බහාලුම් නැවේ ගින්න ලංකාව තුල පාරිසරික විනාශයක් ඇති කරයි

[පහතින් පලවෙන්නේ Container ship fire produces ecological catastrophe in Sri Lanka  මැයෙන් 2021 ජුනි 10, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ  ලිපියේ පරිවර්තනයයි.]

කොලඹ වරායට ඇතුලු වීමේ අපේක්ෂාවෙන් සිටි එක්ස්ප්‍රස් පර්ල් නැව තුල, රසායනික කාන්දුවක් හේතුවෙන් මැයි 20දා ගින්නක් ඇති විය. පසුගිය වසර තුල ශ්‍රී ලංකාවේ මුහුදේ දී සිදු වූ දෙවන මහා පරිමාන බහාලුම් නැව් අනතුර මෙයයි, 

ගින්න නිවීමට දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක  වී, ලංකාවේ බටහිර වෙරලෙන් නාවික සැතපුම් 10ක් පමන දුර නැව ගිලී ගියේ, පරිසරයට, ධීවර කර්මාන්තයට හා වෙරලබඩ ප්‍රජාවගේ සෞඛ්‍යයට බරපතල ගැටලු ඇති කරමිනි.

ගිලී යාමට පෙර ගින්නෙන් හානි වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (චායා රූපය: ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

පසුගිය සැප්තැම්බරයේ, එම්.වී. ඩයමන්ඩ් නමැති සුපිරි නෞකාව ශ්‍රී ලංකාවේ දකුනු වෙරලට ඔබ්බේ දී ගිනි ගත්තේ ය. නැව ඇදගන යනු ලැබීමට පෙර, දූෂිත ජලය හා තෙල් මුහුදට මුදා හරිමින් දවස් ගනනක් තිස්සේ ගින්න පැතිරී ගියේ ය.

මෙම සිදුවීම් දෙක, ගෝලීය නාවික කර්මාන්තයේ සුරක්ශිතතාව පිලිබදව ඇති වී ඇති ගැටලු හා එම කර්මාන්තය මත ආධිපත්‍යය දරන සංගත සහ ජාතික ආන්ඩු මහජන ජීවිතය සමුද්‍ර පරිසරය සම්බන්ධයෙන් දක්වන සාපරාධී නො තකා හැරීම ද ප්‍රදර්ශනය කරයි.

වාර්තා වන ආකාරයට, සිංගප්පූරුවේ ලියාපදින්චි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මන්ඩලය, නැව අරාබි මුහුදේ තිබිය දී, බහාලුමකින් නයිට්‍රික් අම්ලය කාන්දු වන බව සොයා ගෙන ඇත. ගැටලුවට තුඩු දුන් බහාලුම ගොඩබෑම සඳහා කටාර් රාජ්‍යයේ හමාද් වරායෙන් හා ඉන්දියාවේ හරිසා වරායෙන් ඔවුහු අවසර ඉල්ලා සිටිය හ. එම ඉල්ලීම වරායන් දෙක ම විසින් ප්‍රතික්ෂේප කලේ, ගැටලුව පාලනය කිරීම සඳහා අවශ්‍ය හැකියාව ඒවාට නැති බව කියමිනි.

දැනට ලංකාවේ පොලිස් අත්අඩංගුවේ සිටින නැවේ කපිතාන්වරයා, කොලඹ වරායේ බලධාරීන්ට කාන්දු වන බහාලුම් පිලිබඳව දැනුම් දුන් බව කියයි. නමුත් කොලඹ වරායේ හාබර් මාස්ටර් වන නිර්මාල් සිල්වා පවසන්නේ, නැව ගිනි ගන්නා තෙක් එවන් දැනුම් දීමක් තමන්ට නො ලැබුනු බව,.

නයිට්‍රික් අම්ලය ටොන් 25ක් හා අනෙකුත් ගිනි ගන්නාසුලු ද්‍රව්‍ය කාන්දු වුනු බහාලුමේ තිබුනි. වරාය බලධාරීන් හා ශ්‍රී ලංකාවේ ආන්ඩුව, එක්කෝ නැව තුල ඇති අනතුර තක්සේරු කිරීමට අසමත් වූ බව හෝ එසේ නැතහොත් එය නො සැලකිලිමත් ලෙස අවතක්සේරු කල බව ඉතා පැහැදිලි ය. 

මුහුදු ජලය හා රසායනික කුඩු යොදාගනිමින්, වරාය බලධාරීන් හා ශ්‍රී ලංකා නාවික හමුදාව ගින්න නිවීමට උත්සාහ කරමින් දින දෙකක් ගත කල අතර, එහි දී තුවාල හේතුවෙන් පීඩා විඳිමින් සිටි දෙදෙනෙක් ඇතුලු, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මන්ඩලයේ 25 දෙනෙකු මුදා ගැනුනි. එහෙත්, විනාශය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ධාරිතාවක් නො තිබුනු බව ආරම්භයේ පටන් ම පැහැදිලි වූ අතර, ජාත්‍යන්තර සහයෝගය ලැබීමට දවස් ගනනක් ගත විය.

නෙදර්ලන්තයේ ස්මිට් සමාගමේ ගලවා ගැනීමේ කම්කරුවන්, ගින්න ආරම්භ වීමෙන් දින පහකට පසු මැයි 24දා පැමිනි අතර, ඉන්දීය නාවික හමුදාවේ ආධාරය මැයි 27දා තෙක් ලඟා නො වී ය. ගින්න මැඩ පැවැත්වීමට ඔවුන් ද අසමත් වූ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැව ලංකාවේ මුහුදෙන් පිටතට ඇදගෙන යන ලෙස නියෝග කලේ ය. නෞකාවේ කොටසක් ගිලී ගොස් මුහුදු පතුලේ ඇමිනීම හේතුවෙන් නැව තව දුරටත් ඇදගෙන යා නො හැකි වූ තතු තුල මෙය ද අසාර්ථක විය.

ලංකාවේ බටහිර මුහුදු වෙරල දූෂනය කරන රොඩු බොඩු හා ප්ලාස්ටික් කැට (ස්තුතිය: සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරිය)

නර්ඩ්ල්ස් නමින් හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් කැට අඩංගු  බහාලුම් කිහිපයක් ගින්න හේතුවෙන් බිඳී විවෘත වූයේ, කැට ටොන් කිහිපයක් මුහුදට පිටාර ගලා යමින් හා රටෙහි බටහිර වෙරලේ කිලෝමීටර පහක් හා උදම් රල පවතින ප්‍රදේශ විසිර යමිනි. මියගිය මාලුන්, විරූපනය වූ කැස්බෑවන් හා මුහුදු කුරුල්ලන් දහස් ගනනක් වෙරලට ගසාගෙන පැමින ඇති අතර, ඔවුන්ගෙන් සමහරකගේ පැහැදිලි අම්ල පිලිස්සීම් සලකුනු  හා ශ්වසන හා ආහාර ජීර්න මාර්ග තුල හා ප්ලාස්ටික් කැට දක්නට ලැබිනි.

මුහුදේ දී බහාලුම් 1,400කට අධික ප්‍රමානයක් තිබුනු නෞකාව, දැන් ප්ලාස්ටික් කැට ටොන් 6,000ට වැඩි ගනනක්, ඉන්ධන හා ලිහිසි තෙල් ටොන් 500ක් හා විවිධ නැව් බඩු ටොන් 6,000ක් සමගින් ගිලී ගොස් ඇත. ගිලෙන නෞකාවෙන් කාන්දු වන අඳුරු දියර ධාරා, ඡායාරූප වලින් පෙන්නුම් කරන අතර, සම්පූර්න විශ්ලේෂනයකින් තොර ව, නිවැරදි රසායනික සංයුතිය නීර්නය කල නො හැක.

සිදු විය හැකි යෝධ පරිමානයේ තෙල් කාන්දු වීමක් හා ප්ලාස්ටික් කැට වැඩි වැඩියෙන් නිදහස් වීමක් පිලිබඳව ඉදිරි පෙලේ විද්‍යාඥයින් හා පාරිසරික ක්‍රියාකාරීන් අනතුරු අඟවා ඇති අතර, එම සිදුවීම් දෙක ම වෙරලබඩ ජීවිතයට සහ වෙරල අසල ධීවර කර්මාන්තයට දීර්ඝ හා මධ්‍ය කාලීනව අතිශයින් ම උපද්‍රවකාරී වේ.

එක්ස්ප්‍රස් පීඩර්ස් නැව් සමාගම හෝ ශ්‍රී ලංකාවේ බලධාරීන්, නැවේ බඩු බාහිරාදිය පිලිබඳව සම්පූර්න භාන්ඩ ලයිස්තුවක් තවමත් නිකුත් කර නැත. බොහෝ පරිසරවේදීන් විශ්වාස කරන පරිදි, නැව තුල උපද්‍රවකාරී රසායන ද්‍රව්‍යවල විශාල තොග තිබුන හොත්, එමගින් ඉදිරියේ එලඹෙන මාස ගනනක් නොහොත් වසර ගනනක් පුරා අඛන්ඩව වෙරලබඩ පරිසරය දූෂනය කරනු ඇත.

අන්තර්ජාල සාකච්ඡාවක දී, පාර්ලි ෆෝ ද ඕෂන්ස් සංවිධානයේ  ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ආචාර්ය ඉරුෂිනී වෙදගේ අනතුරු ඇඟවූ පරිදි, බහු-ක්ලෝරිනීකෘත ද්වි-පීනයිල් (පීසීබී) හා සමහර බැර ලෝහ -මේ දෙවර්ගය ම කාර්මික රසායන ද්‍රව්‍ය තුල පවතී- ප්ලාස්ටික් උන්ඩවලට හා කාබනික අංශුවලට සම්බන්ධ වී, මාලුන්ගේ හා ඉස්සන් පොකිරිස්සන් ආදී සතුගේ ආහාර දාම තුලට ඇතුලු වී, මුහුදු ආහාර විශ සහිත වීමට හේතුවිය හැක.

මාධ්‍යවලට අනුව, 4,500ට අධික දේශීය ධීවරයන් පිරිසක්, ඔවුන්ගේ ජීවිකාවන් බරපතල ලෙස හා ක්ෂනික ව කඩාක්පපල් වීම දැනටම් අත්විඳ ඇත. මීගමුව හා පානදුර අතර බටහිර වෙරල තීරයේ ධීවර කර්මාන්තය දැන් තහනම් කර ඇති අතර, එය, ධීවරයින් දසදහස් ගනනකට බලපායි. ධීවර ඇමතිවරයා හිස් පොරොන්දු දුන්න ද ආන්ඩුව කිසිදු වන්දියක් සපයා නැත. ලංකාවේ නිවහන්වල ප්‍රෝටීන් අවශ්‍යතාවන්ගෙන් සියයට 70ට වැඩි ප්‍රමානයක් සපයනු ලබන්නේ මුහුදු ආහාර මගිනි.

ගෝලීය ආහාර සුරක්ෂිතතා වැඩසටහන සහ ජාතික ජලජ සම්පත් අධිකාරිය, ප්‍රදේශයේ ධීවර නිෂ්පාදනය මත ඇති වන දීර්ඝ-කාලීන හානිය පිලිබඳව අනතුරු අඟවා ඇත. මේ පාරිසරික විනාශයේ සමාජ හා ආර්ථික බලපෑම තවමත් නීර්නය කර නැති අතර, මෙම මහා විපත, ඉව බව නැතිව ලාභය ලුහුබඳින ගෝලීය නාවික කර්මාන්තය මගින්, වෙරලබඩ පාරිසරික පද්ධති හා ප්‍රජාවන්, උපද්‍රවයන්ට ගොදුරු වීමේ හැකියාව පැහැදිලිව හෙලිදරව් කර තිබේ.

යෝග්‍ය නො වන බහාලූම් අඩුක් කිරීම් සහ අප්‍රමානවත් හෝ නීති-විරෝධී ලෙස ජාත්‍යන්තර ගිනි ආරක්ෂක පියවරයන් උල්ලංඝනය කිරීම් අනතුරට හේතු විය හැකි කලමනාකරන හා තාක්ෂනික විෂමතා ලෙස විශේෂඥයින් කිහිප දෙනෙක් විසින් ඉස්මතු කර ඇත. ගින්න මැඩපැවැත්වීමට වරාය බලධාරීන් විසින් මුහුදු ජලය යොදා ගැනීම ද උපද්‍රවකාරී සාධකයක් ලෙස ඉස්මතු කර දක්වනු ලැබ තිබේ.

මේ සියලු උත්සුකතා මුලුමනින් ම වලංගු නමුත්, අනෙකුත් පලල් ප්‍රශ්න ද පවතී. පලමුව, අනතුර මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර සහාය ගොනුකර ගැනීමේ දී තිබුනු විනාශකාරී ප්‍රමාදය පවතී. නියමිත කාලයේ දී මැදිහත් වීමක් සිදු කලේ නම්, විනාශය මුලුමනින් ම වැලැක්වීම හෝ සැලකිය යුතු පරිමානයකින් අඩු කල හැකි ව තිබුනි.

දෙවනුව, මෙම හදිසි අනතුර, විශේෂයෙන් ම බහාලුම් නෞකා ගිනිගැනීම් ඇතුලු, නාවික අනතුරුවල ඉහල යන සංඛ්‍යාතය පිලිබඳ තවත් ප්‍රකාශනයකි. පසුගිය නොවැම්බරයේ දී, ගාඩ් නාවික රක්ෂන සමාගම විසින් නිකුත් කල වාර්තාවක්, දැනට සාමාන්‍ය වසයෙන් සෑම සති දෙකකට වරක් මබහලුම් නෞකාවක ගින්න අතිවන බව සටහන් කලේ ය.

පසුගිය දශක කිහිපයේ දී, බහාලූ නෞකා පරිමාවන් යෝධ ලෙස ඉහල ගොස් ඇති අතර, එම තත්ත්වය, කොවිඩ්-19 වසංගතය විසින් ගුවනින් හා ගොඩබිමින් කරන බඩු ප්‍රවාහනයට ඇති කරනු ලබන බාධාවන් විසින් වැඩි දුර උග්‍ර කරනු ලැබේ. ජාත්‍යන්තර බහාලූ ගමනාගමනය මනින, “ගෝලීය බහාලුම් මෙහෙයුම් දර්ශකය” (Global Container Throughput Index), පසුගිය සැප්තැම්බරයේ දී වාර්තාගත ඉහල මට්ටමකට ලඟා විය.

නෞකා සමාගම්, ඔවුන්ගේ ම කාර්ය මන්ඩල හා සමුද්‍ර පරිසරයන් අනතුරේ හෙලමින්, වසංගතය මගින් ඇති කරන විනාශයන් මගින් ලාභ ගරා ගැනීම සඳහා පොර අල්ලමින් සිටී. 400,000ට අධික නාවිකයන්ට, ඔවුන්ගේ නීත්‍යානුකූල මුහුදු රාජකාරී සීමාව වන මාස 11 ඉක්මවා ශ්‍රමය වැගිරීමට බල කරමින්, නාවික කම්කරුවන් ව අනතුරුදායක ලෙස සීමාව ඉක්මවා වැඩෙහි යොදවනු ලබන බව නිකේයි ඒෂියා වෙබ් අඩවිය මෑතක දී නිකුත් කල වාර්තාවක් හෙලිදරව් කලේ ය. වරායවල් වල ඇති නිරෝධායන රෙගුලාසි නිසා, ඔවුන් බහුතරයකට නැවු තුලම මෙම කාලය ගත කිරීමට සිදුවී ඇත.

අද දින බහාලූ ගමනාගමනයෙන් විශාල පංගුවක් සමන්විත වන්නේ, කාර්යක්ෂම නිශ්පාදනය වෙනුවට වඩා ලාභදායී වන්නේ කවරක් ද යන්න මත පදනම්ව, විවිධ ලාභ ශ්‍රම තටාක වලට ලොක ගෝලය වටා කිහිප වරක් ප්‍රවාහනය කරන අමුද්‍රව්‍ය හා භාන්ඩ වලිනි. මෙම ක්‍රියාවලියේ , ඉන්ධන ටොන් මිලියන ගනනක් දහනය කරනු ලැබේ.

අනාරක්ෂිත ලෙස කිලෝමීටර දහස් ගනනක් හරහා නිරන්තරයෙන් ප්‍රවාහනය කරනු ලබන, උපද්‍රවකාරී විය හැකි ද්‍රව්‍ය යෝධ පරිමාවන් විසින් මතුකරන පාරිසරික-සමාජීය අන්තරායන්, වර්තමාන ධනවාදයේ වියරු සහගත හා හානිකර යතාර්ථයේ එක් ප්‍රකාශනයක් පමනි.

Loading