ඉතිහාසයේ මෙම සතිය: මැයි 17-23

වසර 75කට පෙර: බ්‍රිතාන්‍ය ලේබර් රජය ගල් අඟුරු කර්මාන්තය ජනසතු කරයි

ක්ලෙමන්ට් ඇට්ලී

1946 මැයි 20 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව (British House of Commons) විසින් එරට ගල් අඟුරු කර්මාන්තය ජනසතු කිරීමේ පනත සම්මත කෙරිනි. මෙම පනත සාමි මන්ඩලය (House of Lords) විසින් සම්මත කොට ජූලි 12 වන දින රාජකීය අනුමැතිය ලබා දී නීතියක් බවට පත් කරනු ලැබිනි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු අගමැති ක්ලෙමන්ට් ඇට්ලීගේ (Clement Attlee) ලේබර් රජය විසින් සිදු කරන ලද ජනසතු කිරීම් මාලාවක පලමු වැන්න අතරට මෙම ව්‍යවස්ථාව ඇතුලත් විය. මෙම පනත කෙටුම්පත් කරනු ලැබුවේ යුරෝපීය ගැටුම අවසන් වී යන්තම් මාස හයකට පසු, 1945 දෙසැම්බරයේ දී ය. 1945 අගෝස්තු මාසයේදී රජය ප්‍රකාශයක් කරමින්, “ජාතික යහපැවැත්ම වෙනුවෙන් උපරිම දායකත්වයක් ලැබෙන ලෙස අපගේ කර්මාන්ත හා සේවාවන් වල මහජන අයිතිය පුලුල් කිරීමක්” ඉල්ලා සිටියේ ය.

ගල් අඟුරු පනත සම්මත වීමෙන් පසුව, තවත් පනත් මාලාවක් ලේබර් රජය විසින් ඒ හා සමාන ආකාරයට ඉදිරිපත් කරන ලදී. ඒවා අතර 1947 විදුලිබල පනත, 1947 ප්‍රවාහන පනත, 1948 ගෑස් පනත, සහ 1949 යකඩ හා වානේ පනත වැනි පනත් මගින් ආර්ථිකයේ ප්‍රධාන අංශ රාජ්‍ය පාලනයට යටත් කෙරිනි.

ගල් අඟුරු පනත තුලින් පතල් හිමියන්ට, පතල් මන්ඩලයේ කොටස් නිකුතුවක් හරහා, වන්දි ලබා දුන් අතර ටෝරි පක්ෂයේ (Tory Party/Conservative Party) සමහර කොටස් එයට විරුද්ධ විය. මෙම ක්‍රියාව නිසා පතල් හිමියන්ගේ අඛන්ඩ බලපෑම පතල් කර්මාන්තය තුල සහතික කෙරුනි. එම ක්‍රියාවේ අරමුන වූයේ, ජනසතු කිරීම් ඔස්සේ පතල් කර්මාන්තය, කම්කරු පන්තියේ බලවත් හා සටන්කාමී අංශයක් වන, පතල් කම්කරුවන්ගේ පාලනය යටතට පත් කරගැනීමේ ඉලක්කයන් සහිත සංකල්පයන්ට එරෙහි වීම යි.

1945 ජූලි මස පැවති මහ මැතිවරනයෙන් ලේබර් ආන්ඩුව බලයට පත් විය. එම ඡන්දයේදී අගමැති වින්ස්ටන් චර්චිල් මූලික වශයෙන් සිය යුද වාර්තාව මත පදනම් වූ අතර ඇට්ලී විසින් ජනසතු කිරීම් සහ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම ඇතුලු විවිධ සමාජ ප්‍රතිසංස්කරන පොරොන්දු විය. ලේබර් පක්ෂය පාර්ලිමේන්තු ආසන 393 ක් ලබා ගත් අතර එය ආසන 239 ක වැඩි වීමකි. ටෝරි පක්ෂය ආසන 197 ක් ලබා ගත් අතර එය 189 කින් අඩු වීමකි.

එම ඡන්ද ප්‍රතිඵලය මගින් පිලිබිඹු වූයේ ෆැසිස්ට්වාදයේ පරාජයෙන් පසු යුරෝපය පුරා කම්කරු පන්තියේ වර්ධනය වන දේශපාලන රැඩිකලීකරනයත්, 1930 ගනන්වල පැවති දරිද්‍රතා මට්ටම් වල තත්වයන්ට නැවත යෑම වැලැක්වීමේ අධිෂ්ඨානයත් ය. ජනසතු කිරීම් මගින් මෙම නැගී එන ව්‍යාපාරය සමනය කිරීම අරමුනු කරගත් නමුත් එය කිසිදු ආකාරයකින් බ්‍රිතාන්‍යය තුල සමාජවාදය ස්ථාපිත කිරීමක් නොවීය. ඊට පටහැනිව, පාලක පන්තියේ බලගතු කොටස්වල සහාය රජයට ලැබුනු අතර එය ධනේශ්වර රාජ්‍යයේ මඟ පෙන්වීම යටතේ ජාතික කර්මාන්තයේ තීරනාත්මක කොටස් පුනර්ජීවනය කිරීමට ද සේවය කලේය.

Loading