ලංකාවේ ජනාධිපති මරන දඬුවම නියම වූ දේශපාලන සහචරයාට අත්තනෝමතික ලෙස සමාව දෙයි

මිනීමැරුමකට වරදකරුවී මරන දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වා ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුනි 24දා සමාව ප්‍රදානය කලේ ය. සිය විධායක බලය යොදා ගනිමින් ජනාධිපති රාජපක්ෂ විසින් සිල්වාට සමාව දීම, අධිකරනයට හා නීතියේ පාලනයට තවදුරටත් වල කපමින් සිදු කල අත්තනෝමතික ක්‍රියාවකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සිල්වා, එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ “අධීක්ෂක මන්ත්‍රී” ලෙස සේවය කලේ ය.

දුමින්ද සිල්වා (ඡායාරූපය- විකිමීඩියා කොමන්ස්)

2011 පැවති මැතිවරන උද්ඝෝෂනයක් තුල ප්‍රතිමල්ලව දේශපාලන කන්ඩායම් දෙකක් අතර හටගත් ගැටුමක දී, සිල්වාගේ ම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීම පිලිබඳ ව සිල්වාට හා තවත් හතර දෙනෙකුට චෝදනා එල්ල කෙරුනි. 2016 දී සිල්වාට හා තවත් දෙදෙනෙකුට මරන දඬුවම නියම කරන ලද අතර, සිල්වා ඉදිරිපත් කල අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් 2018 දී ශ්‍රේෂ්ඨාධිකරනය විසින් එම දඬුවම අවසානයේ තහවුරු කරන ලදී.

ජනාධිපති රාජපක්ෂගේ මැර ආධාරකරුවෙකු ලෙස, දේශපාලන කව තුල සිල්වා කුප්‍රකට ය. රාජපක්ෂ බලයට ඒමෙන් අනතුරු ව, ජනාධිපති සමාව ප්‍රදානය කරන ලද දෙවන අපරාධකරුවා වන්නේ ඔහු ය.

මරන දඬුවම නියම වී සිටි යුද හමුදාවේ හිටපු මාන්ඩලික සැරයන් සුනිල් රත්නායක, 2020 මාර්තු 26දා විශේෂ ජනාධිපති සමාවක් මත  නිදහස් කරන ලදී. උතුරේ හා නැගෙනහිරේ වාර්ගික යුද්ධය පැවති සමයේ, 2000 දෙසැම්බර් මාසයේ දී, ලමුන් හතර දෙනෙකු ඇතුලු දෙමල සිවිල් වැසියන් 8 දෙනෙකු මරා දැමීම පිලිබඳ ව රත්නායකට චෝදනා එල්ල වුනි. වසර 13ක් තිස්සේ පැවති නඩුවකින් අනතුරු ව, 2015 ජුනි 25දා ඔහුට මරන දඬුවම නියම කෙරුනි.

සිල්වා නිදහස් කල දිනයේ ම, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) හිටපු සාමාජිකයන් ඇතුලු තවත් සිරකරුවන් 93කට ජනාධිපති රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කලේ ය. එල්ටීටීඊයේ හිටපු සාමාජිකයන් නිදහස් කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම අරබයා දේශීය ව හා ජාත්‍යන්තර ව එල්ල වන විවේචනය මධ්‍යයේ සිදුකල මුහුන බේරාගැනීමේ ක්‍රියාවකි.

නිදහස් කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයන්, බන්ධනාගාරය තුල වසර 10 සිට 15 දක්වා කාලයක් නිදහස බලාපොරොත්තුවෙන් කල් ගත කර තිබුනු අතර, හිටපු එල්ටීටීඊ සාමාජිකයන් ඇතුලු තවත් දෙමල දේශපාලන සිරකරුවන් දුසිම් ගනනක් තවමත් සිරගත ව සිටිති. මෙම සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට චෝදනා පවා ගොනු කර නැත. සියලු දෙමල දේශපාලන සිරකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා ගන්නා ලද්දේ, විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ය.

ජනාධිපති විසින් සිල්වා නිදහස් කිරීමේ පිලිකුල්සහගත ක්‍රියාව, විධායක බලතල යුක්ති යුක්ත ලෙස භාවිතා කිරීමක් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රීලපොපෙ) ආන්ඩුව ද, සිංහලේ හා සිහල රාවය වැනි සිංහල වර්ගවාදී සංවිධාන ද කියා පාති. මෙම සංවිධානවල නරුම සාධාරනීකරනය පුදුමයක් නො වේ. රට තුල යුද අපරාධවලට හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ඔවුහු පිටුබලය දී ඇත.

වැරදිකාරී යයි ඔප්පු වුනු අපරාධකරුවෙකු නිදහස් කිරීමට විධායක බලතල යොදා ගැනීම මගින්, තමන් යටතේ පවතින පරිපාලනය විසින් අධිකරනය, නීතියේ පාලනය හා ව්‍යවස්ථාමය සම්මතයන් නො තකන බවට, රාජපක්ෂ විසින් යලිත් පනිවුඩයක් දී තිබේ. ගෝලීය වසංගතයෙන් තීව්‍ර කෙරුනු ගැඹුරු ආර්ථික අර්බුදයකට හා වැඩෙන පන්ති අරගලවලට මුහුන දෙන රාජපක්ෂ, ජනාධිපති ආඥාදායකත්වයක් කරා ගමන් කරමින් සිටී.

සිල්වා නිදහස් කිරීම, සැලසුම් කර ඇති ඒ හා සමාන ක්‍රියාවන් හි කොටසකි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ සිදු වූ “දේශපාලන දඩයම් කිරීම්” පිලිබඳ ව විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා, පසුගිය ජනවාරියේ දී ජනාධිපති පරීක්ෂන කොමිසමක් (පීසීඕඑල්) පත් කිරීමට ඔහු පියවර ගත්තේ ය. පීසීඕඑල් නිර්දේශයන් මත ඔහු කැබිනට්ටුවට පත්‍රිකාවක් ද ඉදිරිපත් කලේ ය.

චූදිත යුද අපරාධකරුවන් හා වංචාකරුවන් මුදා හැරීම සඳහා, අතිශයින් ම දේශපාලනීකෘත මෙම කොමිසමේ වාර්තාව යොදාගනු ලැබේ.  වැරදිකරු වූ සිල්වා නිදහස් කිරීම, පැහැරගෙන යාම් හා අතුරුදන් කිරීම් පිලිබඳව චෝදනා ලැබ සිටි, හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුලු තවත් කිහිප දෙනෙකුට එරෙහි නඩු අවසන් කිරීම, යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ දීම හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම පිලිබඳ නඩු අවසන් කිරීම ආදිය සිදු වන්නේ එම නිර්දේශයන් යටතේ ය.

මේ පිලිබඳ පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු, අගමැති මහින්ද රාජපක්ෂ මෙම නඩු අවසන් කිරීම සඳහා වන යෝජනාවක් 2020 අප්‍රේල් 19දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. එහෙත් රට තුලින් හා ජාත්‍යන්තර ව එල්ල වූ විරෝධය හේතුවෙන් එය තාවකාලික ව අත්හැර දමන ලදී.

පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කල ශ්‍රී ලංකා නීතිඥ සංගමය (බීඒඑස්එල්) සිල්වා නිදහස් කිරීමට ජනාධිපති බලතල යොදා ගැනීම ප්‍රශ්න කලේ ය. *ව්‍යවස්ථාවේ 34(1) වන වගන්තිය යටතේ සමාවක් ප්‍රදානය කිරීමට සිල්වා තෝරා ගනු ලැබූ අභිප්‍රායයෙහි පදනම, *දැනට මරන දඬුවමට නියම කරන්නන්ගේ නඩුවලින් සිල්වාගේ නඩුව වෙනස් වන හේතු, * ව්‍යවස්ථානුකූල ව නඩුවේ විනිසුරුවරුන්ගෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවී ද, ජනාධිපතිවරයා නීතිපතිගේ උපදෙස් පැතුවා ද යනාදිය ඇතුලත් ප්‍රශ්න එම ප්‍රකාශය විසින් විමසී ය.

සිල්වාට සමාව ප්‍රදානය කිරීම “නීතියේ පාලනය දුර්වල කරමින්, වගවීම ඛාදනය කරන” බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

ජනාධිපතිවරායගේ ක්‍රියාව “පාර්ලිමේන්තුව හා අධිකරනය ඔහුගේ හිතූ මතයට හා මනාපයට අනුව ක්‍රියාත්මක විය යුතු යි ඔහු සිතන බව” පැහැදිලි කරන බවත්, “එය රට තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට මාරාන්තික තර්ජනයක්” බවත්, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) නිකුත් කල ප්‍රකාශයක් කියා සිටියේ ය.

“ජනාධිපති සමාව අසීමිත ලෙස යොදාගෙන අධිකරනයට ඉහලින් කටයුතු” නො කරන්නැයි එක්සත් ජාතික පක්ෂය (එජාප) ජනාධිපතිවරයාගෙන් ඉල්ලී ය.

අවම වසයෙන් කියතොත්, මෙම පක්ෂවල ප්‍රකාශ වලින් නරුමත්වය පිටාර ගලයි. මෙම පක්ෂ බලයේ සිටිය දී- සජබ නායකයෝ පසුගිය වසර මුල තෙක් එජාපයේ හවුල්කරුවෝ වූ හ- අධිකරනයෙන් වැරදිකරුවන් වූ එවන් අපරාධකරුවන් නිදහස් කර ඇතුවා පමනක් නො ව, ඔවුන් විසින් ආරක්ෂා කරතැයි ව්‍යාජ ලෙස කියා පාන නීතියේ පාලනයට ද වලකැපූ හ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමේ දීර්ඝ වාර්තාවක් මෙම පක්ෂවලට තිබේ. තව ද එජාප හා සජබ රාජපක්ෂ පරිපාලනය මෙන් ම මිලිටරීකරනයට ද වගකිව යුතු ය.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් කුහක තර්කයක් ඉදිරියට දමා තිබේ. පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ට අනුව “මෙය යමෙකු කෝප විය යුතු ප්‍රශ්නයක් නො වේ. ඉහල පන්තියේ පුද්ගලයන්ට හා පහල පන්තියේ පුද්ගලයන්ට සාධාරනය ඉටු කරනු ලබන්නේ වෙනස් ආකාරයට බව පෙන්වන මෙය හුදෙක් ම පන්ති ප්‍රශ්නයකි.” 

ජයගොඩගේ තර්කය ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාව පිලිබඳව පිලිකුල් සහගත සාධාරනීකරනයක් වේ. මන්ද යත් එය සිල්වා නිදහස් කිරීම “ඉහල” පන්තියේ ප්‍රශ්නයක් ය යන හුදු වියුක්තයකට සිඳුවන හෙයිනි. මෙම තර්කයට අනුව යුක්ති යුක්ත ප්‍රශ්නයක් මතුවේ: යමෙක් මිලිටරීකරනයට විරුද්ධ විය යුත්තේ මන් ද? පෙසපයේ මුග්ධ තර්කයට අනුව, මිලිටරීකරනය ඉහල පන්තියේ ප්‍රශ්නයක් නිසා ඒ පිලිබඳව “කෝපවිය යුතු නොවේ.”

මෙම ව්‍යාජ-වාම පක්ෂය ආවරනය කරමින් සිටින්නේ, ව්‍යවස්ථාවට හා තමන්ට කීකරු අධිකරනයකට පවා වල කපමින්, රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩකටයුතුවල බරපතල දේශපාලනික ගම්‍යයන් ය. මෙය, කම්කරු පන්තිය මතට කඩා පැනීම සඳහා කෙරෙන සූදානම තුල, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, අධිකරනයේ හා පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිලිබඳ ව්‍යාජයන් තවදුර ඉවත දමමින්, ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම දෙසට වන මාරුවක කොටසකි.

වසංගතයේ ගැඹුරු අර්බුදය ධනපති පාලනය පෙර නුවූ විරූ ලෙස අස්ථාවර කරද්දී, පෙසප තව තවත් දකුනට ගොස් ඇත. යතාර්ථයේ දී, මෙම පක්ෂය රාජපක්ෂ පාලනය සමග කුලුපගකම් පවත්වමින් සිටී. එය, ගිය මාසයේ, ජනාධිපති, අගමැති හා හමුදාපතිට, ‘වසංගතය මැඩපැවත්වීම සඳහා ක්‍රියා මාර්ගයක්’ යොමු කලේ ය. විෂඝෝර අත්‍යවශ්‍ය  සේවා නීති යොදා ගනිමින්, රාජපක්ෂ පසුගිය මාසයේ සිට රාජ්‍ය අංශයට පනවන ලද වැඩ වර්ජන තහනමට සහයෝගය දෙමින් මෙම පක්ෂය මුනිවත රකිමින් සිටී.

රාජපක්ෂ ආන්ඩුව ජීවන හා සමාජ කොන්දේසි මතට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරුවන් හා තරුනයන් අතර පවතින කෝපය අපසරනය කිරීම සඳහා පෙසප සෑම දිනක ම විවිධාකාර විරෝධතා සංවිධානය කරයි.

ගෝලීය වෙනස්කම්වල කොටසක් ලෙස ලංකාව තුල දැන් සිදුවන දේශපාලන වර්ධනයන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) බරපතල ලෙස සැලකිල්ලට ගනී. වසංගතය විසින් වේගවත් කරනු ලබන ලෝක ධනවාදයේ අර්බුදය මධ්‍යයේ, සෑම රටක් තුල ම පාලක පන්තිය හා ඒවායේ පාලන තන්ත්‍ර ආඥාදායක පාලන රූප වෙතට මාරුවෙමින් සිටිති.

ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම සඳහා, ගම්බද දුගීන් හා තරුනයන් තමන් වටා රැලි කරගන්නා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වීමේ ක්‍රියා මාර්ගය, සසප විසින් ඉදිරිපත් කරයි.

Loading