මෝදිගේ සමූහ ප්‍රතිශක්තිකරන පිලිවෙතට එරෙහිව සටන් වදිනු පිනිස ඉන්දියානු කම්කරුවන්ට සමාජවාදී මූලෝපායක් අවශ්‍යයි

[පහතින් පලවෙන්නේ Indian workers need a socialist strategy to combat the Modi government’s herd immunity policy  මැයෙන් 2021 ජුනි 03, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ  ලිපියේ පරිවර්තනයයි.]

පහත පල වන්නේ, “කෝවිඩ්-19 වසංගතය සහ සමාජවාදී මූලෝපායක අවශ්‍යතාව” යන මැයෙන් මැයි 30 දා පැවති පැවති අන්තර්ජාල රැලියක දී ශ්‍රී  ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ලේකම් දීපාල් ජයසේකර විසින්  පවත්වන ලද කතාවයි. 

කෝවිඩ්-19 වසංගතය, කෝටි සංඛ්‍යාත ජනයාට විනාශය ගෙන දෙමින්, සුනාමියක් මෙන් ඉන්දියාව පුරා වේගයෙන් පැතිරෙයි. මෙම භයංකර අර්බුදයේ දරුනුම බලපෑමට මුහුන දී සිටින්නේ, කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව යි. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනාවෛරස් ආසාදිතයන් සංඛ්‍යාව දැන් මිලියන 27 ඉක්මවා ඇති අතර, මරන 320,000කට අධික ය. ඉන්දියාව තුල වසංගතයේ දෙවන රැල්ලේ භයංකරත්වය අවධාරනය කරමින්, මෙම ආසාදිතයන් සංඛ්‍යාවෙන් මිලියන 15කට වඩා වාර්තා වී ඇත්තේ පසුගිය සති අටක කාලය තුලයි.

පිලිවෙලින් 400,000කට අධික හා 4,000කට අධික වන ලෙස, තනි රටක් තුල, ලෝකයේ ඉහලම දෛනික ආසාදිතයන් හා මරන සංඛ්‍යා යලියලිත් වාර්තා කිරීමෙන් අනතුරුව, ඉන්දියාව දැන් 200,000කට වැඩි කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවන් ද 3,000කට වැඩි මරන සංඛ්‍යාවන් ද දිනපතා වාර්තා කරමින් සිටී. 

වසංගතය “පහල බැසීමේ ප්‍රවනතාවක,” පවතින බවට පාරම් බෑම පිනිස මෙම සාපේක්ෂව අඩු දෛනික ආසාදිතයන් හා මරන සංඛ්‍යාවන් ගසාකෑමේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ ප්‍රයත්නයන් තිබිය දී ම, එයට ප්‍රතිකූලව, යථාර්ථය නම්, වසංගතය අඛන්ඩව වර්ධනය වන බවයි. වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවන් මෑත දී පහල යාමට බලපෑ එක හේතුවක් නම්, කෝව්ඩ්-19 දැන් ඉන්දියාවේ අති මහත් ග්‍රාමීය ජනගහනය පුරා පාලනයකින් තොරව වේගයෙන් පැතිර යාමයි. මෙම ග්‍රාමීය ප්‍රදේශවල කෝවිඩ්-19 සඳහා පරීක්ෂන සහ  සෙෘඛ්‍ය යටිතල පහසුකම් නැති තරම් ය. 

නිල සංඛ්‍යා ලේඛන ඒවායේ ඉහල ම අගයන්හි පැවති විට පවා, ඒවා ව්‍යසනයේ සැබෑ තත්වය අතිමහත් ලෙස අවතක්සේරු කිරීමක් විය.  වසංගතය පුරාම ඉන්දියාව කෝව්ඩ්-19 පරීක්ෂන පවත්වා ගෙන ගොස් ඇත්තේ ආන්තිකව අඩු මට්ටමක ය. කෝව්ඩ්-19 පැනනැගීමට පෙරාතුව පවා, ඉන්දියාවේ මරනවලින් වෛද්‍ය විද්‍යාත්මකව සහතික කෙරුනේ හතරෙන් පංගුවක් පමනි. බොහෝ වෛද්‍ය විශේෂඥයන් අනතුරු අගවා ඇත්තේ, සැබෑ මරන සංඛ්‍යාව නිල අගය මෙන් පස් ගුනයේ සිට 10 ගුනය දක්වා අගයක් වන බවයි. මෙයින් අදහස් කෙරෙන්නේ, අප්‍රේල්  මැද සිට මේ දක්වා සෑම දිනකම 20,000 සිට 40,000 දක්වා වන දැවැන්ත සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි. 

වසංගතය ජීවවිද්‍යාත්මක ප්‍රපංචයක් වුවත්, අඛන්ඩව වැඩෙන දැවැන්ත සෞඛ්‍ය හා සමාජ ව්‍යසනයට තුඩු දී ඇති ප්‍රධාන හේතු, දේශපාලනික ය. ගෝලීය වසංගතයක තර්ජනය, පෙරදැකිය හැකි දෙයක් වූ අතර, එය එලෙස පෙර දකින ලදි. එහෙත්, ධනපති ලාභ ගරන පද්ධතිය, එවන් පෙරදැකිය හැකි සිද්ධියක් සදහා සූදානම් වීමෙහි ලා සහ එය පැන නැගි විගස එය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමෙහි ලා පවත්නා සිය පරිපූර්න අපොහොසත් භාවය සනාථ කලේ ය.  උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල සිට, ඉන්දියාවේ සහ පකිස්ථානයේ දක්ෂිනාංශික ධනපති තන්ත්‍රයන් දක්වා, සෑම රටකම ආන්ඩු, දශක ගනනාවක් තිස්සේ සෞඛ්‍ය වියදම් කප්පාදු කොට, එම රටවල සෞඛ්‍ය සේවාවන් පරිහානියට අත හැර, දැන් එම සේවාවන් දැවැන්තව ඉහල නගින රෝගීන් සංඛ්‍යාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට අපොහොසත් බවට පත් කර ඇත. ඉන් පසුව, වෛරසය පැතිරීම ආරම්භ වූ විට, ඔවුහු මනුෂ්‍ය ජීවිත රැක ගැනීමට ඉහලින්, සංගතවල ලාභ ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දුන්හ. ව්‍යපාර විවෘත කිරීමට අවසර දුන් අතර, කම්කරුවන්ට මූල්‍ය හා සමාජ සහයෝගය ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදි. එලෙසම, මිලියන ගනන් ජනයා මිය යාමට ඉඩ හරින ලදි. ඒ මක් නිසාද කිය තොත්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ ප්‍රකාශවලට අනුව,  “ප්‍රතිකාරය රෝගයට වඩා දරුනු විය නොහැකි” නිසයි. 

මනුෂ්‍ය ජීවිත සම්බන්ධයෙන් ගෝලීය ධනපති ප්‍රභූව දක්වන ක්ෂමා විරහිත නොතැකීම, එහි තියුනුම ප්‍රකාශනය අත්පත් කරගන්නේ,  ඉන්දියාවේ දැන් සිදුවන දැවැන්ත මරන සංඛ්‍යාව තුලයි. එරට කඩාවැටී ඇති සෙෘඛ්‍ය සේවය, එමගින් මුලුමනින්ම යට කෙරුනු තත්වයට පත්ව තිබේ. ඔක්සිජන්, දැඩි සත්කාර සේවා ඇඳන් සහ ස්වශනාධාරක වැනි මූලික වෛද්‍ය පහසුකම්වල පවත්නා දැවැන්ත අඩුපාඩු නිසා කෝවිඩ්-19 රෝගීහු, මහ මග හා ඔවුන්ගේ නිවාසවල ම මරනයට පත්වෙති. සමහර විට එක ඇඳේ දෙදෙනා වන පරිදි රෝහල් රෝගින්ගෙන් පිරී ගොස් ඇති නිසා වෛරසයෙන් දරුනු ලෙස රෝගී වී ඇති දහස් ගනන් ජනයා රෝහල්වලට ඇතුලත් වීමට පවා නොහැකිව ලත වෙති. මල කඳන් මහ පරිමානයෙන් ගංගාවලට විසි කෙරෙයි, නැතිනම් කිසිදු සලකුනක් නැතිව ඔහේ වලලනු ලැබේ. 

වැඩෙන කෝවිඩ්-19 ආසාදනයන් සහ දෙවන රැල්ලක අන්තරාය ගැන, පෙබරවාරි තරම් ඈත දී, මෝදි ආන්ඩුවට අනතුරු ඇඟවූවා වුවත්, ඒ සම්බන්ධයෙන් කිිසිවක් නොකර සිටීමට එය තීරනය කලේ ය. ඔහුගේ බීජේපීය, විපාර්ශ්වයේ පක්ෂ සමග එක්ව, මාර්තු මාසය පුරාත් අප්‍රේල් මාසයේ වැඩි කාලයකත්, ප්‍රාන්ත මැතිවරන වෙනුවෙන් දැවැන්ත රැස්වීම් පැවැත්විය. ආන්ඩුව කුම්භ මේලා වැනි දැවැන්ත ආගමික උත්සවලට සහ මහජනයා ලක්ෂ ගනනින් සහභාගි වන වෙනත් අවස්ථාවන්ට අවසර දුනි. නිල දෛනික මරන සංඛ්‍යාව 3,000 ඉක්මවන තතු යටතේ පවා, මෝදි, රෝගය  පාලනය කිරීමට ජාතික පරිමාන අගුලුදැමීමක් මුරන්ඩු ලෙස ප්‍රතික්ෂේප කලේ, අප්‍රේල් 20 දා “ජාතිය අමතා කල කතාවේ” දී , ඔහුගේ  ආන්ඩුවේ එල්ලය ඉන්දියානු ජනතාව වසංගතයෙන් ගලවා ගැනීම නොව “රට අගුලුදැමීමකින් ගලවා ගැනීම” යයි ප්‍රකාශ කරමිනුයි. 

මෝදි ආන්ඩුව හා ඉන්දියානු පාලක පන්තිය, මනුෂ්‍ය ජීවිත සම්බන්ධයෙන් දක්වන නොතැකීම සහ ඔවුන්ගේ අධික ලාභ තෘෂ්නාව, තව දුරටත් අශ්ශීල ලෙස ප්‍රදර්ශනය කරමින්, ඔහුුගේ ආන්ඩුව කෝවිඩ්-19 එන්නත සියල්ලන් හට නොමිලේ ලබා දීම සහතික කිරීම ප්‍රතික්ෂේප කරයි. ඔවුන් එසේ කරන්නේ, ඒ සඳහා ආන්ඩුවට යන වියදම, හුදෙක් ඩොලර් බිලියන 6.4ක් එනම්, ඉන්දියාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.32ක් වන තතු යටතේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, එක එන්නත් මාත්‍රාවක් සඳහා ඔවුන්ට යන වියදම දිනක හෝ දින කිහිපයක වැටුපට සමාන වන තතු යටතේ, කෝටි සංඛ්‍යාත දුගී ඉන්දියානුවන්ට කිසිදා එන්තත ලබා ගැනීමට නොහැකි වීමට ඉඩ තිබේ. 

විවිධ ප්‍රාන්ත ආන්ඩු විසින් ක්‍රියාවට දමනු ලැබ ඇති වත්මන් අගුලුදැමීම් යටතේ, සියලුම කර්මාන්ත පාහේ අත්‍යවශ්‍ය ලෙස සලකනු ලැබ ඇති හෙයින්, කම්කරුවන්ට අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීමට සහ එමගින්  තමන්ගේ සහ තම හිතේෂියන්ගේ ජීවිත අවදානමේ හෙලීමට බල කෙරී ඇත. මෙම තතු, මෑත සති කිහිපය තුල රට පුරා කම්කරුන් දුසිම් ගනනාවකගේ මරනයට තුඩු දී තිබේ. ඒ පිලිබඳ තොරතුරු සංගතවල හා ආන්ඩුවේ කුමන්ත්‍රනාකාරී නිහඬතාව මගින් යට ගසා ඇත. වෙන්නායි නගරයට ආසන්නව පිහිටා ඇති ශ්‍රී පෙරුම්බුදුර්-ඔරකඩම් කර්මාන්ත කලාපයේ හුන්ඩායි මෝටර්ස් කම්හලේ අඩු ගනනේ කම්කරුවන් 10ක් ද රෙනෝල්ට්-නිසාන් මෝටර්රථ කම්හලේ කම්කරුවන් 5ක් ද මෙම මරන සංඛ්‍යායවන්ට ඇතුලත් වේ. එමෙන් ම ඉන්දියාවේ අනෙක් ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන  මධ්‍යස්ථානය වන, උතුරේ හර්යානා ප්‍රාන්තයේ ගුර්ගෝන්-මනෙසර් කර්මාන්ත කලාපයේ ද මෙවන් මරන රැල්ලක් වාර්තා වී ඇත. අඩු ගනනේ, ගුර්ගෝන්හි  මරුති සුසුකි මෝටර් රථ එකලස් කම්හලේ කම්කරුවන් 5ක් ද හොන්ඩා කම්හලේ කම්කරුවන් දෙදෙනෙක් ද ටාටා මෝටර්ස් කම්හලේ එක කම්කරුවෙක් ද මෙයට ඇතුලත් වේ.

මෙම මරන මෙන් ම ඉන්දියාව පුරා තවත් ලක්ෂ සංඛ්‍යාත මරන ද, වසංගතය තුලත්, එය පැන නැගීමට පෙරාතුවත්, මෝදි ආන්ඩුව සහ සමස්ත ඉන්දියානු පාලක ප්‍රභූව ගෙනගිය පිලිවෙත්වල සෘජු ප්‍රතිඵලය යි. දශක ගනනාවක් තිස්සේ,  කොංග්‍රස් පක්ෂය ද බීඑස්පී, සමාජවාදී පක්ෂය සහ තමිල්නාඩුවේ ඩීඑම්කේ හා ඒඅයිඒඩීඑම්කේ වැනි ප්‍රදේශීය හා කුලවාදී ධනේශ්වර පක්ෂ ද මාක්ස්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඑම් හා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) යන ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ ද විසින් නායකත්වය දෙන ලද ආන්ඩු ඇතුලත්, මධ්‍යම හා ප්‍රාන්ත ආන්ඩු, සෙෘඛ්‍ය  සේවයට කරන රාජ්‍ය වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5ක සාගිනි මට්ටමක පවත්වා ගෙන විත් ඇති අතර,  එමගින් අද රෝහල් සහ සායන කෝවිඩ්-19 සඳහා මුලුමනින්ම නුසූදානම් තත්වයකට ඇද දමා තිබේ. 

ඉන්දියාවේ ව්‍යසනකාරී දෙවන රැල්ල – මිනිසා විසින් නිර්මානය කරන ලද ව්‍යසනයක්

වසංගතය මුලින්ම 2020 ජනවාරියේ පැන නැගි විට, මෝදි ආන්ඩුව, මාස තුනකට අධික කාලයක් තිස්සේ, එලඹෙන අන්තරාය ඉතා සැහැල්ලුවෙන් නොතකා හැරියේ ය. පසුව, ජනතාවගේ ජීවිත පිලිබඳ සිය ක්ෂමා විරහිත පන්ති-පාදක නොතැකීමෙහි ප්‍රතිවිපාක ගැන භීතියට පත්වුුනු,  මෝදි හදිසි අංශක 180ක හැරීමක් ගෙන, කිසිදු සැලසුමකින් හෝ අනතුරු ඇඟවීමකින් තොරව, 2020 මාර්තු 24 දා ව්‍යසනකාරී ජාතික පරිමාන අගුලුදැමීමක් නිවේදනය කලේ ය. මෝදිගේ කිසිදු සූදානමකින් තොර අගුලුදැමීම, එනිසා එක රැයකින් රැකියා විරහිතයන් බවට පත් වූ කෝටි සංඛ්‍යාත කම්කරුවන් හට ලබා දුන්නේ සාගිනි මට්ටමේ සහනයක් පමනි. මෙම කාරනාව, ක්‍රමානුකූල පුලුල් පරිමාන කෝවිඩ්-19 පරීක්ෂන හා සබඳතා හඹායෑම් සිදු කිරීමට ආන්ඩුව අපොහොසත් වීම සහ කඩාවැටී ඇති සෙෘඛ්‍ය සේවාවන්ට දැවැන්ත ලෙස සම්පත් සම්ප්‍රේශනය කිරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම සමග එකට ගෙන සැලකූ කල, අගුලුදැමීම මුලුමනින්ම අසාර්ථක වූයේ මන්ද යන වග අවබෝධ කරගැනීම අපහසු නොවේ. 

බිජේපීයේ අගුලුදැමීමේ ව්‍යසනකාරී බලපෑම වඩාත් විශද ලෙස පෙන්නුම් කෙරුනේ, ප්‍රධාන නගරවල සිට දුර ඈත පිහිටි සිය ගම්මාන කරා මිලියන සංඛ්‍යාතව පාගමනින් ආපසු යාමට බල කෙරුනු, සංක්‍රමන කම්කරුවන්ගේ ඉරනම මගිනි.  අගුලුදැමීම හේතු කොට ගෙන, අතේ සතේ නැති තත්වයට හා බොහෝ සෙයින් උන්හිටි තැන් අහිමි වීමට ලක් වූ මෙම කම්කරුවන්ට, පිහිට පතා තමන්ගේ උපන් ගම්වලට යාමට බල කෙරුනි. එම ගමනේ දී, ඔවුහු, බොහෝ අවස්ථාවන්හි දී, සිතා මතා නොවුනත්, කෝවිඩ්-19 වෛරසය සිය ගම්වලට ගෙන ගියහ. 

සංගත හා මූල්‍ය ප්‍රභූවේ නියමයන් අනුව යමින්, මෝදි ආන්ඩුව, පසුගිය වසරේ අප්‍රේල් අග සිට, “ආර්ථිකය යලි විවෘත කිරීම” ආරම්භ කල අතර, කෝවිඩ්-19 නිසා පැනවූ සීමාවන් ඊලඟ හය මාසය තිස්සේ ලිහිල් කිරීම සමග එක පෙලට ආසාදනයන් හා මරන වර්ධනය වුවත්, එලෙස යලි විවෘත කිරීමේ පිලිවෙතේ එල්ඹී ගෙන සිටියේ ය. මෙහි දී, හින්දු අධිපතිවාදී බීජේපී ආන්ඩුවට, ප්‍රදර්ශනාත්මක විරුද්ධ පක්ෂ විසින් මෙහෙයවනු ලබන ප්‍රාන්ත ආන්ඩු ඇතුලු, රට පුරා සියලු ප්‍රාන්ත ආන්ඩුවල ක්‍රියාකාරී සහයෝගය ලැබුනි. 

වත්මන් ව්‍යසනකාරී කෝවිඩ්-19 ආසාදන හා මරන රැල්ල සඳහා මාවත පෑදුවේ, මෙම “සමූහ ප්‍රතිශක්තිකරන” පිලිවෙත යි. එම පිලිවෙත වඩා විවෘතව ම සාරාංශගත කරමින්, මෝදිගේ එක් වෛද්‍ය උපදේශකයෙකු, 2020 මැයි මාසයේදී කියා සිටියේ, ඉන්දියානුවන් මිලියන දෙකක් පමන මිය යා හැකි බවත්,  එය ආර්ථිකය පුනර්ජීවනය කිරීම වෙනුවෙන් ගෙවීමට සිදු වන ගනන් නොගත යුතු තරම් මිලක් වන බව යි. 

සෞඛ්‍ය  ව්‍යසනය සමග, ඉන්දියාවේ ධනපති ප්‍රභූව සහ මධ්‍යම හා ප්‍රාන්ත ආන්ඩුවල එහි දේශපාලන හෙංචයියන්, ඉන්දියාවේ කම්කරුවන් හා සෙසු වැඩ කරන ජනතාව සඳහා ඊට නොඅඩු ආකාරයේ තවත් දෙවන වසංගතයක් නිර්මානය කර ඇත. එය රැකියා විනාශයේ, දරිද්‍රතාවයේ හා සාගින්නේ වසංගතයකි. අසීම් ප්‍රෙම්ජී විශ්වවිද්‍යාලය විසින් පිලියෙල කරන ලද,  “2021 වසරේ වැඩ කරන ඉන්දියාවේ තත්වය: කෝවිඩ්-19යේ වසරක්” යන මැයෙන් යුතු වාර්තාවකට අනුව, පසුගිය වසර තුල, තවත් ඉන්දියානුවන් මිලියන 230ක්, දවසකට ඉන්දියානු රුපියල් 375ක් නැතිනම් එජ ඩොලර් 5ක් ලෙස ගැනෙන, යැපුම් මට්ටමේ දරිද්‍රතා රේඛාවෙන්  පහලට තල්ලු කෙරී ඇත.  එම කාලය තුලම, ඉන්දියාවේ බිලියනපතියන්, තමන්ගේ ධනය, එජ ඩොලර් බිලියන 596ක් දක්වා, දෙගුනයකට ආසන්න ප්‍රමානයකින් වැඩි කරගෙන තිබේ. ඒ ආන්ඩුවේ ආර්ථිකය විවෘත කිරීමේ මිනීමරු පිලිවෙතට සහ මූල්‍ය වෙලඳ පොලවල් හා ආයෝජකයන්ගේ ධනය නගා සිටුවීම පිනිස ලොව පුරා ආන්ඩු හා මහ බැංකු ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කරමින් ගෙනගිය වැඩපිලිවෙලට ස්තුති වන්නට ය. 

කම්කරු පන්තිය සහ වසංගතයට විද්‍යාව මත පදනම් වූ ප්‍රතිචාරයක් සඳහා වන අරගලය

ඉන්දියාවේ කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව, ලොව පුරා ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් මෙන් ම, පාලක ප්‍රභූව ගෙන යන සමාජ ඝාතනය සහ ඔවුන්ගේ රැකියා, වැටුප් සහ සේවා හා ජීවන කොන්දේසි මත එල්ල කරන පාලක ප්‍රභූවේ ප්‍රහාර නිහඬව පිලි නොගනු ඇත. පසුගිය මාස 18ක කාලය තිස්සේ, ඉන්දියානු කම්කරුවන් අනේක වර්ජන හා විරෝධතාවල නිරතව තිබේ. පසුගිය වසරේ ජනවාරි 8 හා නොවැම්බර් 26 දිනවල පැවති ජාතික පරිමාන මහා වැඩ වර්ජන දෙක, ගල් අඟුරු ආකර කර්මාන්තයේ, මෝටර් රථ කර්මාන්තයේ හා පොදු ප්‍රවාහනයේ සිට  සෞඛ්‍ය සේවය, බැංකු හා රක්ෂන ක්ෂේත්‍රය දක්වා විවිධ අංශවල කම්කරුවන් ගෙනගිය අනේක සටන්කාමී ක්‍රියාවන් මේවාට ඇතුලත් ය. මෙම වර්ජන හා විරෝධතා, මෝදි ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙලට, කප්පාදු පිලිවෙත්වලට, සහ සෙසු ආයෝජන-ගැති පිලිවෙත්වලට අභියෝග කර ඇත. බීජේපීයේ, කෘෂී ව්‍යාපාරික-ගැති ගොවිජන පනත්වලට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ගොවීන් ගෙන යන දැන් මාස හතක් වන විරෝධතා ව්‍යාපාරය මගින්, මෝදි ආන්ඩුව සොලවාලනු ලැබ, එම පනත් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව පමා කිරීමට ආන්ඩුවට බල කෙරුනි.

ලාභවලට ඉහලින් ජීවිතවලට ප්‍රමුඛතාව දෙන ආකාරයේ, විද්‍යාත්මක ප්‍රතිචාරයක් වසංගතයට දැක්වීමෙහි ලා, කම්කරු පන්තියට ඉටු කල හැකි වූත්, එය  ඉටු කල යුතු වූත්, ක්‍රියා කලාපය අවධාරනය කරන වැදගත් වර්ධනයක් සනිටුහන් කරමින්, තමිල්නාඩුවේ හුන්ඩායි සංකීර්නයක මෝටර් රථ කම්කරුවෝ, කෝව්ඩ්-19 ආරක්ෂක විධිවිධාන නොමැතිකම හෙලා දැකීමට මෙම සතියේ වාඩිලා ගැනීමේ වර්ජනයක නිරත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම කොරියානු මෝටර් රථ නිෂ්පාදන සමාගමට, එම කම්හලේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට බල කෙරුනි. එය ආසන්නයේ පිහිටි රෙනෝල්ට්-නිසාන් කම්හලේ ද එවන් වර්ජනයක තර්ජනය, එම බහුජාතික මෝටර් රථ නිෂ්පාදන සමාගමට ද එම පියවර ම අනුගමනය කිරීමට බල කලේ ය.

මහජන විරුද්ධත්වයේ වර්ධනයට මෝදි ආන්ඩුව ප්‍රතිචාර දක්වා ඇත්තේ, මර්දන පිලිවෙත් මුදා හැරීම, කම්කරු පන්තිය දුර්වල හා භේද කිරීම පිනිස වර්ගෝත්තමවාදය ඇවිලවීම, සහ ආඥාදායක පාලන රූපයන් සඳහා වන සිය සැලසුම් උත්සන්න කිරීම මගිනි.

මෝදි ආන්ඩුවේ සහ ඉන්දියානු පාලක ප්‍රභූවේ “සමූහ ප්‍රතිශක්තිකරන” පිලිවෙතට අභියෝග කරමින්, සමාජවාදී සමානතා පක්ෂයේ  (සසප) අපි, අවධාරනය කර සිටින්නේ, මහ ව්‍යාපාරිකයන්ගේ ලාභවලට ඉහලින් කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ජීවිතවලට ප්‍රමුඛතාව දිය යුතු යි. අන් සියල්ලටම ඉහලින් බල පවත්වන එම මූලධර්මය මත පාදකව, අපි මාරාන්තික වසංගතයට එරෙහිව සටන් වැදීම පිනිස පහත ඉල්ලීම් ඉදිරිපත් කරමු:

* අත්‍යාවශ්‍ය නොවන සියලු සේවා වසා දමමින් අගුලුදැමීමක් ක්‍රියාවට දැමිය යුතුයි. අවිධිමත් අංශයේ සේවයේ නියුතු අය, මිලියන සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන්, ස්වයං-රැකියා නියුක්තිකයන්, සුලු ව්‍යාපාර හිමියන්, දුගී ගොවීන් හා ධීවරයන් ඇතුලු සියලු කම්කරුවන්ට පූර්න වැටුප් ගෙවිය යුතුයි.

* සෙෘඛ්‍ය සේවාව, විදුලි බල අංශය, විදුලි සංදේශ හා ආහාර නිෂ්පාදනය වැනි අත්‍යාවශ්‍ය සේවාවල කම්කරුවන්ට ඉතාම අනර්ඝ මට්ටමේ පුද්ගලික ආරක්ෂක උපකරන ලබා දිය යුතු අතර, ඔවුන් ආසාදනයට ලක් වුව හොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි.

* කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සෙසු දීමනා කිසිවක් කප්පාදු නොකල යුතුයි.

* සියල්ලන්ට නොමිලේ එන්තත් ලබා දිය යුතුයි.

* වසංගතයට ද දරිද්‍රතාව, ජරාජීර්නකම හා මන්දපෝෂනය හේතු කොට ගෙන ඉන්දියානු වැඩ කරන ජනයාට මුහුන දීමට සිදුව ඇති සෙසු සියලු සෞඛ්‍ය ගැටලුවලට ද එරෙහිව සටන් වැදීම පිනිස, මහජන සෞඛ්‍ය සේවාව නගා සිටුවීම සඳහා දැවැන්ත පරිමානව මූල්‍ය සම්පත් වෙන් කල යුතුයි. 

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම සඳහා

දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ, ධනේශ්වර මාධ්‍ය, ස්ටැලින්වාදීන් සහ වෘත්තීය සමිති නිලධාරින්, සියල්ලෝම, එකා වන්ව හඩ තලනු ඇත්තේ, එවන් වැඩ පිලිවෙලක් ක්‍රියාවට දැමීම පිනිස මුදල් නැති බවටයි. අප කියා සිටින්නේ, ඒ සඳහා මූල්‍ය සම්පත් උවමනාවටත් වඩා ඇති බවයි. එහෙත් දූෂිත ධනේශ්වර ප්‍රභූව ඒවා මත ඒකාධිකාරය තහවුරු කරගෙන ඇත.  සංගත බිලියනපතියන් සහ මූල්‍ය අධිපතියන් ගොඩගසා ගෙන සිටින දැවැන්ත ධනය, ඔවුන්ගෙන් අත්පත් කර ගෙන, සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදවිය යුතුයි. මෙය සාක්ෂාත් කරගත හැක්කේ,  ස්වකීය අවශ්‍යතා සඳහා සටන් වදින කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් මගින් පමනකි. 

ලොව පුරා ඔවුන්ගේ සගයන් මෙන් ම. ඉන්දියානු ස්ටැලින්වාදීන් සහ ඔවුන්ගේ සමිති, කම්කරු පන්තියේ බලය, එලෙස බලමුලු ගැන්වීමක් වලකාලීම පිනිස වෙහෙස නොතකා වැඩ කරති. ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂවලට, එනම්, මෑතක් වන තුරුම පාලක පන්තියේ වැඩි මනාපය ලැබූ ජාතික මට්ටමේ ආන්ඩු පක්ෂය ලෙස පැවති කොංග්‍රස් පක්ෂයට, සහ විවිධාකාර දක්ෂිනාංශික ජනවාර්ගික-ප්‍රාදේශීය හා කුල-පාදක පක්ෂවලට, කම්කරු පන්තිය දේශපාලනිකව යටත් කිරීමේ ඔවුන්ගේ ද්‍රෝහී ප්‍රයත්නයන් ඔවුන් දැන් වඩා වේගවත් කර තිබේ. 

ඉන්දියානු කම්කරුවන් ස්ටැලින්වාදින්ගෙන් හා ඔවුන්ගේ සමිතිවලින් සංවිධානමය ලෙස හා දේශපාලනිකව බිඳිය යුතුයි. ඔවුන්, තමන්ගේ සෞඛ්‍ය හා වැඩපොල සුරක්ෂිතතාව සඳහා ද රැකියා, වැටුප් සහ ශිෂ්ඨ සම්පන්න සේවා හා ජීවන කොන්දේසි වැනි මූලික අයිතීන් සඳහා ද සටන් වැදීම පිනිස ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුයි. මෙම කමිටු, ධනවාදය විසින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා අහිමි කරනු ලැබීමට එරෙහිව ඔවුන් ආරක්ෂා කරනු පිනිස, සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින්, පීඩිත ගම්බද ජනයා, අන් සියල්ලන්ට මත් වඩා කෝටි සංඛ්‍යාත කෘෂීකාර්මික කම්කරුවන් හා සුලු ගොවීන්, රැලි කර ගැනීමෙහිලා නායකත්වය ද ගත යුතුයි. 

මෙම කමිටු හරහා, ඉන්දියානු කම්කරුවෝ, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය හා ශ්‍රී ලංකාව ඇතුලු දකුනු ආසියාව පුරා ද උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ අධිරාජ්‍ය මධ්‍යස්ථානවල ද සිටින සිය පන්ති සහෝදර සහෝදරියන් සමග සිය අරගලයන් ඒකාබද්ධ කිරීමට සටන් වැදිය යුතුයි. එම අරමුන සදහා, ඉන්දියානු කම්කරුවෝ, ලෝක පරිමාන පදනමක ඔවුන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීම හා ඒකාබද්ධ කිරීම පිනිස, කම්කරුවන්ට නව මාවතක් සැපයීමට, මෑත පැවති එහි මැයි දින රැලියේ දී හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමට සහයෝගය දිය යුතුයි. 

දේශසීමා නොහඳුනන වෛරසයකින් හටගත් මෙම වසංගතය, ගෝලීය අර්බුදයක් වන බැවින්, එය තනි රටක් තුල තුරන් කල නොහැකි ය. ගෝලීය ධනවාදය විසින් උපදවන ලද හා ප්‍රධාන බලවතුන් අතර පවත්නා තියුනු අන්තර්-රාජ්‍ය එදිරිවාදිකම්  තුල ප්‍රකාශිත, ජාතික සතුරුකම්, වසංගතයට එරෙහිව සටන් වැදීමෙහි ලා බාධාවන් ලෙස, සෑම අවස්ථාවක දී ම,  ඉස්මත්තට පැමින තිබේ. වසංගතය හමුවේ පැනවූ සියලු සීමාවන් ඉක්මනින් ම ඉවත් කිරීමට සෑම රටකම ආන්ඩුවලට පවතින අධිෂ්ඨානය, බොහෝ සෙයින් දුවවනු ලැබ ඇත්තේ, ආයෝජන, වෙලඳ පොලවල් හා අමු ද්‍රව්‍ය  සඳහා වන ගෝලීය අරගලය තුල, තමන්ගේ ප්‍රතිවාදීන්ට වාසි අත්විය හැකි බවට පවත්නා භීතිය මගිනි. වසංගතයෙන් බැට කෑ ඉන්දියානු ආර්ථිකයට යලි පන දීමේ මෝදිගේ සැලසුම්වලට කේන්ද්‍රීය වන අංගයක් නම්, චීනයට විකල්ප ලාභ ශ්‍රම නිෂ්පාදන ජාල මධ්‍යස්ථානයක් ලෙස, ඉන්දියාවට සේවය කල හැකි බවට, ඇමරිකානු, යුරෝපීය හා ජපාන අධිරාජ්‍යවාදීන්ට ඒත්තු ගැන්වීමේ ඔහුගේ ප්‍රයත්නයයි. මෙය, චීනයට එරෙහි වොෂිංටනයේ යුද ගිනි අවුලුවන මිලිටරි- මූලෝපායික ප්‍රහාරාත්මක ව්‍යාපාරයට ඉන්දියාව පෙර නොවූ විරූ ලෙස පරිපූර්නව ඒකාග්‍ර කිරීම මගින් සිය මහා-බල අභිලාෂයන්ට රුකුල් දීමට ඉන්දියානු ධනේශ්වරය ගෙනයන ධාවනයේ ආර්ථික සංරචකයයි. 

එන්නත් ජාතිකවාදයේ පැනනැගීම, වසංගතයට විද්‍යාව මත පාදක ගෝලීය ප්‍රතිචාරයක් සංවිධානය කිරීමෙහි ලා ධනවාදයට පවතින පරිපූර්න නොහැකියාව පිලිබඳ තවත් නිදසුනකි. අඩු මිල එන්නත් නිපදවන ලෝකයේ ප්‍රධානම රට වන ඉන්දියාව, අඩු ගනනේ මෙම වසර අවසානය වන තෙක්, සියලු කෝවිඩ් එන්නත් අපනයනය තහනම් කර ඇති අතර, එය හේතු කොට ගෙන අප්‍රිකාවේ සහ ආසියාවේ උෘන සංවර්ධිත රටවල වෙසෙන කෝටි සංඛ්‍යාත ජනයාට එන්නත් අහිමි කරනු ලැබ තිබේ. එලෙසම, එක්සත් ජනපදය, එන්නත් ද ඒවා නිපදවීමට අවශ්‍ය අමු ද්‍රව්‍ය ද අපනයනය තහනම් කොට ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනයට බාධා පැමින තිබේ. වොෂිංටනයට නම්, කෝවිඩ් එන්නත, මනුෂ්‍ය ජීවිත ගලවා ගැනීමේ මාධ්‍යයක් නොව, සිය කොල්ලකාරී භූ-දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික අවශ්‍යතා හඹා යාමේ දී භාවිතා කෙරෙන අවියකි.

මෙම සියල්ල මගින් පැහැදිලි කෙරෙන්නේ ධනවාදයේ අතාර්කික ස්වභාවය සහ අසාර්ථකත්වය යි. ලෝකයේ අති මහත් බහුතරයකට කෝවිඩ්-19 එන්නත් අහිමි කරමින්, තනි රටක් තුල සියලු දෙනා එන්තත් කිරීම මගින් වසංගතය පරාජය කල හැකි බවට පවත්නා අදහස මායාවකි. ඒ මක් නිසා ද කිය තොත්, වෛරසයේ අඛන්ඩ පැතිරීම, එන්නත්වලට ප්‍රතිරෝධී වීමේ විභවය සහිත ප්‍රභේද ද ඇතුලු, නව වඩා ආක්‍රමනික ප්‍රභේද පැනනැගීමට ඉඩ සලසන බැවිනි. 

“කොරොනාවෛරස් වසංගතයට ගෝලීයව සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා ” යන මැයෙන් යුතු 2020 පෙබරවාරි 26 දා නිකුත් කල ප්‍රකාශයක් ද ඇතුලුව, ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසංගතයේ ආරම්භයේ පටන් ම අවධාරනය කර ඇති පරිදි, වෛරසය මැඩීම පිනිස සම්බන්ධීකෘත, විද්‍යාව මත පාදක ගෝලීය ප්‍රයත්නයක් තුල ලෝකයේ වෛද්‍ය, මූල්‍ය, ද්‍රව්‍යමය හා සේවාමය සම්පත් බලමුලු ගැන්වීය යුතුයි. 

එවන් වැඩපිලිවෙලක් සඳහා අරගලයට නායකත්වය දීමට සමත් එකම සමාජ බලවේගය නම්, කිසිදු ජාතික රාජ්‍යයකට හා පුද්ගලික දේපොලකට බැඳී නැති ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. සෑම රටක ම වැඩ කරන ජනතාව, වංසගතයට එරෙහිව සටන් වැදීම  පිනිස ගෝලීය සම්පත් බලමුලු ගැන්වීමෙහි ලා නායකත්වය ගත යුතු යි. මෙම අරගලයට මග පෙන්වීමට අවශ්‍ය දේශපාලන ඉදිරිදර්ශනය සමාජවාදී ජාත්‍යන්තරවාදය යි. 

මාගේ කතාව සමාප්ත කරමින්, අප ඉන්දියානු කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ, ලෝක ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය පිනිස වන ඒකාබද්ධ ව්‍යාපාරයක් සඳහා දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සිය පන්ති සහෝදරයන් සමග එක් වන ලෙස යි. එය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා අරගලයක් වනු ඇත. ඉන්දියානු කම්කරු පන්තිය සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය තහවුරු කරනු පිනිස හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ඉන්දියාව තුල පිහිටුවිය යුතු යි. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා සමග සමීප දේශපාලන සහයෝගයෙන් යුක්තව, ඉන්දියානු කම්කරුවන්ට සහ සමාජවාදී-හිතැති තරුනයන්ට හා බුද්ධිමතුන්ට මෙම අගනා ප්‍රයත්නයේ දී සෑම සහායක් ම සපයනු ඇත.

Loading