වැඩ වර්ජන සාපරාධීකරනය ගැන ලංකාවේ වෘත්තීය සමිති මාරාන්තික නිහඬතාවක් පවත්වාගෙන යයි

[මෙහි පලවන්නේ Sri Lankan unions maintain deathly silence over criminalisation of industrial action යන මැයෙන් 2021  ජූනි 12 පලවූ ලිපියේ පරිවර්තනයකි.] 

වරාය, ඛනිජ තෙල්, ගෑස්, දුම්රිය හා බස් රථ ප්‍රවාහන අංශ මෙන් ම දිස්ත්‍රික් මට්ටමේ පරිපාලන කාර්යාල, රාජ්‍ය බැංකු, රක්ෂන ආයතන හා රේගුවට සම්බන්ධ සේවා වල කාර්මික ක්‍රියා තහනම් කිරීමට, මින් සති දෙකකට පෙර මැයි 27දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්‍යවශ්‍ය මහජන සේවා පනත ප්‍රකාශයට පත් කලේය.

ජුනි 2දා ඔහු තවත් ආඥාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවය, පාරිභෝගික භාන්ඩ බෙදාහරින රාජ්‍ය ආයතන සහ පලාත් සභා නවයේ සියලු ආන්ඩුවේ කාර්යාල අත්‍යාවශ්‍ය සේවා වලට එකතු කලේ ය.

නුවරඑලිය රෝහලේ කම්කරුවෝ විරෝධතාවේ යෙදෙමින් (ස්තුතිය: කේ. ක්‍රිෂාන්තන්)

වැඩ වර්ජනය කරන හෝ ඕනෑම ආකාරයක කාර්මික ක්‍රියාවක නිරත වන මෙම අංශවල කම්කරුවන්, මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු, “වසර දෙකේ සිට පහ දක්වා වන බරපතල වැඩ සහිත සිර දඬුවමකට හා/හෝ රුපියල් 2,000 සිට 5,000 දක්වා වන දඩයකට” යටත් කල හැකිය. වැරදිකාරයන් වන කම්කරුවන්ගේ නම් ඕනෑම අනාගත රැකියා ලේඛනයකින් ඉවත් කරනු ලබන අතර, ඔවුන් චංචල හා නිශ්චල දේපොල අයත් කරගැනීමට ද භාජනය විය හැක.

“කිසිදු කායික ක්‍රියාවක් හෝ කතාවක් හෝ ලේඛනයක්” මගින් කාර්මික ක්‍රියාවන්ට “පොලඹවන, උසිගන්වන හෝ ධෛර්යමත් කරන” ඕනෑම පුද්ගලයෙකු ද එවැනි ම දඬුවම්වලට යටත් කල හැකිය. එය අදහස් ප්‍රකාශනයේ  හා භාෂනයේ නිදහස සඳහා  ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතීන්ට එල්ල කල ඍජු ප්‍රහාරයකි. රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී මෙම ප්‍රහාරය, හුදෙක් නම් කර ඇති ආයතනවල මිලියනයකට ආසන්න සේවකයන් මත එල්ල කෙරුනු ඍජු ප්‍රහාරයක් පමනක් නො ව, සමස්ත කම්කරු පන්තියට ම තර්ජනයක් ද වෙයි.

මෙම ප්‍රහාරයේ දුර දිග යන ස්වභාවය එසේ වුව ද එකදු වෘත්තීය සමිතියක් හෝ තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට දේශපාලනිකව සූදානම් වන ලෙස තම සාමාජිකයන්ට කැඳවුම් කිරීම තබා මෙම ආඥාවන්ගේ බරපතලකම ඔවුන්ට පැහැදිලි කිරීමක් හෝ  එම පියවරයන් වහා ම ඉවත් කර ගන්නා ලෙස බලකිරීමක් හෝ සිදු කොට නැත.  ලංකාවේ සියලු වෘත්තීය සමිතිවල මාරාන්තික නිශ්ශබ්දතාව වනාහි තථ්‍ය වසයෙන් මෙම ප්‍රතිගාමී නීති අනුමත කිරීමකි.

ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය, පසු දින පැවැත්වීමට සැලසුම් කර තිබූ වැඩ වර්ජනය අවලංගු කරමින් රාජපක්ෂගේ මැයි 27දා ආඥාවට ක්ෂනිකව අවනත විය. ආන්ඩුවේ පියවර ගැන එම සංගමය කිසිවක් කීවේ නැත. කාර්මික ක්‍රියා තහනම් කිරීම පිලිබඳ “කනගාටුව” පල කරමින්, ගුරුවරුන්ගේ, තැපැල් සේවකයන්ගේ සහ සෞඛ්‍ය සේවා සමිති පෙරමුනක නිලධරයෝ  ආකාරගත ප්‍රකාශයක් නිකුත් කල හ.

විරෝධතාවේ යෙදෙන මහනුවර රෝහල් කම්කරුවන් (ලෝසවෙඅ මාධ්‍ය)

 ආන්ඩුවට ගැති වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස), සිය “උත්සුකයන්” මතු කරමින් රාජපක්ෂට ලිපියක් යැවී ය. වර්ජන තහනම “අර්බුදකාරී තත්ත්වයකට හේතුවිය හැකි” බවත්, “අවස්ථාවාදී කන්ඩායම් අත්‍යවශ්‍ය සේවා පනත ඔවුන්ගේ අන්තවාදී උවමනාකම් සඳහා යොදා ගත හැකි” බවත්, එම ලිපියේ සඳහන් වේ.

වෙනත් වචනවලින් කියතොත්, රවෛනිස කනස්සලට පත්ව සිටින්නේ මර්දන නීති පිලිබඳව නො ව, කම්කරු-පන්තික විරෝධය පුපුරා යාමේ දී ආන්ඩුව මුහුන දෙනු ඇති “අර්බුදකාරී තත්ත්වය” පිලිබඳව යි.

කොවිඩ්-19 වසංගතය හා පසුගිය මාස 18 පසු කරමින් එය අඛන්ඩව පැවැතීම, දෙවන ලෝක යුද්ධයේ පටන් නො දුටු විරූ තීව්‍රතාවකින් ගෝලීය ධනවාදයේ අර්බුදය තීව්‍ර කර තිබේ.

අගුලු දැමීමක් සඳහා කවර හෝ පියවරක් ගැනීමට පසුගිය වසරේ මාර්තු 20 තෙක් බලා සිටි ලංකාවේ ආන්ඩුව හා පාලක පන්තිය, මහ ව්‍යාපාරිකයේ ඉල්ලීම්වලට අනුකූලතව දක්වමින්, අප්‍රේල් මැද දී ආර්ථිකය යලි විවෘත කිරීමට නියෝග කල හ. ගෝලීය පාලකයන් සමග පෙලගැසුනු රාජපක්ෂ, මහජනයා “නව සාමාන්‍යය” -එනම් මනුෂ්‍ය ජීවිතවලට වඩා ලාභවලට ප්‍රමුඛත්වය දෙන සාපරාධී “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත- සමග ජීවත් විය යුතු යයි ප්‍රකාශ කලේ ය. 

පසුගිය වසරේ දී කර්මාන්තශාලා හා අනෙකුත් ආයතන විවෘත කිරීමට, ලංකාවේ වෘත්තීය සමිති සම්පූර්නයෙන් සහයෝගය දුන් හ. නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සහ ලංකා වෙලඳ සේවක සමිතිය ඇතුලු වෘත්තීය සමිති හයක් විසින් රාජපක්ෂට අප්‍රේල් මාසයේ දී ලිපියක් යවමින්, “ආර්ථිකය පවත්වාගෙන යාම” සඳහා යලි විවෘත කිරීම අවශ්‍ය බව අනුමත කලේ ය. කම්හල් පවත්වාගෙන යාම පිලිබඳව වෘත්තීය සමිතිවලට පවතින “අත්දැකීම් වල” වාසිය ප්‍රයෝජනයට ගන්නා ලෙස ඔවුන් එම ලිපියෙන් ජනාධිපතිට ආයාචනා කලේ ය.

ඉන්පසු, වෘත්තීය සමිති නිලධාරීන් කම්කරු ඇමතිවරයා හා ජාතික කම්කරු උපදේශක සභාවේ (එන්එල්ඒසී) අනෙකුත් නියෝජිත හාම්පුතුන් හමු වී, සමාගම් මුහුන දෙන දුෂ්කරතාවන් සහ එම ගැටලුවලට මුහුන දීමේ දී වැටුප් හා රැකියා කප්පාදු කිරීම් යොදා ගනු ලැබිය හැක්කේ කෙසේදැයි සාකච්ඡා කල හ.

වැඩ වර්ජන හා අනෙකුත් කාර්මික ක්‍රියා තහනම් කරමින්, රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ දී වරාය කම්කරුවන් මත අත්‍යවශ්‍ය සේවා නියෝගයක් පැනවූ විට ද, ලංකාවේ වෘත්තීය සමිති මුඛ පූට්ටු කරගෙන සිටිය හ.

අලුතින් පනවා අත්‍යවශ්‍ය සේවා පියවරයන්ට වෘත්තීය සමිති දක්වන ප්‍රතිචාරය, ආන්ඩුව හා හාම්පුතුන් සමග ඔවුන්ගේ ඒකාබද්ධතාවේ නව අවධියක් සලකුනු කරයි. මින් තව දුරටත් සනාථ කෙරී ඇත්තේ වෘත්තීය සමිති වනාහි මහ ව්‍යාපාරිකයේ හා ධනපති රාජ්‍යයේ උපකරන බවයි. 

නිල විරුද්ධ පක්ෂ රාජපක්ෂගේ පියවරයන් ගැන වචනයක් හෝ කියා නැත.

කොවිඩ්-19 ආරක්ෂක පියවරයන් ඉල්ලා සිටින අම්පාරේ සෞඛ්‍ය කම්කරුවෝ (මූලාශ්‍රය: ෆේස්බුක්)

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය “සර්ව-පාක්ෂික සම්මේලනයක්” පවත්වන ලෙසට ආන්ඩුවට කන්නලවු කරමින් සිටින අතර, ජනතා විමුක්ති පෙරමුන වසංගතය සමග පොරබැදීම සඳහා පලල් “යාන්ත්‍රනයක්” ඇති කරන ලෙස ඉල්ලා සිටියි. කොරෝනා වෛරස් අර්බුදය මැඩීමට හදිසි සෞඛ්‍ය නීති පනවන්නැයි දෙමල ජාතික සන්ධානය ඉල්ලා ඇත. සුලු උපායාත්මක වෙනස්කම් පැවතිය ද, සත්‍ය වසයෙන් නම් මෙම පක්ෂ ආන්ඩුව සමග සභාගයක සිටිති.

ඒ හා සමාන ව, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය රාජපක්ෂගේ වැඩ වර්ජන තහනම් කිරීම ගැන නිශ්ශබ්ද ය.  පසුගිය මාසයේ එය ජනාධිපතිට, අගමැතිට හා කොවිඩ්-19 වැලැක්වීමේ කාර්ය සාධක බලකායට නායකත්වය දෙන යුද හමුදාපතිට ලියමින්, වසංගතය මැඩපැවැත්වීම සඳහා වැඩ පිලිවෙලක් අවශ්‍ය බවට උපදෙස් දුන්නේ ය.

ලංකාවේ ධනවාදයේ තීව්‍ර වන අර්බුදයට කම්කරුවන් හා දුගීන් කරගැසිය යුතු යයි ජනාධිපති රාජපක්ෂ එකපැහැර අධිෂ්ඨානවත්ව සිටියි. හිතාමතා ම අවතක්සේරු කරන සංඛ්‍යා ලේඛනවලට අනුව පවා දැන් දෛනික මරන සංඛ්‍යාව 100ක් පමන මට්ටමකට ඉහල ගොස්,ආසාදන සංඛ්‍යාව 3,000ක් වීම සිදුවී ඇත්තේ ආන්ඩුවේ සාපරාධී පිලිවෙත් වල ප්‍රතිපලයක් වසයෙනි .

පසුගිය මාස දෙක පුරා කොවිඩ්-19 ආසාදන ඉහල ගොස් තිබුන ද, කම්හල් හා ව්‍යාපෘති දිගටම පවත්වාගෙන යන ලෙසත්, “එක් පුද්ගලයෙක් ආසාදනය වී ඇතැයි සොයාගත්” වහා ම ඒවා වසා නො දමන ලෙසත්, රාජපක්ෂ ගිය සතියේ පලාත් ආන්ඩුකාරවරුන්ට හා දිස්ත්‍රික් පරිපාලන ප්‍රධානීන්ට නියෝග කලේ ය.

පසුගිය සතියේ ලංකා වානිජ මන්ඩලය පැවැත්වූ රැස්වීමක් අමතා රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කලේ ය: “ලංකාවේ ආන්ඩුව ක්‍රියාශීලී මෙන්ම ව්‍යාපාර-ලැදියි. ...ආයෝජන ලබා ගැනීමට ඉතා කැමැත්තෙන් සිටින අපි” “ප්‍රතිපත්ති ස්ථාවරත්වය සම්පාදනය කරනවා."

රාජපක්ෂගේ අත්‍යවශ්‍ය සේවා වැඩ වර්ජන තහනම, ඔහුගේ ආන්ඩුව පන්ති අරගල අනුකම්පා විරහිතව මඩින බවටත්, ආයෝජක ලාභ ආරක්ෂා කරන බවටත්, ජාත්‍යන්තර ආයෝජකයන්ට දෙන පැහැදිලි පනිවුඩයකි. ජනාධිපති ආඥාදායකත්වයක් කරා ඔහුගේ පියවරවල තවත් අවධියක් ද එමගින් සලකුනු කෙරෙයි.

බලයට පැමිනි තැන් පටන්, රාජපක්ෂ මූලික පරිපාලන තනතුරුවලට සේවයේ සිටින හා විශ්‍රාමික ජෙනරාල්වරුන් පත්කර ඇත. අප්‍රේල් මාසයේ දී, ඔහු රටෙහි දිස්ත්‍රික්ක 25ට සම්බන්ධීකාරකවරුන් ලෙස සන්නද්ධ හමුදා නිලධාරීන් පත්කලේ, “නීතිය හා සාමය” පවත්වාගෙන යාමේ නාමයෙන් සොල්දාදුවන් සීරුවෙන් තබමිනි.

සෑම රටක ම පාලක පන්ති මෙන්ම රාජපක්ෂ ආන්ඩුව හා ධනපති පාලක පන්තිය ද වසංගතය විසින් ජනිත කර තිබෙන විනාශකාරී කොන්දේසිවලට අභියෝග කරමින් ඉස්මතු වන පන්ති අරගල හේතුවෙන් භීතියට පත්ව සිටිති.

සෞඛ්‍යාරක්ෂන පියවරයන්, රැකියා ආරක්ෂාව හා ඉහල දීමනාවන් ඉල්ලමින් කාර්මික ක්‍රියාවන්ට පිවිසෙමින් ලංකාවේ සෞඛ්‍ය කම්කරුවෝ ආන්ඩුවේ වැඩ වර්ජන තහනමට ප්‍රතිරෝධය දක්වති. බදාදා සෞඛ්‍ය කම්කරුවන්ගේ තවත් කොටසක් දිවා විවේක පැයේ විරෝධතා පැවැත්වීම ඇරඹූ හ. එදින ම දෛනික වැටුප් ලබන සෞඛ්‍ය කම්කරුවන් විරෝධතා පැවැත්වූ අතර, සිකුරාදා සෞඛ්‍ය කාර්ය මන්ඩලවල දසදහස් ගනනක් පැය පහක ජාතික පරිමාන වැඩ නැවැත්වීමකට පිලිපන් හ.

මෙම විරෝධතා රාජ්‍ය අංශ හා පුද්ගලික අංශයේ කම්කරුවන් අතර නැගී එන සමාජ විරෝධය පිලිබඳ ඉඟියකි.

ලෝසවෙඅ ජුනි 7 ඉදිරි දර්ශන ලිපිය සටහන් කල පරිදි: “නව විෂඝෝර බලතල රාජ්‍ය අංශ කම්කරුවන්ට එරෙහිව ක්‍රියාවට දැමීමට ආන්ඩුව මේ දක්වා උත්සාහ දරා නැත. ... එහෙත්, එක් අතකින් ශ්‍රී ලංකාවේ පාලක පන්තිය හා එහි රාජ්‍ය යාන්ත්‍රනය ද, අනෙක් අතින් කම්කරු පන්තිය හා ගම්බද පීඩිතයන් ද අතර මුහුනට මුහුන ගැටුමක් සිදුවීම දවසේ න්‍යාය පත්‍රයට ඇතුලු වී තිබේ.”

එම ඉදිරි දර්ශනය පැහැදිලි කල පරිදි, කම්කරුවෝ ප්‍රතිප්‍රහාරයක් සඳහා දේශපාලනිකව සූදානම් විය යුතු ය. මෙහි අර්ථය වන්නේ, කම්කරු පන්තිය බෙදීම පිනිස, ලංකාවේ පාලක ප්‍රභූව, රාජපක්ෂ ආන්ඩුව හා එහි වර්ගවාදී සගයන් විසින් මුස්ලිම්-විරෝධී හා දෙමල-විරෝධී ප්‍රකෝපකාරීත්වයන් ඇවිලවීමට ගන්නා සියලු උත්සාහයන්ට විරුද්ධ වීම යි; ඉදිරියට යාම පිනිස, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව හා ඒවාට විරුද්ධව කම්කරුවෝ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය.

මෙම කමිටු ස්ථාපිත කිරීම, පොදු ගැටලුවලට හා පොදු හතුරෙකුට මුහුන දෙන කම්කරුවන්ට, ලංකාවේ හා ජාත්‍යන්තර ව සියලු කර්මාන්ත හා අංශ හරහා එක්සත් වීමට පදනම සම්පාදනය කරයි. කම්කරුවන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානයක්  ස්ථාපිත කිරීම සඳහා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අප්‍රේල් 23දා කල කැඳවීමේ පදනම මෙය යි.

සමස්ත දේශපාලන සංස්ථාපිතයට එරෙහිව කම්කරු පන්තිය බලමුලුගැන්වීමටත්, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනැගීමටත් ලංකාව තුල සටන් වදින එකම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂය යි.

Loading