රාජපක්ෂ ආන්ඩුව මිලිටරීකරනය තීව්‍ර කිරීම සඳහා වසංගතය යොදා ගැනීම වඩවඩාත් පුලුල් කරයි

එන්නත්කරනය “කඩිනම් කිරීමට” යැයි කියමින් රාජපක්ෂ ආන්ඩුව පසුගිය සතිය ආරම්භයේ සිට තම එන්නත්කරන වැඩපිලිවෙලට ත්‍රිවිධ හමුදාව යොදවා ඇත. මෙය, මිලිටරීකරනය වේගවත් කිරීම සඳහා වසංගතය යොදා ගැනීමට ආන්ඩුව ආරම්භයේ සිට ක්‍රියාත්මක කල වැඩපිලිවෙලේ තවත් පියවරකි.

රොයිටර් විශ්ලේෂනයන්ට අනුව, දෙනලද සමස්ත එන්නත් ප්‍රමානය එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙක බැගින් ලැබුනේ යැයි උපකල්පනය කලහොත් එන්නත ලැබී ඇත්තේ ජනගහනයෙන් සියයට 2.8ක් දෙනාට පමනි. වෛරසයේ නව ප්‍රභේදයන්ගේ සීඝ්‍ර ව්‍යාප්තිය හා සසඳන කල මෙම එන්නත්කරන ප්‍රතිශතය ඉතා අප්‍රමානවත් එකකි. වෛද්‍ය විශේෂඥයන්ට අනුව, ඊට පෙර සතියට සාපේක්ෂ ව පසුගිය සතියේ දී වසංගත ව්‍යාප්තිය සියයට 27කින් ඉහල ගොස් ඇත. මෙම ප්‍රවනතාවන් අනුව දශක ගනනාවක කප්පාදුවලින් අබලන්ව ඇති මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය මුලුමනින් ම කඩා වැටී සමාජ ඛේදවාචකයක් නිර්මානය වීමේ අනතුර ගැන වෛද්‍ය සංගම් අනතුරු අඟවා තිබේ.

රෝගයෙන් ආරක්ෂා වීමේ දැඩි අවශ්‍යතාවකින් පෙලෙන මහජනයා රෝග ව්‍යාප්තිය පාලනය කල හැකි ආකාරයේ සංචරන සීමාවන් ඉල්ලා සිටින අතර එන්නත ලබා ගැනීමට ඉමහත් උනන්දුවක් දක්වති. නමුත් එන්නත ලබා ගැනීමේදී, කායික දුරස්ථකරනයෙන් පවා තොරව, කිලෝමීටර ගනන් දිගු පෝලිම්වල මහජනයාට රස්තියාදු වීමට සිදු ව ඇති අතර බොහෝ විට හිස් අතින් ම ආපසු යාමට සිදුව ඇත. එම අවස්ථාවල මහජනතාව තම කෝපය සහ අප්‍රසාදය පල කරනු දැක ගත හැකි ය.

කොට්ටාව රුක්මල්ගම එන්නත්කරන වැඩසටහනක දී දිගු පෝලිමක රැඳී සිටින ජනතාව (wsws)

එන්නත්කරන වැඩපිලිවෙල කඩිනම් කිරීමට යැයි කියමින් ආන්ඩුව මිලිටරිය කැඳවා ඇත්තේ මෙ බඳු පසුබිමකයි. රාජ්‍ය ආයතන අකාර්යක්ෂම යැයි චෝදනා නගමින් එම අංශ මිලිටරියේ සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් යටතට හෝ ඍජුවම මිලිටරිය යටතට පත් කිරීම තම මිලිටරීකරන වැඩපිලිවෙල පෙරට ගෙන යාම සඳහා රාජපක්ෂ ආන්ඩුව දිගින් දිගට ම පාවිච්චි කරන උපක්‍රමයකි.

වසංගතයට පෙර පටන් ම ගැඹුරු වන අර්බුදයක ගිලෙමින් පැවති ලංකාවේ ධනපති පන්ති පාලනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් කර ගත්තේ ආඥාදායක පාලනයක් ඉක්මනින් ගොඩනංවා ගෙන අර්බුදයේ බර මහජනතාව පිට පනවන පියවර ක්‍රියාවට දැමීමටයි.

ගෝලීය වසංගතයෙන් පැන නංවන ලද හදිසි සෞඛ්‍ය අවදානම ජය ගැනීමට නම් සෞඛ්‍ය සේවාවන්ට වෙන් කල යුතු ප්‍රතිපාදන දැවැන්ත පරිමානයෙන් ඉහල නැංවිය යුතු විය. කෙසේ නමුත්, එ බඳු වියදම් ධනපති පාලක පංතියේ ඉහත අරමුනුවලිට පටහැනි ව පිහිටයි.

කොවිඩ්-19 වසංගතය පැතිර යාම පාලනය කල චීනය වැනි රටවල් එම කටයුතු සිදු කලේ සෞඛ්‍ය සේවා කඩිනම් කිරීමෙනි. එහි දී, පීසීආර් පරීක්ෂන දැවැන්ත පරිමානවලින් ඉහල නැංවීමට, රෝහල් කෙටි කලකින් ඉදි කිරීමට සහ ඔක්සිජන් ආදී වෛද්‍ය උපකාරක සම්පාදනය කිරීමට වහා පියවර ගැනුනි.

නමුත් මෙම ව්‍යසනකාරී තත්ත්වය ඇස් පනා පිට පෙනී පෙනී රාජපක්ෂ ආන්ඩුව සෞඛ්‍ය ප්‍රතිපාදන, ‌පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 27කින් කප්පාදු කලේ ය. ඊට විපරීතව ආන්ඩුවේ මිලිටරි වියදම රුපියල් බිලියන 43 කින් ඉහල නැංවුනි. 2019 ට සාපේක්ෂව ගත්කල 2021 මිලිටරි වියදම සියයට 16 ක වැඩිවීමකි.

සිවිල් - ආර්ථික ජීවිතය මිලිටරීකරනය කිරීමේ ම පියවරක් වශයෙන්, කොවිඩ්-19 සම්බන්ධ වැඩකටයුතු සඳහා නිරෝධායන පනතින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට ලැබී ඇති බලතල නාමමාත්‍රික බවට පත් කරමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එම කටයුතුවල ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබුනි. මේ අනුව වසංගතය තත්ත්වයක් යටතේ මහජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් සම්පූර්න පියවර ගැනීමට මිලිටරියට අවකාශ සැලසී ඇත.

හමුදාවට පිරිස් බඳවා ගැනීම ඉහල නංවා ඇති අතර ඒ යටතේ සෑම ගමකින් ම අඩු ම තරමේ තරුනයන් තිදෙනෙකු බඳවා ගැනීමට බලාපොරොත්තු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. පසු ගිය වසරේ දී ඩ්‍රෝන බලකායක් පිහිටුවීමට සන්දර්භය සකසා ගත්තේ ඒ නිරෝධායන නීති කඩකරන්නන් සෙවීමට බව පවසමිනි. පොලිසිය මර්දනාකාරී කටයුතු සඳහා සූදානම් කර ගැනීමට නව අමාත්‍යාංශ දෙකක් නිර්මානය කෙරුනි.

සෞඛ්‍ය වියදම් කප්පාදුව හේතුවෙන්, වෛද්‍යවරුන් සහ හෙද-හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවක හිඟය දැවැන්ත පරිමානව ඉහලගොස් ඇති අතර, එහි ප්‍රතිඵලය ලෙස ඉසිලිය නොහැකි වැඩ කන්දරාවක් සෞඛ්‍ය සේවකයන්ගේ උරමත පටවා ඇත. මෙම තතු තුල සෞඛ්‍ය සේවකයන්ගේ 'අකාර්යක්ෂමතාව' ගැන කෙරෙන චෝදනා මුලුමනින්ම කුහකය.

මැයි 13 දා දෙරන රූපවාහිනිය සමග හමුදාපති කල ප්‍රකාශයකින් මෙම කුහකත්වය මැනවින් ප්‍රකට විය. “යුද හමුදාව පැත්තකට වෙලා ඉන්නෙ නැති ව, මොකට ද මේ දොස්තරලගෙ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්නෙ කියලා ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න කරනවා” යනුවෙන් විමසන ලද පැනයකට පිලිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය: “අපිව බලාගෙන අනික් රටවලුත් යොදවන්න පටන් අරන් තියෙනවා. සරල ම උදාහරනයක් දෙන්න පුලුවන්. කොවිඩ් සම්බන්ධයෙන් ඇඳන් තිබ්බෙ 5000 ගානක්. එය 8000ක් දක්වා විතරයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩි කර ගන්න ලැබුනේ. ඉතුරු ඔක්කොම, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, ගොඩනැගිලි නවීකරනය කරමින් රෝහල් බවට පරිවර්තනය කරමින් කැපවුනේ වීරෝධාර රනවිරුවන්. රනවිරුවො නොහිටින්න බිම තමයි ඉඳ ගන්න වෙන්නේ; බිම තමයි බුදිය ගන්න වෙන්නෙ.'

ප්‍රථම කොටම, වසංගතයකට මුහුන දීමට අත්‍යවශ්‍ය ඉහත පහසුකම් නොමැතිවීම, දශක ගනනාවක ඝෘජු කප්පාදුවේ සහ මෙවන් වසංගතයකට මුහුනදිය හැකි පරිදි සෞඛ්‍ය පහසුකම් වැඩිදියුනු කරන ලෙස වසර කීපයකට පෙරාතුව ලෝක සෞඛ්‍ය සංවිධානය කල නිර්දේශයන් සාපරාධී ලෙස නොතකා හැරීමේ ඝෘජු ප්‍රතිඵලයකි.

දෙවනුව, මහජනතාවගේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා වන වියදම් කප්පාදුකොට හමුදා යාන්ත්‍රනය ශක්තිමත් කිරීමට එම මුදල් යොදා ගැනෙන්නේ, අනුප්‍රාප්තික ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහිව නැගී සිටින කම්කරු-පීඩිත මහජනතාව මැඩීමේ අතිමූලික අරමුනෙනි. 'ජාතික ආරක්ෂාව තර කිරීම' නමින් සිදු කෙරෙන්නේ මෙම ක්‍රියාදාමයයි.

බිලියන සංඛ්‍යාත මහජන මුදලින් කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව නඩත්තු කෙරෙන මෙම මිලිටරි යන්ත්‍රයේ සාමාජිකයන් එන්නත්කරනය වැනි සිවිල් කටයුතු වලට යොදා ගැනෙන්නේ සමස්ත සමාජ ජීවිතයම මිලිටරීකරනය කිරීමේ වැඩපිලිවෙලේ කොටසක් ලෙසිනි. මෙම යතා අරමුන වසන් කිරීමේ අටියෙන්, ආන්ඩුව ඇතුලු පාලකයන් සහ ධනපති මාධ්‍ය විසින් හමුදා භටයන්, මහජනතාවගේ පිහිටට නිරන්තරව ඉදිරිපත්වන 'රනවිරුවන්' ලෙස උත්කර්ෂයට නැංවේ.

සෞඛ්‍යය ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රයන්හි වැඩෙන අරගල දැවැන්ත පරිමාවන් අත්පත් කරගනිමින් වඩා විවෘත ව ධනපති ක්‍රමයට අභියෝග කරමින් පුපුරා යාමේ අවදානම ගැන පාලක පන්තිය සංවේදී ය. වසංගතය හමුවේ වේගවත් කෙරී ඇති එවන් පුපුරා යාමකට මුහුනදීම සඳහා රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලොවපුරා ධනපති පාලක පන්තීහු ආඥාදායක පාලන රූපයන් කරා වේගයෙන් මාරුවෙමින් සිටිති. ඉන්දියාව පසුගිය වසරේ දී වසංගතය මධ්‍යයේ විශාලත්වය අතින් ලොව තෙවන තැන ගන්නා මිලිටරි අයවැයේ උරුමකරුවා බවට පත් විය.

Loading