ඉතිහාසයේ මෙම සතිය: මැයි 30 - ජූනි 06

[‍මෙය 2021 මැයි 31 වැනි දින This week in history: May 31-June 6 යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

වසර 50 කට පෙර: සෝවියට් රුසියාව විසින් සැලියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යෑමට සෝයුස් 11 මෙහෙයුම දියත් කරයි

1971 ජුනි 6 වැනිදා සෝවියට් සංගමය විසින් ලොව පලමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන සැලියට් 1 (Salyut 1) වෙත ගමන් කරනු පිනිස සෝයුස් 11 (Soyuz 11) මෙහෙයුම දියත් කෙරිනි. අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයට ඇතුලු වූ තිදෙනෙකුගෙන් යුත් කාර්ය මන්ඩලය සිය මෙහෙයුම සාර්ථකව නිම කලත්, ඔවුහු නැවත පෘථිවි වායුගෝලයට ඇතුලු වීමට සූදානම් වීමේ දී ඛේදජනක ලෙස මිය ගියහ.

1971 අප්‍රේල් මාසයේ දී සෝයුස් 10 මෙහෙයුම ඔස්සේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නිසි ලෙස සම්බන්ධ වීමට එම කාර්ය මන්ඩලය උත්සාහ කලද එය සාර්ථක නොවීම නිසා එම මෙහෙයුම අත හැර දැමීමට සිදුවිය. සෝයුස් 11 මෙහෙයුම යනු සැලියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුලු වීමට දැරූ ඊලඟ උත්සාහය යි.

බයිකොනූර් කොස්මෝඩ්‍රෝම් (Baikonur Cosmodrome) අභ්‍යවකාශ තොටුපලෙන් දියත් කල පසු, සෝයුස් 11 කාර්ය මන්ඩලය ජුනි 7 වැනිදා අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වූහ. ජෝර්ජි ඩොබ්‍රොවොල්ස්කි, ව්ලැඩිස්ලාව් වොල්කොව් සහ වික්ටර් පැට්සයෙව් (Georgy Dobrovolsky, Vladislav Volkov, සහ Viktor Patsayev) යන අභ්‍යවකාශගාමීන් තිදෙනා සැලියට් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 22 ක් රැඳී සිටියහ. එය එකල අභ්‍යවකාශ ගතව සිටි දීර්ඝත ම කාලය ලෙස සටහන් විය.

සැලියට් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිනි පසු එම කාර්ය මන්ඩලය එහි පද්ධති පරීක්ෂා කොට අවශ්‍ය අලුත්වැඩියා කටයුතු ආරම්භ කලහ. ඔවුන් එම නැවතුම්පොලේ සිටි කාලය තුල බොහෝ අත්හදා බැලීම් කල අතර අභ්‍යවකාශය තුල දීර්ඝ කාලයක් රැඳී සිටීම සම්බන්ධයෙන් සැලකිය යුතු දෑ හෙලිදරවු කර ගත්හ.

ජෛව විද්‍යාත්මක අත්හදා බැලීම් වලට අමතරව, සෝයුස් 11 කාර්ය මන්ඩලය කාලගුනය සහ පෘථිවි සම්පත් පිලිබඳව ද අධ්‍යයන සිදු කලහ. සෝවියට් විද්‍යා ඇකඩමියේ ප්‍රමුඛ විශේෂඥයකු වූ බොරිස් එන්. පෙට්‍රොව් (Boris N. Petrov) පැවසුවේ සෝයුස් මෙහෙයුම ඔස්සේ පෘථිවියට ගෙන ආ දත්ත කෘෂිකාර්මික, ඉඩම් ගොඩකිරීම්, භූමිති විද්‍යාව සහ සිතියම් විද්‍යාව හදාරන්නන් විසින් උපයෝගී කරගනු ලබනු ඇති බවත්, කාලගුන විද්‍යාඥයන් කාලගුන අනාවැකි වැඩි දියුනු කිරීම සඳහා භාවිතා කරනු ඇති බවටත් ය.

එම කාර්ය මන්ඩලය සිහිපත් කරමින්, ජූලි මස ප්‍රව්ඩා පුවත්පත වෙත, පෙට්‍රොව් මෙසේ පැවසීය, “අභ්‍යවකාශගාමීන්ගේ අත්දැකීම්වලින් පෙනී යන්නේ මිනිසුන් සහිත සැලියට් නැවතුම්පොල යනු කක්ෂීය පියාසැරි තත්වයන් අත්හදා බැලීම් සඳහා හොඳින් අනුවර්තනය වූ අභ්‍යවකාශ විද්‍යාගාරයක් බව යි. මෙම පලමු සැලියට් කාර්ය මන්ඩලය විසින් සිදු කරන ලද පර්යේෂන අඛන්ඩව හා සංවර්ධනය කිරීම සඳහා වන පුලුල් අපේක්ෂාවන් එවැනි මධ්‍යස්ථාන ඔස්සේ විවර වේ. ... ඉදිරියේ දී අභ්‍යවකාශය වෙත නව ගමන් සහ සැලියට් වැනි නව ජනාවාස කක්ෂය මත නිර්මානය කිරීම සිදු වනු ඇත. නිසැකවම, ඊටත් වඩා විශාල හා සංකීර්න මිනිසුන් සහිත බහුකාර්ය සහ විශේෂිත අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිවනු ඇත. නමුත් මිනිසුන් සහිත ප්‍රථම කක්ෂීය නැවතුම්පොල තුල එම ප්‍රථම කාර්ය මන්ඩලය විසින් සිදු කරන ලද කාර්යයේ වැදගත්කම කිසි විටෙකත් මැකී නොයනු ඇත.”

අත්හදා බැලීම් අවසන් කිරීමෙන් පසු, ජුනි 29 වන දින, එම කාර්ය මන්ඩලය අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වී නැවත පෘථිවියට ගමන් ආරම්භ කලහ. වායුගෝලයට ඇතුලුවීමට පෙර, ඩිසෙන්ඩ් මොඩියුලය සර්විස් මොඩියුලයෙන් වෙන් වන මොහොතේදී, හුස්ම ගැනීම සඳහා වාතය සපයන නාලය බිඳී වැටිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස හුස්ම ගැනීම පිනිස ඇති වාතය වේගයෙන් යානයෙන් ඉවත් වූ අතර කාර්ය මන්ඩලයට හුස්ම ගත නොහැකි විය. ෂටලයේ ස්වයංක්‍රීය පද්ධති මාර්ගයෙන් එය සාර්ථකව පෘථිවියට පැමිනි අතර ෂටලය වෙත ගිය සෝවියට් ප්‍රතිසාධන කන්ඩායම් විසින් ගගනගාමීන් තිදෙනා එතුලම මියගොස් ඇති බව සොයා ගත්හ. මෑත කාලීන ඇමරිකානු අභ්‍යවකාශ ව්‍යසනයන්හි දී, එනම් දියත් කිරීමේ දී හෝ නැවත ඇතුලුවීමේ දී සිදු වූ මරනයන් සේ නොව, මෙතෙක් අභ්‍යවකාශය තුල දී ම පමනක් මිය ගිය අය වන්නේ ඩොබ්‍රොවොල්ස්කි, වොල්කොව් සහ පැට්සෙව් ය.

Loading