කොවිඩ් මරන සහ ආසාදන වේගයෙන් ඉහල යද්දී ආන්ඩුව සීමිත සංචරන සීමා පවා ඉවත් කිරීමට තීන්දු කරයි

(යාවත්කාලීන කිරීම: ආන්ඩුව පෙර තීරනය වෙනස් කරමින් ජූනි 21 අලුයම 4.00 තෙක්   සංචරන සීමා දීර්ඝ කර ඇත. මෙම ලිපිය පල කෙරුනේ ආන්ඩුවේ නව තීරනය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීමට පෙරාතුවය.)

ජූනි 14 වන සඳුදා සිට සමස්ත දිවයිනට පනවා ඇති 'සංචරන සීමා' ඉවත් කිරීමට ආන්ඩුව තීන්දු කර ඇති බව, කොවිඩ්-19 ව්‍යාප්තිය වැලැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. ආන්ඩුව මෙම පියවර ගෙන ඇත්තේ, සතියකට වාර්තා වන කොවිඩ්-19 මරන සංඛ්‍යාව සියයට 28 කින් සහ ආසාදන සංඛ්‍යාව සියයට 12 කින් ඉහල යන ව්‍යසනකාරී තත්වයක් වර්ධනය වී පවතින තතු තුල, සංචරන සීමා වඩාත් දැඩි කරන ලෙස ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කරන ලද ඉල්ලීම මුලුමනින්ම ප්‍රතික්ෂේප කරමිනි.

එන්නත්කරනය ගම්පොල රෝහලේ දී

ඊයේ දිනයේ පමනක් වාර්තාවූ මරන සංඛ්‍යාව 101 ක් වන අතර එය මෙතෙක් එක් දිනක් තුල වාර්තාවූ ඉහලම කොවිඩ් මරන සංඛ්‍යාවයි. ජූනි 04 සිට ‌ජූනි 10 දක්වා සතියේ දෛනිකව වාර්තා වූ මරන සංඛ්‍යාව පිලිවෙලින්, 48, 40, 42, 51, 55, 66 සහ 101 වෙයි. එම සතියේ දෛනික කොවිඩ් මරනවල සාමාන්‍යය 58 ක් සහ දෛනික ආසාදනයන්ගේ සාමාන්‍යය 2978 කි. මැයි 27 සිට ජූනි 09 දක්වා වන සති දෙකක කාලය තුල පමනක් නව ආසාදන 41,273ක් හඳුනාගෙන ඇත. සමස්ත ආසාදන සහ මරන සංඛ්‍යා පිලිවෙලින් 218,872 සහ 2,011ක් වෙයි.

ව්‍යසනය මෙලෙස වර්ධනය වෙද්දී ආන්ඩුව දිගින් දිගටම කියා සිටියේ 'රටේ ආර්ථිකයට හානිවන' ජාතික අගුලු දැමීමක් සිදු නොකරන බව සහ 'අවශ්‍යවුවහොත් පමනක්' සංචරන සීමා පනවන බවයි. ආන්ඩුවේ 'සංචරන සීමාවන්ගේ' ව්‍යාජභාවය කෙ‌තෙක් ද යත්, ඒවා පනවන ලද්දේමත් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා අඛන්ඩව විවෘතව තබා ගනිමින් ඒවායේ සේවයේ නියුතු ලක්ෂ සංඛ්‍යාත ජනයාට රැකියාව සඳහා සංචරනය වීමේ අත්‍යවශ්‍යභාවය වෛෂයිකව නිර්මානය කරමිනි.

'රටේ ආර්ථිකය' යනු, මහධනපතියන්ට ලාභය සමුච්ඡය කරදෙන ආර්ථික ක්‍රියාවලිය මිස අන් කිසිවක් නොවේ. එය ආරක්ෂා කිරීම සඳහා මිනිස් ජීවිත පරදුවට තැබීම, එක්සත් ජනපදයේ සිට ඉන්දියාව දක්වා වන ලොවපුරා පාලක පංතීන්ගේ පිලිවෙත වන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුයන්නේ ද එයයි.

අත්‍යවශ්‍ය නොවන සියලු නිෂ්පාදන සහ පාසල් ඇතුලු සියලු අධ්‍යාපන ආයතන වසා දැමීම මෙන්ම, ආසාදිතයන් හඳුනා ගැනීමේ අහඹු පරීක්ෂන දැවැන්ත පරිමානව ඉහල දැමීම වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අත්‍යවශ්‍ය පියවර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වසංගත රෝග විශේෂඥයන් කල නිර්දේශ මෙම පාලකයන් ඉවත දැමුවේ ඒවා ක්‍රියාත්මක කලහොත්, ඉහත ලාභෝත්පාදනයට බාධා පැමිනෙන බැවිනි.

කෙසේ නමුත්, රෝහල් පද්ධතිය දසදහස් ගනන් රෝගීන්ගෙන් පිරී ඉතිරී දුසිම් ගනනින් දෛනිකව මියයාම හේතුවෙන් ආන්ඩුවට එරෙහි මහජන විරෝධය පුපුරනසුලු මට්ටම් වලට නැගී ඇත. ආන්ඩුවේ විද්‍යා-විරෝධී සහ මානව-විරෝධී පියවර සම්බන්ධයෙන් විශේෂඥයන් විසින් ඉදිරිපත් කරන අනාවරනයන් සහ විවේචනයන් මෙම මහජන විරෝධය වර්ධනය කිරිමේ ලා, යම් කාර්යභාරයක් ඉටු කරන බවට උත්සුක වූ ජනාධිපති රාජපක්ෂ ඔවුන් කැඳවා, විවේචන සහ අදහස් ඇතොත් මාධ්‍යයට නොපවසා තමාට පවසන ලෙස තර්ජනය කලේය.

එම තර්ජනය හමුවේ විශේෂඥයන් තුලින් යම් සීමා වීමක් ප්‍රකාශයට පත් වුවද, ඔවුන් වරින්වර වැදගත් කරුනු අනාවරනය කරයි. ඊයේ ද අයිලන්ඩ් පුවත්පතට, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රවි රන්නන්-එලිය එවැනි අනාවරනයක් කර තිබේ.

ආන්ඩුව විසින් දිගින් දිගටම ජාතික පරිමාන අගුලු දැමීමක් ප්‍රතික්‌ෂේප කිරීමට එරෙහිව ඔහු කියා සිටින්නේ, 'වසංගතයේ ඉහල සම්ප්‍රේෂන රේට්ටුවක් පවතිද්දී, ඉහල රේට්ටුවක පරීක්ෂන සහ හුදකලා කිරිම් සමඟ සති 6-8 අතර කාලයක් තුල ඵලදායී අගුළු දැමීමක් සිදුකලහොත් පුපුරා යාමක් සම්පූර්නයෙන්ම නැවැත්විය හැකි' බවයි.

'ආක්‍රමනශීලී පරීක්ෂාවකින් තොරව, අගුලු දැමීම හොඳින් ක්‍රියාත්මක කිරීමට අපහසුය. තථ්‍ය පැතිරීම සැබැවින්ම (නිල ප්‍රක්ෂේපනයට) වඩා වැඩි වීමට ඉඩ ඇතැ යි මම සිතමි, මෙය පරීක්ෂන අඩු කිරීමෙන් සැඟවී ඇත. පරීක්ෂන ගනනට සාපේක්ෂව හඳුනා ගැනෙන රෝගීන්ගේ අනුපාතය වැඩිවෙද්දී දෛනිකව වාර්තාවන රෝගීන් ගනන 3,000 අගය වටා නියතව පැවතීම මේ පිලිබඳ සාක්ෂියකි.'

ලංකාදීප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙන ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුනරත්න ද රන්නන්-එලිය ට සමාන අදහසක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාව තුල දෛනිකව හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව මාසයක් වැනි කෙටි කාලයකදී දෙගුනයක් වී ඇතැයි පවසන ඇය, 'එය ඍජුවම සෞඛ්‍ය පහසුකම්වල ධාරිතාවට ද බලපෑම්' කරන බව පෙන්වා දෙයි.

දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාත්මකව ඉහල දමමින් ආසාදිතයන් හඳුනා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීම සෞඛ්‍ය අංශයේ අවධාරනය වන නමුත්, පරීක්ෂන ක්‍රියාවලියේ සංගතභාවයක් නිරීක්ෂනය නොවන බව ඇය තවදුරටත් කියා ඇත. පසුගිය කාලයේදී දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව 15,000 දක්වා සංඛ්‍යාත්මකව අඩු කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල ද ඇය පල කර තිබුනි.

පරීක්ෂන වාර්තා පමාවීම වසංගතයේ ව්‍යාප්තියට බලපාන තවත් හේතුවක් බව ද වෛද්‍ය ගුනරත්න පෙන්වා දෙයි. 'රෝගියා හඳුනා ගැනීම කල් යෑම යනු ඔහු නිරෝධායනය කිරීම ද කල් යෑමය. එහි ප්‍රතිඵලය වන්නේ ඔහු රෝගියකු යැයි හඳුනා ගන්නා විටදීත් බොහෝ දෙනකුට රෝගය ව්‍යාප්ත කර තිබීමය. මෙසේ පීසීආර් පරීක්ෂන වාර්තා පමා වනවිට අදාල ප්‍රදේශය වසා දැමීමට තීරනයක් ගැනෙන්නේ ද පමා වීය. එවිට අදාල ආසාදිතයන් බොහෝ තැන්වල ගමන් කර අවසන්ය.'

පරීක්ෂන පමාවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා භෞතික සහ මානව සම්පත් හිඟයේ ප්‍රතිඵලයකි. පසුගිය දශක කීපය තුල පැවති අනුප්‍රාප්තික ආන්ඩු සියල්ල අඛන්ඩව සිදු කරන ලද කප්පාදු හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම ගරාවැටී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයමත් මෙවන් වසංගතයක් පැන නැගිය හැකි බවට වසර ගනනාවකට පෙර අනතුරු අඟවමින් එයට මුහුන දියහැකි පරිදි සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුනු කරන ලෙස ලොවපුරා ආන්ඩු වලට දෙනලද උපදෙස් ලංකාවේ ආන්ඩු ද ඇතුලු ලොවපුරා ආන්ඩු මුලුමනින්ම නොතකා හැරියහ.

අවම වශයෙන් වසංගතය පැන නැගීමෙන් පසුවද සෞඛ්‍ය ධාරිතාව නැංවීමට මෙම ආන්ඩු කිසිවක් නොකල තරම් ය. රාජපක්ෂ ආන්ඩුව පෙර වසරට සාපේක්ෂව සෞඛ්‍ය වියදම රුපියල් බිලියන 29 කින් කපා දැමීය.

මෙම තතු තුල, වේගයෙන් පැතිර යන කොවිඩ්-19 වෛරස ප්‍රභේදයක් වන, බ්‍රිතාන්‍යයේ B.1.1.7 හෙවත් ඇල්ෆා ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ නවයකින් හඳුනාගත් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති සහ සෛල ජීව විද්‍යා ඒකකයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර ඉයේ ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනි. කොලඹ, ත්‍රිකුනාමලය, මඩකලපුව, කුලියාපිටිය, වාරියපොල, හබරාදුව, තිස්සමහාරාම, කරාපිටිය සහ රාගම යන එම ප්‍රදේශ, දිවයිනේ විවිධ පලාත් වලට අයත් වන අතර ඉන් ගම්‍ය වන්නේ එම ප්‍රභේදය දිවයින පුරා පැතිර ඇති බවයි.

වසංගත ව්‍යාප්තිය පිලිබඳ වඩාත් නිරවද්‍ය චිත්‍රයක් ඇතිකර ගත හැක්කේ අහඹු පරික්ෂන සංඛ්‍යාව ඉහලම අගයක පවත්වා ගැනීමෙන් පමනක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කෙසේ නමුත්, දැනට කෙරෙන සීමිත පරීක්ෂන සංඛ්‍යාවෙන් පවා අතිමහත් බහුතරය යොමු කෙරී පවතින්නේ අහඹු පරික්ෂන වලට නොව ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන අයගේ පලමු ආශ්‍රිතයන් වෙතය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශයමත් පෙන්වා දෙන පරිදි, ආසාදිතයන් බවට හඳුනා ගැනෙන අයගෙන් සියයට 91 ක්, නිරෝධායනයට ලක් කෙරුනු අය වීමයි.

මෙම ක්‍රමවේදයන්ගේ අවසාන ඉලක්කය වී ඇත්තේ වසංගතයේ සැබෑ ව්‍යාප්තිය හැකි තරම් වසන් කොට, කම්කරුවන් වැඩට දැක්කීම සහ පාසල් හැකි ඉක්මනින් විවෘත කර දරුවන් පාසල්තුල ගාල් කිරීමයි. සීමිත සංචරන සීමා පවා ඉවත් කරන්නේ, වසංගතය හීන වී යන බවට කෙරෙන මෙම මවාපෑම් යොදා ගනිමිනි.

ආන්ඩුව ධනපතියන්ගේ ලාභය වෙනුවෙන් මහජනතාවගේ ජීවිත මෙලෙස වසංගතයට බිලිදෙන අතරේ, වසංගත ව්‍යාප්තියේ වගකීම මහජනතාව මත පැටවීම සඳහා, ඊනියා නිරෝධායන නීති කඩ කරන්නන් ‌ලෙස මහජනතාව කොටුකර ගැනීමේ පොලිස් මෙහෙයුම දිගටම ගෙන යමින් පවතී. මේ යටතේ දහසකට අධික සංඛ්‍යාවක් දෛනිකව අත්අඩංගුවට ගැනෙන අතර ඔවුහු පොලිස් අඩන්තේට්ටම් වලට නිරන්තරව ගොදුරු වෙති.

මේ අතර, වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයන් බවට පත්ව ඇති ඇඟලුම් කම්හල් තුල සහ අනෙකුත් වැඩපොලවල ආසාදිතයන් වඩවඩාත් වාර්තා වෙමින් පවතී. නෙල්නා කුකුල් මස් නිෂ්පාදන සමාගමට අයත්, රන්වල, මීතිරිගල පිහිටි කම්හලක 300 ක් වන සමස්ත සේවකයන්ගෙන් 92 ක් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් පසුව එය වසා දැමීමට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ඊයේ පියවරගෙන ඇත.

ඒවායේ සේවයේ යෙදෙන කම්කරුවන් පමනක් නොව, ඔවුනගේ පවුල් සහ අසල්වැසියන් ද රෝගයට බිලිදෙමින් ඇඟලුම් වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් අතර වැඩී ඇත්තේ බලගතු විරෝධයකි. මෙම විරෝධතා හේතුවෙන් කම්හල් කීපයක්ම වසා දමන්නට සිදුවිය.

මෙම විරෝධතා සම්බන්ධයෙන් උත්සුක වූ ජනාධිපති රාජපක්ෂ ජූනි 02 දා පලාත් ආන්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවා, “පුද්ගලයෙක් ආසාදනය වූ වහාම කර්මාන්තශාලාවක් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් වසා දැමීම වෙනුවට සෞඛ්‍ය රෙකමදාරුවලට අනුව බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ හැකියාව සොයා බැලිය යුතු” බවට උපදෙස් දුන්නේ ය. 'පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි' බව ඔහු පැවසීය. රාජපක්ෂ නරුම ලෙස කියා සිටින්නේ කම්කරු-පීඩිත මහජනතාව බිලි දී හෝ මෙම 'ආර්ථිකය' රැකිය යුතු බවයි.

එන්නත්කරනය ගැන කතා කරමින් රාජපක්ෂ පැවසුවේ 'විද්‍යානුකූලව හා නිසි සැලැස්මකට අනුව එම ක්‍රියාවලිය සිදු කෙරෙන' බවයි. ඔහුගේ පම්පෝරියට විපරීතව, වසංගතයට එරෙහි මෙහෙයුමේ ඉදිරිපෙල සේවකයන්ගෙන් සුවිසල් සංඛ්‍යාවකට මෙතෙකුදු එන්නත ලබා දී නොමැත. වසංගත රෝග විශේෂඥයන් විසින් යෝජනා කල විද්‍යාත්මක ප්‍රමුඛතාවය ඉවත දමා හිතපක්ෂපාතකම් වලට ප්‍රමුඛතාව දීම හේතුවෙන් සමස්ත එන්නත්කරනයම අවිධිමත් වී ඇත. ඇස්ට්‍රා-සෙනිකා පලමු මාත්‍රාව ලබාගත් ලක්ෂ හයක ජනතාවකට දෙවන මාත්‍රාව ලබාදීමේ කාලය ඉකුත්ව යන නමුත්, එය ලබාදීමේ නිශ්චිත වැඩපිලිවෙලක් මෙතෙකුදු නොමැත.

මෙම පසුබිම තුල, පිරිතිරී යන රෝහල් තුල අතිමහත් වැඩ කන්දරාවෙන් මිරිකී සිටින සෞඛ්‍ය සේවකයෝ, අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂන උපකරන, කොවිඩ් එන්නත සහ ප්‍රවාහන පහසුකම් ලබා නොදීමට එරෙහිව නිරන්තරව අරගලයට ඇදෙමින් සිටිති. ගෝලීය වසංගතය තුල, පාලකයන්ගේ එක සමාන සාපරාධී පිලි‌වෙත්වලට මෙන්ම, සමාන රැකියා සහ ජීවන කොන්දේසි වලට මුහුන දෙම්න් සිටින ලොවපුරා කම්කරුවන් අතර දශක ගනනාවකින් නොදුටු සටන්කාමිත්වයක් ද එකමුතුවක් ද වර්ධනය වෙමින් පවතී.

සමාජවාදී සමානතා පක්ෂය සහ එයට නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කම්ටුව අවධාරනය කරන පරිදි, ජාත්‍යන්තර කම්කරු පංතියේ ගෝලීය ප්‍ර‍තිප්‍ර‍හාරයකින් තොරව, වසංගතය මෙන්ම, තම රැකියා සහ ජීවන කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරයන් පරාජය කල නොහැක. ලොවපුරා කම්කරු පංතික අරගලයන්‌ වෛෂයිකව යොමුවී ඇත්තේ ඒ දෙසටයි.

Loading