ඉදිරිදර්ශන

1958 තායිවාන් අර්බුදයේ දී එක්සත් ජනපදය චීනයේ නගරවලට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කල බව හෙලිවේ

[පහතින් පලවෙන්නේ US planned nuclear attack on Chinese cities in 1958 Taiwan crisis  මැයෙන් 2021මැයි 26 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

1958 දී එක්සත් ජනපද ජනරාල්වරුන් චීනයේ නගරවලට න්‍යෂ්ටික අවි යොදා පහර දීම සඳහා ආක්‍රමනශීලී ලෙස බලපෑම් කරමින් සිටි බැව් පැහැදිලිවම සනාථ කෙරෙන රහස්‍ය ලේඛන, (1945 හා 1967 අතරතුර එක්සත් ජනපදය වියට්නාමය තුල සිදු කල දේශපාලන හා යුදමය මැදිහත්වීම් පිලිබඳ තොරතුරු රැගත්) පෙන්ටගන් පේපර්ස් ලේඛන කාන්දු කල එජ න්‍යෂ්ටික මූලෝපායඥ ඩැනියෙල් එල්ස්බර්ග් විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.   

චීන වෙරලෙන් හුදෙක් කිලෝමීටර් කිහිපයක දුරින් පිහිටා ඇති ක්වෙමෝයි හා මට්සු යන කුඩා දූපත් දෙකෙහි පාලනය පවත්වා ගෙන යාම සඳහා, දශ ලක්ෂ සංඛ්‍යාත ජීවිත විනාශයට පත් කෙරෙන පරිදි, ෂැන්හයි ද ඇතුලු ප්‍රධාන චීන නගරවලට න්‍යෂ්ටික පහරදීම් සිදු කිරීමට හා, එයට එකටඑක කිරීම් ලෙස තායිවානයට, ජපානයට හා එක්සත් ජනපදයට සෝවියට් සංගමයෙන් එල්ල වනු ඇති න්‍යෂ්ටික ප්‍රහාරයක ප්‍රතිවිපාක පිලිගැනීමට ද එක්සත් ජනපදයේ යුද කාර්ය මන්ඩල ප්‍රධානීහු සූදානම්ව සිටියෝය. 

න්‍යෂ්ටික බෝම්බ හෙලිය හැකි B 52 වර්ගයේ එක්සත් ජනපද යුද ගුවන් යානයක් (අනුග්‍රහය: AP Photo)

       

 මෙම ලේඛනවල කෙතරම් පුපුරන සුලු බලයක් ගැබ් වී ද යත්, දශක හයක් පුරා එක්සත් ජනපද ආන්ඩුව ඒවා මහජනයාගේ ඇස්වලින් සඟවා තැබීමට ක්‍රියා කලේය. අද පවා ඒවා හෙලිදරව් වී ඇත්තේ, වියට්නාමය තුල එක්සත් ජනපදය ගෙන ගිය යුද්ධය පසුපස පැවැති සැබෑ අභිලාෂයන් හෙලිදරව්කල පෙන්ටගන් පේපර්ස් පිටපත් කිරීමේ දී මෙම ලේඛන ද පිටපත් කර ගත් එල්ස්බර්ග්, තමන්ට එරෙහිව ඔත්තු බැලීමේ පනත යටතේ චෝදනා ගොනු කරනු ලැබීමේ අනතුර නොතකා, ඒවා මහජනයාගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කිරීම නිසාය. 

1958 තායිවාන් සමුද්‍ර සන්ධියේ දෙවැනි අර්බුදය මධ්‍යයේ දී, චීන වෙරලට කිලෝ මීටර් කිහිපයක් ඔබ්බේ පැවැති ක්වෙමෝයි හා මට්සු දූපත් සාම්ප්‍රදායික අවි මඟින් ආරක්ෂා කල නොහැකි බව පෙන්ටගනයේ යුද සැලසුම්කරුවෝ විශ්වාස කලෝය. එල්ස්බර්ග් විසින් මුදා හරිනු ලැබ ඇති ලේඛනවල සටහන් වන පරිදි, “යුද්ධයක දී න්‍යෂ්ටික අවි භාවිතා කෙරෙනු ඇතැයි සමස්ත මිලිටරි කාර්ය මන්ඩලයම උපකල්පනය කලාහ.”   

පෙන්ටගනයේ සැලසුම්කරුවන් සඳහන් කර ඇත්තේ, “එක්සත් ජනපදය විසින් හා බොහෝ විට සතුරා විසින් ද පරමානු අවි යොදා ගනු ලැබෙනු ඇති” බව සහ, “චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ ඉලක්කවලට පහර දීමට අනුමැතිය ලැබෙනු ඇති” බවයි.   

“න්‍යෂ්ටික අවි භාවිතා කිරීම නොවැලැක්විය හැකිය” යන සාධ්‍යයේ පදනම මත පිහිටා සිටිමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, “න්‍යෂ්ටික අවි ප්‍රහාර දෙපාර්ශ්වයෙන්ම” එල්ල කෙරෙනු ඇති බවයි.  

“චීන කොමියුනිස්ට්වරුන්ගේ යුද්ධ කිරීමේ ධාරිතාව වනසා දැමීම එජ යුද අරමුනුවලට ඇතුලත් වනු ඇතැ”යි ප්‍රනිශ්චය කරමින් එජ ඉහල අන දෙන නිලධාරීහු, ඉහත දූපත්වලට එල්ල කෙරෙන චීන පහරදීමකට එරෙහිව වහා න්‍යෂ්ටික අවි භාවිත කිරීමට ආක්‍රමනශීලී ලෙස බලපෑම් කලෝය.   

“චීනයේ ගැඹුරටම - ෂැන්හයි තරම් ඈත උතුරුදිග ප්‍රදේශවලට - න්‍යෂ්ටික ප්‍රහාර දීම විනා” එක්සත් ජනපදයට “වෙනත් විකල්පයක් නොතිබෙනු ඇතැ”යි යුද සැලසුම්කරුවෝ නිවේදනය කලෝය. මෙය “නිසැකවම පාහේ, තායිවානය වෙත, බොහෝවිට ජපානයේ ඔකිනාවා වෙත” මෙන්ම, විය හැකි පරිද්දෙන් එක්සත් ජනපදයේ ප්‍රධාන භූමිය වෙත ද එල්ල කෙරෙන “න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර අවුලුවා ලනු ඇත.” 

තායිවානය හා චීනය අතර 1958 දී පැවැති සටන් වූ කලී, 1949 දී චීන කොමියුනිස්ට් පක්ෂය බලයට ගෙන එමින්, චියැං කායි-ෂෙක් යටතේ පැවැති කුවොමිංටෑනයට තායිවානය කරා පලා යාමට බල කෙරුනු චීන සිවිල් යුද්ධයේම අවිච්ඡින්න ඉදිරියට යාමක් විය.    

එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යයට එල්ල වූ අතිශය විනාශකාරී පහරක් ලෙස දක්නා ලද චීන විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ට චීනය “අහිමි වී යාමේ තතු” සමඟ සමථයකට එලැඹීමට එක්සත් ජනපදය කිසිදා සමත් නොවීය.     

එක්සත් ජනපදයේ පිටුබලය ලබමින් තායිවානයේ හමුදා ආඥාදායකත්වයක් තහවුරු කර ගත් ජාතිකවාදීහු, චීනයේ ප්‍රධාන භූමිය යලි ආක්‍රමනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින්, සමස්ත චීනයේ පරමාධිපත්‍යයට දිගින් දිගටම හිමිකම් කීවෝය. ඒ අනුව චීන දේශයේ භූමිය පිලිබඳව තායිපෙයි පාලනයේ හිමිකම් පෑම වොෂින්ටනයේ පිලිගැනීමට ලක් වූ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ චීන අසුන පවා; එහි නිෂේධ බලය ද සහිතව මුලුමනින්ම අරා සිටියේ තායිපෙයි රජයයි.         

තායිවාන සමුද්‍ර සන්ධියේ ප්‍රථම හා දෙවැනි අර්බුද හට ගැනුනේ කොරියානු යුද්ධයෙන් පිලිවෙලින් එක් වසරක් හා පස් වසරක් ගෙවුනු තන්හිය. බීජිං පාලනයට තර්ජනය කරන අතරවාරයේම, එක්සත් ජනපදය හා දකුනු කොරියාවේ තිබූ එහි රූකඩ රාජ්‍යය, සෝවියට් සංගමය සමඟ පෙල ගැසී සිටි ප්යොංයැං ආන්ඩුව පෙරලා දැමීමේ ප්‍රයත්නයක් ලෙස කොරියානු යුද්ධය දියත් කලෝය. වරක් චීන හමුදා උතුරු කොරියාවේ ආධාරයට පැමිනි අතර, චීනයට පරමානු බෝම්බ හෙලිය යුතුයැයි ජනරාල් ඩග්ලස් මැක්ආතර් තර්ක කලේය. එය නැවැතී ගියේ කොරියාවේ එජ සේනාධිනායක ධුරයෙන් ඔහු ඉවත් කෙරුනු කල්හි පමනෙකි.  

අවසානයේ දී, ඉහත කී දූපත් එජ පිටුබලය ලැබූ තායිවානයේ කුවොමින්ටාන් ආඥාදායකත්වයේ පාලනයෙන් මුදා ගැනීමේ ප්‍රයත්න නවතා දැමීමට චීනය තීරනය කල නිසා, 1958 දී චීනය සමඟ න්‍යෂ්ටික යුද්ධයක් සඳහා වූ එජ සැලසුම් පරීක්ෂාවට දැමීමේ අවස්ථාවක් නොවීය.    

ලේඛනවල අඩංගු දේ පිලිබඳව අදහස් පල කරන එල්ස්බර්ග් මෙසේ නිරීක්ෂනය කරයි: 

“ජෝන් ෆොස්ටර් ඩලස්ගෙන් පසුව රාජ්‍ය ලේකම් ධුරයට පත් වූ ක්‍රිස්ටියන් හර්ටර් පසුකාලයක මෙසේ කී බව වාර්තා වී ඇත: 'ප්‍රථම බැරෑරුම් න්‍යෂ්ටික අර්බුදය ලෙස බොහෝ විට විස්තර කරනු ලබන්නේ කියුබානු මිසයිල අර්බුදයයි; අප අතර සිටින ක්වෙමෝයි අර්බුදය මධ්‍යයේ ජීවත් වූ අයවලුන් නිසැකවම පලමුවන බැරෑරුම් න්‍යෂ්ටික අර්බුදය ලෙස සලකන්නේ ක්වෙමෝයි අර්බුදයයි.'”       

මෙම ලේඛනවල පවත්නා පුපුරන සුලු ස්වභාවය හා ඉහලම වැදගත්කම තිබියදීම, ඒවා එජ මාධ්‍ය තුල වාර්තා වී නැත. එකම ව්‍යතිරේකය වන්නේ, තමන් ඒවා ප්‍රකාශයට පත් කලේ මන්දැයි එල්ස්බර්ග් විසින් කරන ලද පැහැදිලි කිරීම සහිත නිව්යෝර්ක් ටයිම්ස් ලිපියයි.     

එල්ස්බර්ග් මෙම වසර 63 ක් පැරනි ලේඛන පල කොට ඇත්තේ අනතුරු හැඟවීමක් ලෙසය. තායිවානය සමඟ බැඳීම් ශක්තිමත් කිරීමට හා තායිවානයේ ස්වාධීනත්වය තත්ත්වාකාරයෙන් පිලිගැනීමට - එනම්, තායිවාන් සමුද්‍ර සන්ධියේ දෙවැනි අර්බුදය නිර්මානය කෙරුනු භූ දේශපාලනික සැකැස්ම යලි ඇති කිරීමට - එක්සත් ජනපදය ක්‍රියා කරන විට, එය චීනය සමඟ න්‍යෂ්ටික යුද්ධයකට එලැඹීමට සූදානම් වෙමින් සිටින බැව් එයින් නිතැතින්ම ගලා ආ යුතුය.  

ක්වෙමෝයි හා මට්සු සම්බන්ධ ප්‍රශ්නයේ දී න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිලිබඳ 1958 සාකච්ඡාවල පැවැති “තකතීරු” හා “ඔලමොට්ටල” ස්වභාවය සැලැකිල්ලට ගනිමින් එල්ස්බර්ග් අනතුරු හඟවන්නේ මෙසේය: “එම සාකච්ඡාවලට සහභාගී වූවන් එතෙක් මෙතෙක් කැබිනට් මන්ඩලවල සිටි අයට හෝ, වත්මන් කැබිනට්ටුවේ සිටින්නන්ට හෝ වඩා වැඩියෙන් අඥානයැයි කියා හෝ නොසැලකිලිමත්යැයි කියා හෝ මම විශ්වාස නොකරමි.”  

වෙනත් වචනවලින් කිවහොත් ඔහු කියා සිටින්නේ, 1958 දී චීනය සිය වෙරලෙන් ඔබ්බේ පිහිටි කුඩා දූපත්වලට සාම්ප්‍රදායික අවි මඟින් එල්ල කල ප්‍රහාරයකට එරෙහිව වහාම න්‍යෂ්ටික අවිවලින් ප්‍රතිප්‍රහාර දීමට අනුමැතිය දෙන ලෙස ජනාධිපති ඩ්වයිට් ඩී. රූස්වෙල්ට්ගෙන් ඉල්ලා සිටීම කරා මඟ පෑදූ ඒකාබද්ධ හමුදා කාර්ය මන්ඩල ප්‍රධානීන්ගේ එම මිනීමරු චිත්ත ස්වභාවයම, තමන් යටතේ ඇති නව "උපායාත්මක" න්‍යෂ්ටික අවි ක්ෂේත්‍ර පරීක්ෂනයට යොදවනු වස් තුවක්කුවේ කොකා ගස්වන ඇඟිලි කසන්නට පටන් ගෙන ඇති වත්මන් හමුදා ප්‍රධානීන් තුල ද පවතින බවයි.    

(එජ නාවුක හමුදා) ඉන්දියානු-පැසිෆික් බලඇනියේ ප්‍රධානී, නාවුක අද්මිරාල් පිලිප් ඩේවිඩ්සන් මාර්තුවේ දී ප්‍ර කාශ කොට ඇත්තේ, තායිවාන් සමුද්‍ර සන්ධිය පිලිබඳව එක්සත් ජනපදය හා චීනය අතර යුද ගැටුමක් සඳහා වන කාල සටහන “මෙම දශකය තුල, හරිහැටිම කිවහොත් ඉදිරි සය වසර තුල ප්‍රකට වනු ඇති” බවයි.       

“තරඟය යුද ගැටුමකට හැරුනහොත්, සටන් කොට ජය ගැනීමට අප නිසැකවම සූදානම් විය යුතුයැ”යි ඩේවිඩ්සන් පැවසීය.  

1978 දී එක චීනයක් යන පිලිවෙත පිලිගත් තැන් පටන් මේ දක්වා එක්සත් ජනපදය තායිවානය සමඟ පැවැත්වූ සම්බන්ධතාවයේ වඩාත්ම විශාල වෙනස්කම් ජෝ බයිඩන්ගේ නිල ප්‍රතිෂ්ඨානයේ සිට ගත වූ මාස කිහිපය තුල සිදු කර ඇත.    

1978 පටන් මේ දක්වා කාලය තුල, තම නිල ප්‍රතිෂ්ඨාන උත්සවයේ අමුත්තෙකු ලෙස තායිවාන තානාපතිවරයාට අථිති සත්කාර සැපයූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ බයිඩන්ය. ඊලඟට පසුගිය මාසයේ ධවල මන්දිරය නිවේදනය කලේ, තායිවාන ආන්ඩුව සමඟ එජ ආන්ඩුවේ නිල සම්බන්ධතාවයන්ට පවතින සීමාවන් අවසන් කර දැමීමට තමන් ක්‍රියා කරන බවයි. අර්ථකථාකරුවන් තර්ක කරන්නේ මෙය එක චීනයක් පිලිවෙතේ තථ්‍ය අවසානය බවයි. 

පෙබරවාරියේ බයිඩන් චීනය පිලිබඳ එජ පිලිවෙත යලි තක්සේරු කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන්ගේ මන්ඩලයක් කැඳවීය. එයට තම සොයාගැනීම් නිකුත් කිරීම සඳහා ලබන මාසය තෙක් කාලය දී ඇත. බහුලව ප්‍රකට සමපේක්ෂනවලට අනුව, එක චීනයක් යන පිලිවෙතට යටින් වාරු දුන් තායිවානය සම්බන්ධ ආස්ථානය වන, දශක ගනනක් පුරා පැවැති එජ පිලිවෙත - “මූලෝපායාත්මක බහුඅර්ථතාව” නමින් හඳුන්වන ලද පිලිවෙත - විධිමත් ලෙස අත්හැර දැමීමට බයිඩන් පාලනය කටයුතු කරනු ඇත.       

1979 වසරේ චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගැනීමේ දී, තායිවානය ද ඇතුලු සමස්ත චීනයේ නීත්‍යානුකූල ආන්ඩුව ලෙස බීජිං ආන්ඩුව වොෂින්ටනය විසින් තත්ත්වාකාරයෙන් පිලිගන්නා ලදී. ඒ, චීනය සමඟ යුද්ධයක දී තායිවානයේ ආධාරයට පැමිනීමට තමාට හැකි බවට හැඟවීමක් ද කරන අතරවාරයේ ය. ඉදින් චීනය සමඟ ගැටුමකදී තායිවානය ආරක්ෂා කරන බවට වන සුනිශ්චිත ප්‍රතිඥාවක් මඟින් “මූලෝපායාත්මක බහු අර්ථතාව” විස්ථාපනය කෙරෙන්නේ නම්, එය හුදෙක් චීනයෙන් විධිමත් ලෙස නිදහස ලැබීමක් ප්‍රකාශයට පත් කිරීම සඳහා තායිවානය දිරි ගැන්වීමක් පමනක් වනු ඇත. එවැනි පියවරකට යුදමය ක්‍රියා මාර්ග ගැනීම මඟින් විරුද්ධත්වය දක්වනු ඇති බවට බීජිං ආන්ඩුව නිවේදනය කොට ඇත.        

වෙනත් වචනවලින් කිවහොත්, එක චීනයක් පිලිවෙතට යටින් වල කැපීම මඟින් හා තායිවානයේ බෙදුම්වාදය දිරි ගැන්වීම මඟින් වොෂින්ටනය, විශාලතම ලෝක ගෝලීය ආර්ථික බලවතුන් දෙදෙනා වන එක්සත් ජනපදය හා චීනය අතර යුද්ධයකට කොන්දේසි නිර්මානය කරමින් සිටී.  

අතරමැදි පරාසයේ න්‍යෂ්ටික බලකායයන් (අයිඑන්එෆ්) පිලිබඳ ගිවිසුමින් ඉවත් වී ඇති එක්සත් ජනපදය, චීනයේ ප්‍රධාන භූමියට පහර දීමේ ධාරිතාවයකින් යුත් ප්‍රහාරක අවි ස්ථානගත කිරීම සම්බන්ධයෙන් තායිවාන් හා ජපාන ආන්ඩු සමඟ සක්‍රීය සාකච්ඡා පවත්වමින් සිටී.    

එජ ඉතිහාසයේ එන විශාලතම මිලිටරි අයවැය බයිඩන් පාලනය විසින් යෝජනා කෙරී ඇති අතරවාරයේ පෙන්ටගනය ඉල්ලා ඇත්තේ, ඉන්දියානු-පැසිෆික් කලාපය සඳහා වූ අරමුදල් දෙගුන කරන ලෙසය.

එහෙත් යුද සටන් කෙරෙනු ලබන්නේ හුදෙක් ආයුධ මඟින් පමනක් නොවේ. ඒ සඳහා යුද්ධ හේතුක සිද්ධියක් - එනම්, කොල්ලකාරී යුද්ධයක් මහජනයාට විකුනා දැමීම සඳහා වන සාධාරනීකරනයක් - පැවතිය යුතුය. එක්සත් ජනපදයේ මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය කාර්යබහුල වී නිමග්නව සිටින්නේ යුද්ධ හේතුක සිද්ධියක් නිපදවා ගැනීමෙහිය. මේ මොහොතේ ඒ සඳහා වූ කේන්ද්‍රී ය අවධානය යොමු වී පවතින්නේ කොවිඩ්-19 යනු චීනය විසින් නිෂ්පාදිත ජෛව අවියකිය යන කියාපෑම කෙරේය.     

ට්‍රම්ප් පාලනයේ වෙලඳ කටයුතු පිලිබඳ උපදේශකයා වූත්, “චීනය සමඟ එලැඹෙන යුද්ධ” නම් 2006 දී පල වූ පොතක කතුවරයා වූත් පීටර් නවාරෝ පසුගිය වසරේ දී, කොවිඩ්-19 යනු චීන කොමියුනිස්ට් පක්ෂය “ලූ බිජුවකින් බිහි වූ” ද, “ආයුධයක් බවට පත් කරන ලද්දා වූ ද වෛරසයකැ”යි චෝදනා කලේය.        

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඒ අවස්ථාවේ මෙසේ අනතුරු හැඟවීය.

මෙම චෝදනාවලට නිශ්චිත තර්කනයක් ඇත. ඉදින් චීන ආන්ඩුව කොරෝනා වෛරසයට එක්සත් ජනපදය හා යුරෝපය රෝගී කිරීමට දැනදැනම ඉඩ හැරියේ නම් හා ඒ සඳහා රුකුල් දුන්නේ නම්, එය සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරවලට වඩා අතිශයින් ඔබ්බට ගිය ජෛව යුද්ධකරන ක්‍රියාවක් වනු ඇත. එහි අර්ථය වන්නේ චීනය එක්සත් ජනපදයට එරෙහිව යුදමය ක්‍රියාවක් සිදු කර ඇතැයි යන්නයි.    

මැඩ නොපැවැත්වූ ඔලමොට්ටලකමකින් යුතුව, දශ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිත කෙරේ තමාගේම අපරාධකාරී නොතැකීම සාධාරනීකරනය කරනු වස්, චීනය සමඟ හමුදාමය ගැටුමක් ඇති වීම නොවැලැක්විය හැකි තත්ත්වයක් නිර්මානය කෙරෙන වාතාවරනයක් සකසා ගැනීමට ට්‍රම්ප් පාලනය ක්‍රියා කරමින් සිටී.     

එම කාලයේ දී, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොර වූ මෙම කුමන්ත්‍රන න්‍යායය ඩිමොක්‍රටික් පක්ෂයේ සැලකිය යුතු කොටසක් විසින් හා ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එහෙත් පසුගිය සතිය මුලුල්ලේ වුහාන් විද්‍යාගාර කුමන්ත්‍රන න්‍යාය සියලු ප්‍රවෘත්ති විකාශන ජාලවලින්, ධවල මන්දිරය විසින්, සහ ඉහත දී එය හෙලා දුටු දොස්තර ඇන්තනි ෆවුසි විසින් පවා, විවෘතවම වැලඳ ගනු ලැබ ඇත. සඳුදා ෆවුසි නිවේදනය කලේ, ව්‍යාධියේ ස්වභාවික ප්‍රභවයක් සම්බන්ධයෙන් “මට ඒත්තු ගොස් නැත” යනුවෙනි.      

ට්‍රම්ප් පාලනය යටතේ එජ අධිරාජ්‍යවාදය තම යුද පිලිවෙතේ මූලෝපායාත්මක යලි පෙල ගැසීමක් ක්‍රියාවට ලීය. “දැන් එජ ජාතික ආරක්ෂාවේ මූලික හා කේන්ද්‍රීය අවධානය යොමුවන්නේ ත්‍රස්තවාදය කෙරේ නොව, මහා බල තරඟය කෙරේයැ”යි පෙන්ටගනය නිවේදනය කලේය. අතරමැදි පරාසයේ න්‍යෂ්ටික බලකායයන් පිලිබඳ ගිවිසුම අත්හැර ලූ ට්‍රම්ප්ගේ ධවල මන්දිරය, එජ ආර්ථිකය චීනයෙන් “විසන්ධි කිරීමට” පටන් ගත්තේය.       

“එක්සත් ජනපදයට අභියෝගාත්මක එකම ආර්ථික, රාජ්‍ය  තාන්ත්‍රික, හමුදාමය හා තාක්ෂනික බලය චීනය පමනෙකැ”යි රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කෙන් නිවේදනය කිරීමත් සමඟ ගැටුමක් කරා වන මේ වර්ධනය තීව්‍ර කිරීමට බයිඩන් කටයුතු කර ඇත. 

චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සැලසුම් මුල් බැස ඇත්තේ එජ අධිරාජ්‍යවාදයේ දශක ගනනාවක් පුරා පවතින අර්බුදය තුලය. ලෝක ගෝලීය ආර්ථික ප්‍රතිදානයේ තම පංගුව වසරින් වසර පල්ලම් බහින තතු යටතේ, තම ලෝක ගෝලීය ආධිපත්‍යය දිගටම සහතික කර ගත හැකි එකම මාවත වැටී ඇත්තේ යුද බලය හා බිය ගැන්වීම් තුලිනැයි එක්සත් ජනපදය දකී. චීනයට එරෙහිව න්‍යෂ්ටික අවි ද ඇතුලුව යුද බලය යෙදීම කා වැදී ඇත්තේ ධනේශ්වර භූ දේශපාලනික තර්කනය තුලය.      

එහෙත් යුද්ධය නොවැලැක්විය හැකි බවක් මින් අදහස් නොකෙරේ. මිලියන 20 කට වඩා ජනයාගේ මරනය කරා මඟ පෑදූ සිව් වස් සංහාරයෙන් අනතුරුව 1917 දී, සාර්වාදී ඒකාධිපතිත්වය ද, එය රැකවරනය දුන් ධනේශ්වර පර්යාය ද පෙරලා දැමීම මඟින් පලමුවන ලෝක යුද්ධය අවසාන කිරීමට රුසියාවේ කම්කරු පන්තිය මැදිහත් විය.   

යලිත් වරක් නව හා අතිශයින් වඩාත් විනාශකාරී වූ ලෝක යුද්ධයකට ඇති එකම විකල්පය වන්නේ මෙයයි. ඉදින් යුද්ධය වැලැක්විය යුතු නම්, කම්කරු පන්තිය, ලොව පුරා තම බලවේග ධනවාදය අවසන් කර දැමීමේ අරගලයක් තුල එක්සත් කිරීම අරමුනු කොට ගත් සමාජවාදී වැඩ පිලිවෙලක පදනම මත මැදිහත් විය යුතුය. 

Loading