගතය අඩපන කිරීම මිල අධික දෙයක් යැයි කියා සිටිය ද, ලොව පුරා ධනේශ්වර ආන්ඩු තමන්ගේ සන්නද්ධ හමුදා සහ ආයුධ නිෂ්පාදකයින් සඳහා ඩොලර් ට්‍රිලියන 2ක් සොයා ගත්හ.

වසංගතයට එරෙහි සටන එහි ස්වභාවයෙන්ම ගෝලීය අරගලයකි. අන්තර්ජාතික ඔන්ලයින් මැයි දින රැලිය සඳහා වන තම ප්‍රකාශනය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මෙසේ පැහැදිලි කලේ ය.

වසංගතය පැතිරෙන තැන්වල එන්නත්වලට ප්‍රතිරෝධී විය හැකි නව ප්‍රභේද මතුවීම පෙන්නුම් කරන්නේ, වසංගතය ගෝලීය වශයෙන් මුලිනුපුටා දැමුවහොත් මිස කිසිදු රටක එය තුරන් කල නො හැකි බව යි. ධනේශ්වර බලවතුන් අතර ජාතික තරඟය වසංගතයට ගෝලීය වශයෙන් සමායෝජිත ප්‍රතිචාරයක් අවහිර කර ඇත. දැන් ප්‍රමුඛ ධනවාදී රටවල්  විසින් ජීවිතාරක්ෂක එන්නත ගබඩා කෙරෙමින් තිබෙන අතර තම භූදේශපාලනික කුමන්ත්‍රන සඳහා මෙවලමක් ලෙස භාවිතා කරනු බේ.

කොවිඩ්-19 වසංගතය ධනේශ්වර ආන්ඩු හා ලොව පුරා පාලක ප්‍රභූන් විසින්  ජාතිකවාදය, විදේශිකභීතිකාව සහ මිලිටරිවාදය දරුනු ලෙස පුපුරා හැරීම ක්‍රියාරම්භ කර ඇත.

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ්-19 වසංගතය “චීන වෛරසය” සහ “කුං උන” ලෙස හැඳින්වීය. දැන් බයිඩන් පරිපාලනය චීනය යක්ෂාවේශ ගැන්වීමේ ට්‍රම්ප්ගේ උත්සාහය ඉදිරියට ගෙන යමින් සිටින්නේ,  වසන් කිරීමක් සඳහා බීජිනය වග කිව යුතු අතර රෝගය රසායනාගාරයක නිර්මානය කරන ලද ජීව විද්‍යාත්මක අවියක් බව ව්‍යාජ ලෙස කියා සිටිමිනි. චීනය යක්ෂයෙකුට ආරූඪකිරීමේ මෙම ප්‍රයත්නයන්ගේ ප්‍රතිපලයක් ලෙස, ආසියානු ඇමරිකානුවන්ට එරෙහි ව වාර්ගික ව උසිගන් වූ ප්‍රචන්ඩ ප්‍රහාර පසුගිය වසර පුරා ඉහල ගොස් තිබේ.

ජීවිත බේරා ගැනීම සඳහා ගෝලීය ව සම්බන්ධීකෘත  හදිසි වැඩපිලිවෙලක් අවශය අවස්ථාවේ, විනාශය හා මරනයේ උපායන් සඳහා වන දැවැන්ත හා වාර්තාගත මූල්‍යකරනය, සමස්ත ධනේශ්වර පර්යායේ ඓතිහාසිකව යල්පැනගිය හා බංකොලොත් ස්වභාවය පැහදිලි කරයි.

මානව ජීවිතය කෙරෙහි තම සාපරාධී උදාසීනත්වයේ දී, වසංගතයෙන් සමූහ  මරනයට පත්කිරීමට දරන තම උත්සාහයේ දී, පාලක ප්‍රභූහු එ් අතරම ලෝක යුද්ධයේ බිහිසුනු ප්‍රතිවිපාක සඳහා ජනගහනය සූදානම් කිරීමට උත්සාහ කරමින් සිටිති.

කෙසේවෙතත්, ලොව පුරා දේශපාලනය හා සමාජ සංවිධානය සඳහා වෙනස් අක්ෂයක් මතුවෙමින් තිබේ. ධනේශ්වර කතිපයාධිකාරය පොහොසත් කිරීම සඳහා සියලු සමාජ හා ආර්ථික ජීවිතය යටත් කිරීමට එරෙහි ව කම්කරුවෝ වැඩ වර්ජන හා අරගල රැල්ලක නිරත වෙති.

මෙම අරගල ඒකාබද්ධ කිරීම සහ ධනේශ්වර පාලක ප්‍රභූන් විසින් පාලනය කරනු ලබන ආන්ඩුවල මිනීමරු ප්‍රතිපත්තිවලට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීම සඳහා, හජාජාක ප්‍රකාශය, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් (ක්‍රිකජාස) පිහිටුවීමට ඉල්ලා සිටියේ ය. ක්‍රිකජාස කම්කරුවන්ට එරෙහි ව කම්කරුවන්, ජාතීන්ට එරෙහිව ව ජාතීන් කෙටවීමේ සියලු උත්සාහයන්ට එරෙහි ව ලොව පුරා කම්කරුවන් එක්සත් කිරීමට සටන් කරනු ඇත.

බලගතු ප්‍රතිප්‍රහාරයක වර්ධනය කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම හා සම්බන්ධ කල යුතු ය. වසංගතයට එරෙහි සටන මෙන්ම මිලිටරිවාදී ප්‍රචන්ඩත්වයට එරෙහි සටන ද ධනවාදී පද්ධතියට හා එය සේවය කරන කතිපයාධිකාරයට එරෙහි සටනකි. මෙම ප්‍රයත්නයට එක්වීමට මෙන් ම අද ම ජාත්‍යන්තර මැයි දින රැලියට සහභාගී වීමට ලියාපදිංචි වන ලෙස අපි අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.