කොවිඩ් දත්තයන් “සාවද්‍ය” බවට ජනාධිපති රාජපක්ෂ කල බුරා පැනීමේ පන්ති ඇඟවුම්

කොවිඩ් මරන පිලිබඳව “සාවද්‍ය” දත්ත සපයා ආන්ඩුව නොමග යැවූ බවට චෝදනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශයේ නිලධාරීන්ට කඩා පැන්නේය. 

ජූනි 18 දා පැවැත්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම චෝදනා එල්ල කරමින් රාජපක්ෂ පැවසුවේ, ජුනි මස 14වන දින “සංචරන සීමා" ඉවත් කිරීමට තීරනය කර තිබුන ද, ජුනි 11 වන දින මරන 101ක් වාර්තා වූ බවට ලැබුනු “සාවද්‍ය” දත්ත හේතුවෙන් ජුනි 21 වනදා තෙක් සංචරන සීමා දීර්ඝ කිරීමට පියවර ගැනීමට සිදුවූ බවයි. 

ජුනි 11 වන දින සිදුව ඇති කොවිඩ් මරන සංඛ්‍යාව 101ක් නොව 15ක් පමනක් බව, “පුලුල් විමර්ශනයකින්” අනාවරනය වූ බව ද ඔහු පැවසීය. එහිදී ඇතැම් මරන පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුල සිදුව, මරන සහතික ද නිකුත් කර තිබූ බවට ද අනාවරනය වූ බව රාජපක්ෂ තවදුරටත් විස්තර කලේය.

ලංකාවේ නිල වශයෙන් දෛනිකව වාර්තා කෙරෙන්නේ, අදාල දිනයේ සිදුවූ සමස්ත කොවිඩ් මරන සංඛ්‍යාව නොව, එදින හෝ ඊට කලින් සිදුවූ මරන විමර්ශනය කොට, එදින තුල තහවුරු කෙරෙන කොවිඩ් මරන සංඛ්‍යාව බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙය, රාජපක්ෂ ඇතුලු කොවිඩ් මර්දන විශේෂ කමිටුව පමනක් නොව, සාමාන්‍ය මහජනතාව පවා දැනසිටි කරුනකි. 

දෛනිකව සිදුවන කොවිඩ් මරන සංඛ්‍යාව එදිනම නිශ්චිතව වාර්තා නොවීම පිටුපස හේතු කීපයක් පවතී. පසුගිය දශක කීපය තුල පැවති අනුප්‍රාප්තික ආන්ඩු විසින් කරන ලද දැවැන්ත කප්පාදු හේතුවෙන් ගරාවැටී ඇති සෞඛ්‍ය පද්ධතියට ඊට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් නොමැතිවීම ඉන් එකකි. දත්ත ව්‍යාකූල කොට වසංගත ව්‍යාප්තියේ සැබෑ තත්වය මහජනතාවගෙන් වසන් කිරීම තවත් හේතුවකි. මෙය, ආන්ඩුවේ අවශ්‍යතාව මත සිතාමතාම සිදු කෙරුනකි. වසංගතයෙන් මහජනතාවගේ ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් ආන්ඩුව ආරම්භයේ සිට පවත්වාගෙන යන සාපරාධී නොතැකීම මෙම අවිධිමත්භාවය පිටුපස පවතින අනෙක් හේතුවයි.

ගෝඨාභය රාජපක්ෂ (ඡායාරූප අනුග්‍රහය- එරංග ජයවර්ධන )

කෙසේ නමුත් රාජපක්ෂගේ මෙම පුපුරායාම තුලින් වසංගතය පිලිබඳ ඔහුගේ ප්‍රතිචාරය නිර්නය කෙරෙන සාපරාධී පිලිවෙත, එනම් මිනිස් ජීවිත වලට ඉහලින් ධනපති ලාභය තැබීම, වඩාත් ඉස්මත්තට පැමිනේ. ඔහු කෝප ගැන්වී සිටින්නේ මහජනතාවට ඇති තරම් සෞඛ්‍යාරක්ෂාව සැපයීමට නොහැකිවීම සම්බන්ධයෙන් නොව, “සාවද්‍ය” දත්ත මත පදනම් වී “සංචරන සීමා” දීර්ඝ කිරීමෙන් ධනපතියන්ගේ ලාභ මඩියට ඇතිවූ බලපෑම සම්බන්ධයෙනි. 

ඉහත කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමට සහභාගි වී සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය කියා සිටියේ මෙලෙස “සාවද්‍ය” විශ්ලේෂන ඉදිරිපත් කිරීම කුමන්ත්‍රනයක් බවයි. නමුත් මහජනතාවට එරෙහි සැබෑ කුමන්ත්‍රනකරුවන් වන්නේ, වසංගතයේ සැබෑ ව්‍යාප්තිය සහ ව්‍යසනකාරී වර්ධනය දැනුවත්ව වසන් කරමින් එයට දැක්වියයුතු සෞඛ්‍යමය ප්‍රතිචාරය සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කොට මහජනතාව වසංගතයට බිලි දීමට කටයුතු කල  ජනාධිපති රාජපක්ෂ සහ එයට පූර්න සහයෝගය දුන් පාදෙනිය ඇතුලු නඩයන් ය.

ආන්ඩුවේ මෙම වැඩපිලිවෙලට සීමිත හෝ බාධාවක් වන නිලධාරියෙකු සිටීනම් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ. මෙම “සාවද්‍ය දත්ත” සිද්ධියට පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර එම තනතුරෙන් ඉවත් කිරීම එවැන්නක් වීමට බොහෝ ඉඩකඩ පවතී.

ජනාධිපති රාජපක්ෂ උත්සුක වන්නේ, කම්කරුවන්ගේ ජීවිත බිලි දී හෝ ලාභය සුරක්ෂිත කර දෙන බවට ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනයට සහතිකවීම සම්බන්ධයෙනි. කොවිඩ්-19 වසංගතය වඩාත් වේගයෙන් ව්‍යාප්ත කෙරෙන ඩෙල්ටා වෛරස ප්‍රභේදය ලංකාව තුලින් හමුවී ව්‍යයසනය වඩාත් ගැඹුරු වී තිබියදී, තම ව්‍යාජ සංචරන සීමා පවා ඉවත්කොට ලක්ෂ සංඛ්‍යාත මහජනතාවට සංචරනය වීමට ඉඩ සලසා ඇත්තේ එම උත්සුකයෙනි. 

මෙම තීරනයේ ව්‍යසනකාරී ඵලවිපාක පෙන්වා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති රාජපක්ෂට යැවූ ලිපියක මෙසේ සඳහන් වෙයි: “දින කිහිපයක් සඳහා පවා වර්තමාන අගුලු දැමීම මුදා හැරීම මිනිසුන්ගේ පාලනයකින් තොරව නිදහස් චලනයකට තුඩු දෙනු ඇති අතර එමඟින් නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සම්ප්‍රේෂනය භයානක ලෙස ඉහල යනු ඇත. එමගින් වසංගතය පෙර නොවූ විරූ මට්ටමකට තීව්‍ර වී සෞඛ්‍ය පද්ධතිය මුලුමනින්ම යටපත් කල හැකි පරිමානයෙන් රෝගීන් සංඛ්‍යාව සහ මරන සංඛ්‍යාව වැඩිවනු ඇත.”

“COVID-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ප්‍රජාව තුල බහුලව පවතින බවට සාක්ෂි” ඇති බවත්, මෙම ප්‍රභේදය දැනට පවතින ප්‍රමුඛ ප්‍රභේදයට වඩා සියයට පනහක සම්ප්‍රේෂන හැකියාවක් ඇති බවද වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. “රට තුල තවමත් දිනකට නව රෝගීන් 2000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරන 50 ක් පමන අත්විඳිමින්” සිටින බවත්, නව ප්‍රභේදය මගින් මෙම තත්වය “වඩාත් සංකීර්න” විය හැකි බවත් ඔවුහු කියා සිටිති.

රාජපක්ෂ මෙම සියලු විශේෂඥ උපදෙස් ප්‍රතික්ෂේප කොට, වසංගතය මධ්‍යයේම සියලු සමාජ සහ ආර්ථික කටයුතු පවත්වාගෙනයාම “සාමාන්‍යකරනය” කරමින් සිටී.

ආරම්භයේ සිටම විශේෂඥ උපදෙස් නොතැකූ ඔහු වසංගතයට දැක්වියයුතු අත්‍යවශ්‍ය සෞඛ්‍යමය ප්‍රතිචාරයන්, එනම් ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) නිර්දේශ කල පරිදි, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමෙන අගුලු දැමීම්, පීසීආර් පරීක්ෂන සහ රෝහල් ධාරිතාව දැවැන්ත පරිමානව ඉහල දැමීම් යන සියල්ල නරුම ලෙස ප්‍රතික්ෂේප කලේය. අදවන විට මෙම ප්‍රතිචාරයේ මානව වියදම, නිල සංඛ්‍යා ලේඛන වලට අනුව, ජීවිත 2,581 කි. ආසාදිත සංඛ්‍යාව 2,40,000 ඉක්මවා ඇත. ව්‍යසනය අබාධිතව ඉදිරියටම ඇදී යයි.

අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන ද අඛන්ඩව ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලයක් ලෙස වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථාන බවට ඇඟලුම් කම්හල් පත්ව තිබේ. අනෙකුත් කම්හල් තුලද ආසාදිතයන් හමුවීම සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. ඊයේ ලංකාදීප වාර්තාවකට අනුව, පොලොන්නරුව, ලක්‍ෂඋයන පිහිටි සහල් නිවුඩු භාවිතයෙන් මිනිස් පරිභෝජනයට ගන්නා තෙල් නිපදවන කම්හලක කම්කරුවන් 121 දෙනකුට සහ අරනායක, අම්බලකන්ද තේ කම්හලක සේවකයින් 53 දෙනෙකුට කොව්ඩ් 19 ආසාදනය වී ඇත. 

රාජපක්ෂ දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන යතා අගුලු දැමීමකින් මහධනපතියන්ට අහිමි වන ලාභය පිලිබඳ පාලක පන්ති උත්සුකය වඩාත් සිත් කා වදින ආකාරයෙන් ඉදිරිපත් කලේ එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මාන් විසිනි. ඔහු එය සූත්‍රගත කලේ “රෝගයට වඩා ප්‍රතිකාරයේ වියදම් අධික නොවිය යුතුය” යනුවෙනි. “ඉන්දියාව ගැලවීගත යුතු වන්නේ අගුලු දැමීමෙනි” යනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදි එය වෙනත් ආකාරයකින් ඉදිරිපත් කලේය.

2020 මුලදී ලංකාවේ දුසිම් ගනනක් ආසාදිතයන් හඳුනාගත් අවස්ථාවේ වසංගත විශේෂඥයන් අගුලු දැමීමේ අවශ්‍යතාව මතුකලවිට රාජපක්ෂ නරුම ලෙස කියා සිටියේ එවන් කුඩා සංඛ්‍යාවක් හඳුනාගත් පමනින් රට වසා දැමීම අත්‍යවශ්‍ය නොවන බවයි. වැඩුනු මහජන විරෝධය මධ්‍යයේ 2020 අප්‍රේල් මාසයේ යම් කෙටි කාලයකට අගුලු දැමීමක් ක්‍රියාත්මක කලද, එය මධ්‍යයේම ඇඟලුම් කම්හල් විවෘත කරන ලෙස රාජපක්ෂ උපදෙස් දුන්නේය.

වසංගතයේ ව්‍යාප්ති කේන්ද්‍රයන් වන ඇඟලුම් කම්හල් වසා දමන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් සහ කම්කරුවන් ගෙනගිය විරෝධතා හේතුවෙන් කම්හල් කීපයක් වසා දමන්නට සිදුවූ තතු තුල, පසුගිය මාසයේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පලාත් ආන්ඩුකාරවරුන් කැඳවූ ජනාධිපති රාජපක්ෂ ඔවුනට අවධාරනයෙන් කියා සිටියේ “එක් ආසාදිතයෙක් හමුවූ පමනින් කම්හලක් වසා දැමීමට කලබල වියයුතු නැති” බවයි. 

ආන්ඩුව පවත්වාගෙන යන “සංචරන සීමා” ද මහජනතාවගේ ඇස් වලට වැලි ගැසීමකි. “අත්‍යවශ්‍ය සේවා” නියෝග යටතේ පවත්වාගෙන යන නිෂ්පාදන සහ සේවාවන්හි ද, ඊට අමතරව නිල නොවන “අත්‍යවශ්‍ය සේවා” වශයෙන් පවත්වාගෙන යන ඇඟලුම් කම්හල් වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදනයන්හි ද සේවයේ යෙදෙන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ට සංචරනය සඳහා වෛෂයිකව බලකෙරී ඇති තතු යටතේ මෙම ඊනියා සංචරන සීමා යටතේ රෝග ව්‍යාප්තියේ කවර හෝ පාලනයක් සිදු නොවේ. 

දින කීපයකට පෙරාතුව, එරාවුර් ප්‍රදේශයේ මුස්ලිම් ජන කන්ඩායමක් “සංචරන සීමා කඩ කිරීම” යටතේ මිලිටරියේ හිංසනයන්ට ගොදුරු කෙරුනු අයුරු පෙන්නුම් කෙරෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුල මේ දිනවල වේගයෙන් සංසරනය වෙයි. දෑත් ඉහලට ඔසවාගෙන දනහිසින් සිටීමේ දන්ඩනයට ලක්කොට ඇති ඔවුනගේ ආත්මාභිමානය සාහසික ලෙස කෙලෙසීම සම්බන්ධයෙන්, ආන්ඩුවට සහ මිලිටරියට එරෙහිව පැන නැගුනු පාඨකයන්ගේ කෝපාන්විත ප්‍රතිචාර වලින් සමාජ මාධ්‍ය පිටාර ගලමින් පවතී.

මෙම මෙහෙයුමේ අරමුනු දෙකක් පවතී: මහජනතාව සෞඛ්‍යාරක්ෂන නිර්දේශ නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් වසංගතය ව්‍යාප්ත වන බව ඉස්මතුකර පෙන්වා වසංගත ව්‍යසනයේ වගකීම මහජනතාව මත පැටවීම එක් අරමුනකි. කම්කරු-පීඩිත මහජනතාව ත්‍රස්තකොට ධනපති පන්ති පාලනය ගෙනයාම අනෙක් අරමුනයි.

වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ තීව්‍රකර ඇති ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙමින් පවත්නා පන්ති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම රාජපක්ෂගේ සැලසුම යි. වසංගතය මැඩීමේ මුවාවෙන් රාජපක්ෂ ක්‍රියාත්මක කොට ඇති මර්දන පියවර සියල්ල එම සැලසුමට අයත් ය. 

කෙසේ නමුත්, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය තැබීමේ සාපරාධී පිලිවෙත මත, එක්සත් ජනපදයේ හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන්ගේ සිට ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ දක්වා පාලකයන් ගෙනගිය සහ ගෙනයන වැඩකටයුතුවල ප්‍රතිඵලය ලෙස, මිලියන 180 කට ආසන්න ගනනක් ආසාදිතව මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් මිය යද්දී, ලොව බිලියනපතියන් තම වත්කම් සියයට 60 කින් වැඩි කරගෙන ඇත. 

මෙම ජාතික සහ ජාත්‍යන්තර අත්දැකීම් වලින් බලගතුව සනාථ කෙරෙන්නේ වසංගතයේ පාලනය ජාත්‍යන්තර කම්කරු පන්තිය අතට ගතයුතු බවයි. “ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් කරා පෙරට!” යන හිසින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අප්‍රේල් 25 දා නිකුත් කල ප්‍රකාශයේ  සඳහන්වන පරිදි, 

“වසංගතයේ පැතිර යාම මූල්‍ය කතිපයාධිකාරය ධනයෙන් ආඪ්‍ය කිරීම සමග අවියෝජනීය ව බැඳී පවතින්නේ යම් සේ ද, ගෝලීය වසංගතය නිමාවකට ගෙන ඒම මූල්‍ය කතිපයාධිකාරය එම ධනයෙන් අස්වාමික කිරීම සමග අවියෝජනීය ව බැඳී පවතී. මූල්‍ය ප්‍රභූන් කඳු ගසා ගෙන ඇති ධනස්කන්ධය මිලියන ගනන් ජීවිත බේරා ගැනීමේ හදිසි පියවර සඳහා මූල්‍ය සම්පත් සම්පාදනයට යොදා ගත යුතු ව ඇත.

ගෝලීය වසංගතයට, එමෙන් ම යුද්ධයට, සමාජ අසමානතාවට, සූරා කෑමට සහ ආඥාදායකත්වයට එරෙහි සටන යනු සමස්ත ධනපති සමාජ සහ ආර්ථික පර්යායයට එරෙහි සටනකි. සියලු රටවල කම්කරුවන් බලය තමන් අතට ගැනීමටත්, කතිපයාධිකාරය අස්වාමික කිරීමටත්, පෞද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ අරමුනින්, තාර්කික, විද්‍යාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කෙරුනු නිෂ්පාදන ක්‍රමයක් මත පදනම් වූ සමාජවාදී සමාජයක් ගොඩනැගීමටත් පොදු දේශපාලන ප්‍රහාරයකට ඒකාබද්ධ විය යුතු ව ඇත.”

Loading