ගාසා අර්බුදය පිලිබඳ අගමැති රාජපක්ෂගේ ප්‍රකාශයෙන් කුහකත්වය පිටාර ගලයි

ගෝලීය ගැටුමක අන්තරාය මතුකරමින් දින දහයකට වැඩි කාලයක් තිස්සේ ඊස්රායලය විසින් පලස්තීනයට එරෙහිව ගෙන ගිය මිනීමරු යුද්ධය මැයි 21 වනදා සටන් විරාමයකට එලඹීමෙන් තාවකාලිකව නවතා දැමිනි. කෙසේ වෙතත් පලස්තීනයට එරෙහි සංහාරය දශක පහකට ආසන්න කාලයක් තිස්සේ නොනැවතී ඉදිරියට දිග් ගැස්සෙමින් පවතින එකකි.

මහින්ද රාජපක්ෂ

මැයි 10 වනදා පටන් ඊස්රායලය විසින් විනාශකාරී ආයුධ යොදාගනිමින් දියත් කල ප්‍රහාරය හේතුවෙන් 250 කට ආසන්න පිරිසක් ජීවිතක්ශයට පත් කෙරුනු අතර 1,900 ක පමන පලස්තීන වැසියන් පිරිසක් තුවාල ලැබූහ. මරනයට පත් වූ පිරිස අතරට කුඩා ලමුන් 65 දෙනෙකු ඇතුලත් ය. 

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් “සැලකිය යුතු තරම් උවමනාවට වැඩි ප්‍රතිචාරයක්” ඊස්රායලය පාර්ශවයෙන් නොපෙන්වූ බව සඳහන් කරමින් මෙම සංහාරය සඳහා සිය උපකාර ලබා දෙන බව තහවුරු කලේය. ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සෘජු සහාය සහිතව දියත් කල මෙම මිනීමරු ප්‍රහාරය ලෝකය පුරා පාලක පන්තීන්ගේ කුහකත්වය සහ අධිරාජ්‍ය ගැති ක්‍රියා කලාපය හෙලිදරව් කල සිද්ධියක් විය.

යුද්ධය වඩා තීව්‍ර වී පැවති මැයි 17 වනදා ශ්‍රී ලංකා - පලස්තීන මිත්‍ර සංසදයේ සභාපති ලෙස කටයුතු කරන අගමැති මහින්ද රාජපක්ෂ නිකුත් කල ප්‍රකාශය ලංකාවේ ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති පිලිවෙත හෙලිදරව් කල අවස්ථාවක් විය. 

රාජපක්ෂ තම ප්‍රකාශය තුල යුද්ධය පිලිබඳව “දැඩිව උත්සුක වන” බව පවසමින් සටන් විරාමයක් ඉල්ලා සිටියේ ය. යුද්ධය “දරුවන්ගේ මරන ද ඇතුලුව අදාල භූමි ප්‍රදේශ වල වෙසෙන ජනයාට ඉමහත් හානියක් සහ සිත් තැවුලක්” ඇති කර ඇති බව රාජපක්ෂ සඳහන් කරයි. 

මෙසේ කිඹුල් කඳුලු සලන්නේ ලංකාවේ තිස් වසරක වාර්ගික යුද්ධය රුදුරු මට්ටම් වලට නංවමින් එය අවසන් කල ජනාධිපතිවරයාය. එක්සත් ජාතීන්ට අනුව ලංකාවේ ආන්ඩුව යුද්ධයේ අවසාන කාලය තුල පමනක් 40,000 කට ආසන්න සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කොට ඇත.

රාජපක්ෂ “උත්සුක” වී ඇත්තේ ඊස්රායලයේ මිනීමරු ක්‍රියා හෙලා දැකීමට නොව ඒවා වසන් කිරීමටය. ඒ අනුව, ඊස්රායලය සහ පලස්තීනය යන දෙපාර්ශවයම යුද්ධයට වගකිව යුතු සඳහන් කරමින් ඔහු මෙසේ පවසයි: “දෙපාර්ශවයේම නීත්‍යානුකූල අභිලාෂයන් සඳහා අන්‍යොන්‍ය වශයෙන් එකඟ වී සියලු කාරනා සාකච්ඡා මාර්ගයෙන් ස්ථිර ලෙස විසඳා ගැනීම තුලින් ඊස්රායල් හා පලස්තීන ජනතාවට තිරසාර සාමය, ආරක්ෂාව ඇති කර ගැනීමට හැකි බව ශ්‍රී ලංකාවේ ස්ථාවරයයි.”

රාජපක්ෂගේ ප්‍රකාශය යුද්ධය පිලිබඳව වගකීම දරන පාර්ශවය පිලිබඳව හෝ ඊට සහය දෙන අධිරාජ්‍යවාදීන් ගැන කිසිවක් නොමැති හිස්  වදන් වලින් පිරුනු එකකි. යුද්ධය පිලිබඳව වගකීම “දෙපාර්ශවයටම” පැවරීම මගින් රාජපක්ෂ මෙම සංහාරයේ සැබෑ වගකිවයුත්තන් කොක්කෙන් ගලවා හරියි. අනෙක් අතට එම ගලවා හැරීම ඔහු දරන ශ්‍රී ලංකා-පලස්තීන මිත්‍ර සංසදයේ සභාපති ධුරයේ ව්‍යාජ බව හෙලි කරයි.

මෙය, රාජපක්ෂගේ කියාපෑම් වලට පටහැනිව ඊස්රායලය විසින් පලස්තීනයට එරෙහිව දියත් කල ඒක පාර්ශවික යුද්ධයකි. ඊස්රායලය දිගු කලක් තිස්සේ ගාසා තීරය තුල පලස්තීන වැසියන් පලවා හරිමින් වාර්ගික පවිත්‍රකරනයක සහ ප්‍රකෝපකරනයක නිරත වෙමින් සිටී. එම ප්‍රකෝපකරනයන් හේතුවෙන් පලස්තීනයේ සිටින හමාස් සංවිධානය විසින් එල්ල කල ප්‍රහාර යොදාගනිමින් ඊස්රායලය යුද්ධය ආරම්භ කලේය.

ඊස්රායලය දිගු කලක සිට තමන්ගේ රට තුල වැඩෙන සමාජ අසමානතාවය සහ විරුද්ධත්වය අපසරනය කිරීමට යුද්ධයන් භාවිත කරමින් සිටී. අනෙක් අතට මහජන කෝපයට සහ දූෂන චෝදනා වලට මුහුන දී සිටින ඊස්රාලයේ අගමැති බෙන්ජමින් නේතන්යාහු එය සමනය කිරීමේ මාධ්‍යයක් ලෙස ද යුද්ධය යොදා ගනී.

අතිශය නවීන ජනඝාතක ආයුධ යොදාගනිමින් ඊස්රායලය එල්ල කල රුදුරු ප්‍රහාරයේ ජීවිත හානියමත් යුද්ධයේ ඒකපාර්ශවික ස්වභාවයට නිදසුනකි. මෙම යුද්ධ කාලය තුල පලස්තීන වැසියන්ගේ මරන ගනනට සාපේක්ෂව ඊස්රාලයේ වැසියන්ගේ මරන සංඛ්‍යාව දහයෙන් එකකි. මෙවන් ඒක පාර්ශවික යුද්ධයක තතු තුල දී “දෙපාර්ශවයට”ම සාකච්ඡා කර සමථයකට පැමිනෙන ලෙස කරන ප්‍රකාශ නරුමය.

රාජපක්ෂගේ ඊනියා ප්‍රකාශයෙහි කිසිදු තැනක මෙම කුරිරු ප්‍රහාරය හෙලා දැක නොමැත. ඒ හරහා රාජපක්ෂ යලිත් පෙන්නුම් කර සිටින්නේ ඔහුට ඊස්රායලය විසින් ගෙන යන සංහාරයට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව සහ ඊට පසුබිම සම්පාදනය කරන ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට ඔහුගේ පක්ෂපාතීත්වයයි.

අධිරාජ්‍යවාදීන්ට සෑම අතකින්ම ගැට ගැසී සිටින ලංකාව වැනි අඩු දියුනු ධනපති රටවල පාලක පන්තීන්ට ස්වාධීන ක්‍රියා කලාපයක් ඉටු කිරීම වෛෂයිකවම කල නොහැක්කකි. අධිරාජ්‍යවාදීන්ගේ සහාය සහිතව පලස්තීනය තුල ගෙනයන සංහාරයට විරුද්ධ වීමේ හෝ හෙලා දැකීමේ ආස්ථානයක් ගැනීමට රාජපක්ෂට නොහැකිවීමේ සැබෑ හේතුව එයයි.

මීට අමතරව ලංකාවේ ආන්ඩු පසුගිය කාලය තුල සිය මර්නදකාරී පිලිවෙත් වලට අවශ්‍ය සහය ලබා ගැනීමට ඊස්රායලය සමග සමීපව කටයුතු කර ඇත. සිය තිස් වසරක වර්ගවාදී යුද්ධයේදී ලංකාවේ ආන්ඩු ඔවුන්ට අවශ්‍ය ආයුධ සහ ගුවන් යානා සම්පාදනය කරගැනීමේදී මෙන්ම හමුදා පුහුනුව ලබා ගැනීමේදීද ඊස් රායලය සමග සමීපව කටයුතු කලේය. 2019  වසරේදී ලංකාවේ ආන්ඩුව මත් ද්‍රව්‍ය ය මැඩීමේ කඩතුරාව යටතේ ඊස්රායලයෙන් අධිතාක්ෂනික උපකරන ගෙන්වීමට ද සූදානම් විය.

පලස්තීන වැසියන්ට එරෙහිව ඊස්රායල පාලක පන්තිය ගෙනයන යුද්ධයට සමානව, ලංකාවේ දෙමල සුලුතරයට එරෙහිව තිස් වසරක මිනීමරු යුද්ධයක් දියත් කල රාජපක්ෂ ඇතුලු ලංකාවේ ධනපති පන්තියට පලස්තීනයේ ජන ඝාතන පිලිබඳ කිසිදු සැබෑ උත්සුකයක් නොමැත. කොවිඩ් වසංගතයට ලංකාවේ ආන්ඩුව දක්වමින් සිටින සාපරාධී නොතකා හැරීම මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් නොතැකීමෙහි ඉහලම ප්‍රකාශනයකි.

මෙම කුහකත්වය තිබියදීම රාජපක්ෂ සඳහන් කරන්නේ පලස්තීන අර්බුදයට විසඳුම් සෙවීමේදී “පලස්තීන සහ ඊස්රායල් ජනතාවගේ නීත්‍යානුකූල හා සංවේදී ආරක්ෂක අවශ්යතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍ය  බවයි.” මෙය මුලුමනින්ම ව්‍යාජයකි. ගාසා තීරයේ අර්බුදය 1948 දී අරාබි කලාපය තුල අධිරාජ්‍යවාදීන්ගේ අතපෙවීම් මගින් බලහත්කාරයෙන් ඊස්රායලය පිහිටුවීම දක්වා ඇදී යන අර්බුදයකි.

1930 ගනන් වලදී ෆැසිස්ට්වාදීන් විසින් යුරෝපය පුරා දියත් කල මිලියන ගනනක යුදෙව් ජන සංහාරය, සිය ජනවර්ගයට වෙනම ජාතික රාජ්‍යයක් පිහිටුවීමේ ප්‍රතිගාමී සියොන්වාදී ඉදිරිදර්ශනය වෙත ඔවුන් යොමු කලේය. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් මෙම තත්වය යොදාගනිමින් පලස්තීන ජනයා සිය මුල් බිම් වලින් පලවා හරිමින් මැද පෙරදිග ඇමරිකානු අවශ්‍යතා ආරක්ෂා කිරීමේ බැරැක්ක රාජ්‍යයක් ලෙස ඊස්රායලය ගොඩනැගුවේය. 

එතැන් පටන් ඊස්රායලය මෙම ජන සංහාරක ක්‍රියාවන් පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරගෙන යයි. මෙම අර්බුදය සම්බන්ධයෙන් කම්කරු පන්තියේ ආස්ථානයක් වර්ධනය කරමින් හතරවන ජාත්‍යන්තරය 1948 දී මෙසේ සඳහන් කලේය. “සංක්‍රමනය පිලිබඳ ප්‍රශ්නය මෙන්ම යුදෙව් හා අරාබිවරුන් අතර සම්බන්ධතාව යෝග්‍ය  පරිදි තීරනය කල හැක්කේ, යුදෙව්වන්ට ජාතික සුලුතරයක් ලෙස පූර්න අයිතිය සහිත, නිදහස් ලෙස පත් කරගත්  ව්‍යවස්ථාදායක සභාවක් මගින් අධිරාජ්‍යවාදය ඉවත් කිරීමෙන් පසුව පමනකි.”

හතරවන ජාත්‍යන්තරය පෙන්වා දුන් පරිදි මෙම අර්බුදය සමාජවාදී පිලිවෙත් මත කම්කරු පන්තියේ ගෝලීය ඒකාබද්ධතාවය ගොඩනගාගනිමින් අධිරාජ්‍යවාදය පෙරලා දැමීමෙන් තොරව විසඳිය නොහැක. එමෙන්ම අධිරාජ්‍යවාදය පෙරලා දැමීමෙන් තොරව “අවශ්‍යතා හඳුනා ගැනීමෙන්” එය විසඳිය හැකිය යන්න මිථ්‍යාවකි.

රාජපක්ෂගේ ඊනියා ප්‍රකාශය එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සමග එක පෙලට සිට ගනිමින් මුලුමනින්ම ඊස්රායලයේ යුද  අපරාධ වලට සුදු හුනු තවරයි. රාජපක්ෂ ඒ හරහා පෙන්නුම් කරන්නේ අධිරාජ්‍යවාදීන් සමග එක්ව කටයුතු කිරීමට ඇති සූදානමයි.

ලංකාව වැනි අඩු දියුනු ධනපති රටවල් වල නායකයින් සෝවියට් සංගමය පැවති වකවානුවේ එහි අවසරය මත, අධිරාජ්‍යවාදින් සමග උපාමාරු දමමින් “නොබැඳි ජාතින්” ලෙස ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් මවා පෙන්වීය. නමුත් සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග ඔවුන් උපාමාරු අතහැර දමා සෘජුවම අධිරාජ්‍යවාදින් සමග පෙලගැසුනි. රාජපක්ෂගේ ප්‍රකාශය පෙන්නුම් කරන්නේ එම පෙලගැසීමයි.

මෙම පාලක පන්තීන්ගේ නරුමත්වයට ප්‍රතිවිරුද්ධව ඊස්රායලයේ ප්‍රහාරය ලෝකය පුරා කම්කරු පීඩිත මහජනතාවගේ විරෝධයට බඳුන් විය. ප්‍රන්සය, එංගලන්තය වැනි රටවල දහස් ගනන් ජනයා පලස්තීන වැසියන්ට සහය දක්වමින් විරෝධතාවල නිරත වූහ. මෙම අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමේ හැකියාව පවතින්නේ මෙම සමාජ බලවේගයටය.

කොවිඩ් වසංගතයත් සමග තීව්‍ර කර ඇති පන්ති අරගල රැල්ල හමුවේ ලංකාවේ ආන්ඩුව ඊස්රායලය මෙන්ම රුදුරු මර්දනයක් දියත් කිරීමට අපේක්ෂා කර සිටී. එම තතු තුල ඊස්රායලය විසින් පලස්තීනයට එරෙහිව දියත් කර ඇති මර්දනය ලංකාවේ ආන්ඩුව අත් දකින්නේ පන්ති අරගල රැල්ල මැඩීම සම්බන්ධයෙන් පූර්වාදර්ශයක් ලෙසය.

Loading