ඉදිරිදර්ශන

බයිඩන්ගේ නව උදාව: මායාව සහ යතාර්ථය

[පහත පලවන්නේ Biden’s new dawn: Illusion and reality  මාතෘකාවෙන්  2021 අප්‍රේල් 30 දින නිකුත් කල ඉදිරිදර්ශනයේ සිංහල පරිවර්තනයයි.]

බදාදා රාත්‍රියේ කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසියකට බයිඩන් කල කතාව තුල සඳහන් වූ එක්සත් ජනපදයේ නව උදාව පිලිබඳ ප්‍රකාශයන් පිටුපස ඇත්තේ ඇමරිකානු පාලක පන්තියේ භීතිය, අර්බුදය සහ අපේක්ෂා භංගත්වය පිලිබඳ චිත්‍රයකි.

එහිදී, ප්‍රතිසංස්කරන ක්‍රියාමාර්ග සඳහා වන විවිධ ඉල්ලීම්වලට වඩා සුවිශේෂ වූ, වඩා වැදගත් හා දුෂ්ට උපායමාර්ගික ඉදිරිදර්ශනයක් විස්තාරනය කරන ලදි: එය වූ කලී අවශ්‍ය නම්, යුද්ධය හරහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා චීනය සමඟ ගැටුමකට දේශපාලන රාමුවක් නිර්මානය කිරීම යි.

ජනාධිපති ජෝ බයිඩන් 2021 අප්‍රේල් 28 බදාදා වොෂිංටනයේ එක්සත් ජනපද කොන්ග්‍රස් සභා ගර්භයේදී කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසියකට කතා කරයි. (මයිකල් රෙනෝල්ඩ්ස් / ඒපී එකතුවෙන්)

දශක ගනනාවක් තුල ජනාධිපතිවරු කොන්ග්‍රසය වෙත සිය වාර්ෂික දේශනවලදී “එක්සත් වූ රාජ්‍යය ශක්තිමත්” යැයි ප්‍රකාශ කිරීම චාරිත්‍රානුකූල වී ඇති මුත්, එක්සත් ජනපදයේ සමාජ තත්වය ව්‍යසනයට වඩා අඩු දෙයක් නොවන බව බයිඩන් ට අවංකව පිලිගැනීමට සිදුවිය: “ශතවර්ෂයක් තුල නරකම වසංගතය. මහා අවපාතයෙන් පසු ඇති වූ දරුනුතම ආර්ථික අර්බුදය. සිවිල් යුද්ධයෙන් පසු අපේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ දරුනුතම ප්‍රහාරය.” යමෙකු, ඇමරිකානු සමාජයේ යථාර්ථය නිරූපනය කල බයිඩන් ගේ එම වැකිය වෙන් කොට බැලුවහොත්, එය එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් මුහුන දෙන දරිද්‍රතාව, සාගින්න සහ අපේක්ෂා භංගත්වය පිලිබඳ බිහිසුනු චිත්‍රයක් සපයයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපියක් කියවන්නාක් මෙන්, බයිඩන්, ධනය විශාල වශයෙන් සංකේන්ද්‍රනය වීම ගැන කියනු අසන තැනැත්තා පුදුමයට පත් වන්නට ඇත. “වසංගතය, වැඩකරන සහ මධ්‍යම පන්තික ඇමරිකානුවන් මිලියන 20 කට රැකියා අහිමි කලේය. ඒ සමගම, එම කාලය තුල ම දල වශයෙන් ඇමරිකාවේ බිලියනපතියන් 650 ක් ඔවුන්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1 කට වඩා වැඩි කරගෙන තිබේ.”

තවදුරටත්, ඔහු සිය ධුරයේ පලමු දින 100 ගැන සඳහන් කල අතර, ආන්ඩුව පෙරලා දැමීමේ ආසන්නයට ම පැමිනි ජනවාරි 6 ෆැසිස්ට් කැරැල්ලෙන් පසු දින 114 ගැන සඳහන ඇමරිකානු සමාජයේ සැබෑ තත්වය වඩාත් හෙලිදරව් කරන්නක් විය. ඔහු කතා කරන විට පවා, කොන්ග්‍රස් ශාලා ගොඩනැගිල්ල අවට වීදි වසා දමා, පොලිස් සහ ජාතික ආරක්ෂක භටයන් මුර සංචාරයේ යෙදෙමින් සිටිය හ.

බයිඩන්ට අනුව, ඔහුගේ ධුරයේ පලමු දින 100 තුල තත්වය දැනටමත් විශාල ලෙස වෙනස් වී ඇත. “මට ජාතියට කිව හැකිය, ඇමරිකාව යලිත් ගමන් කරමින් සිටී. අනතුර ශක්‍යතාවක් බවට ද, අර්බුදය අවස්ථාවක් බවට ද, පසුබෑම ශක්තියක් බවට ද හැරී තිබේ.” කෙසේවෙතත්, මිලියන ගනනකට තවමත් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර මරන තර්ජනයට මුහුන දී සිටිති. මිලියන ගනනක් තවමත් රැකියා විරහිතව හා දරිද්‍රතාවයෙන් පෙලෙති. එක්සත් ජනපද මන්ත්‍රන සභා ශාලා ප්‍රහාරයට දේශපාලනිකව වගකිව යුතු කිසිවෙකු නීතිය හමුවට ගෙනවිත් නොමැත. ඊට පටහැනිව, බයිඩන් විසින් අමතන ලද ශ්‍රාවකයේ ආසනවලින් අඩකට ආසන්න ප්‍රමානයක් ඔවුන්ගෙන් පිරී තිබූ අතර, බයිඩන් ඔවුන් හැඳින්වූයේ “විරුද්ධ පිලේ සිටින මගේ මිතුරන්” යනුවෙනි.

එක්සත් ජනපදය තුල වර්ධනය වන ගැඹුරු සමාජ කෝපය පිලිබඳව දැන සිටි බයිඩන් ඩොලර් මිලියන ගනනක වැඩසටහන් දෙකක් සම්මත කරගන්නා ලෙස කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටියේය. “ඇමරිකානු රැකියා සැලැස්ම” ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුලුව “මිලියන සංඛ්‍යාත ජනතාවට නැවත වැඩට සහ ඔවුන්ගේ වෘත්තීන් වෙත ආපසු යාමට උපකාරී වනු ඇත” යනුවෙන් ඔහු කියා සිටියේය. “ඇමරිකානු පවුල් සැලැස්ම” මඟින්  සියලු දෙමව්පියන් සඳහා ගුනාත්මක, දැරිය හැකි ලමා රැකවරනයක්; සති 12 ක සහතික කල වැටුප් සහිත වෛද්‍ය නිවාඩුවක්; ලමා බදු නය පුලුල් කිරීමක් ඇතුලුව වසර දෙකක නිදහස් ප්‍රජා පාසලක් ඇතුලුව සැමට හොඳ අධ්‍යාපනයක් සහතික කරනු ඇත.

ඇසට පෙනෙන දේට වඩා බයිඩන්ගේ යෝජනා බොහෝ සෙයින් අඩු මට්ටමක පවතියි. කොන්ග්‍රසය හරහා යමක් සම්මත වුවත් එය ඇත්ත වශයෙන්ම ක්‍රියාවට නැංවීමට ඇති ඉඩකඩ අඩුය.

බයිඩන්ගේ දේශපාලනය යනු සදාචාරමය මැදුම් පිලිවෙතක් පිලිඹඳ දේශපාලනයකි - එනම් සෑම දෙනාම සඳහා සෑම දෙයක්ම හිමිවන පරිදි,  අසමානතාවයට එරෙහිව සටන් කෙරනු ඇති අතර, “ප්‍රකෝටිපතියෙකු හා කෝටිපතියෙකු වීමට ඔබට හැකි විය යුතු යැයි මම සිතමි” ඔහු පවසයි. බයිඩන් යෝජනා කරන සියලු වෙනස්කම් මූල්‍ය කතිපයාධිකාරයේ ධනයට කිසිදු බාධා කිරීමකින් හෝ දේපල හිමිකාරිත්වයේ වෙනස්වීමකින් තොරව කෙසේ හෝ සාක්ෂාත් කර ගනු ඇත.

ඔහු 2017 රිපබ්ලිකන් බදු කප්පාදුවේ දල අසමානතාවය පෙන්වා දුන්නේය, විශාලතම සමාගම් 55 ක් ඩොලර් බිලියන 40 ක ලාභ ලැබුව ද වුවද බදු නොගෙවති. එහෙත් ඔහුගේ විසඳුම වූයේ සංගත බදු අනුපාතය සියයට 21 සිට සියයට 28 දක්වා ඉහල නැංවීම (ට්‍රම්ප්ගේ බදු කප්පාදුවෙන් අඩක් පමනක් ආපසු හැරවීම) සහ සුපිරි ධනවතුන් සඳහා ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ පාලනය තුල තිබූ ආදායම් බදු අනුපාතය ප්‍රතිෂ්ඨාපනය කිරීම යි.

මෙම සියලු යෝජනා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ස්ථාවරය ආරක්ෂා කිරීම යන අත්‍යවශ්‍ය කාරනය වටා සකස් විය.

කතාවේ ප්‍රධාන තේමාවක් වූයේ වෙනත් බලවත් රටවලින් සහ සියල්ලටත් වඩා චීනයෙන් “21 වන සියවස දිනා ගැනීම” සඳහා ඇමරිකාවට බයිඩන් යෝජනා කල පියවරයන් අවශ්‍ය බවය. “බීජිං වෙනුවට පිට්ස්බර්ග් හි සුලං ටර්බයින සඳහා තල සෑදිය නොහැකි වීමට කිසිදු හේතුවක් නැත,” බිඩෙන් ගේ චීන ආර්ථික තරඟය ගැන දුසිම් භාගයක සඳහන් කිරීම් අතරින් එකක පැවසීය.

ජනාධිපති ෂී යටතේ චීනය “ලෝකයේ වඩාත්ම වැදගත්, බලපුලුවන්කාර  රට බවට පත්වීම ගැන අධික උනන්දුවක් දැක්වූවා” යැයි බයිඩන් පැවසීය. ඇමරිකානු ජාතිකවාදයට නිරන්තරයෙන් ආරාධනා කරමින් වැඩ කරන ජනතාව අධිරාජ්‍යවාදී යුද මෙහෙයුමට ඇතුලත් කරගැනීමට ඔහු උත්සාහ කලෙිය. ඔහුගේ ව්‍යවස්ථාව යටතේ ඔහු ප්‍රකාශ කලේ, “ඇමරිකානු රැකියා නිර්මානය කිරීම සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත ඇමරිකානු භාන්ඩ මිලදී ගැනීමට ඇමරිකානු බදු ඩොලර් යොදා ගැනේ.”

තානය හා වාචාලතාවයේ ධ්වනි වෙනස්වීම් යමෙකු කපා හල විට, විශේෂයෙන් චීනය ඉලක්ක කර ගත් බයිඩන්ගේ ආර්ථික ජාතිකවාදය, වෙලඳ යුද ක්‍රියාමාර්ග සහ මිලිටරිවාදී ගොඩනැගීම බොහෝ දුරට ට්‍රම්ප්ගේ ම සටන් පාඨය වන “ඇමරිකාව අංක එක” ට අනුකූල වේ.

පාලක පන්තිය සහ එහි චින්තකයන් තුල, ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදය සඳහා දේශීය දේශපාලන රාමුවක් ස්ථාපිත කිරීම ගැන යි. ෆොරින් අෆෙයාර්ස් සඟරාවේ නවතම සංස්කරනය මෙම ප්‍රශ්නයට කැප කර ඇත. “ස්වදේශ පෙරමුන: ජාත්‍යන්තරවාදී විදේශ ප්‍රතිපත්තියක් සඳහා ශක්තිමත් ගෘහස්ථ පදනමක් අවශ්‍ය වන්නේ ඇයි?” චාල්ස් කුප්චාන් සහ පීටර් ටර්බෝවිට්ස් [යන ජාත්‍යන්තර සබඳතා පිලිබඳ කතුවරු] කනස්සල්ලට පත්වන්නේ එක්සත් ජනපදය යලිත් “ලෝකය මෙහෙයවීමට සූදානම්” බවට බයිඩන් දුන් පොරොන්දුව නොතකා එක්සත් ජනපද ජාත්‍යන්තරවාදයේ දේශපාලන පදනම් [එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ආධිපත්‍යය] බිඳ වැටී” තිබීම ගැන යි.

කතුවරුන් ප්‍රකාශ කරන්නේ, “බයිඩන්ට අවශ්‍ය වන්නේ රට තුල ඇති අත්‍යවශ්‍ය දෑ විදේශයන්හි අරමුනු සමඟ සම්බන්ධ කරන 'සම්පූර්න' ප්‍රවේශයකි. බොහෝ දේ රඳා පවතින්නේ ජාත්‍යන්තරවාදයට පුලුල් මහජන සහයෝගයක් ගොඩනඟා ගැනීම සඳහා එඩිතර පියවර ගැනීමට ඇති ඔහුගේ කැමැත්ත සහ හැකියාව මත ය.”

බිඩෙන්ගේ “නිර්භීත ක්‍රියාව” අවසානයේදී සුලු කරුනක් වනු ඇත. වියට්නාම් යුද්ධයෙන් ලින්ඩන් ජොන්සන්ගේ ශ්‍රේෂ්ඨ සමාජය විනාශ වූ බව කවුරුත් දන්නා කරුනකි. “තුවක්කු සහ බටර්” අතර ගත් තීරනය තුල පාලක පන්තිය තුවක්කු තුවක්කු තෝරාගත්තේ ය. බයිඩන් යටතේ, ඇමරිකානු ධනවාදයේ ගෝලීය තත්ත්වයෙහි විශාල ඛාදනයක කොන්දේසි යටතේ සහ පාලක පන්තිය ඊටත් වඩා විශාල පරිමානයකින් යුද්ධය සූදානම් කරමින් සිටින විට, ප්‍රතිඵලය වෙනස් වනු ඇතැයි විශ්වාස කල හැක්කේ කාටද?

බයිඩන් උත්සාහ කරන්නේ විදේශයන්හි යුද්ධ කිරීම සඳහා එක්සත් ජනපදය තුල දේශපාලන රාමුවක් නිර්මානය කිරීමට ය. ආර්ථික ජාතිකවාදය සහ මිලිටරිවාදය මත පදනම් වූ “ජාතික කම්කරු පෙරමුනකට” ඇතුලත් කල යුතු නිල වෘත්තීය සමිති ඔහුගේ පරිපාලනය විසින් ආක්‍රමනශීලී ලෙස ප්‍රවර්ධනය කිරීමේ අත්‍යවශ්‍ය වැදගත්කම මෙයයි.

සිය කතාව අතරතුර නීති සම්පාදනය සඳහා වූ පලමු සෘජු අභියාචනයේදී බයිඩන් ප්‍රකාශ කලේ, “ඉතින් මම කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටින්නේ, වෘත්තිය සමිතිගත වීමේ අයිතියට සහාය දීම සඳහා සංවිධානාත්මක අයිතිය ආරක්ෂා කිරීමේ පනත වන ප්‍රෝ පනත (PRO Act) සම්මත කර එය මගේ මේසය වෙත යවන ලෙසයි.” කම්කරුවන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීම හා නිල “වෘත්තීය සමිති” පාලක පන්තියේ සහ රාජ්‍යයේ සංගතවාදී මෙවලම් ලෙස ආයතනිකකරනය කිරීම ද ප්‍රෝ පනත ද අතර කිසිදු සම්බන්ධයක් නැත.

අසමානතාවයට හා සූරාකෑමට කම්කරු පන්තියේ විරුද්ධත්වයේ සෑම ප්‍රකාශනයක්ම හුදකලා කොට මර්දනය කිරීමට වෘත්තීය සමිති අඩ සියවසක සිට ක්‍රමානුකූලව කටයුතු කර ඇත. කර්මාන්තශාලා සහ පාසල් විවෘත කිරීම සඳහා ඒකාබද්ධ වෙමින් ඔවුහු වසංගතයට ප්‍රතිචාර වශයෙන් පාලක පන්තියේ මිනීමරු ප්‍රතිපත්තිවලට එරෙහි ඕනෑම අරගලයකට ඔවුන් පසුගිය වසර පුරා විරුද්ධ වූහ.  

දැන්, මෙම සංවිධාන පාලනය කරන විධායකයන් රාජ්‍ය යාන්ත්‍රනයට තවදුරටත් ඒකාබද්ධ වී තිබේ. ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනයේ සඳහන් කල පරිදි, “යුද්ධයේ හෝ විප්ලව කාල වල දී, ධනේශ්වරය සුවිශේෂී දුෂ්කරතාවන්ට ඇද වැටෙන විට, වෘත්තීය සමිති නායකයින් සාමාන්‍යයෙන් ධනේශ්වර ඇමතිවරුන් බවට පත්වේ.”

පසුගිය සතියේ බයිඩන් පරිපාලනය නිවේදනය කලේ වෘත්තීය සමිති ආයතනිකකරනය දිරිගැන්වීම සඳහා ඇමේසන් හි වෘත්තීය සමිති ව්‍යාපාරයට පරිපාලනයේ ආක්‍රමනශීලී පිටුබලය සමග සමගාමී “කාර්ය සාධක බලකායක්” ධවල මන්දිරයේ පිහිටුවන බවයි. මෙම කාර්ය සාධක බලකායට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ භාන්ඩාගාර ලේකම් සහ හිටපු ෆෙඩරල් සභාපති ජැනට් යෙලන් ඇතුලත් වේ. එනම් එයට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහ මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රධාන නියෝජිතයන් දෙදෙනා ඇතුලත් වේ.

බයිඩන්ගේ ප්‍රතිසංස්කරනවාදී මවාපෑම පසුව නොව ඉක්මනින් ම හෙලි වනු ඇත. පන්ති අරගලය පුපුරා යාම දරුනු දේශපාලන මර්දනයකට මුහුන දෙනු ඇත. බයිඩන් සහ ඩිමොක්‍රටිකයින් බලාපොරොත්තු වන්නේ පන්ති අරගලය මැඩපවත්වා “21 වන සියවස ජයග්‍රහනය කිරීම” සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය යථා තත්වයට පත් කල හැකි බවයි. ඔවුන්ගේ උත්සාහය නිෂ්ඵල වනු ඇත.

කම්කරු පන්තිය සඳහා, තීරනාත්මක ප්‍රශ්නය වන්නේ පාලක පන්තියේ සියලු කොටස්වල ප්‍රතිපත්තිවලට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් වර්ධනය කිරීමයි. සෙනසුරාදා (01) පැවැත්වෙන මැයි දින රැලියේදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, කම්කරුවන්ට එරෙහිව කම්කරුවන්, ජාතියට එරෙහිව ජාතිය පොලඹවා ගැනීමේ සියලු උත්සාහයන්ට එරෙහිව ලොව පුරා කම්කරුවන් එක්සත් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් පිහිටුවීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කෙරෙනු ඇත. බලගතු ප්‍රතිප්‍රහාරයක වර්ධනය, කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම සමග සම්බන්ධ විය යුතුය. 

Loading