ඉදිරිදර්ශන

ගාසා තීරයේ ඊශ්‍රායලය ගෙනයන යුද්ධය සහ ජෙරුසලමේ ජනවාර්ගික විරේක කිරීම් නතර කරනු

[මෙහි පලවන්නේ 2021 මැයි 13, දින Stop Israel’s war on Gaza, ethnic cleansing in Jerusalem මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගාසා තීරයේ ජනතාවට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරය මෙන්ම, ජෙරුසලමේ ජනවාර්ගික විරේක කිරීමේ මෙහෙයුම තරයේ හෙලා දකී. මෙම මෙහෙයුම් අර්බුදය නිර්මානය කර ඊට ගිනිලෑවේය. ඊශ්‍රායල් කම්කරු පන්තිය ඇතුලු සමස්ත ලෝකයේ ම කම්කරුවන්, පලස්තීන ජනතාවට එරෙහි ව ඉදිරියට යන ආක්‍රමනයන්ට විරුද්ධ විය යුතු ය.

මිලියන දෙකකට වඩා වැඩි ජනගහනයක් සහිත ඇමරිකාවේ ඩෙට්‍රොයිට් හෝ ෆිලඩෙල්ෆියා නගරවලට වඩා විශාල නොවන ප්‍රදේශයක, අවම වශයෙන් ස්ථාන 500ක්  මත හෙලූ ඊශ්‍රායල බෝම්බ සහ මිසයිල මගින් පලස්තීනුවන් දුසිම් ගනනක් මිය ගොස් ඇත.

මෙම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය, 2021 මැයි 12 වන බදාදා ගාසා නගරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගාසා තීරයේ ඉලක්ක වෙත එල්ල වූ ප්‍රහාර මාලාවක නවතම අවස්ථාවයි. (ඒපී ඡායාරූපය / කලීල් හම්රා)

හමාස් සංවිධානය හා ඉස්ලාමීය ජිහාඩ් වැනි පලස්තීන සටන්කාමී කන්ඩායම්වල සමහර නායකයින් ඝාතනය කෙරී ඇතත්, වාතාවරනය අපැහැදිලි  ය. එහෙත් 2007 සිට ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය විසින් භාවිතා කෙරෙන ගොඩනැගිලි විනාශ කිරීම සඳහා මිසයිල ද  පොදුවේ බෝම්බ හෙලීමේ ව්‍යාපාරයක් සහිත දැනුවත් ඝාතනයක එකතුවක්  බව පෙනේ.

වඩාත් කැපී පෙනෙන ගොදුර හමාස් මිලිටරි හමුදාවේ ගාසා නගර සේනාංකයේ අනදෙන නිලධාරි බාසෙම් ඊසා ය. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙසේ උදම් ඇනී ය: “අපි හමාස් ජ්‍යෙෂ්ඨ අන දෙන නිලධාරීන් මරා දැමුවා. මෙය ආරම්භය පමනයි. ඔවුන්ට සිහිනෙන් වත් සිතිය නොහැකි ප්‍රහාරයක් අපි ඔවුන්ට එල්ල කරනවා.”

ඊශ්‍රායල් ආරක්ෂක බලකාය (අයිඩීඑෆ්) සන්නද්ධ ඒකක සහ පැරෂුට් භටයන් ඇතුලු අතිරේක භටයන් 5000ක් ගාසා දේශ සීමාව ඔස්සේ, බදාදා වන විට යුද්ධයට සූදානම් ව සිටි, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මන්ඩලයේ නියෝග ලබා දෙන්නේ නම්, එම ප්‍රදේශය ආක්‍රමනය කිරීම සඳහා ස්ථානගත කර තිබේ. එය 2014 දී ඊශ‍්‍රායලය විසින් ගාසා තීරය ආක්‍රමනය කර, මාසයක දීර්ඝ සංහාරයක දී පලස්තීනුවන් දහස් ගනනක් මරා දැමීමෙන් පසු පැවති, විශාලතම බලය පෙන්වීම විය.

හමාස් සංවිධානයේ ගොරහැඩි මිසයිල හා බෙහෙවින් අකාර්යක්ෂම රොකට් ප්‍රහාර මගින් ඉලක්ක කෙරී ඇති ගාසා තීරයේ දකුනු නගරය වන ඇෂ්කෙලොන් වෙත ගිය ආරක්ෂක ඇමති බෙනී ගැන්ට්ස්, ඊශ්‍රායල මෙහෙයුම යම් කාලයක් ඉදිරියට යනු ඇති බව පෙන්වා දුන්නේ ය. මිලිටරිය “දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනු ඇති අතර දීර්ඝ කාලීනව සම්පූර්න සාමයක් ගෙන එනු ඇතැ” යි ඔහු පැවසී ය.“දැනට අවසන් දිනයක් නෑ.”

ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශක හිඩායි සිල්බර්මන් ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් තුවාල වීමට හෝ මරනයට පත්වීමට ඉඩ ඇති බව පිලිගත් නමුත් හමාස් හිතාමතාම එහි මෙහෙයුම් සඳහා සිවිල් වැසියන් “මිනිස් පලිහක්” ලෙස භාවිතා කරන බව කියා සිටියේය. මෙය සිවිල් වැසියන් ඝාතනය කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් හා සියොන්වාදී ආන්ඩුව විසින් අනන්ත වාරයක් යොදා ගැනුන ව්‍යාජ සාධාරනීකරනයකි.

 දේශපාලනික ව වඩාත් වැදගත් වන්නේ, බටහිර ඉවුරේ සුපුරුදු ඉලක්කවලට වඩා, සැලකිය යුතු ඊශ්‍රායල්-අරාබි ජනගහනයක් සිටින නගරවලට එරෙහි ව ඊශ්‍රායලය තුල අතිරේක දේශසීමා පොලිස් බලඇනි අටක් කැඳවීම යි. නැගෙනහිර ජෙරුසලමේ ෂෙයික් ජරාහ්හි පලස්තීන වැසියන් ඉවත් කිරීමට ඊශ්‍රායලය ගත් උත්සාහයන්ට එරෙහි ව සහ ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ ආගමික කටයුතුවල යෙදී සිටින පලස්තීනුවන් මත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව ඊශ්‍රායල-පලස්තීනුවන් අතර පුලුල් විරෝධතා පවතී. හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති, මධ්‍යම ඊශ්‍රායලයේ ලොඩ් නගරය හා උතුරු වෙරල තීරයේ අක්‍රේ (ඇකෝ) නගරය වෙත දේශසීමා පොලිසිය යවා ඇත.

ජනාවාස පුරා “අරාබින්ට මරනය” යනුවෙන් හඬ නඟන අන්ත දක්ෂිනාංශික සියොන්වාදීන්ගේ පා ගමන් සමග අත්වැල් බැඳ ගත්, ෂෙයික් ජරාහි  ඊශ්‍රායල් නෙරපා හැරීම්වල විශේෂයෙන් ප්‍රකෝපකාරී ස්වභාවයක් ඇත. ක්‍රියාකාරිනියක හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන රූලා සලාමේ විසින් නිව් යෝක්  ටයිම්ස් පුවත්පතේ කතුවැකිය ඉදිරිපිට පලවූ ලිපියක සඳහන් කල පරිදි, “නෙරපා හැරීමේ තර්ජනයට මුහුන දී ඇති ෂෙයික් ජරාහ් පවුල්, 1948 යුද්ධයේ දී හයිෆා හා ජැෆාහි පිහිටි සිය නිවෙස්වලින් පලවා හරින ලද පලස්තීන සරනාගතයෝ ය.” 1967 යුද්ධය තෙක් එම ප්‍රදේශය පාලනය කල ජෝර්දාන් ආන්ඩුව විසින් ඔවුන් නැගෙනහිර ජෙරුසලමේ නැවත පදිංචි කරන ලදී.

ෂෙයික් ජරාහ් කෙලින්ම වැටී තිබෙන්නේ පැරනි නගරයේ අරාබි කොටසට  පිවිසෙන ප්‍රධාන පිවිසුම වන දමස්කස් ද්වාරයට යාබදවය. වේලින් වෝල්(වෙව්ලන තාප්පය) සහ ඉස්ලාමයේ තුන්වන ශුද්ධ වූ දේවස්ථානය වන අල්-අක්සා පල්ලිය  ජෙරුසලමේ ‌මෙම  පවුරු වලල්ලට අයත් ය. පසුගිය මාසයේ දමස්කස් ගේට්ටුව වසා දමූ ඊශ්‍රායල් බලධාරීහු, දැන් එයින් පිටත අසල්වැසි ප්‍රදේශවලින් පලස්තීන පවුල් ඉවත් කරමින් සිටිති. එය අරාබි වරුන් මුලුමනින්ම ඉවත් කිරීමේ සූදානමක් විය හැකි ය. 

නෙතන්යාහු ආන්ඩුවට එවැනි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මුලුමනින්ම කැස කවයි. ආන්ඩුවක් පිහිටුවීම සඳහා වන නෙතන්යාහුගේ වලි කෑම සලකා බලන විට, දේශපාලන අවශ්‍යතාවයක් ලෙස එවැනි ප්‍රකෝප කිරීමක් දැකිය හැකි අතර, ඒ මගින් අපරාධ දූෂන චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහි ව ගොනුවී තිබෙන  නඩු විභාගයේ දී වරදකරු වීම ද මග හැරිය හැක. අබල දුබලව ගිය ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීමට අගමැතිවරයා මුලින් අසමත් වීමෙන් පසු ඊශ්‍රායල් ජනාධිපති රූබන් රිව්ලින්, විපක්ෂ නායක යායිර් ලැපිඩ්ට ආන්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් ලබා දී තිබේ.

ගාසා තීරයේ අර්බුදය “පූර්න පරිමාන යුද්ධයක් කරා උත්සන්න වෙමින් පවතින” බවට එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු වන, මැද පෙරදිග සාම ක්‍රියාවලිය පිලිබඳ විශේෂ සම්බන්ධීකාරක ටෝර් වෙන්ස්ලන්ඩ් අනතුරු ඇඟවී ය. කෙසේවෙතත්, “සමහන් කිරීම” සඳහා ඔහු කල ඉල්ලීම්, ඊශ්‍රායල යුද කැබිනට් මන්ඩලය හා ජාත්‍යන්තර වශයෙන් ඊශ්‍රායලයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන වොෂිංටනයට, බීරි අලින්ට වෙන වැයුමක් වැනි ය.

බදාදා වෙන්ස්ලන්ඩ් අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කල නමුත් වෙනත් යෝජනාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජනපදය එය අවහිර කලේ ය. නෝවේ හා ටියුනීසියාව විසින් කෙටුම්පත් කරන ලද වාර්තාවට අනුව නැගෙනහිර ජෙරුසලමේ ෂෙයික් ජාරාහ් සහ සිල්වන්  ප්‍රදේශවල ඊශ්‍රායලය විසින් ගෙනයනු ලබන ඉවත් කිරීම් හෙලා දකින අතර, “ජනාවාස කටයුතු, කඩා දැමීම හා ඉවත් කිරීම් නතර කරන්න” යි ඊස්රායලයෙන් ඉල්ලා සිටී.

අධිරාජ්‍යවාදී බලවතුන් එය තමන්ගේ ම ආක්‍රමන සඳහා සුදුසු කඩතුරාවක් ලෙස සලකන විට පමනක් ක්‍රියා කල හැකි දේශපාලන කතා සාප්පුවක් වන එක්සත් ජාතීන්ගේ භූමිකාවට මෙය සාමාන්‍ය දෙයකි. ආරක්ෂක කවුන්සිලය මැද පෙරදිග සම්බන්ධයෙන් යෝජනා සම්මත කරන දුර්ලබ අවස්ථාවල දී, ඊශ්‍රායලය දඬුවම් නො විඳ නිකම්ම ඒවා නො සලකා හරියි.

අර්බුදය පුපුරා ගිය දා සිට බයිඩන් පරිපාලනය ඊශ්‍රායල් හිතවාදී ක්‍රියාකාරකම් පිලිබඳ උමතුවක ගැලී සිටී. රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් තම ඊශ්‍රායල් සහචරයන්ට නැවත නැවතත් දුරකථන ඇමතුම් ලබා දී ඇත. මැද පෙරදිග තම ප්‍රධාන හෙංචයියාට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහාය පුද කරමිනි.

“පලමුව සැබවින් ම සිවිල් වැසියන් ඉලක්ක කරමින්, වගවිභාගයක් නැතිව ඊශ්‍රායලය මත රොකට් වැසි වස්සන ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් හා තම ආරක්ෂාව සඳහා වන ඊස්රායලයේ ප්‍රතිචාරය අතර ඉතා පැහදිලි හා ඒකාන්ත වෙනසක් ඇත” යි බ්ලින්කන් ප්‍රකාශ කලේ ය. 

ඔස්ටින් එක්සත් ජනපදයේ “දැඩි සහයෝගය” ප්‍රකාශ කිරීම සඳහා  ගැන්ට්ස්  (ඊශ්‍රායල් ආරක්ෂක ඇමති) ඇමතුවේ, “ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් හමාස් හා අනෙකුත් ත්‍රස්තවාදී කන්ඩායම් විසින් රොකට් ප්‍රහාර දියත් කිරීම, ඔහු දැඩි ලෙස හෙලා දුටුවා” යයි ප්‍රකාශ කරමිනි.

ගාසා තීරයේ පුපුරා ගිය ගැටුමට ඊටත් වඩා භයානක අංගයක් තිබේ. සියොන්වාදී ව්‍යාපාරයෙන් ඉවතට විසි වී යන සමාජ ප්‍රතිවිරෝධතා මැඩලිය හැකි එක ම කොන්දේසිය වන යුද්ධය යනු ඊශ්‍රායල් රාජ්‍යයේ පැවැත්මේ පිලිවෙල යි. එවන්  අන්තිම යුද්ධය වූ 2014 ගාසා තීරය ආක්‍රමනය කිරීමෙන් හත් වසරකට පසු,  පලස්තීනුවන්ට එරෙහි මිලිටරි ප්‍රහාර ඊශ්‍රායල් නායකත්වය විසින් දකිනු ලබන්නේ කල් ඉක්මවා ගිය අවශ්‍යතාවක් මෙන් ම එය අනිවාර්යයෙන්ම පලස්තීනුවන්ට පමනක් සීමා නො විය යුත්තක් ලෙස  ය .

විශේෂයෙන් ම අසුබ වන්නේ, ඊශ්‍රායල් දක්ෂිනාංශයේ ප්‍රධාන මාධ්‍ය හඬවලින් එකක් වන ජෙරුසෙලම් පෝස්ට් පත්‍රය පල කල, “ඊශ්‍රායලය මත දැවැන්ත හමාස් ප්‍රහාරය ඉරානය විසින් අනතුරු ඇඟ වූ ප්‍රහාරය ද?” යන මාතෘකාවෙන් යුත් තීරු ලිපිය යි. හමාස් සංවිධානය විසින් එක දිගට රොකට් වෙඩි එල්ල කිරීම සැබවින් ම ජෙරුසෙලමේ ඊශ්‍රායල් ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් නො ව,  ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව  ඊස්රායලය එල්ල කල ප්‍රහාරයට ප්‍රතිචාරය වසයෙන් ඉස්ලාමීය ජිහාඩ් හා ලෙබනනයේ හිස්බුල්ලා කන්ඩායම යොදාගනිමින් ඉරානය විසින් කරන ලද කුපිත කිරීමක් බව කතුවරයා පෙන්වා දෙයි. 

කිසිදු තාර්කික පදනමක් හෝ සාක්ෂි ඉදිරිපත් නො කර එවැනි අදහස් දැක්වීමක පරමාර්ථය වන්නේ, ඉරානයට එරෙහි ඊශ්‍රායල මිලිටරි ප්‍රහාරයක් සඳහා මහජන මතය සකස් කිරීම යි. මෙය නටාන්ස්  හි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කර ගනු ඇති බව පෙනේ. මේ වන විටත් වැඩ බිමට හොරෙන් ගොඩ බාන ලද පුපුරනසුලු උපකරනයක දුරස්ථ පාලක පිරුමක් සම්බන්ධ කර ගනිමින්, පසු ගිය මාසයේ ඊස්රායලය එයට පහර දී ඇත. 

මෙම විස්තරය දැක්වීමට දිනකට පෙර එක්සත් ජනපද වෙරලාරක්ෂක නෞකාවක්, හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන බෝට්ටුවලට “අනතුරු ඇඟවීමේ වෙඩි” පත්තු කලේ ය. එය සති පහක් තුල ඇතිවූ තෙවැන්නයි. දිය මතුපිටින් සමූද්‍ර සන්ධිය පසු කරමින් තිබූ වෙරලාරක්ෂක නෞකාව, මිසයිල වලින් සන්නද්ධ නාවික හමුදා සබ්මැරීනයකට ආරක්ෂාව සපයමින් තිබුනි.

මැද පෙරදිග අර්බුදය පවතින්නේ පිහි මුවාතක් මත ය. සියොන්වාදී තන්ත්‍රයේ ප්‍රධාන අනුග්‍රාහකයා එක්සත් ජනපදය වන අතර,  රුසියාව සහ විශේෂයෙන් චීනය සමඟ ඉරානය ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි සබඳතා වර්ධනය කර ගෙන තිබේ. ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයක් මගින් සියලු ප්‍රධාන බලවතුන් ගිනිය නො හැකි ප්‍රතිවිපාක සහිත, යුද්ධයේ කල්දේරමට ඇද දැමිය හැක.

මැදපෙරදිග නව යුද්ධයක් සහ එය ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය වීමේ  තර්ජනයට මුහුන දිය හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පදනම් වූ දැවන්ත යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙන් පමනි.

Loading