ඉදිරිදර්ශන

ජනවාරි 6 ෆැසිස්ට් කැරැල්ලෙන් මාස හයකට පසු, එක්සත් ජනපදයේ නිදහස් දිනය

[මෙය The Fourth of July in the United States, six months after the January 6 fascistic insurrection යන මැයෙන් 2021/07/03 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලිපියයි.]

මේ වසරේදී ජුලි 4 වනදා [ඇමරිකානු නිදහස් දිනය:පරිවර්තක] ස්වාධීනතා ප්‍රකාශනයේ දෙසිය හතලිස් පස්වන සංවත්සරය සමරනු ලබන්නේ අසාමාන්‍ය තත්වයන් යටතේ ය.

ජෝන් ට්‍රම්බල්ගේ ස්වාධීනතා ප්‍රකාශනය චිත්‍රය [මුලාශ්‍රය: විකිමීඩියා කොමන්ස්] [Photo: John Trumbull ]

2020 මැතිවරනයේ ප්‍රතිඵල පෙරලා දමා ජනාධිපති ආඥාදායකත්වයක් ඇති කිරීමේ අරමුනින් ට්‍රම්ප් විසින් මැර කල්ලියක් උසිගැන්වූ ලැබූ ජනවාරි 6 වන දිනට පසු එලඹෙන පලමු ජූලි හතරවනදාව මෙයයි. දේශපාලන කුමන්ත්‍රනයට රිපබ්ලිකන් පක්ෂයේ සහයෝගය තිබූ අතර එය මැතිවරනය “වංචා” කර ඇති බවට වන බොරුව ප්‍රවර්ධනය කලේය. සිදුවීම් දිග හැරෙත්ම කොන්ග්‍රස් සභා ශාලාවෙහි පොලිස් බලකායේ නොසැලකිලිමත් උදාසීනත්වය සඳහා රාජ්‍ය යාන්ත්‍රනයේ සැලකිය යුතු කන්ඩායමක පිටුබලය තිබුනි.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමට ට්‍රම්ප් ගේ උත්සාහයන් ආධිපත්‍යය දැරූ වසරක කාලය තුල, ඩිමොක‍්‍රටික් පක්ෂය සහ එහි අනුගාමිකයින් වාර්ගික භේදකරනය මත පදනම්ව ඉතිහාසය නැවත ලිවීම තුලින් ඇමරිකානු විප්ලවයේ යුක්තියුක්ත භාවය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී තිබේ. නිව් යෝර්ක් ටයිම්ස් සිය “1619 ව්‍යාපෘතිය” දියත් කල අතර එය ඇමරිකානු විප්ලවය “වහල් හිමියන්ගේ කැරැල්ලක්” ලෙස හෙලා දකියි, එහි මූලික අරමුන වූයේ එක්සත් ජනපදයේ වහල් ක්‍රමය දිගටම පවත්වාගෙන යාම යි.

1776 ජූලි 4 වන දින දෙවන මහාද්වීපික ස්වාධීනතා ප්‍රකාශනය සම්මත කිරීමේ සම්මේලනය, අනාගත එක්සත් ජනපද ඉතිහාසයේ පමනක් නොව සමස්ත ලෝකයේම වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කලේය. වසරකට පෙර එනම් 1775 අප්‍රේ‍ල් මාසයේ ආරම්භ වූ නිදහස් යුද්ධය “යුරෝපීය මධ්‍යම පංතියට අනතුරු දන්වන සීනුව නාද කලේය” යනුවෙන් කාල් මාක්ස් සඳහන් කලේය. එය, 1789 දී ආරම්භ වූ ප්‍රංශ විප්ලවය ද ඇතුළුව එම යුගයේ මහා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව සඳහා ගාමකයක් විය.

බ්‍රිතාන්‍ය රාජාන්ඩුවෙන් ආපසු හැරවිය නොහැකි බිඳීමක් ප්‍රකාශයට පත් කිරීමේ දී “ආරම්භක පියවරුන්”, විප්ලවය, බුද්ධි ආලෝකයේ විශ්වීය අදහස් තුල පදනම් කර ගත් අතර, ඒවා ඔවුන්ගේ කාලයේ දී මුළුමනින්ම ප්‍රගතිශීලී සංකල්ප විය. තෝමස් ජෙෆර්සන් විසින් ලියන ලද ප්‍රකාශය තුල “සියලු මිනිසුන් එක හා සමානව නිර්මානය කර ඇති බවත්, ඔවුන්ගේ මැවුම්කරු විසින් ජීවිතය, නිදහස සහ සතුට සොයා යාම වැනි අනන්‍ය සන්තක නිශ්චිත අයිතිවාසිකම් ලබා දී ඇති බවත් යන මෙම සත්‍යයන් ස්වයං-ප්‍රත්‍යක්ෂ බව අපි සලකමු' යයි ලිවීය. “කිසියම් ආකාරයක ආන්ඩුවක් මෙම අරමුනු සඳහා විනාශකාරී වුවහොත් එය වෙනස් කිරීම හෝ අහෝසි කිරීම ජනතාවගේ අයිතියයි.”

සියලු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයන්හි මෙන්ම, සමානාත්මතාවයේ විශ්වීය පරමාදර්ශයන් සහ එකල පැවති වෛෂයික කොන්දේසි අතර විශාල පරතරයක් පැවතුනි. විශේෂයෙන් ඇමරිකානු විප්ලවයට ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිවිරෝධය වන චැටල් වහල් සේවයේ පැවැත්ම විසඳීමට නොහැකි විය. [චැටල් වහල්භාවය යනු එක් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගේ පූර්න අයිතිය ඇති බවයි - පරිවර්තක]

කෙසේ වෙතත්, විප්ලවය, ස්වාධීනතා ප්‍රකාශයෙන් වසර අසූ පහකට පසුව දෙවන ඇමරිකානු විප්ලවය, එනම් එක්සත් ජනපද සිවිල් යුද්ධය පුපුරා යාම දක්වා, වහල්භාවය අහෝසි කිරීමේ කූටප්‍රාප්තියට තුඩු දුන් සමාජ හා දේශපාලන ක්‍රියාදාමයන් ආරම්භ කලේය. සිවිල් යුද්ධය, කම්කරු පන්තිය සහ ධනේශ්වරය අතර පන්ති අරගලයේ නව අදියරක් සඳහා මග එලි පෙහෙලි කල අතර එය අද දක්වාත් පවතී.

අද වන විට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවල දැවැන්ත පරිහානියට යටින් පවතින්නේ කුමක්ද? පලමුව, සමාජ අසමානතාවයේ ආන්තික වර්ධනය යි. දශක හතරක සමාජ ප්‍රති-විප්ලවය, ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් අත ධනය සංකේන්ද්‍රනය කර ඇති අතර එය බ්‍රිතාන්‍ය වංශාධිපතියන් පවා පරදවනු ඇත.

ඇමරිකානු කුටුම්භයන්ගෙන් ඉහලම සියයට එක සතුව දැන් ඩොලර් ට්‍රිලියන 34.2 ක් ඇති අතර එය ජනගහනයෙන් පහල භාගයේ ධනයට වඩා 15 ගුනයකි. වසංගතය අතරතුර, ලෝකයේ ප්‍රකෝටිපතියන් ඔවුන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 8 සිට ඩොලර් ට්‍රිලියන 13.1 දක්වා, එනම් සියයට 60 කට වඩා වැඩි කර ගත්හ. ඇමේසන් හි ජෙෆ් බෙසෝස් හෝ ටෙස්ලා හි එලොන් මස්ක් වැනි පුද්ගලයින්ට බිලියන ගනනකගේ ජීවිත කෙරෙහි ඉමහත් බලයක් ඇති ඔවුන්ගේම සමාජ හා ආර්ථික පද්ධති ජාල සතු ය.

මෙය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනුකම්පා විරහිත හා නොනවතින යුද ධාවකය සමඟ සංයුක්ත වේ. පසුගිය වසර එකහමාර තුල පාලක ප්‍රභූව මුලසුන හෙබවූයේ එක්සත් ජනපදය තුල පමනක් කොරෝනා වෛරස් වසංගතයෙන් 600,000 කට වැඩි පිරිසක් මිය යාමට හේතු වූ මිනීමරු ප්‍රතිපත්තියකට ය. දැන් බයිඩන් යටතේ සිටින මෙම පාලක පන්තියම මිලියන සිය ගනනක ජීවිතවලට තර්ජනයක් වන මිලිටරිවාදයේ හා යුද්ධයේ ප්‍රතිපත්තියක් තීව්‍ර කරයි.

සමාජ අසමානතාවයේ හා යුද්ධයේ හානිකර ප්‍රතිඵලය නම් ආඥාදායකත්වය සඳහා වෛෂයික කොන්දේසි නිර්මානය කිරීමයි. ට්‍රම්ප් විසින් මෙම ක්‍රියාවලිය වඩාත් සංකේන්ද්‍රිත ස්වරූපයෙන් නියෝජනය කරයි. ජනවාරි 6 හි සිදුවීම් වැදගත් වන්නේ මාස හයකට පෙර සිදු වූ දෙයක් ලෙස පමනක් නොව, සිදුවෙමින් පවතින දේ ද සඳහා ය. ට්‍රම්ප් කතා කරන්නේ, ආන්ඩුව පෙරලා දැමීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවල ඉතිරිව ඇති දේ ද අහෝසි කිරීම සඳහා ක්‍රියාකාරීව කුමන්ත්‍රනය කරන පාලක පන්තියේ කන්ඩායමක් වෙනුවෙනි.

පසුගිය සතිය පුරා, ට්‍රම්ප් විසින් රිපබ්ලිකන් පක්ෂයේ 2022 මැදිවාර මැතිවරන ව්‍යාපාරයට නිල නොවන ආරම්භයක් ලෙස මැතිවරන ප්‍රචාරක ශෛලියේ රැලි මාලාවක් මෙහෙයවා ඇති අතර, රිපබ්ලිකන් පක්ෂයේ තථ්‍ය නායකයා ලෙස ඔහුගේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරයි. පසුගිය සති අන්තයේ ඔහියෝහි ලොරේන් ප්‍රාන්තයේ පැවති රැලියකදී ට්‍රම්ප් “ඔබේ පවුල බරපතල අනතුරකට ලක්කිරීමට හැකි සෑම දෙයක්ම කරන රැඩිකල් වාමාංශික ඩිමොක්‍රටිකයන්ට” එරෙහිව චෝදනා කලේ ඔවුන් සංක්‍රමනිකයින්ට රට තුලට ඇතුළු වීමට ඉඩ දීම සහ පොලිසිය බෙලහීන කිරීමට කටයුතු කරන බැවිනි.

ඔහියෝහි ට්‍රම්ප්ගේ ප්‍රකාශයට පෙර, කොංග්‍රස් කාන්තාවක් වන මාජෝරි ටේලර් ග්‍රීන් ප්‍රකාශයක් කලා ය, ඇය මුලුමනින්ම ෆැසිස්ට්වාදී සහ කිවුඇනන් (QAnon) කුමන්ත්‍රන න්‍යායේ ප්‍රකාශකයෙකු වන අතර, “නිව් යෝර්ක් නගරයේ කුඩා කොමියුනිස්ට්වාදියෙකු වන ඒඕසී නායකත්වයෙන් යුත් ජිහාඩ් බලකාය ද ඇතුලත් රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්” අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියාය.

ඇරිසෝනා ප්‍රාන්තයේ ඡන්දය ප්‍රකාශ කිරීම සීමා කිරීම සඳහා බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරනය 6–3 කින් ඡන්දය ප්‍රකාශ කලේය. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් පනතෙහි ඉතිරිව ඇති දේ ද ඉවත් කිරීමට ගත් මෙම තීරනය, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියට වල කපන තවත් ක්‍රියාමාර්ග ගැනීමට රට පුරා ප්‍රාන්තවලට කරන සංඥාවකි. මැතිවරනය “වංචා කර” ඇති බවට සිදු කරන රිපබ්ලිකානුවන්ගේ වංචනික ප්‍රකාශයන්ට රුකුල් දීම ද මෙහි අරමුනකි.

කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැපවූ පාලක පන්තියේ කිසිදු කන්ඩායමක් නොමැත. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරය නම් සෑම අවස්ථාවකදීම ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයේ වැදගත්කම සහ දැනට පවතින අන්තරාය වසන් කිරීම හා අවතක්සේරු කිරීමයි. බයිඩන් මාස හයකට පෙර බලයට පත්වූයේ රිපබ්ලිකන් පක්ෂයේ ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගෙන් “එක්සත්කම” සහ “ද්විපාර්ශ්වික සහය” ඉල්ලා සිටිමිනි.

ඇමරිකානු විප්ලවය පමනක් නොව, සිවිල් යුද්ධය ද, කළු ඇමරිකානුවන් විසින් ස්වදේශික සුදු ජාතිකයින්ට එරෙහිව දියත් කල හුදකලා ජාතිවාදී සටනක් බව කියමින් ද අඛන්ඩ හා නොනැසී පවත්නා වාර්ගික අරගලයේ ආඛ්‍යානයන් ලෙස ඉදිරිපත් කරමින් ද ඉතිහාසය නැවත ලිවීම සඳහා ඩිමොක්‍රටිකයින් විසින් මෙහෙයවන ලද තරයේ ප්‍රතිගාමී ව්‍යාපෘතියක් තිබේ.

එක්සත් ජනපදයේ විප්ලවවාදී සම්ප්‍රදායන්ට අවමන් කිරීමේ වඩාත් ප්‍රතිගාමී ප්‍රතිවිපාකවලින් එකක් නම්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඉන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පෙරලා දැමීමට කුමන්ත්‍රනය කරන අතරම, ඇමරිකානු විප්ලවයේ උරුමය ආරක්ෂා කරන්නෙකු ලෙස ෆැසිස්ට්වාදී ට්‍රම්ප් ට විකාර සහගත ලෙස පෙනී සිටීමට ඉඩ දී තිබීමයි.

පාලක පන්තියේ කොටස් දෙකටම පොදු වන්නේ කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය පිලිබඳ ගැඹුරු භීතිය යි. ට්‍රම්ප් සිය ෆැසිස්ට්වාදී බැනවැදීම් වලදී ධනවාදය ආරක්ෂා කිරීමට සහ සමාජවාදයේ තර්ජනය තුරන් කිරීමට මූල්‍ය කතිපයාධිකාරයට ඇති හොඳම යාන්ත්‍රනය ලෙස තමා නිරූපනය කර ගනියි. ඩිමොක්‍රටිකයින්ගේ වාර්ගික ගැටුම් ප්‍රවර්ධනය කිරීම කම්කරු පන්තිය බෙදීමේ යාන්ත්‍රනයකි. ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් නිව් යෝර්ක් ටයිම්ස් 1619 ව්‍යාපෘතිය සහ ඉතිහාසයේ ජාතිවාදී මුසාකරනය හැඳින්වීමෙහි සඳහන් කලේ:

1619 ව්‍යාපෘතිය පසුපසින් ඇති අභිප්‍රේරනාත්මක බලය වන්නේ, ශාස්ත්‍රාල තුල දශක ගනනාවක් පුරා වර්ධනය වී ඇති පරිද්දෙන් පවතින වාර්ගිකවාදී දෘෂ්ඨියත්, ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයත් අතර අන්තර් ක්‍රියාවයි. විශේෂයෙන්ම, සමාජවාදය පිලිබඳව වර්ධනය වෙමින් පවතින උනන්දුවක් හා සහායයක් ගොනු වෙමින් පවතින්නා වූ ආන්තික සමාජ ධ්‍රැවාන්තගතවීමේ තතු යටතේ, ධනේශ්වර පන්තියේ දේශපාලන මෙවලමක් වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂය, සමාජ අසමානතාවයේ හා පන්ති ගැටුමේ අවතාරය නඟා සිටුවන විෂයයන්ගෙන් ඉවතට අවධානය හැරවීමට උත්සුක වී සිටී. මේ වූ කලී, වාර්ගිකත්වය ඉතිහාසය පිලිබඳ සිය ආඛ්‍යානයේ කේන්ද්‍රයෙහි පිහිටුවන්නා වූ, ඉතිහාසය යලි අර්ථ නිරූපනය කිරීමේ කෘත්‍යයකි.

ඇමරිකානු විප්ලව දෙක ආරක්ෂා කිරීම සඳහා සංවිධානාත්මක ක්‍රියාකලාපයක් ඉටු කරනු ලැබුවේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානාත්මතා පක්ෂය පමනි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මැදිහත්වීම හැරුනු විට, 1619 ව්‍යාපෘතියට විරුද්ධත්වයක් පැමිනෙනු ඇත්තේ දකුනෙන් පමනි.

මෙය වඩාත් ගැඹුරු සත්‍යයක් අවධාරනය කරයි, එක්සත් ජනපදයේ පමනක් නොව ජාත්‍යන්තරව ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රඳා පවතින්නේ සමාජවාදය සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම මත ය.

“ජීවිතය, නිදහස සහ සතුට සොයා යාමට” විනාශකාරී වන ඕනෑම රජයක් “වෙනස් කිරීම හෝ අහෝසි කිරීම” සඳහා “අයිතියක්” සහ “යුතුකමක්” ඇති බව ස්වාධීනතා ප්‍රකාශනය ප්‍රකාශයට පත් කලේය. වෙනස් කල යුතු දේ වෙනස් කල යුතුය, මෙම වචන අද කියවන්නේ පාලක පන්තියේ සහ එය මුලසුන හොබවන සමස්ත සමාජ හා ආර්ථික ක්‍රමයට එරෙහි චෝදනාවක් ලෙස ය. එය පසුගිය වසර එකහමාර තුල බිහිසුනු ස්වරූපයෙන් සනාථ වී තිබේ.

ෆැසිස්ට්වාදයට, ආඥාදායකත්වයට හා ඒකාධිපතිවාදයට එරෙහි වීම එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරු රජයක් පිහිටුවීමේ සටනෙන් පිටත කල නොහැකි දෙයකි. ධනවතුන් අස්වාමික කිරීම තුලින් ආර්ථිකය තුලට ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කර, නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය අහෝසි කර අව්‍යාජ සමානාත්මතාවය මත පදනම් වූ සමාජවාදී සමාජයක් ගොඩනැගීම කල හැකි වන්නේ එවිට ය.

Loading