පන්ති යුද්ධය සූදානම් කරමින් සිටින ජනාධිපති රාජපක්ෂගෙන් වංචනික මැයි දින පනිවුඩයක්

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබුනු මැයි 01 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වංචනික මෙන්ම කුහකත්වයෙන් පිරී ගිය පනිවුඩයක් නිකුත් කලේය. කම්කරුවන් සහ පීඩිත මහජනතාවන්ගේ “අයිතීන් සහ සුබසිද්ධිය” වෙනුවෙන් තම ආන්ඩුව කල බවට ඉදිරිපත් කෙරුනු පච කන්දරාවකින් සමන්විත එම පනිවුඩය ඇරඹෙන්නේ “අප රජය මහජනතාවට පොරොන්දු වූ ආකාරයට ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කර ඇතැයි” යන ප්‍රකාශයෙනි.

2019 ජනාධිපතිවරනයෙන් රාජපක්ෂ ජයගනු ලැබුවේ, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානය මත තම රැකියා සහ ජීවන කොන්දේසි වලට එල්ල කල ප්‍රහාරයන්ටත්, පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය පිලිබඳව කල්තබා දැන සිටියදී එය වැලැක්වීමට පියවර නොගැනීමටත් එරෙහිව, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩී පැවති දැඩි විරුද්ධත්වය ගසා කමිනි.

ගෝඨාභය රාජපක්ෂ (ඡායාරූප අනුග්‍රහය- එරංග ජයවර්ධන )

“පිරිහෙලනු” ලැබූ “ජාතික ආරක්ෂාව” තමා විසින් යලි තහවුරු කරන බවට ඔහු එම උද්ඝෝෂනයේදී නැවත නැවතත් සපථ විය. කෙසේ නමුත්, රාජපක්ෂ තම වසර එකහමාරක පාලන කාලය තුල “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ කඩතුරාව යටතේ  සිදුකලේ, කම්කරු පන්තියට සහ පීඩිත මහජනතාවන්ට එරෙහිව මිලිටරි, පොලිස් හා බුද්ධි අංශ යාන්ත්‍රනය ගොඩනැගීමයි. 

වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ලෝක ආර්ථික අර්බුදය හමුවේ රටක් රටක් පාසා ධනපති පාලක පන්තීහු, විවිධ කප්පාදු හරහා එම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටින අතර, එයට එරෙහිව වැඩෙන පංති අරගල මැඩීම සඳහා ආඥාදායක පාලනයන් තහවුරු කරමින් සිටිති. එම ජාත්‍යන්තර ප්‍රපංචයේ කොටසක් ලෙස මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ ගමන් මගේ රාජපක්ෂ මේවනවිටත් බොහෝදුර ගොස් ඇත. 

ආන්ඩුවේ මූලික තනතුරුවලට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන් පත්කරමින්, තම පාලනය මිලිටරිකරනය කිරීම සඳහා ඔහු වහා පියවර ගත්තේය. විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් ධුරයට පත්කීරීම සහ කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම එහිලා තීරනාත්මක පියවරයන් විය. එවා සියල්ල, “මහජනතාවට පොරොන්දු වූ” ඉල්ලීම් ඉටුකිරීමක් නොව, ඔවුනගේ අරගල තලා දැමීම සඳහා තබන ලද රුදුරු  පියවර වෙත්. 

තමන් කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කලේයැයි රාජපක්ෂ කරන ප්‍රකාශය වංචනිකභාවය කොතෙක්දැයි වටහා ගත හැකි වන්නේ පොලිස්-මිලිටරි විධික්‍රමයන් ශක්තිමත් කරමින් ඔහු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව දිගේලි කර ඇති රුදුරු ප්‍රහාරය විමසා බැලීමෙනි.

පෙබරවාරි මාසයයේදී දිවයින පුරා රෝහල් වල කනිෂ්ඨ කාර්ය මන්ඩල කම්කරුවන් විසින් දියත් කල වැඩ වර්ජනය බිඳීමේ අරමුනෙන්, ආන්ඩුව එම සේවාවන් 'ආවරනය' කිරීම සඳහා ඔහු හමුදා භට කන්ඩායම් රෝහල් තුලට කැඳවීය.

පසුගිය නොවැම්බර් මාසයේදී කොලඹ වරායේ සේවකයන් වසංගතයට ගොදුරු වීමත් සමග ඔවුන් සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරද්දී රාජපක්ෂ වරාය අධිකාරියට අත්‍යවශ්‍ය සේවා නියෝග  පැනවූයේ, වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා කම්කරුවන්ට ඇති අයිතියට පයින් ගසමිනි. ඔහුට අවශ්‍ය වූයේ කම්කරුවන්ගේ ජීවිත මතින් ධනපති ආර්ථිකය නිර්බාධිතව පවත්වාගෙන යාම යි. 

එමෙන්ම රාජපක්ෂ ආන්ඩුව ප්‍රකාශනයේ නිදහසට එරෙහිව එල්ල කරමින් ඇති ප්‍රහාරය වඩා රුදුරු මට්ටම් කරා ඉහල නංවා ඇත. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල, මාධ්‍යවේදීන්ට එරෙහිව දියත් කෙරුනු ලේවැකි මර්දනය සම්බන්ධයෙන් එවක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ සෘජුව චෝදනාවන්ට ලක්විය. එම විධික්‍රමයන් යලිත් ක්‍රියාත්මක වන්නට පටන්ගෙන ඇත. 

“ආන්ඩුවට එරෙහිව මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක වන බව” පවසමින් “ඒවාට පාඩම් ඉගැන්වීමට තමන් දන්නා” බවට මාර්තු මාසයේදී තර්ජනය කල ජනාධිපති පසුගිය මාසයේ මැදදී “අන්තර්ජාලය හරහා සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර වැලැක්වීමේ” නාමයෙන් ගෙන ආ පනතකට  කැබිනට් අනුමැතිය ලබාගත්තේය.   

ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ ඒ හා බද්ධ වූ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාරය මහජනතාවගේ ඉල්ලීමක් ලෙස වරනැංවීම සඳහා රාජපක්ෂ තම මැයි දින පනිවුඩයේ ප්‍රමුඛතාවයක් ලබාදීම, ඉදිරියේදී එම විධික්‍රමයන් යොදාගෙන තියුනු කිරීමට සූදානම් වන පන්ති යුද්ධය පිලිබඳව කම්කරු පන්තියට කෙරෙන පැහැදිලි අනතුරු ඇඟවීමකි. 

එහි කොටසක් ලෙස ආන්ඩුව කොරෝනා වසංගතය “පාලනය කිරීමේ පියවරක්” ලෙස මැයි දින රැලි තහනම් කලේය.  දිවයින පුරා ව්‍යසනකාරී ලෙස පුපුරායන වසංගතය පාලනය කිරීමේ හදිසි සහ අනිවාර්ය පියවරක් වන, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටින ආන්ඩුව, මැයි දින රැලි තහනම් කලේ  වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ආර්ථික අර්බුදයේ බර තම උර මත පැටවීම සඳහා රාජපක්ෂ ආන්ඩුව එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව අතර වැඩෙන විරෝධය මැයි දින රැලි හරහා ප්‍රකාශයට පත්වීම වලක්වා ගැනීමටයි. 

තම පනිවුඩය තුල “කොවිඩ්-19 වසංගතයෙන් වඩාත් අභියෝගයට ලක්වී ඇත්තේ කම්කරු ප්‍රජාව” බව පවසන රාජපක්ෂ “තමන් ඒ යතාර්ථය හඳුනාගෙන වැඩකරන ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම නොකරන” බව පවසයි. කොවිඩ්-19 වෛරසයේ වඩාත් මාරාන්තික සහ වේගයෙන් පැතිරෙන ප්‍රභේදයන් රට පුරා විනාශකාරීව පැතිර යද්දී රාජපක්ෂ ආන්ඩුව පූර්න පරිමාන අගුලු දැමීමක් ප්‍රතික්ෂේප කරන්නේ එය ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කිරීම සඳහා හරස් වන නිසාවෙන් විනා මහජන ජීවිත වලට එයින් සිදුවෙන හානියක් පිලිබඳ අංශුමාත්‍රික තැකීමකින් නොවේ. එම තතු තුල රට අගුලු නොදමන්නේ “ජන ජීවිත අඩාල වන නිසා” යැයි ව්‍යාජ ලෙස පැවසීම රාජපක්ෂ විසින් තම වංචනිකත්වය උපරිම අන්දමින් ප්‍රදර්ශනය කිරීමකි.

පසුගිය වසරේ වසංගතය ආරම්භ වෙද්දී ලංකාවේ කර්මාන්ත ශාලා ඉතා කෙටි කාලයක් වසා තැබුනු නමුත් රැකියා සහ වැටුප් කප්පාදු කිරීමේ සහ සූරාකෑම ඉහල නැංවීමේ අවසරයත් සමගින් ඉක්මනින්ම ඒවා යලි ඇරඹීමට රාජපක්ෂ ආන්ඩුවේ පූර්න අනුමැතිය හිමිවූයේ කම්කරුවන්ගේ ජීවිත ධනපතියන්ගේ ලාභය වෙනුවෙන් බිල්ලට දෙමිනි. කම්කරුවන්ගේ වැටුප් කැපීමට අවසර දෙන අතරේ ආන්ඩුව ධනපතියන්ට සහන සැපයීමේ පලමු වටය ඇරඹුවේ නොවැම්බර් මාසයේදී මහ බැංකුව හරහා රුපියල් බිලියන 178ක් මහා සමාගම් වලට මුදාහරිමිනි. කර්මාන්තශාලා වසංගතය පැතිරයාමේ තෝතැනි බවට පත්වෙද්දී ආන්ඩුවේ සෑම පිටිවහලක්ම ලද ධනපතියෝ තම ලාභ පොදි තරකර ගත්හ.  

වසංගතයෙන් කම්කරුවන්ගේ ජීවිත වලට එල්ලවන තර්ජනය උපරිම වී ඇතත් මැයි පලමුවනදා සිට ක්‍රියාත්මක කිරීම සඳහා ආන්ඩුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හි කර්මාන්තශාලා තුල ක්‍රියාත්මක විය යුතු ක්‍රියාපිලිවෙත් සම්බන්ධයෙන් වචනයක් හෝ සඳහන් වී නැත. මෙහි අර්ථය වනුයේ තම ලාභ අවශ්‍යතාවයන් සඳහා කම්කරුවන් රිසිසේ සේවයේ යෙදවීම සඳහා ආන්ඩුව හාම්පුතුන්ට ඉඩදී ඇති බවයි. එමෙන්ම ආන්ඩුව කම්කරුවන් සඳහා එන්නත ලබාදීමේ කිසිදු විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම අතහැර දමා තිබේ.     

යතාර්ථය මුලුමුනින්ම කනපිට හරවමින් රාජපක්ෂ තම පනිවුඩය තුල තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ “බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත්කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීම සඳහා පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස්කොට ක්‍රියාත්මක කරමින් පවතින” බවයි.    

වසංගතයෙන් බැට කමින් ගෝලීය ධනපති ආර්ථිකය මේ වනවිටත් අවපාතයක් කරා ගමන් කරමින් පවතියි. එම ආර්ථික කඩා වැටීම ලංකාව වැනි නය බරින් මිරීකී දැඩි ආර්ථික අර්බුදයකට ගොදුරුවී පවතින රටවලට රුදුරු ලෙස බලපා ඇත. රටේ විදේශ මුදල් සංචිත අවසාන වීමක් කරා ආන්ඩුව ගමන් කරමින් සිටින අතර ඩොලරයට සාපේක්ෂව රුපියල 200 සීමාව ඉක්මවා කඩා වැටීම කම්කරුවන් ඇතුලු පීඩිත ජනතාවන් පිම්මේ ඉහල යන ජීවන වියදමක ගොදුරු බවට පත්කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව ලංකාවේ ආර්ථිකය සියයට 3.6කින් හැකිලී ගොස් ඇත්තේ ව්‍යාජ නිදහසෙන් පසුව ගෙවුනු වසර 73 දී වාර්තා කෙරුනු ගැඹුරුම ආර්ථික අවපාතය සලකුනු කරමිනි. 

ලොවපුරා අනෙකුත් ධනපති තන්ත්‍රයන් මෙන්ම, රාජපක්ෂ ආන්ඩුව මේ ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට මංමුලා සහගතව උත්සාහ කරන්නේ සමාජ සුබසාධනයන් තවදුරටත් කපා දැමීම, බදු ඉහල දැමීම, රැකියා සහ වැටුප් කප්පාදුව සහ සූරාකෑම තියුනු කිරීම ආදියෙන් සමන්විත වන දරුනු ප්‍රහාරයක් කම්කරු පන්තිය මත හෙලීමෙනි. මහ බැංකු වාර්තා පෙන්වා දෙන පරිදි මේ වන විටත් ලංකාවේ විරැකියා අනුපාතය සියයට පහක් වන අතර එය 2009න් පසු වාර්තාවන ඉහලම අගයයි. කෙසේනමුත්, සැබෑ විරැකියා ප්‍රතිශතය මීට බොහෝ ඉහල අගයක් ගනී.

වර්ධනය වන කම්කරු පන්තියේ විරෝධතාවය සමස්තයක් හැටියට ධනපති පාලක පන්තියට එරෙහි අරගලයක් හැටියට වර්ධනය වීම ගැන බිය පලකරන ලංකාවේ විරුද්ධ පක්ෂ, රාජපක්ෂ සූදානම් කරමින් සිටින පන්ති යුද්ධයේදී ධනපති පන්තිය පැත්තෙන් එල්ල කරන ප්‍රහාරය ශක්තිමත් කිරීම ගැන උත්සුකතා පලකර තිබේ. ධනපති පාලක පන්තියේ කල්ලි කන්ඩායම් අතර මතුපිටින් පවතින මතභේදයන් පසෙක හෙලා කම්කරු පන්තියට එරෙහිව එක පෙරමුනක සිටගැනීමට ඔවුහු සූදානම් වෙමින් සිටිති.

සමගි ජන බලවේගයේ සහ විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ නිවේදනය කර ඇත්තේ “වසංගතයෙන් රට බේරාගැනීම පෙරදැරි කරගෙන ආන්ඩුව සමග සටන් විරාමයකට ඇතුලුවීමට තමන් සූදානම්” බවයි. එමෙන්ම තමන් අතර පවතින වෙනස්කම් අමතක කර ඒ සඳහා එක්වන මෙන් ඔහු අනෙකුත් පක්ෂ වලින්ද ඉල්ලා සිටියේය. 

වසංගතයට මුවා වෙමින් ආන්ඩුව මිලිටරීකරනය වේගවත් කරද්දී එය සමඟ වඩාත් එකමුතුව කටයුතු කිරීමේ අරමුනෙන් මෙම ධනපති පක්ෂ පසුගිය වසරේ ආන්ඩුව නායකත්වය දුන් සර්ව පාක්ෂික සමුලු දෙකකට සහභාගී විය.

ධනපති පන්තිය කම්කරු පන්තියට එරෙහිව වඩාත් ඒකාබද්ධ ප්‍රහාරයකට එලැඹීමත්, වෘත්තීය සමිති එම ප්‍රහාරයට එරෙහිව කම්කරුවන් අතරින් වර්ධනය වන විරෝධතා යටපත් කරගෙන සිටීමත්, කම්කරු පන්තියට තමන්ගේම ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරනය කරයි. එවැනි ව්‍යාපාරයක් ගෝලීයව ඒකාබද්ධ කරනු ලැබිය යුතු අතර සමාජවාදී පදනම්වල පිහිටා සමස්ත ධනපති ක්‍රමයට එරෙහි ප්‍රහාරයක් ඇරඹිය යුතුය.   

ඒ සඳහා නායකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා පක්ෂ වන සමාජවාදී සමානතා පක්ෂ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් බලගතු ඔන්ලයින් මැයිදින රැලියක්  පවත්වන ලදී. රටවල් 73කින් 2000ක පමන ශ්‍රාවකත්වයක් ආකර්ශනය කරගත් එම රැලිය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක්  සඳහා කැඳවුම් කලේය.  

Loading