වසර 75කට පෙර: දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු පැවැත්වූ පලමු මැයි දින සැමරුම්

තෝකියෝ හි මැයි දිනය

මිත්‍ර පාක්ෂිකයන් ජය ලබා අවසන් වූ දෙවන ලෝක යුද ව්‍යසනයෙන් පසු පලමු වරට 1946 මැයි 1 වැනිදා මිලියන ගනනක් ජනයා ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගීතා දිනය වෙනුවෙන් පෙල ගැසුනාහ.

ප්‍රධාන යුරෝපීය අග නගරවල, නාසීන් විසින් අල්ලාගෙන සිටි නගර ද ඇතුලුව, දැවැන්ත විරෝධතා පැවැත්විනි. විශාල බලමුලු ගැන්වීම් පැරිසියේ දී පැවැත්වූ අතර එහිදී නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාකරුවකු වාර්තා කලේ “උමං දුම්රිය සහ මූලික උපයෝගිතා පහසුකම් හැරුනු කොට අනෙක් සියල්ල වසා දමා ඇති” බව යි. ඒ හා සමාන තත්වයක් බර්ලිනයේ සහ වියානාහි ද වාර්තා විය.

ඇමරිකාව වාඩිලාගෙන සිටි සහ වසරකට අඩු කලකට ඉහත ලොව පලමු පරමානු ආයුධවල ප්‍රහාරයට ගොදුරු වූ ජපානය තුල, අගනුවර වන තෝකියෝවට එක් වූ 500,000කට වැඩි සංඛ්‍යාව ද ඇතුලත්ව, මිලියන දෙකක ජනතාවක් පෙලපාලි පැවැත්වුහ. එහිදී ඔවුන්, අවම වැටුපක් සඳහා ඉල්ලීම්, ආහාර මිල නියාමනය කිරීම සඳහා ඉල්ලීම්, සහ “ධනපතියන් විසින් ඇති කරන ලද උද්ධමනය” හෙලා දකින උද්ඝෝෂක පුවරු ප්‍රදර්ශනය කරමින් ගමන් කලහ.

අවපාත යුගයේ කොන්දේසි වලට නැවත එලඹීමට සහ යුද්ධයට එරෙහි ඔවුන්ගේ සතුරුකම ප්‍රකාශ කිරීමට කම්කරුවන් ඉදිරියට ඒමත් සමග, එම මැයි දිනය, ලොව පුරා කම්කරු පන්ති අරගල රැල්ලක් සමග සමපාත විය. නිදසුනක් වශයෙන්, මැයි 1 දා, බටහිර ඕස්ට්‍රේලියාවේ පිල්බරා (Pilbara) ප්‍රදේශයේ ඇබොරිජිනල් එඬේර කම්කරුවන් 800කට ආසන්න සංඛ්‍යාවක් වැඩ වර්ජනයක් දියත් කල අතර එය වසර තුනක් දක්වා දිව ගියේ ය. එක්සත් ජනපදයේ කම්කරුවන් සිය දහස් ගනනක් 1946 මුල් භාගයේ දී දියුනු සේවා කොන්දේසි සහ වැටුප් ඉල්ලා වැඩ වර්ජන වල නිරත වූහ.

මැයි දිනයත් සමග ප්‍රබල අවදිවීමක් ඇති වන බව ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වය වන හතර වන ජාත්‍යන්තරය සඳහන් කලේ ය. එම ප්‍රකාශය තුල සඳහන් කලේ, එම මැයි දිනය වනාහී 'යුරෝපා ඉතිහාසයේ අඳුරුතම ‘සාම කාලයේ’ පැවැත්වූ මැයි දිනය” ලෙස යි. එහි තව දුරටත් මෙසේ සඳහන් විය:

“දෙවන අධිරාජ්‍යවාදී යුද්ධයෙන් නොමැකෙන ලෙස පලුදු නොවූ නගරයක් තිබේ නම් ඒ කලාතුරකිනි. තවමත් ඉවත් කොට නැති සුන්බුන් හා නටබුන් අතරින් අප්‍රමාන ගනනක් කම්කරුවෝ පෙලපාලි දක්වති. එක් පසෙකින් 'ප්‍රජාතන්ත්‍රවාදී' අධිරාජ්‍යවාදීන්ගේ බයිනෙත්තුවට යටත්ව පවතින සහ අනෙක් පසින් ක්‍රෙම්ලිනයේ හමුදා භටයන් යටතේ පවතින මෙම ප්‍රදේශ, එනම්, ජර්මනිය, ඔස්ට්‍රියාව, හංගේරියාව, පෝලන්තය, බෝල්කන් රටවල සහ අධිරාජ්‍යවාදීන් වාඩිලා සිටින අනෙකුත් ප්‍රදේශවල කම්කරුවෝ, මෙම නිවාඩු දිනය, ක්‍රියාකාරීව සහ එක්සත්ව සැමරූහ. මේ අතරතුර, බොල්ෂෙවික්වාදය පාවා දුන් ස්ටැලින්වාදියෝ, යුධ සමයේදී අත්හිටුවා තිබුනු ඔවුන්ගේ හිස් හා නරුම චාරිත්‍රානුකූල පෙලපාලිය යලිත් වරක් සෝවියට් සමූහාන්ඩුව තුල පැවැත් වූහ.”

Loading