2021 කලා ලෝකය: කලාකරුවන් බදු කුලී හා ආහාර සඳහා අරගලයේ යෙදෙද්දී, බිලියනපති කලා කෘති එකතු කරන්නෝ තර වෙති

[මෙහි පලවන්නේ 2021 අප්‍රේල් 04 වැනි දින The art world in 2021: Artists struggle for rent and food, billionaire collectors thrive යන මාතෘකාවෙන් පලවූ ලිපියේ පරිවර්තනයකි.]

“මෙම වියවුල් මැද, කලාව, දුගී කලාව කවරක් බවට පත් වී ඇද්ද?” -චිත්‍ර ශිල්පී ඉයුජින් ඩිලැක්වා, 1832 ජූලි (නිරෝධානයේ සිටිමින්)

ජීවිතයේ අනෙකුත් සෑම වැදගත් අංශයකට ම බලපා ඇති ලෙස, කොවිඩ්-19 වසංගතය කලා ලෝකයට ද බලපා ඇත්තේ, දැනටමත් සිදු වෙමින් පවතින ක්‍රියා දාමයන් වේගවත් හෝ විශාලනය කරනු පිනිස ය. ලාබ පොදිගසා ගැනීමට හෝ කොටස් වටිනාකම් ඉහල දමා ගැනීමට ඍජුව හා ක්ෂනිකව සම්බන්ධ නො වන ඕනෑම ක්‍රියාකාරීත්වයක්, ගෝලීය පාලක ප්‍රභූන් විසින් දැකගන්නේ ප්‍රයෝජන රහිත හා ඵලදායක නො වන දේවල් ලෙසිනි. සමාජ ආතතීන් ඉහල යද්දී, කලාකරුවෝ අවසර දිය නොහැකි සත්‍යයන් කතා කොට සැලකිය යුතු මහජන ශ්‍රාවකත්වයක් දිනාගත හැකි වීම වඩාත් ම නරක දෙයයි.

ක්‍රිස්ටීහි කලා වෙන්දේසිය (ස්තුතිය: ඩැනියෙල් පෙට්)

අප සටහන් කොට ඇති ලෙස, ඛාදනය වන ධනවාදය කලාවේ හා සංස්කෘතියේ මාරාන්තික හතුරා වන බව වසංගතය සමයේ සනාථ කොට ඇත. සෑම තැනක ම බලයේ සිටින්නෝ “සෑම නව වචනයකට ම අහේතුක ලෙස”

බිය වෙති. ඔවුන්ට අනුව, කලාකරුවන් මක බෑවී ගියාට කම් නැත.

හැකිතාක් කල් විරුද්ධත්වය සමහන් කිරීමට හෝ ආන් බාන් කිරීමට සැලසුම් කරනු ලබන හිස් මහජන සබඳතා ප්‍රයත්න හා අවස්ථානුකූල ආන්ඩුවේ දීමනා විසින් මෙම සාරභූත සත්‍යය නිෂ්ප්‍රභා කරනු නොලබයි. මහා අවපාතය සහ ඒ හා සමාන සිද්ධීන්ගේ සමය තුල මානසික ක්‍රියාකාරීත්වයේ ඇති වුනු පුපුරනසුලු වර්ධනයන් සමගින්- නිල නොතකා හැරීම හෝ හතුරුකම, විශේෂයෙන් ම තරුන හා වඩා අවාසියට මුහුන දෙන්නන් ඇතුලු ලේඛකයන්, රංගන ශිල්පීන්, සංගීතඥයන්, ඡායාරූප ශිල්පීන් හා අනෙකුත් කලාකරුවන් මත රැඩිකලීකරනය කරවනසුලු බලපෑමක් ඇති කල හැකි ය යන උත්සුකයක්, කලාවන් තුල සිදුවන විනාශයට අවධානය යොමුකරන විවිධාකාර අධ්‍යයනයන්හි යටිපෙලක් ලෙස පවතී.

කලා කෘතිය “නම්බුකාර” හා සමාජීයව ධනාත්මක සහ අවසාන විග්‍රහයේ දී කලාකරුවන්ට දෙන මූල්‍යමය සහයෝගය “පිරිවැය-ඵලදායක” විය යුතු ය යනුවෙන්, සංගත කතිපයාධිකාරයේ දුර්දාන්ත කොටස්වලට ඔප්පු කිරීම සඳහා දරන කාලකන්නි ප්‍රයත්නය, විශේෂයෙන් ම එක්සත් ජනපදය තුල සිදුවන අවසර ලත් මහජන සබඳතා උද්ඝෝෂනයේ එක් අංශයක් වේ.

“(එක්සත් ජනපද) මධ්‍යම ආන්ඩුවේ දෙපාර්තමේන්තු හා ඒජන්සි ගනනාවකින් සැදුම් ලත්, ව්‍යසනයකින් ප්‍රකෘතිමත් වීම සඳහා ප්‍රජාවට උපකාරී වන” නිලධාරිවාදී කවලක් වන පිලිලැබුම් සහයෝගිතා ක්‍රියාකාරී නායකත්ව කන්ඩායම (ආර්එස්එෆ්එල්ජී), මේ මස මුල දී නිකුත් කල මේ ආස්ථාන ඔස්සේ යන විශ්ලේෂනයක්, කලාවන් “අපේ ජාතියේ සමාජීය, ශිෂ්ට සම්පන්න හා ආර්ථික යහපතේ හා ජෛවබලයේ ඒකාග්‍ර කොටසක්” බවට තර්ක කරයි.

“ගොඩනැගිලි, කෘෂිකර්මය හා ප්‍රවාහනය වැනි නානාප්‍රකාර කර්මාන්තයන් විසින් ප්‍රතිපදානය කරන කොටසට වඩා විශාල ප්‍රමානයක් වන” සියයට 4.5ක් ඇමරිකාවේ දල දේශීය නිෂ්පාදිතයට “කලා හා සංස්කෘතික” අංශ ප්‍රතිපදානය කරන බව ආර්එස්එෆ්එල්ජී අවධාරනය කරයි. සමස්තයක් ලෙස ම ලේඛනයේ භාෂාව මුඩු වන නමුත්, උත්සුකයන් සැබෑ ඒවා ය. වසංගතය කලාකරුවන් මත ඇති කරන “විනාශකාරී හානිය එක්සත් ජනපද ආර්ථිකයේ අනෙක් අංශවලට...හා සමස්තයක් ලෙස සමාජයට විභවීය ප්‍රතිවිපාක ඇති කල හැකි” යි අධ්‍යයනය නිරීක්ෂනය කරයි.

කේවල කරුනු පමනක් විනාශයේ මට්ටම සමර්පනය නොකරන නමුත්, ඒවා ආරම්භක ලක්ෂ්‍යයක් වේ.

පසුගිය වසරේ දී, සංවිධානවල එකමුතුවක් විසින් ස්ථාපනය කරන ලද කලාකරු සහන අරමුදලට, සෑම ප්‍රාන්තයක ම හා භූමි ප්‍රදේශයක ම ක්ෂේත්‍ර 10ක කලාකරුවන්ගෙන් අයදුම් පත්‍ර 130,000ක් ලැබී තිබෙන්නේ, එක්සත් ජනපදයෙහි අර්බුදයේ ගැඹුර පිලිබඳ කුඩා එහෙත් සැලකිය යුතු ක්ෂනික දර්ශනයක් සම්පාදනය කරමිනි. එම ක්ෂෙත්‍ර 10 වන්නේ: “ශිල්ප කලා, නැටුම්, සැලසුම්, චිත්‍රපට, මාධ්‍ය, සංගීත, වේදිකා හා ප්‍රාසාංගික කලා, සාම්ප්‍රදායික කලා, දෘෂ්‍ය කලා හා ලේඛන කලා.” “බදු කුලී, ආහාර, වෛද්‍ය හා යැපෙන්නන්ගේ සුරැකුම යන ප්‍රවර්ග හතර තුල වඩාත් ම කටුක අවශ්‍යතා ප්‍රදර්ශනය කරන අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දී ඇත.”

මෙම එකමුතුවේ සභාපතිනිය හා විධායක අධ්‍යක්ෂිකාව වන ජෙනිෆර් බෙන්කා, පැහැදිලි ව පෙනෙන දෙය සඳහන් කරමින්, “වසංගතය අඛන්ඩව වේගයෙන් පැතිර යද්දී, කලාකරුවන්ට සැබෑ ආරක්ෂන ජාලයක් නැතැයි” සටහන් කල අතර, කලාකරුවන් යන්නට ඇය එකතු කල යුතු ව තිබුනේ, ගොදුරු විය හැකි වෙනත් ඕනෑම සමාජ ස්ථරයක් යන්න යි. ආයතන යලි විවෘත වෙද්දී, “ඒවා එලෙස කරන්නේ, වරක් කලාකරුවන් විසින් පුරවන ලද තනතුරු සහිත ඒවායේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවලින් තොරව යි. සංගීතඥයන් ඔවුන්ගේ සජීවී ඉදිරිපත් කිරීම් අන්තර්ධාන වීම දැක ගනිද්දී, සෞඛ්‍යාරක්ෂනය නොමැති කලාකරුවන් හා ලේඛකයන් අන් කවරදාටත් වඩා ගොදුරු විය හැකි බව දැක ගනියි” යනුවෙන් ඇය වැඩි දුරටත් සටහන් කලා ය.

ඉහත සඳහන් කල ආර්එස්එෆ්එල්ජී අධ්‍යයනයට අනුව, 2019 දී සියයට 2.1ක් වූ කලා අධ්‍යක්ෂවරුන්, ලලිත කලාවේදීන් හා සජීවීකරන ශීල්පීන්ගේ විරැකියා අනුපාතය 2020 දී සියයට 9.3 දක්වා ඉහල ගියේ ය; රංගන ශිල්පීන්ගේ විරැකියා අනුපාතය 2019 දී සියයට 24.7ක් ව තිබී 2020 දී සියයට 52.3ක් විය; නර්තන ශිල්පීන් හා මුද්‍රා නාට්‍ය රචකයන් සඳහා එම අගය සියයට 10.7 සිට සියයට 54.6 දක්වා ද සංගීතඥයන්, ගායකයින් සහ ඒ හා සම්බන්ධ කම්කරුවන්ගේ අගය සියයට 1.1 සිට සියයට 27.1 දක්වා ද ඉහල නැගුනි. මෙම රැකියා විනාශය සහ ව්‍යුහාත්මක “කප්පාදුව” සත්‍ය වසයෙන් ම ස්ථීර බව සනාථ වනු ඇත.

කලාව සඳහා ඇමරිකානුවෝ (Americans for the Arts) සහ අනෙකුත් අය විසින් එක්රැස් කරගන්නා ලද කරුනු මත පදනම් ව, මාර්තු 23දා පල කල “කලාකරුවන්ට කොවිඩ්-19 වසංගතයේ බලපෑම” යන යාවත්කාලීන කිරීම, එක්සත් ජනපදයේ ලාභ සඳහා නොවන කලා හා සංස්කෘතික සංවිධානවල මූල්‍ය පාඩුව “අද දින දක්වා ඩොලර් බිලියන 15.7ක් ලෙස තක්සේරු කරනු ලැබේ” යි වාර්තා කරයි. “නිෂ්පාදනය හා ප්‍රදර්ශනය කරන සංවිධානවලින්” සියයට 99ක් පමන “සිය උත්සව අවලංගු කර ඇති අතර, එය (අවන්හල්, ලැගුම්හල්, සිල්ලර වෙලඳාම්, වාහන නැවතුම්පොලවල් ආදී) දේශීය ව්‍යාපාර මත ඩොලර් බිලියන 15.5ක ශ්‍රාවක වියදම් හා අවසර පත් මිලියන 490ක පාඩුවකි. සංවිධානාත්මක හා ශ්‍රාවක-පිරිවැය පාඩුවල සමස්ත ආර්ථික බලපෑම ඩොලර් බිලියන 5.3ක් වන අතර, රැකියා 913,000කට තව දුරටත් සහයෝගය දෙනු නො ලබයි.”

කලාකරුවෝ “වසංගතයෙන් වඩාත් ම කටුක බලපෑමට ලක්වූ කම්කරුවන් අතරට අයත් වෙති.” කලාකරුවන්ගෙන් නොහොත් නිර්මානාත්මක කම්කරුවන්ගෙන් සියයට 63ක් “2020 දී පූර්න රැකියා වියුක්තියට පත්වූ අතර, වසංගතය ඇරඹුනු තැන් පටන්, නිර්මාන ශිල්පය මත පදනම් වූ සෑම කෙනෙකුගේ ම සාමාන්‍ය ආදායම් අහිමි වී යාම ඩොලර් 37,430 කි.” කලාකරුවන්ගෙන් සියයට 95ක් ආදායම් අහිමි වීම වාර්තා කරන්නේ, සියයට 78කට “පශ්චාත්-වසංගත මූල්‍ය උපකාරක සැලසුමක් නොමැති ව තිබෙද්දී ය; සියයට 50කට ඔවුන්ගේ නිර්මානාත්මක නිෂ්පාදිතය විකුනා ගැනීමට/බෙදා හැරීමට නො හැකි ව සිටිද්දී, සියයට 74ක් “ඔවුන්ගේ සන්දර්ශන අවලංගු කර තිබේ.”

“බදු කුලී, ආහාර, වෛද්‍යමය හා යැපෙන්නන්ට රැකවරනය” සඳහා ප්‍රවේශය ලබාගැනීම පිනිස කලාකරුවෝ අරගලයේ යෙදෙද්දී, ලෝකයේ පරපුටු-බිලියනපතියෝ තර වෙමින්, ගෝලීය කලාවේ හා පෞරානික භාන්ඩවල වඩා විශාල ප්‍රමානයක් අඛන්ඩ ව ගිල දමමින් සිටිති .

කලා ආර්ථික විද්‍යාවේ ආචාර්ය ක්ලෙයා මැක්ඇන්ඩෲ විසින් සූදානම් කරන ලද ආට් බැසල් හා යූබීඑස් වාර්තාවක් වන “2021 කලා වෙලඳපොල” දෑස් විවර කරවන කියවීමක් සම්පාදනය කරයි. ස්විට්සර්ලන්තයේ බැසල් නුවර, මියාමි බීච් හා හොං කොංහි වාර්ෂික ව වේදිකාගත කරනු ලබන ලාබ සඳහා පවත්වාගෙන යන, පුද්ගලික හිමිකාරීත්වයක් සහිත ජාත්‍යන්තර කලා වෙලඳපොලක් වන ආට් බැසල්හි උතුරු සහ දකුනු ඇමරිකා අධ්‍යක්ෂ නෝවා හොරොවිට්ස්, අධ්‍යයනයට ලියන හැඳින්වීමේ දී, ගෝලීය කලා අලෙවි කිරීම් සියයට 22කින් ඇද වැටුන ද “මේ වසරේ වාර්තාව අනාවරනය කරන සොයාගැනීම වන්නේ, සමස්ත අලෙවි කිරීම්වලින් හතරෙන් පංගුවකට වග කියමින්, 2019 සිට 2020 වටිනාකම දෙගුන වූ, අන්තර්ජාල (කලා අලෙවි කිරීම්වල) සුවිශාල නැගීමයි.”

දි ආට් මාකට් (කලා වෙලඳපොල), 2021

වසංගතය කලා වෙලඳපොලවල්, ප්‍රදර්ශනශාලා හා සල්පිල් සහ ඒවා මත ආර්ථික ව පදනම් වන අය සඳහා මහත් විනාශයක් නිර්මානය කරද්දී, “විශේෂයෙන් ම විශ්වාසය වර්ධනය වෙමින් හා වසරේ දෙවන බාගය තුල ගෝලීය ආර්ථිකයන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් වෙලඳපාලට රුකුල් දුන් විට... වර්නාවලියේ ඉහල ම අන්තයේ ධනය රැස්වීම” නමැති “අනාවරනීය සොයාගැනීම” වඩ වඩා සිදු වූ බව එම පරිච්ඡේදයේ ම ඉදිරියට යද්දී හොරොවිට්ස් පෙන්වා දෙයි.

සත්‍ය වසයෙන් ම, “2021 කලා වෙලඳපොල” සමික්ෂනය බොහෝ සෙයින් සිදුකරන ලද්දේ, අද්භූත ජනක ලෙස ධනවත් තැනැත්තන්ගේ ආර්ථික සෞඛ්‍යයේ හා යහපතේ තත්ත්වය පිලිබඳ උත්සුකයක් හා සලකා බැලීමක් විසිනි. කලා වෙලඳපොල මුලුමනින් ම කේන්ද්‍රගත වන්නේ ඔවුන් මත යි.

ධනවත්තු රසහීනයන් හා පිලිස්තීනුවන් මතටත්, වඩාත් ම උද්ධච්ඡ හා අසංවේදී මිනිසුන් මතටත් මහා බලයන් පවරා දෙති. 1844 දී මාක්ස් විස්තර කල පරිදි, මුදල් යනු “සියලු දේ අතුරින් සාමාන්‍යයෙන් වික්ෂේපී හා ව්‍යාකූල -උඩු යටිකුරු වුනු ලෝකය- සියලු ස්වාභාවික හා මානුෂීය ගුනාංගයන්ගෙන් වික්ෂේපීය හා ව්‍යාකූල දෙයයි.” තාර්කික ලෝකයකු තුල, “ඔබට කලාව වින්දනය කිරීමට අවශ්‍ය නම්, ඔබ කලාත්මක ව දියුනු වුනු පුද්ගලයෙක් විය යුතු” යි මාක්ස් පෙන්වා දුන්නේ ය. එහෙත්, වර්තමාන සමාජ පර්යාය තුල, එනම් “මුදලේ බලයෙහි විස්තාරය මගේ බලයේ විස්තාරය” හෙවත්, “මුදලේ මාධ්‍යය හරහා -මට ගෙවිය හැකි දෙය (එනම්, මුදලට මිලට ගත හැකි දෙය)- මම මම් ම හෙවත් මුදලේ හිමිකරුවා” වෙයි. එම නිසා, ආචාර්ය මැක්ඇන්ඩෲ හා ඇයගේ හවුල්කරුවන් සඳහා, පවත්නා කොන්දේසි තුල තාර්කිකව සිදු වන්නේ, මුදල් දරා සිටින්නෝ “සැබෑ බලයන් හා බුද්ධි මහිමයන්” දරා සිටින්නන් වීම යි.

“ගෝලීය ධනය හා බදු එකතුකරන්නන්ගේ ඉදිරි දර්ශන” නමැති කොටස තුල, රැල්ල ලෙස පැවතී තිබෙන්නේ වේගවත් වන “ධන හා ආදායම් අසමානතාව” යි වාර්තාව සටහන් කරන්නේ, “පශ්චාත්-අර්බුද ලෝකය ධනය බෙදීයාම අතින් වඩා අසමාන එකක් යයි පුරෝකථනය කරනු ලැබේ” යි වැඩිදුරටත් කියමිනි. “ඉහල වැටුප් හා වඩා සුරක්ෂිත කොන්දේසි සහිත අයට වඩා, රැකියා අහිමි වීමට මුහුන දෙන කුඩා සමාගම් හා ආරක්ෂාව අඩු කොන්ත්‍රාත් ගිවිසුම් හා අඩු වැටුප් සහිත සහ තරුන කම්කරුවන් හා ස්ත්‍රීන් ඇතුලු ආර්ථික ව වඩාත් ම ගොදුරුවනසුලු පුද්ගලයන් මත ඉහල බලපෑමක් ගෙන එමින්, සමාජයේ එකිනෙකට වෙනස් අංශ අතර” වසංගතය විසින් විවිධාකාර බලපෑම් ඇති කර තිබේ.

2020 දී “ලොවපුරා වැඩිහිටි ජනගහනයෙන් යන්තම් සියයට 1ක් පමනක් වන මිලියනපතියෝ, ලෝකයේ ධනයෙන් සියයට 43කට හිමිකම් කී” බව අධ්‍යයනය හෙලිදරව් කරයි. “(2019 සිට 2020 දක්වා) විශාලතම වසර-මත-වසර සීරුමාරු කිරීම් සිදු වූයේ, ගෝලීය වැඩිහිටි ජනගහනයෙන් පංගුවේ හා සියයට 2හි ධනයේ තමන්ගේ කොටස යන දෙක ම වැඩි වීම දැකගත් ඩොලර් 100,000 සිට ඩොලර් මිලියන 1 දක්වා වන ධන ස්ථරයන් තුල යි.”

ලොව පුරා බිලියනපතියන් සංඛ්‍යාව සියයට 30කින් ඇදවැටුනු හා ඔවුන්ගේ ධනය සියයට 45කින් පහල ගිය 2008-09 ගෝලීය මූල්‍ය අර්බුදයට විපරීතව, 2020 දී බිලයනපතියන් සංඛ්‍යාව සියයට 7කින් හා ඔවුන්ගේ ධනය සියයට 32කින් ඉහල යාම සිදු විය.

2021 කලා වෙලඳපොල වාර්තාවෙන්

අපි මෙසේ ද දැනගනිමු:

ඉහලින් ම ධනවත් බිලියනපතියන් තිදෙනා සියයට 113කින් (සහ 2019 දෙසැම්බරයේ සිට 2020 දෙසැම්බරය දක්වා සියයට 98කින්) ඔවුන්ගේ ධනය ඉහල දමා ගත්තෝ ය;

ධනවත් ම බිලියනපතියන් 10 දෙනා සියයට 65කින් (සහ වසර තුල සියයට 50කින්) ඔවුන්ගේ ධනය ඉහල දමාගත්තෝ ය;

ඉහල ම බිලියනපතියන් 100 දෙනා ඔවුන්ගේ ධනය සියයට 61කින් ඉහල දමාගත්තෝ ය;

ඉහල ම බිලියනපතියන් 500 දෙනා ඔවුන්ගේ ධනය සියයට 50කින් ඉහල දමාගත් අතර,

සියලු බිලියනපතියෝ ...ඔවුන්ගේ ධනය සියයට 39කින් ඉහල දමාගත්තෝ ය.

“සියලු බිලියනතිපතියන් කලා කෘති රැස් නොකරන නමුත්, කලා වෙලඳපාල තුල සිදුවී තිබීමට නියමිත වූ ගැඹුරු අවපාතයකට ඇදවැටීම වලක්වන්නට ඇති එක් සාධකයක් විය හැක්කේ, ගෝලීය ව මෙම අංශය තුල ධනය සුරැකී තිබීම හා ඉහල ගොස් තිබීම යි” යි වාර්තාව අවධාරනය කරයි.

සමස්තයක් ලෙස, (අවම වසයෙන් මුදලින් හෝ වත්කම් අතින් ඩොලර් මිලියන 1 ඉක්මවන) ඉහල-ශුද්ධ-වටිනාකමක් සහිත, වෙලඳපාලවල් 10ක කලාකෘති එකතු කරන්නන් 2,569ක් අතර කරන ලද සමීක්ෂනයක්, “කොවිඩ්-19 වසංගතය නොතකා කලා වෙලඳපොල තුල ක්‍රියාශීලී නිමග්න වීමක් පෙන්නුම් කලේ ය.” “අර්ථභාරී ලෙස කලාකෘති එකතු කිරීම ඉහල දමාගෙන ඇති බව වාර්තා කල සියයට 32 ද ඇතුලු ව, සමීක්ෂනයට බඳුන් වූවන්ගෙන් සියයට 66ක් කලාකෘති එකතු කිරීමේ ආශාව ඉහල දමා තිබුනු බව වාර්තා කල හ.”

ගෝලීය කලා වෙලඳපොල තුල වැඩ කරන්නන් සලකන කල, පූර්න-කාලීන, අර්ධ-කාලීන හා කොන්ත්‍රාත් කම්කරුවන් 116,000කට 2020 දී රැකියා අහිමි වුනු බව තක්සේරු කරනු ලැබේ. එහෙත්, “2020 අවසානයේ දී සිදුකරන ලද රැකියා හා ව්‍යාපාර ව්‍යුහ සම්බන්ධ” එවන් ගනන් බැලීම්, “අර්බුදයෙහි සැබෑ බලපෑම පිලිබඳ අවතක්සේරු කිරීම් විය හැකිව පවතින්නේ, විශේෂයෙන් ම සමහර ව්‍යාපාර රාජ්‍ය සහනාධාර වැඩසටහන් හරහා පවත්වාගෙන සහ එක්තරා කාල පරිච්ඡේදයකට පසුව පමනක් ව්‍යාපාර වසා දමනු ලැබීම නිසා ය. මේවා ඉවත් ව යද්දී, ව්‍යාපාර බොහොමයක් අඛන්ඩව මෙහෙයැවීම කල නොහැක්කක් වීමේ හැකියාව පවතී” යි ආට් බැසල්/යූබීඑස් අධ්‍යයනය ඉඟි කරයි.

2021 කලා ලෝකයේ තත්ත්වය හා යථාර්ථය මෙයයි. මෙයින් තියුනු නිගමන උකහා ගැනීම අවශ්‍ය වේ


[]

මෙය ලියොන් ට්‍රොට්ස්කිගේ “අපේ යුගයේ කලාව සහ දේශපාලනය (1938)” යන ලියවිල්ලේ ඇති යෙදුමකි: “Furthermore, a declining capitalism already finds itself completely incapable of offering the minimum conditions for the development of tendencies in art which correspond, however little, to our epoch. It fears superstitiously every new word, for it is no longer a matter of corrections and reforms for capitalism but of life and death.” - සංස්.

Loading