උතුරු පලාතේ ඇඟලුම් කම්කරුවන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීමට ආන්ඩුව මිලිටරිය යොදා ගනී

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම උතුරු සහ නැගෙනහිර පලාත්වල ඇඟලුම් කම්හල් වසංගතය පැතිරවීමේ ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත් ව ඇත. එම තතු තුල, වසංගතයෙන් ආරක්ෂාවනු වස් රැකියාවට පැමිනීම ප්‍රතික්ෂේප කරන ඇඟලුම් කම්කරුවන් මිලිටරි තර්ජනයන් හරහා බලහත්කාරයෙන් වැඩට ගෙන්වා ගැනීමේ අවස්ථා කිපයක් එම ප්‍රදේශ වලින් වාර්තා වෙයි.

පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් හි පල වූ වාර්තාවකට අනුව, මිලිටරිය විසින් මරුදන්කර්නි ප්‍රදේශයේ කම්කරුවන් පිරිසක් බලහත්කාරයෙන් වැඩට දක්කා ඇත්තේ සේවයට වාර්තා නොකලහොත්, සමාගම ගෙවන කිසිදු දීමනාවකට සුදුසු කම් නොලබනු ඇති බවට තර්ජනය කිරීමෙනි.

පසුගිය 7 වැනි දා, පුදුකුඩිරිප්පු ඇඟලුම් කර්මාන්තශාලාවක කම්කරුවන් 1,500 දෙනෙකු පරීක්ෂනවලට ලක් කල පසු 261 දෙනෙකු ආසාදිත බව තහවුරු කර ගැනුනි. ආසාදිතයන් කීප දෙනෙකු වාර්තා වන විට කම්හල වසා දැමීමට උපදෙස් දුන්නත් එය නොතකා දිගින් දිගට ම එය ක්‍රියාත්මක වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.

කිලිනොච්චි මාස් කර්මාන්තශාලාවේ තදබදයෙන් යුත් ආපනශාලාව - 2020 නොවැම්බර්

ජූනි 08 වැනි දා, නිරෝධායනය හමාර නොකල කම්කරුවන් පිරිසක් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඇඟලුම් කම්හ‍ලක වැඩෙහි යෙදවීමට ගෙන යද්දී, සුදන්දිරපුරම් ප්‍රදේශවාසීහු එම කම්කරුවන් ප්‍රවාහනය කල බස් රථය නතරකොට බලහත්කාරයෙන් වැඩට ගෙන යාමට විරෝධය පල කලහ. එතැනට පැමිනි පොලිසිය සහ මිලිටරිය විරෝධතාකරුවන් පලවා හැර කම්කරුවන් කර්මාන්තශාලාවට ගෙන යාමට කටයුතු කල අතර, පසු ව විරෝධතාකරුවන් පස් දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

මේ අතර, වසංගතය පැතිරීම හේතුවෙන් මහජනයා අතර වැඩී ඇති කෝපය අවමංගත වන අවස්ථාවන් ද වාර්තා වෙයි. ජූනි 13 වැනි දා, වවුනියාව මුරුගනූර් ප්‍රදේශයේ දී ඇඟලුම් කම්කරුවන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකට, මුහුනු ආවරනය කර ගත් පිරිසක් පොලු මුගුරු වලින් පහර දී දැඩි අලාභ හානි සිදු කලහ. බස් රථයේ රියදුරාට ද කම්කරුවන්ට ද ඔවුහු පහර දුන්හ. මීට පෙර එම පිරිස කොවිඩ්-19 ව්‍යාප්ත කරන ඇඟලුම් කම්කරුවන් තම ප්‍රදේශයට ගෙන නොඑන්නැයි උද්ඝෝෂනය කල බව ඩේලිමිරර් වාර්තා කලේ ය.

කෙසේ නමුත්, ඇඟලුම් කම්කරුවෝ වෛරස් රෝග වාහකයෝ නොවෙති. රෝගය ව්‍යාප්තියට වග කිව යුත්තේ ධනපති පන්තියේ සියලු ම කොටස්වල සහයෝගයෙන් මිනීමරු නව සාමාන්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට දමා ඇති රාජපක්ෂ ආන්ඩුව ය.

වසංගත ව්‍යාප්තියේ ව්‍යසනකාරිත්වය ප්‍රකාශයට පත් කරමින්, කිලිනොච්චියේ වානවිල් සහ විඩියැල් මාස් ඇඟලුම් කම්හල් තුල, මැයි මාසයේ දී පමනක් සිදු කරන ලද පරීක්ෂනවලින් ආසාදිත වූ කම්කරුවෝ 200කට වැඩි පිරිසක් හඳුනා ගනු ලැබූහ. මෙම කම්කරුවන්ගෙන් බහුතරයක් ජීවත් වූ සන්තපුරම් ගම්මානය මැයි 29 වැනි දා හුදෙකලා කරනු ලැබුනි. ජූනි 13 වැනි දා, කම්කරුවන්ගේ බලගතු ප්‍රතිරෝධය හමුවේ, 4000ක් පමන සේවයේ යෙදී සිටින මෙම කම්හල් තාවකාලික ව වසා දැමීමට තීරනය කෙරුනි.

යාල් තිනක්කුරල් වාර්තා කරන පරිදි, නැගෙනහිර පලාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ 3000ක් පමන සේවය කරන තලන්කුඩා බ්‍රැන්ඩික්ස් කම්හලේ කම්කරුවන් විශාල පිරිසක් ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු ව මැයි 26 වැනි දා සිට ජූනි 6 වැනි දා දක්වා එය වසා තබන ලදි.

ප්‍රදේශ ගනනාවක විසිරී සිටින මෙම කම්කරුවන් ආසාදනය වී ඔවුන්ගේ ගම් ප්‍රදේශ කරා ද රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් නිර්මානය වී ඇත. කිලිනොච්චි ධර්මපුරම් හි මාස දෙකක් වයසැති බිලිඳෙකුට කොරෝනා ආසාදනය ව තිබුනේ ඇඟලුම් කම්කරුවෙකු වන පියාගෙනි.

සන්ඩේ ටයිම්ස් වාර්තාවට අනුව, කිලිනොච්චි හි නම සඳහන් නොකෙරුනු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ප්‍රකාශ කොට ඇත්තේ, රෝගී වන කම්කරුවන් පරීක්ෂාවට ලක් කරන්නේ කෙසේ ද ඔවුන්ට ප්‍රතිකාර ලැබීමට ඇති ස්ථාන කවරාකාරයේ ද යන්න ගැන පරීක්ෂා කිරීමට කම්හල් තුලට ඇතුලු වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ වෙනක් සෞඛ්‍ය බලධාරීන්ට කම්හල් කලමනාකාරීත්වය විසින් ඉඩ ලබා නොදෙන බවයි.

වානවිල් කම්හලේ පවතින, සනීපාරක්ෂාවට අහිතකර සහ එනයින් වසංගත අවදානම පවා ඉහල නැංවිය හැකි කොන්දේසි ලෝසවෙඅ විශේෂ අනාවරනයකට ලක් කලේ ය. ඊට ප්‍රතිචාරී ලෙස කම්හල් පරිපාලනය කලේ කම්කරුවන්ට තමන්ගේ කොන්දේසි ගැන තොරතුරු ලබා නොදෙන මෙන් තර්ජනය කිරීම ය.

සන්ඩේ ටයිම්ස් වාර්තාව වැඩිදුර වාර්තා කරන ආකාරයට, කිලිනොච්චි හි කම්හලක් ඉදිරිපිට, පියෙකු තම දරුවන් තිදෙනා සමග කම්හලේ කම්කරුවෙකු වන තම බිරිඳ ආසාදිත යැයි තහවුරු වූ විට කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු නොකලේ යැයි විරෝධතාවක යෙදී ඇත.

රෝගී වූ කම්කරුවන් නිසි කලට ප්‍රතිකාර සඳහා යොමු නොකොට ඔවුන්ගෙන් දිගින් දිගට ම වැඩ ගැනීම සම්බන්ධයෙන් මේ ඇඟලුම් කම්හල් සතු ව කුප්‍රකට වාර්තාවක් පවතී. පසුගිය වසරේ දී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කම්කරුවන් බහුතරයක් කොවිඩ්-19 රෝග ලක්ෂන පෙන්නුම් කලත් ඔවුන්ට වේදනා නාශක ලබා දී දිගින් දිගට ම වැඩෙහි යොදවා තිබුනි.

වසංගතය තවදුරටත් පතුරවමින් මෙම කම්හල්වල නිෂ්පාදනය දිගටම පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් මහජන කෝපය වැඩෙද්දී දෙමල ධනපති දේශපාලකයන් කම්හල් වසා දමන්නැයි ඉල්ලා ජනාධිපතිට සහ අගමැතිට ලිපි යැවීමේ ප්‍රෝඩාවක නිරත වී ඇත. ජූනි 9 වැනි දා, පුදුකුඩිඉරිප්පු කම්හල නැවත විවෘත කිරීමේ දී ඊට බෙලහීන විරෝධයක් දක්වමින් වවුනියා පාර්ලිමේන්තු මන්ත්‍රී, ටෙලෝ සාමාජික විනෝ නෝකරාදලිංගම් ජනාධිපති රාජපක්ෂට ලිපියක් යොමු කලේ ඇඟලුම් කම්හල විවෘත කිරීම නිරෝධායන නීතියට පටහැනි බැවින් ඊට ඉඩ නොදෙන මෙන් ඉල්ලමිනි.

දෙමල ජාතික සන්ධානය සභාපතිත්වය දරන කිලිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාව එම බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක වන උක්ත ඇඟලුම් කම්හල් දෙකට එරෙහි ව පුහු විරෝධයක් මවාපායි. ජූනි 5 වැනි දින එම ප්‍රාදේශීය සභාව වානවිල් සහ විඩියැල් කම්හල් වසා දමන මෙන් ඉල්ලීමක් කරමින් ඒවායේ පරිපාලනයට විවෘත ලිපි යවා නඩුවක් ද ගොනු කර ඇත.

කෙසේ නමුත්, ජූනි 06 වැනි දා පැවති 2021 ශ්‍රී ලංකා ආයෝජක සමුලුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෝලීය ප්‍රාග්ධනයට නැවතත් සහතික වූයේ, තම ආන්ඩුව ආයෝජක ගැති සහ මහ ව්‍යාපාරික ගැති ආන්ඩුවක් බවයි. කම්කරු නීති සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කටු ගා දමමින් මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් ඔහු ගොඩ නගමින් ඉන්නේ මේ අරමුන වෙනුවෙන් පන්ති අරගලය රුදුරු ආකාරයෙන් තලා දැමීමටයි.

කම්කරුවන් වසංගතයට බිලි දෙමින් කම්හල් විවෘත ව තබා ගැනීම ශ්‍රී ලංකාවේ පමනක් නොව ලොවපුරා ධනපති පාලකයන්ගේ පිලිවෙතයි. ජූනි 2 වැනි දා, දිස්ත්‍රික් ලේකම්වරු සහ පලාත් ආන්ඩුකාරයන් කැඳවා පැවැත් වූ සාකච්ඡාවක දී ජනාධිපති රාජපක්ෂ සඳහන් කර සිටියේ එක් ආසාදිතයෙකු වාර්තා වූ පමනින් කර්මාන්තශාලා හෝ සංවර්ධන ව්‍යාපෘති වසා නොදැමිය යුතු බවයි.

රාජ්‍ය අංශයේ සේවා ගනනාවකට අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා ඇති රාජපක්ෂ අපනයන කර්මාන්ත අංශයේ අප්‍රකාශිත අත්‍යවශ්‍ය සේවා නියෝගයක් පවත්වා ගෙන යයි. කම්කරුවන් පොලිසිය-මිලිටරිය යොදවා බලහත්කාරයෙන් කම්හල්වලට කුදලා ගෙන එන්නේ ඒ අනුව ය.

සන්ඩේ ටයිම්ස් වාර්තාවට අනුව, ජූනි 09 වැනි දා, ධීවර ඇමති, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද උතුරු පලාත් සෞඛ්‍ය බලධාරීන් සමග කල සාකච්ඡාවකදී පවසා ඇත්තේ ජනාධිපති රාජපක්ෂගේ උපදෙස් අනුව කර්මාන්ශාලා විවෘත ව පවත්වා ගෙන යා යුතු බවයි. වසංගතය පාලනය කිරීමට කම්හල් වසා දමනවා වෙනුවට වෙනත් පියවර දිස්ත්‍රික් මට්ටමින් ගත යුතු බව එහි දී ඔහු සඳහන් කර ඇත.

කම්හල් විවෘත ව තබා ගැනීම සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානයට ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිය සමග කිසිදු වෙනස්කමක් ඇත්තේ නැත. යාල් තිනක්කුරල් වාර්තා කරන ආකාරයට, කිලිනොච්චි හි කම්හල් දෙක වසා දැමූ ජූනි 13 වැනි දින පස්වරුවේ ම එම ප්‍රදේශයට ගිය දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් සහ සිවඥානම් ශ්‍රීධරන්, කරෛච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති වේලමාලිකිදන් හා එක්ව කම්හල් පරිපාලනයන් සමග හමුවක් පවත්වා ඇත.

විෂබීජ නාශක දියර භාවිතයට, කම්කරුවන් පරීක්ෂන වලට යොමු කිරීමට, සෞඛ්‍ය අංශවල එකඟතාව අනුව නැවතත් කම්හල් විවෘත කිරීමට සහ කම්හල් වසා දමා ඇති දිනවලට කම්කරුවන්ට වැටුප් ගෙවීමට කම්හල් කලමනාකාරීත්වය එකඟ වූ බව වේලමාලිකිදන් මාධ්‍යයට සඳහන් කලද, මෙය කම්කරුවන්ගේ විරෝධය යටපත් කර නැවතත් කම්හල් කඩිනමින් විවෘත කර ගැනීමට දරන උපමාරුවක් පමනි. වසංගතය තුල කම්හල් කලමනාකාරිත්වයන් කිසි විටෙක ඊනියා සෞඛ්‍ය උපදේශ පිලිපැද නැති අතර සිදු කර ඇත්තේ වැටුප් කප්පාදු ක්‍රියාවට දැමීමයි.

යුද්ධයෙන් විනාශ කෙරුනු උතුරු නැගෙනහිර පලාත් කරා කර්මාන්ත විස්ථාපනය කෙරෙන්නේ විරැකියාවට ඇද වැටුනු දුගී තරුන තරුනියන්ගේ ලාභ ශ්‍රමයෙන් තම මඩිය තරකර ගැනීමේ චේතනාවෙන් මිස ඔවුන්ගේ ජීවිත අභිවෘද්ධියට පත් කිරීමට නොවේ.

Loading