"එන්ජෝයි එන්ජාමි" - තේ වැවිලි කම්කරුවෙකුගේ ප්‍රාර්ථනා පිලිබඳ ගීයක්

[මෙහි පලවන්නේ “Enjoy Enjaami”—A song about the aspirations of a tea plantation worker මාතෘකාවෙන් 2021 මැයි 12 දින පලවූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]  

මෑතකදී නිකුත් කෙරුනු, ශ්‍රී ලංකාවේ තේ වැවිලි කම්කරුවෙකුගේ ප්‍රාර්ථනා පිලිබඳ “එන්ජෝයි එන්ජාමි” (ප්‍රීතිවන්න, දයාබරය) නම් විනාඩි හතර හමාරක කාලයක් දිවෙන ගීය සුවිශේෂී ජනප්‍රියත්වයක් අත්පත් කොට ගෙන ඇත.  

දකුනු ඉන්දීය පසුබිම් ගායිකා ධී (ධීක්ෂිතා වෙන්කඩේෂන්) සහ ගීත රචක - රැප් ගායක අරිවු විසින් ප්‍රාසාංගික ලෙස ඉදිරිපත් කෙරෙන මෙම ගීතය පසුගිය මාර්තු 7 වන දින නිකුත් කෙරුනු අතර, ක්ෂනිකවම යූ ටියුබ්  හා අනෙකුත් අන්තර්ජාල මාධ්‍ය කරලියවල ව්‍යාප්ත වී ගියේය. පලමු සතිය තුල ලක්ෂ 200 ක් ජනයා එය නරඹා තිබූ අතර, මේ වන විට එහි ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂ 1,900 ද ඉක්මවා ගොස් ඇත. චිත්‍රපට නොවන දමිල ගීයක් එකී මට්ටමට ලඟා වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

එන්ජෝයි එන්ජාමි

 තත්කාලීන ජනප්‍රිය සංගීතයේ දුලබ සංසිද්ධියක් වන “එන්ජෝයි එන්ජාමි” ලෝක ගෝලය පුරා ප්‍රේක්ෂක ජනයා අතර පැහැදිලිවම ප්‍රතිරාව නංවමින් පවතී. තත්‍ය ලෝකයෙන් උපුටා ගෙන ඇති මෙම ගීය ස්වභාව ධර්මය සංරක්ෂනය කිරීමට හා එය සමඟ සුසංවාදයෙන් ජීවත් වීමට මනුෂ්‍ය වර්ගයාට කැඳවුම් කරයි.       

ක්‍රමාලිප්ත ස්ථර ගනනාවකින් පොහොසත් වූ ද, වාර්ගික රේඛා ඉක්මවා යමින් ලාලසීය අයුරින් සියලු ජනයාගේ එක්සත්කම කැඳවා සිටින්නා වූ ද මෙම ගීයේ පද මාලාව, සෑම දිග් භාගයකම අධිරාජ්‍යවාදී හා ධනපති ආන්ඩු විසින් ප්‍රවර්ධනය කෙරෙමින් පවතින ජාතිකවාදයේ, ආගන්තුක භීතිකාවේ හා යුද්ධයේ විෂකුරු වාතාවරනයට පරිපූර්නව ප්‍රතිබද්ධ වූවකි.   

හොඳ ජීවිතයක වාසනාව ලද 

අපේ පැරැන්නන් පවරා දෙන ලද 

මේ සරුබිම් මත ගං දෑලම පිස    

මුලු ජීවිතයෙම උන් ගැයු ගීතය  

මේ වැව් පොකුනු පුරා රඳනා දිය  

බලු නරි කොටි ඈ හැමට ද අයිතිය

“එන්ජෝයි එන්ජාමි” ගීතය, ඇකඩමි සම්මානධාරී ඉන්දියානු ස්වර රචක සහ සංගීතඥ ඒ.ආර්. රහ්මාන්ගේ ප්‍රාරම්භකත්වයෙන් බිහි වූ ස්වාධීන සංගීත ලේබලයක් වන මාජා යටතේ නිකුත් කෙරුනු ප්‍රථම සංගීත වීඩියෝවයි. රහ්මාන් මෙම ලේබලය දියත් කලේ ඉන්දියාවේ හා ඉන් ඔබ්බේ වාසය කරන ස්වාධීන කලාකරුවන් ප්‍රවර්ධනය කිරීමට හා ඔවුන්ට සහාය දීමටය. 

දමිල බසෙහි, ප්‍රමුඛ කොටම ශ්‍රී ලංකාවේ වතු වැවිලි කම්කරුවන් හා දකුනු ඉන්දියානුවන් විසින් වහරනු ලබන උප භාෂාවෙන්, ප්‍රාසාංගිකව ඉදිරිපත් කෙරෙන මෙම ගීතය අමිත් ක්‍රිෂ්නන්ගේ අධ්‍යක්ෂනයක් වන අතර එය නිෂ්පාදනය කර ඇත්තේ හා එහි ස්වර රචනය සිදු කොට ඇත්තේ සන්තෝෂ් නාරායනන්ය. ක්‍රිෂ්නන් වඩාත්ම ප්‍රසිද්ධියට පත් වී සිටින්නේ හාල් මෝලක ඇපයෙන් බැඳුනු කම්කරුවෙකු මුහුන දෙන ඛේදජනක තත්වයන් හා ඔහුගේ ලදරු දියනියගේ මරනය පිලිබඳ ගැඹුරින්ම කම්පනය කරන සුලු නිර්මානයක් වන ද රයිස් මිල් ස්ටෝරි  නම් කෙටි චිත්‍රපටයෙනි.

ඉතා ඉහල මට්ටමකින් සංකේතාත්මක වන "එන්ජෝයි එන්ජාමි"හි දෘශ්‍ය පටය, ශ්‍රී ලංකාවේ වැවිලි වගා සම්බන්ධ අඳුරු හා සාරවත් හරිත වර්නයෙන් යුත් චිත්‍රාගාර වේදිකාවේ මවන ලද දර්ශනවල සිට වඩාත් දීප්තිමත්, උනුසුම් තැඹිලි වර්නයකින් යුත් දකුනු ඉන්දියාවේ වගා නොකල මුඩු බිම් යායක දර්ශන කරා ද, පෙරලා අනෙක් අතට ද වශයෙන් යලියලිත් මාරු වේ.     

මේ ගීතය, පොප්, රැප් හා සම්භාව්‍ය ඉන්දියානු සංගීත ප්‍රභේද සමඟ සංයුක්ත කෙරුනු දමිල ජන සංගීතයේ ද,  අවමංගල්‍ය උත්සව හා පෙරහැර සඳහා භාවිතා කෙරෙන පුරාතන සාම්ප්‍රදායික වැලපිලි ගී විශේෂයක් වන ඔප්පාරි ගීවල ද සංයෝගයකි. එය ආරම්භ කෙරෙන්නේ පූජාවිධිමය තාල වාද්‍ය භාන්ඩයක් වූ පරයි පවුලේ බෙර වාදනයක වේගවත් රිද්මයන්ගෙනි.   

ශ්‍රී ලංකාවේ වතු වැවිලි ප්‍රදේශ තුල විවිධ උත්සවවලදී පරයි බෙර භාවිතා කෙරේ. කෙසේ වෙතත් රටේ උතුරුකරයේ දී ද, දකුනු ඉන්දියාවේ දී ද ඉහල කුලවල අයවලුන් ඒවායේ වාදකයන්ට පනවා ඇති කුල තහංචි හේතුවෙන් මෙම සංගීත භාන්ඩ භාවිත කෙරෙන්නේ අවමංගල්‍යවලදී පමනෙකි. මෙහි අර්ථය වී ඇත්තේ මෙකී භාන්ඩ කුඩම්මාගේ සැලකිල්ලට භාජනය වී ඇති බව සහ, ප්‍රධාන ධාරාවේ සංගීතය තුල තබා කවර හෝ ජනප්‍රිය සංගීත රීතීන් තුල ඒවා භාවිතයට නොගන්නා බවයි.     

අරිවු සිය කෘත්‍රිම උච්ඡස්වර ගායනය දිගටම ගෙන යමින් හා තීව්‍ර කරමින් එය තියුනු හැඟීම් දනවන ඔප්පාරියකට හරවන ගීතයේ සේතුව (සේතුව: ගීතයක කොටස් දෙකක් සම්බන්ධ කිරීමට යොදා ගන්නා සංක්‍රාමී සංගීත හෝ ගීත ඛන්ඩය) මුලුමනින්ම ප්‍රේක්ෂක අවධානය ඇද බැඳ ගන්නා සුලුය:

රුක් පහක් සිටවුයෙම් මම්, පියකරු මල් උයනක් තැනුවෙම්

උයන සරුව වැජඹෙයි එනමුත්; 

මගේ උගුර වියැලිය තවමත්. 

මෙම සංකේතාත්මක පද මාලාව ඉහත කෘෂි කම්කරුවන්ගේ පරපුරක දුක්ඛ පීඩාවන් පිලිබඳව සඳහන් කරන්නේ, කම්කරු පන්තිය විසින් නිෂ්පාදිත සමාජ සම්පත් සියල්ල, අතලොස්සකගේ - ධනපතීන්ගේ - උත්සුකයන් සපුරා ලීමට භාවිතා කෙරෙන සමාජ පර්යායක පවත්නා අරාජික ස්වභාවය පිලිබඳව අසන්නන් සංවේදී භාවයට පත් කරමිනි.

“එන්ජෝයි එන්ජාමි” අත්පත් කර ගත් අත්‍යාසමාන ජනප්‍රියත්වය බැඳී ඇත්තේ දමිල වතු වැවිලි කම්කරුවන්ගේ ඓතිහාසික අත්දැකීම් සමඟ සහ, තමන්ගේම දෙමව්පියන් ද මුත්තනු මිත්තනියන් ද  විසිවන සියවසේ ඉන්දීය උපමහාද්වීපය ආකූල කල ඛේදවාචක සිදුවීම්වල බලපෑමට හසුව ඇත්තා වූ, මෙම ගීයට සම්බන්ධ ගායක ගායිකා දෙදෙනාගේ පෞද්ගලික ජීවිත සමඟය. 

වීඩියෝව තුලදී අරිවු

 

ගීතයේ පද රචකයා වන අරිවුට ආවේශය සැපයුනේ, බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය තුල ද, “නිදහසෙන් පසු” ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අද ද පවත්වා ගෙන යන ධනේශ්වර පාලනය යටතේ ද, සංක්‍රමික හා ඉඩම් අහිමි ශ්‍රමිකයන් ලෙස ඔහුගේ මුතුන්මිත්තන් මුහුන දුන් සූරාකෑම හා මර්දනය පිලිබඳව ඔහුගේ මිත්තනිය කියූ කථා වලිනි.   

අරිවු එක් සම්මුඛ සාකච්ඡාවක දී පැහැදිලි කල පරිදි, “මෙය මගේ ගීතය නොවේ, මෙය ඇගේ (ඔහුගේ මිත්තනියගේ) ගීතයයි. මේ පදවැල් කිසිවකට මට අයිතියක් නැත. මා හුදෙක් පෑන හා කඩදාසිය වූවා පමනෙකි.”   

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය සමයේ, 19 වන සියවසේ මැද භාගයේ දී, එවකට ඉහල ලාභ ලැබූ කෝපි වගාවන්හි වැඩ කිරීමට, ප්‍රධාන කොටම ස්ත්‍රීන් හා දිලිඳු ශ්‍රමිකයන්ගෙන් සමන්විත දසදහස් ගනන් දෙනා දකුනු ඉන්දියාවේ සිට එවකට සිලෝන් ලෙස හඳුන්වන ලද ලංකාවට ගෙන එන ලදී. 

කර්කශ සේවා කොන්දේසි ද, වනාන්තර හෙලිපෙහෙලි කිරීමෙන් අලුතින් සකස් කර ගත් වගාබිම්වල පැතිරී ගිය මරනීය නිවර්තන කලාපීය රෝගාබාධයන් ද හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නිරතුරුව පැවැති ශ්‍රමිකයන්ගේ හිඟය පියැවීමට දමිල ශ්‍රමිකයන් යොදා ගැනින. එවැනි දහස් සංඛ්‍යාත පිරිස තුල අරිවුගේ මුතුන්මිත්තෝ ද වූහ.       

කොල රෝගය හා කොටස් වෙලඳපොල බිඳ වැටීම 1870 ගනන්වල දී ලංකාවේ කෝපි වගාව විනාශ කල විට, බ්‍රිතාන්‍ය යටත්විජිතවල ඊට ද වඩා ලාභදායී අපනයන භෝගයක් වූ නව “කලු රත්රන්” මඟින් - තේ වගාව මඟින් - එය විස්ථාපනය කරන ලදී. 

කාර්මික වශයෙන් පසුගාමී අනෙකුත් සියලු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද කල් පසු වූ ධනේශ්වර වර්ධනය කේන්ද්‍රීය දේශපාලන ප්‍රතිවිරෝධයන් මතු කලේය. එක් අතකින් එය කම්කරු පන්තියේ, විශේෂයෙන්ම වතු වැවිලි අංශයේ කම්කරු පන්තියේ, දැවැන්ත වර්ධනයක් නිර්මානය කලේය. අනෙක් අතට එය ස්වදේශීය ධනේශ්වරයේ දේශපාලන දුර්වලත්වය හා බංකොලොත්භාවය ඉස්මතු කොට දැක්වීය.      

1948 දී ශ්‍රී ලංකාවේ “නිදහස්” රජයේ මුල්ම පියවර වලින් එකක් වූයේ දශ ලක්ෂයක් දමිල වතු වැවිලි කම්කරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පුරවැසි අයිතීන් අහිමි කිරීමයි. ඒ අනුව වර්ගවාදය ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයේ ප්‍රධානතම ප්‍රතිෂ්ඨාවක් බවට පත් විය. ධනේශ්වර පාලනයට මුක්කු දී පවත්වා ගැනීම සඳහා, ඉහල මට්ටමකින් දේශපාලනීකරනය වූ විවිධ ජන කොටස් වලින් සැදුම් ලත් දිවයිනේ කම්කරු පන්තිය බෙදීමට රාජ්‍ය අනුග්‍රහයෙන් යුත් සිංහල බෞද්ධ ජාතිකවාදය ක්‍රමානුකූලව භාවිතා කරන ලදී.    

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයට හා ස්වදේශීය කොම්ප්‍රදෝරු ධනපති පන්තියට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරු පන්තිය එක්සත් කිරීමට සටන් වැදුනේ, 1942 දී ලංකාව හා ඉන්දියාව තුල ඉන්දීය බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ ධජය යටතේ සිටි ට්‍රොට්ස්කිවාදීන් පමනෙකි. 

විසිවන සියවසේ දෙවැනි අර්ධයේ දී වර්ගවාදය කරා වූ පල්ලම් බැසීම අතිශයින් වේගවත් කෙරුනේ, ට්‍රොට්ස්කිවාදීන් ලෙස පෙනී සිටි ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සමාජවාදී ජාත්‍යන්තරවාදය පාවා දීමෙන් හා 1964 දී එය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමඟ හවුල් ආන්ඩුවකට සහභාගී වීමෙන් හටගත් මහජන ව්‍යාකූලතාවය මඟිනි. මෙම දේශපාලන පාවාදීම, ශ්‍රී ලංකාව තුල මෙන්ම ජාත්‍යන්තරව ද ව්‍යසනකාරී හා ඛේදනීය ප්‍රතිවිපාක ගෙන දුන්නේය.      

ලසසපය ශ්‍රීලනිප හවුල් ආන්ඩුවට ඇතුල් වී මාස හතර හමාරක් ඇවෑමෙන්, කොන්ග්‍රස් පාලනය යටතේ පැවැති අලුතින් “නිදහස” ලැබූ ඉන්දියාව සමඟ පැවැති සය දින සාකච්ඡාවකින් ඉක්බිතිව, කොලඹ (ආන්ඩුව) කුප්‍රකට සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමට අත්සන් තැබීය. මෙම අපකීර්තිමත් එකඟතා ගිවිසුම යටතේ 525,000 ක් වතු වැවිලි කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් ඉන්දියාව කරා බලහත්කාරයෙන් පිටුවාහල් කෙරින.

ගීතයේ සඳහන් වන හා වීඩියෝවේ අවසානයේ සිල්ක් සාරියකින් සැරසී පෞද්ගලිකවම පෙනී සිටින අරිවුගේ මිත්තනිය, වල්ලිඅම්මා, මෙසේ රටක් නොමැත්තන් ලෙස නැව්වලට පටවා - පිලිසරනකින් තොර, බිම් අඟලකට හෝ අහිමි කම්කරුවන්ගෙන් සමන්විත නැව් බඩු තොගයක් සේ - පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට යවන ලද දහස් ගනනක් කම්කරුවන් අතර සිටියාය. අරිවු මෑතකදී සඳහන් කල පරිදි, “මගේ මිත්තනියට ඇගේ සහෝදරියන්ගෙන් සමු ගන්නට පවා නොලැබුනි. ඔවුන් ජීවතුන් අතර සිටිත්දැයි අපි අද වන තුරුත් නොදන්නෙමු.”  

බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් මධ්‍යම කඳුකරයේ වැවිලි බිම් කරා ඉඩම් අහිමි කම්කරුවන් ගෙන ආ අතර, කොලඹ ධනපතීහු ඔවුන්ගේ දරුවන් හා මුනුපුරු මිනිපිරියන් රටක් නැතියවුන් බවට පත් කලෝය.

අරිවුගේ මිත්තනිය සුරතලයට ඔහු අමතන්නේ එන්ජාමි ලෙසය. එම දමිල වචනයේ අර්ථය වන්නේ “මගේ දයාබරය” නැතහොත්, “මගේ ස්වාමීනි” යන්නයි. ගීතයට එහි නම ලැබී ඇත්තේ එපරිද්දෙනි.  

ගීතය තුල එන්ජෝයි එන්ජාමි යන්න යලියලිත් කියැවෙන්නේ, ඒ හා සමඟම ඉනික්බිතිව පොප් ගීතවල පොදුවේ භාවිතා වෙන සංගීත ව්‍යුහයකින් ගායන වෘන්දය විසින් ගැයෙන “එකාවන්ව එක් වෙමු” යන පදය සහිතවය. 

මයිනර් කෝර්ඩ්වල (ලඝු ස්වර සංඝතවල) ද, හෙවි බේස් හා ස්ටකාටෝ කෝර්ඩ්වල ද අනුක්‍රමයක් සමඟ බැඳී ඇති එය, “කුකූ, කුකූ” ලෙස කෙරෙන ප්‍රබල අවධානය දිනා ගැනීමේ හා ඇද බැඳ ගැනීමේ කැඳවීමක් මඟින් ප්‍රතිපූරනය කෙරී ඇත.

ධී (Source: YouTube)

 සිය තාර ස්වරයෙන් යුත් කටහඬ නිසා පුලුල් ප්‍රසිද්ධියකට පත් වී ඇති පසුබිම් ගායිකා ධී 1998 දී දමිල මව්පිය යුවලකට දාව ශ්‍රී ලංකාවේදී උපත ලබන්නේ දශක තුනක්ම පාහේ පුරා රට තුල පැවැති සිවිල් යුද්ධය මධ්‍යයේ ය. යුද්ධය විසින් ඉරා සුනුවිසුනු කෙරුනු දිවයින හැරපියා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට සංක්‍රමනය වූ වඩාත් තරුන දමිල ජනයාගේ පරම්පරාවට ඇය ද අයත්ය. ඇත්තෙන්ම, “එන්ජෝයි එන්ජාමි” සකසා ස්වර රචනා කරන ලද්දේ ඇගේ සුලු පියා විසිනි.    

වෙනත් සම්මුඛ පරීක්ෂනයක දී අරිවු මෙසේ පැහැදිලි කලේය: “මා මෙහි සිටින්නේ සියලු දෙනාට සුවපහසුව සලසා සනසා ලීමට නොව සියල්ලන් කලඹවා ලීමටය. .. මට හෙට පිලිබඳව කථා කිරීමට අවශ්‍යය. නිසැකවම හොඳ අනාගතයක් එලැඹෙනු ඇත. නිසැකවම සමානාත්මතාවයේ සමාජයක් බිහි වනු ඇත. 'එන්න, එකාවන්ව එක් වෙමු' යන අර්ථය දෙන 'වාංගෝ ඔනාගි ..' යනුවෙන් මා ලීවේ එබැවිනි.”   

අරිවුගේ සුබවාදය දිරි ගන්වන සුලුය. නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය මත පදනම් වූ ද, එකිනෙකා තරඟ වදින ජාතික රාජ්‍ය විසින් ලෝකය බෙදා වෙන් කරන ලද්දා වූ ද අතාර්කික පර්යායක් මත රඳා පවතින පද්ධතියක් තුල සමාජවාදී සමානාත්මතාවය මත පදනම් වූ සමාජයක් සාක්ෂාත් කල නොහැකිය. 

20 වන සියවසේ ඓතිහාසික අත්දැකීම් යලියලිත් සනාථ කරන්නේ, පෙරලා සොබාදහමේ සංරක්ෂනය සහතික කරන, සමාජ සමානාත්මතාවය මත පදනම් වූ සමාජයක් ගොඩනැඟිය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලය තුල එක්සත් කිරීමෙන් පමනක් බවයි. එතෙක්, “උගුරු නිසැකවම වියැලී පවතිනු ඇත.”  

“එන්ජෝයි එන්ජාමි” සමාජ සංවේදී හා බැරෑරුම් කලාකරුවන්ට කල්යල් බලා කල කැඳවීමකි.  

Loading