“හිට්ලර් කෙනෙකු” වෙන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලූ ඇමති අමුනුගමට පොලිස් ප්‍රජා සේවා ඇමතිකම පිරිනැමෙයි

ජනාධිපතිවරයා “හිට්ලර් කෙනෙකු ලෙස” තරමක් “ඒකාධිපති පාලනයක්” ගෙන යා යුතුයැයි මාධ්‍ය හමුවකදී කියාසිටි ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුනුගමට එම ප්‍රකාශය සිදුකල අප්‍රේල් 12 සිට මාසයක් ගතවීමටත් ප්‍රථම “පොලිස් ප්‍රජා සේවා” නමින් අලුතින් පිහිටවූ රාජ්‍ය ඇමති ධූරයක් ජනාධිපති රාජපක්ෂ විසින් පිරිනමන ලදී.

මැයි 3 වනදා නව ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව අමුනුගම මාධ්‍යයට පැවසුවේ ඔහුට පැවරෙන “ප්‍රධාන වගකීම්” වනුයේ පොලිස් නිලධාරීන් ගම්වල ජනතාව සමඟ නිරන්තරයෙන් සම්බන්ධකොට “මත්ද්‍රව්‍ය, පාතාලය හා කොරෝනා මර්දනය” සඳහා වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම බවයි.

ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුනුගම

 

නව අමාත්‍යංශයේ වගකීම ලෙස “අපරාධ මර්දනය” නමැති කඩතුරාව යොදා ගැනුන ද, එහි සැබෑ වගකීම වනුයේ, ආන්ඩුවේ විරුද්ධවාදීන්ට, විශේෂයෙන්ම ආන්ඩුවේ ප්‍රහාරයන් හමුවේ අරගලයට ඇදෙමින් සිටින කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව පුලුල් පරිමානයෙන් ඔත්තු බැලීමට මහ ඔවුන් දඩයම් කිරීමට සිවිල් බලකායක් වර්ධනය කොට ක්‍රියාත්මක කිරීමයි.

මෙය රාජපක්ෂ විසින් සූදානම් කෙරෙන ආඥාදායක පාලනයට සරිලන පරිදි ස්ථාපිත කෙරෙමින් පවතින ආයතන වලින් එකකි. පසුගිය දෙසැම්බරයේ පිහිටුවන ලද මහජන ආරක්ෂක ආමාත්‍යාංශය යටතේ මහජන ආරක්ෂක කමිටු නමින් පිහිටුවන ලද ඒකකයන් හරහා ආන්ඩුව ඒ සඳහා  දැනටමත් මුලපුරා ඇත. 

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පහැදිලිකල පරිදි මෙම ඒකක, “ගම්වල සිටින සිටින පාතාල ක්‍රියාකාරීන්, ස්ත්‍රී දූෂකයන්, කප්පම්කාරයින්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වැනි අපරාධකාරී කන්ඩායම් කොටුකර ගැනීමට පොලීසියට අවශ්‍ය  තොරතුරු ලබාදීම සඳහා ගම්වැසි කාන්තාවන්, තරුනයින් සහ විශ්‍රාමික රජයේ සේවකයන් සහ හමුදා නිලධාරීන්ගෙන්” සමන්විත වේ.

ඒ සඳහාම වෙන්වුනු අමාත්‍යාංශයක් නිර්මානය කර, තමන්ගෙන් වඩා ආඥාදායක පාලනයක් ඉල්ලා සිටින්නන් අතර පෙරමුනේ සිටින අමුනුගම වැන්නෙකුට එය භාරදීමෙන් යලිත් වරක් තහවුරු වන්නේ රාජපක්ෂ තම ආන්ඩුවේ වඩාත්ම දක්ෂිනාංශික කොටස් මුදුනට ගනිමින් ජනාධිපති ආඥාදායකත්වයක් කරා යන ගමන වේගවත් කර අති බවයි.

බදාදා නව අමාත්‍යාංශයේ වැඩභාර ගත් අමුනුගම මාධ්‍යයට කල ප්‍රකාශයෙන්, රාජපක්ෂ බලාපොරොත්තු වන මර්දනකාරී වැඩපිලිවෙලට ක්‍රියාවට දැමීමට තමා සුදුස්සෙක් බවත්, එයට ඔහු සූදානම් බවත් පැහැදිලි කෙරින. තමන්ට මෙම අමාත්‍යාංශය ලැබුනේ ජනාධිපතිට හිට්ලර් කෙනෙකු ලෙස ක්‍රියා කිරීමට යෝජනා කල නිසාදැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු පැවසුවේ තමන් හිට්ලර් පන්නයේ පාලනයක් ලෙස සඳහන් කලේ “නීතිය අකුරට ක්‍රියාත්මක කෙරෙන, විනයගරුක ටිකක් තද පාලනයක්” පිලිබඳව බවත් “අපි එය ක්‍රියාත්මක කරන්න සහය විය යුතු” බවත්ය. ජනාධිපති තමාව පත්කර ඇත්තේ “ඒ අර්ථය අනුව නම්, එතුමා හරි වෙන්නත් පුලුවන්" බව ඔහු අවධාරනය කලේය.

රාජපක්ෂ තම ජනාධිපතිවරන උද්ඝෝෂනයේ සිටම ඔහුගේ දක්ෂිනාංශික සහචරයන්ද සමගින් “විනයගරුක රටක්” නිර්මානය කිරීම පිලිබඳව කරන ඝෝෂාව පිටිපසින් පවතින්නේ ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහිව කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අතරින් මතුවන විරෝධතා පාගා දමමින් ඔවුන් නිහඬකර තබාගැනීමේ උත්සාහයයි. “ආන්ඩුවට එරෙහිව මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක වන බව” පවසමින් “ඒවාට පාඩම් ඉගැන්වීමට තමන් දන්නා” බවට රාජපක්ෂ විසින් කල තර්ජනයත්, පසුගිය මාසයේ මැදදී “අන්තර්ජාලය හරහා සිදු කෙරෙන අසත්‍ය  ප්‍රචාර වැලැක්වීමේ” නාමයෙන් ගෙන ආ මර්දනකාරී පනතත්  මෙම උත්සාහයේ කොටස්ය.

මෙම පන්නයේ වැඩකටයුතු සඳහා තමා සුදුස්සෙකු බව අමුනුගම නැවත නැවතත් ‌තහවුරු කර තිබේ. සමාජ මාධ්‍ය  හරහා ජනාධිපති විවේචනය කලේය යන චෝදනා මත පසුගිය මාර්තු මාසයේදී, ප්‍රවාහන අමාත්‍යාංශයේ සේවිකාවන් දෙදෙනෙකුට දඩුවම් ස්ථාන මාරු ලබාදීමට ඔහු කටයුතු කලේය. 

එමෙන්ම 2018 වර්ෂයේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩු සමයේ සිංහල-බෞද්ධ අන්තවාදී නඩ විසින් මහනුවර දිගන ප්‍රදේශයේදී මුදා හල මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩත්වය උසිගැන්වීම සම්බන්ධයෙන් එකල රාජපක්ෂ විසින් නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී  කෙනෙකු වූ අමුනුගමට චෝදනා එල්ල විය. කම්කරු පන්තිය භේද කිරීමට සහ ඔවුන්ට එරෙහිව ප්‍රහාරයක් අවුලුවාගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙනයන දෙමල සහ මුස්ලිම් විරෝධී ප්‍රකෝපකරනයන් උත්සන්න කිරීම සඳහා අමුනුගම වැන්නන්ගේ සහය රාජපක්ෂ බලාපොරොත්තු වෙයි. 

තම ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී රාජපක්ෂ වැඩි වශයෙන් ඔසවනු ලැබුවේ “ජාතික ආරක්ෂාව” පිලිබඳ බැනරයයි. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය , “ජාතික ආරක්ෂාව” පිරිහෙලීමේ ප්‍රතිඵලයක් බව කියාසිටි රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට දොස් පැවරීය. තම පාලනයක් යටතේ ජාතික ආරක්ෂාව “නැවත” තහවුරු කරන බවටත්, වඩා යහපත් ජීවන කොන්දේසි නිර්මානය කරන බවටත් ශපථ වූ ඔහු, පැවති ආන්ඩුවට එරෙහිව මතුවී තිබූ ගැඹුරු මහජන විරෝධය ගසා කමින් බලයට පැමිනියේය. බලයට පැමිනි දා පටන්, ඔහු පාලක පන්තියට පොරොන්දු වූ “ස්ථාවර හා ශක්තිමත්” ආන්ඩුවක්, එනම් ආඥාදයක පාලනයක් ගොඩනැගීම ආරම්භ කරමින්  කලේය.

ආන්ඩුවේ මූලික තනතුරුවලට විශ්‍රාමික ජ්‍යේෂ්ඨ මිලිටරි නිලධාරීන් පත්කරමින්, තම පාලනය මිලිටරිකරනය කිරීම සඳහා ඔහු වහා පියවර ගත්තේය. විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න ආරක්ෂක ලේකම් ධුරයට පත්කර සියලු සිවිල් පරිපාලන නිලධාරීන්  ඔහු යටතේ ක්‍රියාත්මක වන මිලිටරි ප්‍රධානීන්ගෙන් සැදුම් ලත් ජනාධිපති කාර්ය සාධක බලකායක් යටතට ගැනින. කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම එහිලා තවත් තීරනාත්මක පියවරක් විය. 

වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ලෝක ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාවන් මත පැටවීමේදී ඊට එරෙහිව නැගෙන පන්ති අරගල මර්දනය කිරීමේ වෛෂයික අවශ්‍යතාවයෙන් මෙම වැඩකටයුතු වඩාත් වේගවත් කෙරී ඇත. කම්කරුවන් සහ පීඩිතයන් මැඩීමේ නව අමාත්‍යංශයක් පිහිටුවා අමුනුගම එහි මුදුනත පිහිටුවීම එහි කොටසකි. 

Loading