පොලිසිය කඩා පැන සෞඛ්‍ය සේවක සත්‍යග්‍රහය විසුරුවා හරී

සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මන්ඩල වලට අයත් ආදේශක කම්කරුවන්, උපස්ථායකයන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් විසින් ප්‍රධාන ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් ජූනි 01 දා ජාතික රෝහල ඉදිරිපිට දියත් කල සත්‍යග්‍රහය, ජූනි 3 හා 4 දිනවල පොලිසිය කඩා පැන විසුරුවා හැර තිබේ.

සියලු සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ්-19 එන්නත්, විධිමත් ආරක්ෂක උපකරන, දෙවසරක් තිස්සේ ස්ථිර නොකල ආදේශක අනියම් සේවකයින් ස්ථිර කිරීම, කොවිඩ් අවදානම් දීමනාවක් හා ප්‍රවාහන දීමනාවක් හා රෝහල් තුල සේවක හිඟය දුරු කිරීම ආදිය මෙම ඉල්ලීම් වලට අයත් විය.

ජූනි 3 දින මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී සත්‍යග්‍රහ ස්ථානයට ජීප් රථ දෙකකින් හා ට්‍රක්රථයකින් පැමිනි 70ක පමන පොලිස් භට පිරිසක් සත්‍යග්‍රහ අට්ටාලය කඩා බිඳ දමා කම්කරුවන් විසින් තම ඉල්ලීම් සදහන් කර ප්‍රදර්ශනය කර තිබූ බැනර ආදියද රැගෙන ගොස් තිබේ.

අනතුරුව අට්ටාලය නොමැතිව වර්ෂාව මධ්‍යයේ ඒම කම්කරුවන් විසින් සිය සත්‍යග්‍රහය පවත්වා ගෙන යමින් තිබූ භූමියට ජූනි 4දින දහවල් පැමිනි පොලිස් භට කන්ඩායමක් මෙම සත්‍යග්‍රහය නිසා රෝගීන්ට අවහිර වන බව හා නිරෝධායන නීති කඩ කෙරෙන බවට පැවසෙන මහේස්ත්‍රාත් නියෝගයක් පිලිබඳව සඳහන් කර එතැනින් ඉවත් වීමට බල කලහ. මෙම මර්දනයට ඒරෙහිව එතැනට රැස්වූ සිය ගනනක් වූ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩල වල කම්කරුවන් රැස්වීමක් පවත්වා සත්‍යග්‍රහය අවසන් කර ඇත.

මෙම ඉල්ලීම් ජූනි 8වන අඟහරුවාදා වන විට නොලැබුනහොත් ජූනි 9 දින පැය හතරක් සේවයෙන් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවට මෙම සත්‍යග්‍රහය සංවිධානය කල කනිෂ්ඨ සේවකයන් අයත් ඒ්කාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ප්‍රකාශයට පත් කර තිබේ.

ව්‍යාජ සංචරන සීමා නිසා රට පුරා දරුනු වෙමින් ඇති කොවිඩ් වසංගතය හමුවේ රෝහල් සේවකයෝ තියුනු දුෂ්කරතාවයන්ට මුහුන දී සිටිති.

මේ වනවිට කොවිඩ් රෝගීන්ගේ නිල සංඛ්‍යාව 207,000 ඉක්මවා ඉහල ගොස් ඇති අතර, මරන සංඛ්‍යාව 1800ට ආසන්නය. සියලු කොවිඩ් රෝහල් පිරී ඉතිරී ඇතිවා පමනක් නොව සේවක හිඟය නිසා සේවකයින් මත පීඩනය ඉහ වහා යමින් තිබේ. එන්නත්කරනයේ අවිධිමත්භාවය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් හට එන්නත් ලබා ගැනීම පවා දුෂ්කර වී තිබේ. ඔක්සිජන්, වෛද්‍ය උපකරන හා බෙහෙත් හිඟයෙන්ද සෞඛ්‍ය සේවකයින් අපහසුතාවයට පත්ව සිටීයි.

මෙම වසරේ ජනවාරි 6, දිවයින පුරා රෝහල් ගනනාවක දී කනිෂ්ඨ කාර්ය මන්ඩල කම්කරුවන් දියත් කල විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ ව සිටින මහනුවර රෝහලේ සෞඛ්‍ය කම්කරුවන්

කොවිඩ් වසංගතය රට තුල පැතිරීමට ඉඩ සලසමින් ලොව අනෙකුත් ධනපති ආන්ඩු සේම ධනපති ලාබ ගැරීම මිනිස් ජීවිත වලට ඉදිරියෙන් තැබීමේ වැඩ පිලිවෙලේ නිරතවී සිටින රාජපක්ෂ ආන්ඩුව සෞඛ්‍ය යටිතල පහසුකම් සඳහා මුදල් කපා හැරීමට ක්‍රියා කලේය. 2021හි සෞඛ්‍ය සඳහා අයවැය ප්‍රතිපාදන රුපියල් බිලියන 28කින් කපා දැමීය. නය ආපසු ගෙවීම හා මිලිටරිය සඳහා අයවැයෙන් විශාලතම පදාසයක් වෙන් කල ආන්ඩුව මහා ධනපති සංගත වලට මහ බැංකුවෙන් මුදල් ලබා දෙමින් වසංගතය තුලදී වඩ වඩාත් ලාබ ගරා ගැනීමේ ඉඩ කඩ විවෘත කලේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහල ම ස්ථරය වන කනිෂ්ඨ කාර්ය මන්ඩල වල කම්කරුවන්ගේ ප්‍රශ්න ගොඩ ගැසී ඇත්තේ ආන්ඩුවේ මෙම දැනුවත් ක්‍රියා කලාපයෙනි. වසංගතය උග්‍ර කෙරෙන තතු තුල මුල් පෙල සිට ඊට මුහුන දෙමින් මෙම ආන්ඩුවේ ප්‍රහාරයට ලක්ව සිටින සෞඛ්‍ය සේවකයෝ ආන්ඩුව කෙරේ පවතින වෛරයෙන් මැඩී සිටිති.

වසරකට ආසන්න පසුගිය කාලය පුරා කම්කරුවන්ගෙන් ප්‍රකාශයට පත්වන මෙම සාධාරන වෛරය, ක්‍රමානුකූලව වාෂ්ප කර හැරීම සඳහා පාර්ශ්විකව හා ශ්‍රේනිගතව මෙන්ම කට්ටිවාදීව විරෝධතා දැක්වීමට ව්‍යාජ වම ඇතුලු වෘත්තීය සමිති ක්‍රියා කර ඇත. අනෙකුත් ද්‍රෝහී සමිති වලට එරෙහිව සටන්කාමී අරගල කරන සමිතියක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඒ්කාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, කනිෂ්ඨ කාර්ය මන්ඩල කම්කරුවන්ගේ වසරකට ආසන්න සටන තුල ක්‍රියා කර ඇත්තේ ඊට කිසිසේත්ම වෙනස්ව නොවේ.

ආන්ඩුවට පීඩනය යොදා ඉල්ලීම් දිනාගත හැකි වෙතැයි පැවසෙන විරෝධතා ක්‍රියා මාර්ගයන්හි කම්කරුවන් සිරකොට හෙම්බත් කිරීමෙන් ඔවුන්ගේ සටන් ශක්තිය දියකර හැරීම එහි පිලිවෙතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට, මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති කාර්යාලයට පා ගමන් සංවීධානය කිරීම මෙම සත්‍යග්‍රහයට පෙර එම සමිතියේ වැඩපිලිවෙල විය. මෙම පා ගමන් හුදු පුස්සක් බව හැම පා ගමනක අවසානයේම සමිති නායකයන්ට ම ප්‍රකාශ කිරීමට සිදුවිය. දුසිම් ගනනක් ලිපි ලියා, එවන් විරෝධතා ගනනාවක් කලද ඉල්ලීම් කිසිවක් ලබා නොදීම ගැන ඔවුහු ධනපති ආන්ඩුවට දොස් කියමින් සිටිති.

එසේ දොස් නගන ගමන්ම පෙසප ඇතුලු ව්‍යාජ වම්මුන් කම්කරුවන්ට පුන පුනා කියන්නේ ධනපති ආන්ඩුව අද නැත්නම් හෙට කම්කරුවන්ගේ ප්‍රශ්න විසඳා දීමට මැදිහත් වන බැවින් එතෙක් ආන්ඩුවට එක දිගටම බලපෑම් දමමින් රස්තියාදු විය යුතු බවයි.

මෙලෙස කම්කරුවන්ගේ වෛරය වාෂ්ප කිරීමට වෘත්තීය සමිති හා ව්‍යාජ වමේ පක්ෂ ක්‍රියා කරමින් සිටින ඉස්පාසුව යොදා ගනිමින් අර්බුදග්‍රස්ත රාජපක්ෂ ආන්ඩුව ලොව අනෙකුත් ධනපති ආන්ඩු මෙන්ම කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනයා මැඩීම සඳහා පොලිසිය හා මිලිටරිය මෙන්ම රුදුරු මර්දන නීති යොදා ගනිමින් වැඩට බැස තිබේ.

මෙම තත්වය කම්කරු පන්තියට තියුනු අනතුරු ඇඟවීමකි. සෞඛ්‍ය කම්කරුවන්ගේ සාමකාමී විරෝධතාවට එරෙහිව මෙම පොලිස් මර්දනය දිගේලි කර ඇත්තේ ජූනි 2දින රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සෞඛ්‍ය සේවයද 'අත්‍යවශ්‍ය සේවාවක්' බවට පත්කල නියෝග සමඟය.

අත්‍යවශ්‍ය සේවා නියෝග අනුව වැඩ වැරීමේ යෙදුනොත් දොට්ට දැමීමට අමතරව රුපියල් 2,000 හා 5,000 අතර දඩ, වසර දෙකේ සිට පහ දක්වා වන “බරපතල වැඩ සහිත සිර දඬුවම්,” “චංචල හා නිශ්චල දේපොල” රජය සන්තක කිරීම මෙන්ම වෘත්තීයමය බලපත්‍ර ඉවත් කිරීමට ද බඳුන්වේ.

මෙම දරුනු මර්දනකාරී නියෝග පනවා ඇත්තේ සෞඛ්‍ය කම්කරුවන් ඇතුලු දස ලක්ෂයක් පමන වන රාජ්‍ය සේවකයින් ගේ ව්‍යවස්ථාපිත මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වන පරිදිය. රාජපක්ෂ ආන්ඩුව වසංගතය මධ්‍යයේ උග්‍රවන ධනේශ්වර අර්බුදය කම්කරු පන්තිය මත පටවා එයට එරෙහිව නැගී සිටින කම්කරුවන් තලා දැමීම සඳහා තහවුරු කරමින් සිටින මිලිටරිය මත පදනම්වූ ජනාධිපති ආඥාදායකත්වයේ රුදුරු බව මින් හැඟවේ.

කම්කරු පන්තියට එල්ල කර ඇති මෙම රුදුරු මර්දනකාරී නීති පිලිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු කිසිම විරුද්ධ පක්ෂයක් විරුද්ධත්වය දක්වා නැති අතර අවම වශයෙන් ඒ් පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමට හෝ පියවර ගෙන නැත. මෙහි අර්ථය, රාජපක්ෂ ආන්ඩුව සංවිධානාත්මකව දියත් කරමින් සිටින මර්දනයට කම්කරු පන්තිය යට කර දීමේ වැඩ පිලිවෙලක වෘත්තීය සමිති ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ නිරත වී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් පොලොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය කම්කරුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූවේ “වෘත්තීය සමිති වැඩ කරන්නේ මෙම අන්තරායන් කම්කරුවන්ගෙන් වහංගු කරමින් ආන්ඩුව හා මේ ක්‍රමය ආරක්ෂා කරන්න. කම්කරුවන් වන අප තමයි ඉන් ප්‍රහාරයට ලක් වනවා ඇත්තේ. ඒ් නිසා මේ තත්වය ගැන කම්කරුවන් වන අප බැරෑරුම්ව සලකා බැලිය යුතුයි” යනුවෙනි.

කම්කරු පන්තිය සිය විප්ලවවාදී ශක්තිය මුදා හැරීම සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඒ්කාබද්ධ වීම තීරනාත්මක වී තිබේ. එලෙස මෙම මර්දනයට මුහුන දීම සඳහා කම්කරු පන්තියට කැඳවුම් කරන වැඩ පිලිවෙල වන්නේ කම්කරුවන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානයක් ගොඩ නැගීමයි.

Loading