ඉතිහාසයේ මෙම සතිය: මැයි 10-16

වසර 75 කට පෙර: මොතාසෙන් ගාල් කඳවුරේ සමූහ ඝාතන සම්බන්ධයෙන් නාසි එස්එස් හමුදා වැරදිකරුවන් බවට ප්‍රකාශ කෙරේ

“මරනයේ පඩිපෙල*” (“Stairs of Death”) ඔස්සේ කලුගල් කුට්ටි රැගෙන යාමට මොතාසෙන් (Mauthausen) සිරකරුවන් බලහත්කාරයෙන් යෙදවිනි

ඔස්ට්‍රියාවේ මොතාසෙන් ගාල් කඳවුරේ සිදු වූ, බහුතරයක් යුදෙව්වන් වන 70,000 ක් පමන වූ ඝාතනයන් සහ අනෙකුත් යුධ අපරාධ සම්බන්ධයෙන්, එක්සත් ජනපද හමුදාව විසින් සංවිධානය කරන ලද යුධ අපරාධ විනිශ්චය සභාවක් විසින්, 1946 මැයි 11 වැනිදා, නාසි වෆන් එස්එස්** (Nazi Waffen SS) සාමාජිකයින් 61 දෙනෙකු වරදකරුවන් බවට ප්‍රකාශ කරනු ලැබිනි. මෙම නඩු විභාගය, 1945 මැයි මාසයේ දී හිට්ලර්ගේ නාසි තන්ත්‍රය පරාජය කිරීමෙන් පසු, මිත්‍ර හමුදා විසින් ජර්මානු සුලු නගරයක් වන ඩැකාවූ (Dachau) හි දී පවත්වන ලද නඩු මාලා වලින් එක කි.

1938 දී නාසීන් විසින් ඔස්ට්‍රියාව ජර්මනියට අන්තර්ග්‍රහනය කිරීමෙන් පසුව මොතාසෙන් කඳවුර පිහිටුවන ලදී. එය ඔස්ට්‍රියාව හා දකුනු ජර්මනිය පුරා විසිරුනු කඳවුරු 100 ක පමන වූ ජාලයක ප්‍රධාන කඳවුර ලෙස ක්‍රියාත්මක විය.

කලුගල් කොරියකට ආසන්නව ඉඳිකොට තිබූ මොතාසෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු එස්එස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුට අයත් පෞද්ගලික ආයතනයක් වූ ඩෙස්ට් (DEST) නම් සමාගම විසින් සිදු කල අතර පරිපාලන කටයුතු ජර්මානු රජය විසින් සිදු කෙරිනි. යුරෝපයේ සෑම ප්‍රදේශයකින් ම නාසීන්ගේ සිරකරුවන් මෙම කඳවුරට ගෙන එනු ලැබිනි. එහිදී ඔවුන් මරනයට පත් වන තෙක් වහල් සේවයේ යොදා ගත්තේ ඔවුන්ගෙන් උපරිම ලාභය ලබා ගැනීම අරමුනින් ය.

මෙම කඳවුරට එවූ බොහෝ යුදෙව් හා යුරෝපීය බුද්ධිමතුන් එහිදී ම මිය ගියහ. කඳවුරේ සිරකරුවන් අතර සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී ක්‍රියාකාරීන්, රෝමා සුලුතර වාර්ගිකයන් [යුරෝපයේ අහිකුන්ඨික ජනතාව], සහ ස්පාඤ්ඤ ෆැසිස්ට්-විරෝධීන් ද වුහ.

නඩුව අතරතුර නාසීන් විසින් මොතාසෙන් කඳවුරේ දී යොදා ගත් ම්ලේච්ඡ ක්‍රම ගැන සාක්ෂි විමසීමක් සිදු විය. එම ක්‍රම සමහරක් මෙසේ ය:

  • බර ගල් ඔසවාගෙන කඳු තරනය කිරීමට සිරකරුවන් යෙදවීම
  • පැය ගනනක් වෙහෙසී වැඩ කිරීමෙන් පසු විඩාවී දුර්වලව සිටි සිරකරුවන් කඳු බෑවුමක මුදුනේ සිටගැනීමට සලස්වා ඔවුන්ට විකල්ප දෙකක් ලබා දුනි. එනම්, තමන් සමග සිටින සිරකරුවකු කන්දෙන් පහලට තල්ලු කොට මරා දැමීම හෝ තමන් වෙඩි කා මිය යාම එම විකල්ප දෙක යි.
  • කුරිරු හා ව්‍යාජ විද්‍යාත්මක අත්හදා බැලීම් වලට සිරකරුවන් යොදා ගැනීම
  • 1941 දී නාසීන් විසින් එම කඳවුර තුල වරකට පුද්ගලයින් 80 දෙනෙකු ඝාතනය කල හැකි ගෑස් කුටියක් ඉඳි කලහ.
  • ඊලඟ වසරේ දී ජර්මානු රජය විසින් එකවර පුද්ගලයින් 30 දෙනෙකු ඝාතනය කල හැකි ජංගම ගෑස් කුටියක් කඳවුරේ නිලධාරීන් වෙත ලබා දුනි.

මෙවන් ක්‍රම මගින් දස දහස් ගනනක් ඝාතනය කෙරුනි.

නඩුවේ විත්තිකරුවන්ට, එනම් එස්එස් නිලධාරීන්, කඳවුරු පරිපාලකයින්, ආරක්ෂකයින්, සහ වෛද්‍යවරුන්ට, “නීති සහ යුධ භාවිතාවන් උල්ලංඝනය කිරීම” යන චෝදනා එල්ල විය. සති හයක් පුරා පැවති නඩු විභාගයෙන් පසු විත්තිකරුවන් 61 දෙනා ම වරදකරුවන් බවට පත්විය. තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. ඉතිරි 58 දෙනාට මරන දඬුවම නියම වූ අතර පසුව ඔවුන්ගෙන් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිනි.

* “මරනයේ පඩිපෙල” (“Stairs of Death”): මොතාසෙන් කඳවුර පිහිටියේ ගල් කොරියකට යාබදව ය. එම ගල් කොරියා තුල කැඩුනු ගල් කුට්ටි ඉන් පිටතට රැගෙන යාමට සිදු වූයේ ගල් කොරිය පාමුල සිට ඉහලට දිවෙන පඩි 186 කින් සමන්විත පඩිපෙලක් ඔස්සේ ය. සාමාන්‍යයෙන් කිලෝ 50 ක් පමන බර වූ එම ගල් කුට්ටි පඩිපෙල ඔස්සේ ඉහලට ගෙනයාමට පිනිස කඳවුරේ සිරකරුවන් බලහත්කාරයෙන් යෙදවිනි. එක් සිරකරුවෙක් පසු පස අනෙකා සිටින සේ, එක පෙලට, පඩි 186ක් ඉහලට, ගල් කුට්ටි රැගෙන යා යුතු විය. වෙහෙසට පත් සිරකරුවන් ඉදිරිපිට හෝ පසුපස සිටින අනෙක් සිරකරුවන් මත ඇද වැටිනි. එවිට එක පෙලට පඩිපෙල දිගේ පහලට යන තෙක් සිරකරුවෝ වාරු නැතිව ඇද වැටිනි. මෙය හුදු අනතුරක් නොව එස් එස් භටයන් විසින් හිතාමතාම අටවන ලද මැරෙන තුරු වැඩ ගැනීමේ ක්‍රම වලින් එකකි. මෙම පඩිපෙලට 'මරනයේ පඩිපෙල' යන නම ලැබුනේ එලෙස ය.

** නාසි වෆන් එස්එස් (Nazi Waffen SS) යනු නාසි පක්ෂයේ එස්එස් (SS) සංවිධානයේ සන්නද්ධ අංශය යි.

වසර 100 කට පෙර: චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වේ

රූඩා ප්‍රාවෝ (Rudé Právo - රතු සත්‍යය) පුවත්පතේ ඡායාරූපයක්

චෙකොස්ලොවැකියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් වෙන් වූ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ආධාරකරුවන් විසින්, 1921 මැයි 14-16 දිනවල ප්‍රාග් නුවර කාර්ලන් (Karlín) හි ජාතික මන්දිරයේ පැවති සමුලුවකදී, චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලදී.

එම සමුලුව ගත් පලමු ක්‍රියාවලින් එකක් වූයේ ජාත්‍යන්තරයට බැඳීම සඳහා කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් සාමාජික පක්ෂවලට නියම කර තිබූ කොන්දේසි 21 අනුමත කිරීම යි. සමුලුව විසින් පක්ෂයේ ඉහල නායකත්වයට තෝරා පත් කරගත්තේ වක්ලාව් ස්ටර්ක් (Václav Šturc), බොහුමර් ස්මරල් (Bohumír Šmeral) සහ වක්ලව් බොලෙන් (Václav Bolen) ය. පක්ෂයේ දෛනික ප්‍රකාශනය වූයේ රුඩේ ප්‍රාවෝ (රතු සත්‍යය) යන පුවත්පත ය.

චෙකොස්ලොවැකියාව යනු 1918 දී මිත්‍ර පාක්ෂික අධිරාජ්‍යවාදී බලවතුන් අතින් පරාජයට පත් වූ ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය බිඳී වැටීමෙන් පසු පිහිටුවන ලද නව ධනේශ්වර රාජ්‍යයකි. එම නව රාජ්‍යය භූමි අත්පත් කර ගැනීම සඳහා පෝලන්තය හා හංගේරියාව සමඟ යුද්ධ වල නිමග්න වී ඇත.

ඉහල ජීවන වියදම සහ නිවාස හිඟය නිසා ඇති වූ 1920 දෙසැම්බර් මහා වැඩ වර්ජනයෙන් පසු කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කිරීමට පසුබිම සැකසිනි. එම වර්ජනය ආරම්භ වුයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වාම කන්ඩායමේ, එනම් කොමියුනිස්ට් කන්ඩායමේ, ආයාචනයකට ගල් අඟුරු පතල් කම්කරුවන් සහ රෙදිපිලි කම්කරුවන් දැක්වූ ප්‍රතිචාරයක් ලෙස ය. එම වැඩ වර්ජනයට පක්ෂයේ දක්ෂිනාංශය විරුද්ධ විය. සමහර ප්‍රදේශවල කම්කරුවෝ විප්ලවවාදී කමිටු පිහිටුවා සන්නද්ධ වූහ. සමහර ස්ථානවල කම්කරුවෝ තැපැල් කාර්යාල සහ දුම්‍රිය මාර්ග අත්පත් කර ගත් අතර ඔවුන්ට එරෙහිව එවනු ලැබූ හමුදා කන්ඩායම් නිරායුධ කලහ.

1921 ගිම්හානයේදී මොස්කව්හි පැවති කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ තුන්වන සම්මේලනයේ එක් ප්‍රධාන වාර්තාවක් සඳහන් කලේ, “චෙකොස්ලොවැක් කොමියුනිස්ට් පක්ෂය පසුගිය මැයි මාසයේ දී සාමාජිකයින් 350,000 ක් සමඟ ආරම්භ වූ අතර, ඉන් පෙර ආරම්භ වූ සාමාජිකයින් 60,000 ක් සිටින ජර්මානු බොහීමියාවේ (Sudetenland - සුඩේටන්ලෑන්ඩ්) කොමියුනිස්ට් පක්ෂය ද ඒ සමඟ එක් විය. මේ අනුව කොමියුනිස්ට්වාදීන් චෙකොස්ලොවැක් නිර්ධන පංතියේ පමනක් නොව සමස්තයක් වශයෙන් එහි ජනගහනයෙන් ද විශාල කොටසක් වෙති.” එය තව දුරටත් කියා සිටියේ, 'චෙකොස්ලොවැකියාවේ ධනේශ්වරයේ ප්‍රධාන අවිය වන ජාතිකවාදයට එරෙහි ශක්තිමත් නිර්ධන පංති පෙරමුනක් තුල චෙකොස්ලොවැකියාවේ සියලු ජාතීන්ට අයත් කම්කරුවන් එක්සත් විය යුතුය.' යනුවෙනි.

Loading