ඉදිරිදර්ශන

ඊස්රායලයේ යුද අපරාධ සහ “මානව හිමිකම්” අධිරාජ්‍යවාදයේ කුහකකම

[මෙහි පලවන්නේ 2021 මැයි 14, දින Israel’s war crimes and the hypocrisy of “human rights” imperialism  මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් බදාදා (12) රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙනී සිටිමින්, තමාද කොටස්කරුවෙකු වන “මානව හිමිකම්” අධිරාජ්‍යවාදයේ පරම නරුමත්වය පිලිබඳ ප්‍රායෝගික උදාහරනයක් සපයන ලදී.

එහිදී බ්ලින්කන් විසින් “ජාත්‍යන්තර ආගමික නිදහස” පිලිබඳව වූවක් ලෙස මතුපිටින් පෙනෙන වාර්තාවක් ඉදිරිපත් කලේය. මෙය “මානව වර්ගයාට එරෙහි අපරාධ සහ මුස්ලිම් උයිගර්වරුන්ට එරෙහි ජන සංහාරයන්” සම්බන්ධයෙන් චීනය හෙලා දැකීම සඳහා යොදා ගන්නා ලදී.

2021 මැයි 13 වන බ්‍රහස්පතින්දා ගාසා නගරයේ මිනිසුන් පදිංචි ගොඩනැගිල්ලකට ඊස්රායල ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දුමාරය ඉහල යයි. (ඒපී ඡායාරූපය / හැටෙම් මූසා)

“ආගමික නිදහස” පිලිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ඩැනියෙල් නාඩෙල් විසින් ද ප්‍රතිරාවය කලේ ඔහුගේ අදහසම ය. නාඩෙල් ප්‍රකාශ කලේ, “චීන කොමියුනිස්ට් පක්ෂ ආන්ඩුව විසින් ෂින්ජියැන් හි සිදු කරන දේවල භයානකකම මුලුමනින්ම පැහැදිලි බවත් එහෙයින් අපි දිගටම ඒ පිලිබඳ හඬ නගන” බවයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මෙම නියෝජිතයන් දෙදෙනා කතා කරන විට ගාසා තීරයේ ගුවන් ප්‍රහාර වලින් ලමයින් 17 දෙනෙකු ඇතුලු ජීවිත රැසක් අහිමි වී තිබුනි. සමස්ත ජනතාවම බියපත් කරමින් දුගී දුප්පතුන් පදිංචිව සිටින භූමියේ මිසයිල ප්‍රහාර වලින් උස් ගොඩනැඟිලි කඩා වැටුනි.

ඊස්රායලය තුලම, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ දූෂිත හා අස්ථාවර දක්ෂිනාංශික ආන්ඩුව පලස්තීන ඊස්රායල් පුරවැසියන්ගේ පෙර නොවූ විරූ කැරැල්ලකට එරෙහිව, ගාසා සහ බටහිර ඉවුරේ වාඩිලාගෙන සිටි ප්‍රදේශ සඳහා සූදානම් කර තිබූ මර්දනය මුදාහරිමින් සිටියි. කැරලි මර්දන පොලිසිය සහ අශ්වාරෝහක ඒකක විසින් විරෝධතාකරුවන් සිය ගනනක් තුවාල කර ඇත. අභ්‍යන්තර ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා ආන්ඩුව දේශසීමා භටයන් සහ සාමාන්‍ය හමුදා ඒකක පවා යවන අතර නෙතන්යාහු බ්‍රහස්පතින්දා කියා සිටියේ “කැරලි කරුවන්ට” එරෙහිව “හදිසි රඳවාතබාගැනීම්” ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවත්, චෝදනා හෝ නඩු විභාගයකින් තොරව දින නියමයක් නොමැතිව සිරගත කිරීමට ඉඩ දෙන බවත්ය.

මෙම යුද අපරාධ සහ “බිහිසුනුකම්” වලට එරෙහිව “කතා කිරීමට” රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කිසිවෙකුත් විශේෂ කරදර වීමක් හෝ බල කිරීමක් සිදුකර නැත.

ඊට පටහැනිව, බ්ලින්කන් සහ අනෙකුත් එක්සත් ජනපද නියෝජිතයෝ “ඊස්රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇත” යන මන්ත්‍රය නිමක් නැතිව ජප කරති. සියොන්වාදී රාජ්‍යයේ “ත‍්‍රස්තවාදීන් ඉලක්ක කිරීම” සහ “ත‍්‍රස්තවාදී” හමාස් ඊස්රායලය මත “අවිචාරවත් ලෙස රොකට් වැස්සක් වැස්සවීම” අතර සැසඳීමක් අනවශ්‍ය බව ඔවුහු අවධාරනය කරති.

පලස්තීනුවන් ඝාතනය උත්සන්න කිරීම සඳහා නිසැක කොල එලියක් සහ එක්සත් ජනපද මුදල් හා ආයුධ ගලා ඒම තහවුරු කරන සහතිකයක් ලබා දෙමින් ඊස්රායලයේ පැත්තෙන් “සැලකිය යුතු තරම් උවමනාවට වැඩි ප්‍රතිචාරයක්” නොමැති බව ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කලේය.

ඇත්ත වශයෙන්ම, ප්‍රාථමික ගාසා රොකට් සහ ඊස්රායල් ආරක්ෂක හමුදාවන්ගේ අධි තාක්‍ෂනික ඝාතන යාන්ත්‍රනය අතර සන්සන්දනය කිරීමට දෙයක් නොමැත. පසුගිය අවුරුදු 15 තුල සිදු වූ සෑම ගැටුමකම පාහේ ගාසා තීරයේ ඊස්රායල ජාතිකයන්ගේ මරන, පලස්තීනුවන්ගේ මරන වලින් 10 න් එකකටත් අඩු ය. යලිත් වරක්, ලෝකයේ විශාලතම එලිමහන් බන්ධනාගාරය ලෙස යුක්ති යුක්ත කරමින් විස්තර කර ඇති එම ප්‍රදේශයේ, මූලික යටිතල පහසුකම් කැබලිවලට කඩා දමමින් ජනගහනය ඊටත් වඩා ගැඹුරු දරිද්‍රතාවයට හෙලා තිබේ.

පලස්තීනුවන්ට “ආරක්ෂාව සහ සුරක්ෂිතතාව” සඳහා අයිතියක් ඇති බව වචන මාත්‍රයෙන්  පිලිගනිමින් රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ ඔහුගේ නියෝජ්‍ය නායකයා ඊස්රායලයේ ගුවන් ප්‍රහාර ආරක්ෂා කිරීමට පියවර ගත්හ. එහෙත් එම අයිතිය ඊස්රායලට පලස්තීනය තුල වාඩිලා ඇති ආකාරය දෙස බැලීමෙන් ක්‍රමානුකූලව ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහිදී පලස්තීනුවන්ට වෙඩි තැබීම, ඝාතනය කිරීම හා අංග විකල බවට පත්කිරීම-ලමයින් ද ඇතුලුව-සිරගත කිරීම, නිසි ක්‍රියාදාමයකින් තොරව, ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම සහ නිවෙස් බිමට සමතලා කිරීම වැනි ක්‍රියා වලින් ඔවුන්ගේ සංචලන නිදහස ප්‍රතික්ෂේප කර සියොන්වාදී ජනාවාසවල ආක්‍රමනශීලී ව්‍යාප්තිය සිදුවී ඇත.

එක්සත් ජනපදය මේ සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ සිය නිෂේධ බලය භාවිතා කලේ සෙසු සාමාජිකයින්ගේ සහාය ඇතිව නොබැඳි යෝජනාවක් පවා යටපත් කිරීමටය. මක්නිසාද යත්, යුද්ධයට යන ගමනක් වැලැක්වීම සඳහා එම අපරාධවලින් වඩාත්ම බිහිසුනු දෙය මැඩපැවැත්වීම අවශ්‍ය බව එයින් යෝජනා වූ නිසාය.

ඊස්රායල ආන්ඩුව විසින් සිදුකරන ලද ප්‍රචන්ඩත්වයෙන් සුලු කොටසක් පවා බීජිනය සින්ජියැන්ග් හි සිදු කලේ නම් බ්ලින්කන් සහ ඔහුගේ රාජ්‍ය දෙපාර්තමේන්තු සහචරයින්ගේ ප්‍රතිචාරය ගැන සැකයක් තිබිය හැකිද? උයිගර්වරුන් සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය “ජන සංහාරයක්” බවට හිතාමතාම ගිනි අවුලුවන චෝදනාවක් වොෂින්ටනය විසින් දැනටමත් අවධාරනය කර තිබේ.

චීනයේ වෙනත් තැන්වල මෙන් බීජිනය සින්ජියැන්ග් හි රාජ්‍ය මර්දන ක්‍රම භාවිතා කරන බවට සැකයක් නැතත්, ජන සංහාරය පිලිබඳ චෝදනාවට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් නොමැත. එහෙත්, ඇෆ්ගනිස්ථානයේ හා මැද පෙරදිග වසර 20 ක අඛන්ඩ යුද්ධවලට ගොදුරු වූ සංඛ්‍යාව මිලියන ගනනක් වුවත්, වොෂින්ටනය වෙත ඇඟිල්ල දිගු නොකෙරේ.

එහෙත් රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රධාන නාසි ප්‍රචාරක ජෝසෆ් ගොබෙල්ස් විසින් පෙන්වා දුන් උපායමාර්ගය අනුගමනය කරයි: “ඔබ ප්‍රමානවත් තරම් බොරුවක් පවසා එය දිගින් දිගටම පුනරුච්චාරනය කරන්නේ නම්, අවසානයේදී ජනතාව එය විශ්වාස කරනු ඇත.”

චීනයට එරෙහි මෙම ප්‍රචාරක ව්‍යාපාරයට සංගත මාධ්‍යවලින් නොමසුරු සහයෝගයක් සහ අලංකාරයක් ලැබේ. වොෂිංටන් පෝස්ට් හි කර්තෘ පිටු සංස්කාරක ෆ්‍රෙඩ් හියැට් විසින් රචිත 2019 නොවැම්බරයේ ලිපියෙහි “චීනයේ සෑම දිනක්ම ක්‍රිස්ටල්නාච්ට් (Kristallnacht)" යයි සඳහන් කරයි. (ක්‍රිස්ටල්නාච්ට් - ජර්මානු: “ක්‍රිස්ටල් නයිට්” - 1938 නොවැම්බර් 9-10 දිනවල ජර්මානු නාසීන් යුදෙව් පුද්ගලයන්ට සහ දේපලවලට පහර දුන් රාත්‍රියයි. එය නයිට් ඔෆ් බ්‍රෝකන් ග්ලාස් හෝ නොවැම්බර් පොග්‍රොම්ස් ලෙසද හැඳින්වේ.)

මෙම සැඳහුම 1938 නොවැම්බර් 9-10 දිනවල නාසි කඩාවදින භටයන් ජර්මනිය පුරා යුදෙව්වන්ට එරෙහිව දරුනු සංහාරයක් දියත් කල ලේවැකි සිදුවීම් ගැනයි. යුදෙව් භක්තිකයින්ගේ යාතිකා ශාලා 1,400 ක් ගිනි තබා ඇත. යුදෙව් ව්‍යාපාර දහස් ගනනක් විනාශ විය, නිවාස කොල්ලකෑහ, මිනිසුන්ට පහර දුන්හ, සුසාන භූමි විනාශ කලහ. මිලියන ගනනක් සමූල ඝාතනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරමින් යුදෙව්වන් 30,000 ක් පමන ගාල් කඳවුරුවල සිර කර 1,500 ක් පමන ඝාතනය කරන ලදී.

ෂින්ජියැන් හි “සෑම දිනකම” එවැනිම දෙයක් සිදුවෙමින් පවතින බවට වන චෝදනාවට සහය දැක්වීම සඳහා හියැට් ට ඉදිරිපත් කල හැකි හොඳම සාක්ෂියක් නම්, බහරම් සින්ටාෂ් හි මුස්ලිම් පල්ලි කඩා ඉවත් කර සුසාන භූමි සමතලා කර ඇති බවයි.

සින්ටාෂ් යනු ලෝක උයිගර් කොන්ග්‍රසයේ සහ ඇමරිකානු උයිගර් සංගමයේ ශාඛාවක් වන උයිගර් මානව හිමිකම් ව්‍යාපෘතියේ ක්‍රියාකාරිකයෙකු වන අතර මේ දෙකම අරමුදල් සපයනු ලබන්නේ මීට පෙර සීඅයිඒ විසින් රහසිගතව පවත්වන ලද මෙහෙයුම් වෙනුවට ප්‍රසිද්ධියේ අරමුදල් සැපයීමේ නිර්මානය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික උරුමය (එන්ඊඩී) විසිනි. 2004 සිට උයිගර් බෙදුම්වාදී කන්ඩායම්වලට ඩොලර් මිලියන 9 කට ආසන්න මුදලක් ලබා දී ඇති බවට එන්ඊඩී 2020 දී පුරසාරම් දෙඩුවේය. එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව අන්ත දක්ෂිනාංශික බලවේග සමඟ බැඳී සිටින මෙම කන්ඩායම් සින්ජියැන් හි වාර්ගික රාජ්‍යයක් බිහි කිරීමට උත්සාහ කරන අතර විවෘතව “චීනයේ වැටීම” අපේක්ෂා කරයි.

වෙනත් වචන වලින් කිවහොත්, “ජන සංහාරය” පිලිබඳ සාක්ෂි සපයනු ලබන්නේ වොෂිංටන් විසින් සෘජුවම අරමුදල් සපයන ලද මූලයන් විසිනි. එය රාජ්‍ය ප්‍රචාරක මෙහෙයුමක් වන අතර පෝස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස් වැනි පුවත්පත් හිතවත් මාධ්‍ය ලෙස සේවය කරයි.

මේ අතර, ඊස්රායලයේ අපරාධ හෙලිදරව් කරන අය “යුදෙව් විරෝධීන්” ලෙස හංවඩු ගසනු ලැබේ. එම යෙදුම පිලිගත නොහැකි ලෙස විකෘති කරන ව්‍යායාමයක් වන අතර එය ගාසා තීරයේ පවතින යුද අපරාධ සම්බන්ධයෙන් මිලියන සංඛ්‍යාත යුදෙව්වන් ද ඇතුලුව ලොව පුරා ජනයාට දැනෙන පිලිකුල හා කෝපය ප්‍රකාශ කරන ඕනෑම කෙනෙකුට එරෙහිව නින්දා අපහාසයක් බවට පත් කරයි. ඇත්ත වශයෙන්ම, ඊස්රායල් මූල්‍ය හා සංගත කතිපයාධිකාරයේ උවමනාව මත පාලනය වන රාජ්‍යයක සාපරාධී ප්‍රතිපත්ති සෑම තැනකම සිටින යුදෙව්වන් සමඟ අනන්‍ය කෙරෙන මෙම නිර්වචනයමත් යුදෙව් විරෝධීය.

මෙම අපරාධ කෙරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ උදාසීනත්වය ද ෂින්ජියැන්ග් සම්බන්ධයෙන් එහි “භීෂනය” සහ “මානව හිමිකම්” ඉල්ලා සිටීම ද අතර පවතින විශාල පරතරය, සියලු සදාචාරය වූ කලී පන්ති සදාචාරය බව නැවත වරක් ඔප්පු කරයි. බ්ලින්කන් වැනි අධිරාජ්‍යවාදී ක්‍රියාකාරීන්ගේ සදාචාරාත්මක කෝපය සක්‍රීය වන්නේ කොල්ලකෑමට හා ආක්‍රමනශීලී යුද්ධ සාධාරනීකරනය කිරීමට සහ එක්සත් ජනපද මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වූ විට පමනි.

චීනය සහ රුසියාව සමඟ “මහා බල” ගැටුම සඳහා වන සූදානමේ කොටසක් ලෙස බෝල්කන්, මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේ යුද්ධ සාධාරනීකරනය කිරීම සඳහා මීට පෙර යොදාගත් “මානව හිමිකම්” පිලිබඳ කිලිටි බැනරය දැන් දිගහැරෙමින් තිබේ. එය ගෝලීය තත්වයේ පවතින අධික ආතතීන් හා අන්තරායන් පිලිබඳ මිනුම් දන්ඩකි. ගාසා තීරයේ සිදුවීම් සහ ඊස්රායලයේ වඩ වඩාත් පාලනය කල නොහැකි අර්බුදය ගිනි ගැනීම් ඇති කල හැකි අතර එය විනාශකාරී යුද්ධයකට මග පාදයි.

Loading