ඉදිරිදර්ශන

වුහාන් පරීක්ෂනාගාර කුමන්ත්‍රන න්‍යාය: ඇමරිකානු ධනවාදයේ “මහා බොරුව”

[පහත පලවෙන්නේ, මැයි 29 වනදා The Wuhan lab conspiracy theory: American capitalism’s “big lie”  යන මැයෙන් පලවූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ  ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ප්‍රකාශයයි]

එක්සත් ජනපද මුද්‍රිත හා විකාශන මාධ්‍ය පසුගිය සතිය පුරා,  බයිඩන් පරිපාලනය සහ එක්සත් ජනපද බුද්ධි අංශ විසින් කොවිඩ්-19, චීන රසායනාගාරයකින් ආරම්භ වූ බවට වූ ආඛ්‍යානය යලි නඟාසිටුවීමේ අරමුනෙන්, උන්මත්තක ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

වුහාන් වෛරස අධ්‍යයන විද්‍යාගාරයේ පරීක්ෂනාගාරයක් [අනුග්‍රහය: ඒපී, චයිනාටොපික්ස්] [AP Photo/Chinatopix via AP]

මෙම මුසාව, අති විශාල විද්‍යාත්මක සාක්ෂි සහ මාර්තු අග නිකුත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) පරීක්ෂනයක සොයා ගැනීම් නිෂ්ප්‍රභ කරයි. එය මානව ඉතිහාසයේ දැවැන්තම බොරුවක් ලෙස වාර්තාගත වනු ඇත. එනම්, ඉරාකයේ “ජනඝාතක අවි” ගැන බුෂ් පාලනාධිකාරිය විසින් දිවුරා කියන ලද බොරු ප්‍රකාශයන් පවා ඉක්මවා යන දැවැන්ත අසත්‍යයකි.

වෛරසය, චීන රසායනාගාරයකින් බිහි වූ බව ප්‍රකාශ කිරීම සඳහා කිසිදු සත්‍ය හෝ විද්‍යාත්මක පදනමක් නොමැත. මේ දක්වා ධවල මන්දිරය, එක්සත් ජනපද බුද්ධි අංශ සහ මාධ්‍ය විසින් එම ප්‍රකාශය සනාථ කිරීම පිනිස ඉදිරිපත් කරන ලද එකම සාක්ෂිය නම්, “පොදු සෘතුමය රෝගවලට … අනුකූල වේ” යයි  රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවකින් දන්වන ලද රෝග ලක්ෂන සහිතව, වුහාන් වෛරස් අධ්‍යයන විද්‍යාගාරයේ සේවකයින්, 2020 අග භාගයේදී රෝගාතුර වීමයි.

ලොව පුරා ජනතාව සමූහ වශයෙන් මරාදැමීම සඳහා “ආයුධ සන්නද්ධ වෛරසයක්” භාවිතා කරමින්, හිතාමතාම වසංගතය පැතිරවීමට චීනය වගකිව යුතු යැයි කියා සිටීමට මීට පෙර ට්‍රම්ප් පරිපාලනය විසින්, වුහාන් ආයතනයේ රෝගාබාධ, හුවාදක්වනු ලැබ තිබුනි. දැන්, ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් එය අහුලාගෙන ඇති අතර, බයිඩන් පරිපාලනය විසින් නීත්‍යානුකූල කර ඇත.

එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්‍ෂවරයා බ්‍රහස්පතින්දා ලියා ඇත්තේ, ඇමරිකාවේ “බුද්ධි අංශ ප්‍රජාව” “සිදුවිය හැකි අවස්ථා දෙකක් වටා එකතු වී ඇති බවයි: එක්කෝ එය ස්වාභාවිකවම ආසාදිත සතුන් සමඟ මිනිසුන්ගේ සම්බන්ධතාවයෙන් මතු වී ආවේ ය, නැතහොත් එය රසායනාගාරයක හදිසි  අනතුරක්” බවයි. කොවිඩ්-19 “ස්වාභාවිකව මතුවී නො ආවේ” නම්, මෙම රෝගය ට්‍රම්ප් රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනවාරි මාසයේ දී ප්‍රකාශ කල පරිදි, ජීව විද්‍යාත්මක ඉංජිනේරු විද්‍යාව තුලින් නිර්මානය කර ඇත.

කොවිඩ්-19 හි මූලාරම්භය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කල පරීක්ෂනයෙන් පැහැදිලි වන පරිදි, කොවිඩ්-19 ට සමාන නිමක් නැති වෛරස වවුලන් තුල හඳුනාගෙන ඇති අතර, සියයට 96.2 කින් Sars-COV-2 හා සමාන RaTG13 නම් වෛරසය , කොවිඩ්-19 වෛරසය ට හේතු වේ. Sars-COV-1 යනු, 2003-2004 දී සාස් (SARS සිවියර් ඇකියුට් රෙස්පිරේටරි සින්ඩ්‍රොම්) පැතිරී යාමට හේතු වූ, වවුලෙකුගෙන් ප්‍රභවය වූ කොරෝනා වෛරසයකි.

කොවිඩ්-19 ජීව විද්‍යාත්මකව නිර්මානය කර ඇති බවට කරන ඕනෑම ප්‍රකාශයනයකට වලංගු භාවයක් තිබීමට නම්, රෝගය හෝ එහි මූලාරම්භය පිලිබඳව, ස්වාභාවිකවම ඇති වන වෙනත් වෛරස් සමඟ නොගැලපෙන යමක් තිබිය යුතුය. නමුත් මෙවැන්නක් අඟවන කිසිවක් එහි නැත. රෝගයේ මූලාරම්භය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වන පරිදි, කොවිඩ්-19 “හිතාමතාම ජෛව ඉංජිනේරු විද්‍යාත්මකව නිර්මානය කල බවට ඇති මතය, ජානමය විශ්ලේෂනයන්ගෙන් පසුව බැහැර කෙරනු ඇත.”

විද්‍යාගාර සම්භවය පිලිබඳ න්‍යාය ප්‍රවර්ධනය කරනු ලබන්නේ, දේශපාලන තත්වයන් සහ සමාජ අවශ්‍යතා විසිනි. එය අන්තර් සම්බන්ධිත අරමුනු දෙකකින් අභිප්‍රේරනය වේ.

පලමුව, දැවැන්ත පරිමාන මරන වලට හේතු වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී එක්සත් ජනපදය හා අනෙකුත් ආන්ඩු ගත් ක්‍රියාමාර්ගයන්ගෙන් අවධානය වෙනතකට යොමු කිරීම එහි අරමුනයි. වසංගතයේ අධික කම්පනයෙන් ජනතාව සිහි එලවා ගැනීමත් සමඟ, මෙතරම් පිරිසක් මිය ගියේ ඇයිද යන්නත්, වගකිව යුත්තන්ගේ වග වීම පිලිබඳවත් පැහැදිලි කිරීම් සඳහා ඉල්ලීම් ඉදිරිපත් වනු ඇත.

ආරම්භයේ සිටම සියලු ප්‍රධාන ධනවාදී බලවතුන්ගේ ආන්ඩු, සංගතවල ලාභ අවශ්‍යතා, ධනේශ්වර කතිපයාධිකාරීන්ගේ කෑදරකම සහ අධිරාජ්‍යවාදයේ භූදේශපාලනික අරමුනු වලට,   වසංගතය කෙරේ දක්වන ප්‍රතිචාරය යටත් කලහ. පීඩාවට ලක්වූ සියලු දෙනාට මූල්‍ය ආධාර සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම ඇතුලුව, සියලුම විද්‍යාඥයින් සහ වසංගත රෝග විද්‍යාඥයින් එකඟ වූ ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, ඒවා මූල්‍ය වෙලඳපොලවල් සහ ධනවතුන්ගේ අවශ්‍යතා අඩපන කිරීමට තර්ජනය කල බැවිනි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපදයේ පමනක් 600,000 කට වැඩි සංඛ්‍යාවක් ද ලොව පුරා මිලියන තුනකට අධික ජනතාවක් ද මිය ගොස් ඇත.

එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් ආන්ඩුවේ හිටපු උපදේශක ඩොමිනික් කමිංස් විසින් මේ සතියේ දුන් සාක්ෂියෙන් පැහැදිලි වුනේ, ආන්ඩුව “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ මූලෝපායක් ක්‍රියාත්මක කල බවත්, රෝගය ජනතාව අතර පැතිරවීම සඳහා උපදේශකයින්, “පැපොල වසංගත සාද”(එන්නතක් පවතින විට හිතාමතාම රෝගයකට නිරාවරනය වීම සඳහා කෙරෙන සමාජ ක්‍රියාකාරකම් විශේෂයක්: පරිවර්තක) පැවැත්වීමට  උපදෙස් දුන් බවත්ය. මෙම ප්‍රතිපත්තිය නිසා මිනිසුන් 800,000 ක් පමන මිය යනු ඇතැයි ආන්ඩුව ගනනය කලේය.

වසංගතය පිලිබඳ සෙනෙට් විමසීම් මගින් තවදුරටත් පෙන්නුම් කර ඇත්තේ, බ්‍රසීලයේ ජෙයාර් බොල්සොනාරෝ ආන්ඩුව,  වෛරසය අවහිරයකින් තොරව පැතිරීමට හිතාමතාම ඉඩ දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කල බවත්, මරන සංඛ්‍යාව මිලියන 1.4 ක් දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කල බවත්ය (එය දැනට 450,000 ක් වේ).

සමාජ නොසන්සුන්තාවයක් නැගී ආ හෙයින් එක්සත් ජනපදය තුල 2020 මාර්තු මාසයේදී ක්‍රියාත්මක කරන ලද පාර්ශවීය සීමා කිරීම් වලින් පසුව, “ප්‍රතිකාරය රෝගයට වඩා නරක විය නොහැක” යන පාඨයට අනුගත වෙමින් ට්‍රම්ප් පරිපාලනය, කම්කරුවන් නැවත සේවයට දැක්කීමේ ව්‍යාපාරය පෙරමුනට ගත්තේය. මෙම මිනීමරු ප්‍රතිපත්තිය වඩාත් පැහැදිලිව ප්‍රකාශ කලේ ට්‍රම්ප් විසිනි. එයට මාධ්‍යයේ සහාය ලැබුනු අතර  රිපබ්ලිකානුවන් හා ඩිමොක්‍රටිකයන් යන දෙපක්ෂය ම පාලනය කරන ප්‍රාන්ත ආන්ඩු විසින් එය ක්‍රියාත්මක කරනු ලැබුනි.

ධනේශ්වර ආන්ඩු නායකයින්ගේ අත්වල ලේ තැවරී ඇති අතර, ඔවුහු බිල්ලක් සොයමින් සිටිති: ඒ චීනය යි.

දෙවනුව වුහාන් පරීක්ෂනාගාර මුසාව, චීනය සමඟ ආර්ථික හා සිදුවීමට ඉඩ ඇති මිලිටරි ගැටුම් සඳහා සූදානම් වීම යන බයිඩන් පරිපාලනයේ කේන්ද්‍රීය මූලෝපායික අරමුන සඳහා ජාතිකවාදී වෛරය උත්සන්න කිරීමට යත්න දරයි.

බලයට පත්වූ දා සිට බයිඩන් පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපදය “සන්ධිස්ථානයකට” පැමින සිටින බවත්, චීනයට එරෙහිව “21 වන සියවස ජය ගැනීම” සඳහා අරගලයක් කල යුතු බවත් ය.  එරට උයිගර් මුස්ලිම් ජනතාවට එරෙහිව චීනය ජන සංහාරයක් සිදුකරන බවට බුද්ධි අංශ විසින් අවුස්සනු ලබන ප්‍රකාශය පිලිබඳව ජනතාව උනන්දු කරවීමට එක්සත් ජනපද මාධ්‍ය අසාර්ථක උත්සාහයක් ගෙන තිබේ. එහෙත් මේ වන තුරුත් උද්ඝෝෂනය එහි අපේක්ෂිත අරමුන ඉටුකර ගැනීමට සමත්ව නැත.

එබැවින්, සෑම ඇමරිකානුවෙකුගේම පාහේ සමීපතමයෙක් ගොදුරුකරගත්තා වූ මාරාන්තික වසංගතයට චීනය වගකිව යුතු බව ඒත්තු ගැන්වීම පිනිස ඊටත් වඩා, සුගම හා ත්‍රාසජනක බොරුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

වුහාන් රසායනාගාර බොරුව ප්‍රවර්ධනය කිරීමේ වඩාත්ම සෘජු පූර්වාදර්ශය වන්නේ, ඉරාකය ආක්‍රමනය කිරීමේ කඩතුරාව ලෙස සේවය කල, ඉරාකය තුල “ජනඝාතක අවි” සඟවා ඇති බවට බුෂ් පරිපාලනය විසින් ගොතන ලද ප්‍රකාශයන් ය. විධික්‍රමය එක හා සමාන ය. මාධ්‍ය වල “නිර්නාමික මූලාශ්‍ර” තුලින් හා පරිපාලන නිලධාරීන්ගේ විවෘත දිව්රීම් සමගින්, එක්සත් ජනපද බුද්ධි අංශවල අවුල් සහඅත ආකාරයකට ප්‍රකාශයට පත්කල සොයාගැනීම්ද, මිලියනයකට අධික ජනතාවක් ඝාතනය කල (ඉරාක) යුද්ධයක් සඳහා කඩතුරාව සැකසීය.

“වුහාන් පරීක්ෂනාගාර” කුමන්ත්‍රන න්‍යායේ ව්‍යුහය හා ක්‍රමවේදයන්, වොෂිංටන් සහ අනෙකුත් ලෝක අගනගරවල ප්‍රචාරකයින්ට ඉතා හුරුපුරුදු, දේශපාලන අරමුනු සඳහා ප්‍රවර්ධනය කරන ලද, වෙනත් කුමන්ත්‍රන න්‍යායන්ට බෙහෙවින් සමාන ය. සෝවියට් හා නැගෙනහිර ජර්මානු බුද්ධි අංශ විසින්, එච්අයිවී මූලාරම්භය පිලිබඳ කුමන්ත්‍රන න්‍යායක් නිෂ්පාදනය කරන ලද බව පවසමින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, 2017 දෙසැම්බර් මාසයේදී “රුසියානු බොරු ප්‍රචාර වල ඇඟිලි සලකුනු: ඒඩ්ස් සිට ව්‍යාජ ප්‍රවෘත්ති දක්වා” යයි ලිපියක් පල කලේය.

“නැගෙනහිර ජර්මානු විදේශ බුද්ධි අංශ විසින් මෙහෙයවන ලද “ඉන්ෆෙක්ෂන්(Infektion)” මෙහෙයුම මගින් 1980 ගනන්වල දියත් කල ව්‍යාජ තොරතුරු ප්‍රචාරක ව්‍යාපාරය, ඒඩ්ස් රෝගයට හේතුවන වෛරසය එක්සත් ජනපදය විසින් කරන ලද ජීව විද්‍යාත්මක අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් බවට කුමන්ත්‍රන න්‍යායක් ඉදිරිපත් කලේයැයි” ටයිම්ස් පුවත්පත ලිවීය

1985 දී අභ්‍යන්තර කේජීබී(සෝවියට් රහස් පොලිසිය)ලේඛනයක් සඳහන් කලේ, සෝවියට් බුද්ධි ඒජන්සිය “ඇමරිකා එක්සත් ජනපදයේ රහස් සේවාවන් සහ පෙන්ටගනය විසින් රහසිගතව ජීව විද්‍යාත්මක ආයුධ යොදාගෙන සිදු කරන ලද අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස පාලනය කල නොහැකි නව විෂ බීජය ඇති වූ බවයි.” කේජීබී විසින් ඉන්දියානු පුවත්පතක “ඒඩ්ස් ඉන්දියාව ආක්‍රමනය කරනු ඇත: එක්සත් ජනපද අත්හදා බැලීම් නිසා ඇති වූ අභිරහස් රෝගයක්” යන මාතෘකාව යටතේ ලිපියක් ලිවීය. ඒ අනුව මේරිලන්ඩ් හි ෆෝට් ඩෙට්‍රික් හි පිහිටි එක්සත් ජනපද හමුදා රසායනාගාරයකින් මෙම රෝගය ඇති වූ බව කියැවේ.

මෙම සාවද්‍ය තොරතුරු ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස, 2005 දී ආර්ඒඑන්ඩී සමාගම සහ ඔරිගන් රාජ්‍ය විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙලි වූයේ, අප්‍රිකානු ඇමරිකානුවන්ගෙන් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක්, ඒඩ්ස් මිනිසා විසින් සාදන ලද්දක් යැයි සිතූ බවයි. ලොව පුරා මෙම කුමන්ත්‍රන න්‍යායේ පැතිරීම නිසා—සෝවියට් සංඟමය තුල මෙන්ම—ඒඩ්ස් වසංගතයට විද්‍යාත්මක ප්‍රතිචාරයක් දැක්වීම වඩාත් අපහසු විය.

ඉතිහාසඥ තෝමස් බොගාර්ඩ් උපුටා දක්වමින් ටයිම්ස් පුවත්පත ව්‍යාජ තොරතුරුකරනයේ උපාය පැහැදිලි කරයි: එනම් “ප්‍රමානවත් තරම් කුනුකන්දල් විසි කරන්න, සමහරක් රැඳෙනු ඇත”

ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් සහ අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ආයතන මෙන්ම බයිඩන් පරිපාලනය ද වුහාන් පරීක්ෂනාගාර බොරුව ව්‍යාප්ත කිරීම සඳහා මෙම උපාය භාවිතා කරයි. ටයිම්ස් ලිපිය “රුසියානු මැදිහත්වීම” පිලිබඳ “බොරු ප්‍රවෘත්ති” පිලිබඳ ආඛ්‍යානය ප්‍රවර්ධනය කිරීමට අදහස් කල අතර, කාරනය වන්නේ, ඇමරිකානු පාලක පන්තිය දැන් “බොරු ප්‍රවෘත්ති” වල ලොකුම ප්‍රචාරකයා වීමයි.

වුහාන් පරීක්ෂනාගාර බොරුව නීත්‍යානුකූල කිරීම, එක්සත් ජනපදය තුල ගනනය කල නොහැකි දේශපාලන ප්‍රතිවිපාක ජනනය කරනු ඇත. අන්ත දක්ෂිනාංශය විසින් ප්‍රවර්ධනය කරන ලද “ආයුධ සන්නද්ධ වෛරසය” පිලිබඳ ප්‍රකාශය දැන් නීත්‍යානුකූල නම්, ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රවර්ධනය කරන ලද අනෙක් බොරු හා කුමන්ත්‍රන ගැන කවර කතාද: ඒවා නම්, ඔබාමා ඇමරිකානු පුරවැසියෙකු නොවන බවට ට්‍රම්ප්ගේ “බ’තර් (birther)” ප්‍රකාශ, ඉහල මට්ටමේ ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරීන් ලමා ගනිකා වෘත්තියේ යෙදුනු කවයක සිටි බවට තියූ “පීසාගේට් (pizzagate)” කුමන්ත්‍රන න්‍යාය සහ සියල්ලටත් වඩා, ජනවාරි 6 ෆැසිස්ට් කැරැල්ලට හේතු වූ 2020 මැතිවරනය වංචා කරන ලදැයි කියන ප්‍රකාශයන්ය.

කොරෝනා වෛරසයේ මූලාරම්භය පිලිබඳ “විවාදයේ” වැදගත් හඬක් ලෙස ආකැන්සාස් හි සෙනෙට් සභික “බහුස්‍රැත” ෆැසිස්ට්වාදී ටොම් කොටන්, දැන් මාධ්‍යවල ප්‍රශංසාවට ලක්ව සිටියි. වුහාන් විද්‍යාගාර න්‍යාය ප්‍රවර්ධනය කිරීම සඳහා කොටන් ට “ඉතිහාසය ලියැවෙන පොත්වලින් සම්මාන පිරිනැමෙනු ඇත” යනුවෙන් වොෂිංටන් පෝස්ට් හි ප්‍රධාන කරුනු පරීක්‍ෂක ග්ලෙන් කෙස්ලර් ප්‍රකාශ කලේය.

 2020 ජූලි මාසයේදී කොටන්, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන විරෝධතා මැඬීම සඳහා “හමුදාව යොදවන ලෙස” ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිමින් කුප්‍රකට ප්‍රකාශයක් පල කලේය. ඔහු, 2020 ජනාධිපතිවරනයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහනය කල බවට වන මුසාවෙහි ප්‍රමුඛ යෝජකයෙකු වන අතර, ජනවාරි 6 වන දින මැතිවරන ඡන්දය සහතික කිරීමට විරුද්ධත්වය පල කරමින්, කැපිටෝල් කොන්ග්‍රස් සභා ශාලාවට කඩා වැදුනු මැර පිරිසට සහයෝගය දැක්වී ය.

රට තුල මෙම බොරුව, මහජන විරුද්ධත්වය නිෂ්ප්‍රභා කරන අතර, පුලුල් වාරනය සඳහා පදනම සකස් කිරීමේ බලපෑමක් ඇති කරනු ඇත. ආන්ඩුවේ  ප්‍රතිපත්තිය විවේචනය කරන සියල්ලන්ම චීනයේ ඒජන්තයන් ලෙස පින්තාරු කරනු ඇත. වොෂිංටන් පෝස්ට් හි වුහාන් විද්‍යාගාර කුමන්ත්‍රන න්‍යාය ප්‍රවර්ධනය කිරීම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින්  පල කල හෙලිදරව් කාරී ලිපියක් දැනටමත් ෆේස්බුක් හි මාස දෙකක් තිස්සේ වාරනය කෙරී ඇති අතර එය බෙදා ගැනීමට (share) උත්සාහ කල ගිනුම් අත්හිටුවීම කරා ගමන් කලේය. මේ අතර ෆේස්බුක් සමාගම,   වෛරසය චීන රසායනාගාරයක නිපදවූ බවට වන කුමන්ත්‍රන න්‍යාය ප්‍රවර්ධනය කරන සටහන් තවදුරටත් සීමා නොකරන බව නිවේදනය කර තිබේ.

මෙම බොරුව ඇමරිකාවේ දේශපාලන රුධිර නාලයන් තුලට ඇතුළු වූ පසු, එය විෂ සහිත සහ පාලනය කල නොහැකි බලපෑම් ඇති කරනු ඇත. එය විද්‍යාඥයින්ට සහ වේගයෙන් පැතිරෙන වසංගතයට විද්‍යාත්මක ප්‍රතිචාරයක් ඉල්ලා සිටි සියලු දෙනාට එරෙහිව දඩයම් කිරීම්, තර්ජනය කිරීම් සහ ප්‍රචන්ඩකාරී බිය ගැන්වීම් අවුලුවනු ඇත. දැනටමත් ආසියානු-විරෝධී ප්‍රචන්ඩකාරී සිදුවීම් ඉහල යමින් ඇත.

මෙම බොරුව ප්‍රවර්ධනය කිරීම යුද්ධයට සූදානම් වීමක් ලෙස අර්ථ දක්වමින් ද එය උත්සන්න වීමට ඉඩ ඇති අයුරින් ප්‍රතිචාර දක්වමින් ද චීන ආන්ඩුව, මාරක හමුදාකරන චක්‍රයක් නිර්මානය කරයි. ලෝකයේ විශාලතම ආර්ථිකයන් සහ හමුදාවන් සහිත එක්සත් ජනපදය හා චීනය අතර මිලිටරි ගැටුමක්, සියලු මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත.

එක්සත් ජනපද ආන්ඩුව සහ මාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලබන දැවැන්ත බොරුවට විරුද්ධ වන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය සියලු කම්කරුවන්ගෙන්, විද්‍යාඥයින්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටියි. ජනතාව දැනුවත් කිරීම සහ විද්‍යාවේ විදේශික භීතිකා විකෘතියට එරෙහි වීම විද්‍යාඥයින්ගේ යුතුකමකි. ජනමාධ්‍යවේදීන් මෙම බොරුව ප්‍රචලිත කිරීමට හා ප්‍රවර්ධනය  කිරීමට දරන උත්සාහයන් පිලිබඳව බැරෑරුම් ලෙස විමර්ශනය කල යුතුය.

ධනවාදී කතිපයාධිකාරීන්ගේ බොරුව පිලිබඳ සැබෑ වගවීම සඳහා කෙරෙන ඉල්ලීම් සමඟ වැඩ කරන ජනතාව එයට විරුද්ධ විය යුතුය. “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තියට වගකිව යුතු අයට ද එයින් ලාභ ලැබූ සංගත විධායකයින්ට ද ඒ සඳහා වගකිව යුතුය.

ඇමරිකානු ධනවාදයේ අපරාධවල වගකීම චීනය දෙපා යටින් තැබීමට පාලක පන්තිය දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. බොහෝ දෙනෙකු ඝාතනය කල වසංගතය නැවැත්වීමට නම්, සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත, ලෝක කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලය තුලින්, ජාතිකවාදී වෛරය, අනවබෝධය සහ ප්‍රචන්ඩත්වය උසිගැන්වීමේ ධනපතියන්ගේ උත්සාහයන් සියල්ල ප්‍රතික්ෂේප කල යුතුය.

Loading