ආන්ඩුව වරාය කම්කරුවන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයට වැට බඳී

අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට තවත් ප්‍රහාරයක් එල්ල කරමින් ආන්ඩුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කම්කරුවන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට බරපතල සීමාවන් පනවා ඇත. වරාය අධිකාරියේ හිටපු සභාපති ජෙනරල් දයා රත්නායකගේ අත්සනින් මැයි 5 දාතමින් නිකුත් කල චක්‍රලේඛයක් මගින් පනවා ඇති මෙම සීමාවන් බොහෝ කම්කරුවන්ට දැක ගත හැකිවුයේ ජූනි මාසයේ අවසානයේ බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.

චක්‍රලේඛයට අනුව, “මුහුනුපොත, යූටියුබ්, වට්ස්ඇප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් හා ඊට සමාන වෙනත් සමාජ මාධ්‍ය හරහා පල කරනු ලබන අදහස් ආයතනයේ ප්‍රතිරූපයට බලපෑම් කරනු ලැබෙන” බැවින්, ඒවා තුල “සේවකයින්ගේ හැසිරීම් රටාව ආයතනය පිලිබඳ වූ විශ්වාසය ගොඩනගන ආකාරයට තිබිය යුතු” වෙයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය “ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලන කාර්ය සංවිධාන සංග්‍රහයේ සඳහන් විධිවිධාන වලට අනුකූල විය යුතු” බව සඳහන් කරන එය, ඉහත පිලිවෙත්වලට එරෙහිවීම බරපතල විෂමාචාරයන් ලෙස සලකන බවද, “එවැනි විෂමාචාරයන්හි යෙදෙන නිලධාරීන්/සේවකයන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන” බවද අවධාරනය කරයි.

පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ විරෝධය

වරාය කම්කරුවන්ගේ උද්ඝෝෂනයක්

පුද්ගලීකරනය, රැකියා සහ ජීවන කොන්දේසි විනාශ කිරීම හා කොවිඩ්-19 වසන්ගතය මධ්‍යයේ “අත්‍යවශ්‍ය සේවා” විධිවිධාන පනවා බලහත්කාරයෙන් වැඩට දැක්කීම ඇතුලු ආන්ඩුවේ විවිධ ප්‍රහාරයන්ට එරෙහිව වරාය කම්කරුවන් වැඩෙන විරෝධය සමාජ මාධ්‍ය තුල ප්‍රකාශයට පත් කිරීම සහ එම මාධ්‍ය භාවිතා කරමින් උක්ත ප්‍රහාරයන්ට එරෙහිව සංවිධානයවීම වැලැක්වීම මෙම වාරනයේ අරමුනයි.

වරාය කම්කරුවන්ගේ භාෂනයේ අයිතිය වල දැමීමේ මෙම ප්‍රයත්නය ආඥාදායක පාලනයක් කරා යමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, සමස්ත කම්කරු පන්තියට එරෙහිව දියත්කොට ඇති පුලුල් ප්‍රහාරයේ කොටසකි.

කම්කරුවන් මුහුනදෙන අතිමූලික ප්‍රශ්න ධනපති මාධ්‍ය විසින් මුලුමනින් යට ගසා ඇති තත්වයක් තුල ඔවුන් තම ගැටලු සහ විරෝධය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ සමාජ මාධ්‍ය මගිනි. ආන්ඩුව සමාජ මාධ්‍ය වලට එරෙහිව පොදු වාරනයක් පනවා ඇත්තේ එම විරෝධය යටපත් කිරීමේ අරමුනෙනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජූනි 27 පල කරන ලද “සමාජ මාධ්‍යයට එරෙහිව කඩා පැනීම සඳහා ආන්ඩුව පොලීසිය මුදා හරියි ” යන ලිපියෙන් පැහැදිලි කල පරිදි “සමාජ මාධ්‍යන්හි ඊනියා ව්‍යාජ ප්‍රවෘත්ති පලවන බවට චෝදනා කරමින් ඒවා මර්දනය කිරීම පිනිස, නව ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් නිවේදනය කර ඇති ආන්ඩුව, ඒවා ක්‍රියාත්මක කිරීමට පොලීසිය මෙහෙයවා තිබේ. ”

එම ලිපියේ පෙන්වාදෙන පරිදි, “සයිබර් අවකාශයේ මුර සංචාරයේ යෙදෙමින් කොවිඩ්-19 හෝ වෙනත් ඕනෑ ම සංවේදී කරුනක් පිලිබඳ 'ව්‍යාජ ප්‍රවෘත්ති' හසු කරගැනීමට, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විශේෂ කන්ඩායමක් ස්ථාපනය කොට ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ජුනි 7දා ප්‍රකාශ කලේ ය.'

බොරු චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගනු ලබන්නන්ට දන්ඩ නීති සංග්රහය, පරිගනක අපරාධ පනත, ත්රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) හා අසභ්ය ලිංගික කෘති පනත යනාදී රටෙහි පවතින දරුනු නීති යටතේ, චෝදනා කරනු ලැබිය හැක. වරාය කම්කරුවන්ට එරෙහිව නිකුත්කර ඇති ඉහත චක්‍රලේඛයේ එන විධිවිධානයන්ට අනුව අධිකාරිය විසින් යම් කම්කරුවෙකුට එරෙහිව කරනු ලබන විනය පරීක්ෂනයක දී ඔහු වරදකරුවෙකු වුවහොත්, අධිකාරියෙන් පනවන දඬුවමට අමතරව, ඉහත දන්ඩනයන් ද පැනවීමේ සෑම ඉඩක්ම පවතී.

ලෝක ධනේශ්වර ක්රමය මුහුනදී ඇති ගැඹුරු අර්බූදය මැද ලොවපුරා පුරා ධනපති පාලකයෝ සමාජ මාධ්ය ට එරෙහි මර්දනය ක්රියාවට දමති. එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුලු රටවල් ගනනාවක් තුල ආන්ඩුව විවේචන කරන සමාජ මාධ්‍ය ගිනුම් නිරන්තරව තහනම් කෙරෙමින් පවතී.

රාජපක්ෂ ආන්ඩුව මෙලෙස රාජ්‍ය මර්දනය තර කරන්නේ කොවිඩ් 19 වසන්ගතය ව්‍යසනකාරීව පැතිර යමින් තිබියදීම ආර්ථිකය විවෘත කරමින් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභය සඳහා මිනිස් ජීවිත නොතකා කටයුතු කරනු ලබන තත්වයේදීය. රැකියා හා වැටුප් කප්පාදු ඇතුලු රුදුරු ප්‍රහාරයන්ට එරෙහිව රාජ්‍ය අංශයේ සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, විදුලිබල හා ජල සම්පාදන කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් ඇවිලී තිබේ. ගොවීන්ගේ හා ශිෂ්‍යයන්ගේ විරෝධතා ද නිතිපතා වැඩෙමින් ඇත.

ආන්ඩුවේ පිලිවෙත් වලින් මෙහෙයවෙන වරාය අධිකාරියේ පාලකයන් දැන් සූදානම් වන්නේ කම්කරුවන් අතර වේගයෙන් වැඩෙන විරෝධය තලා දැමීමටය. ජීවන බර උසුලාගත නොහැකි තත්වයේදී වසන්ගතය පාවිච්චි කරමින් අතිකාල දීමනා කප්පාදුකොට උසුලාගත නොහැකි බරක් කම්කරුවන් මත පටවා ඇත.

කම්කරුවන්ගේ, ගොවියන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල වේගයෙන් වැඩෙන තත්වයක් තුල ආන්ඩුව නිරෝධායන නීති වලට මුවා වෙමින් ජූලි 06 සිට නැවත දැනුම් දෙනතුරු “පොදු රැස්වීම්, උද්ඝෝෂන, වැනි ක්‍රියාකාරකම්” තහනම් කලේය. රාජපක්ෂ මෙම ප්‍රහාරයේම කොටසක් ලෙස, මැයි 27 හා ජුනි 2දා, රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර ගනනාවකට වර්ජන තහනම් නියෝග නිකුත් කලේය.

ජූනි 17 දින එම වැඩ වර්ජන තහනම නැවත පැහැදිලි කෙරුනි. ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් හෝ ඊට අදාලව සිදු කරනු ලබන සියලුම සේවාවන්, අත්‍යවශ්‍ය සේවා නියෝගයට යටත් කර ඇත. මෙම නියෝගය යටතේ සියලු වැඩ වර්ජන තහනම් කෙරෙන අතර, තහනම කඩකරන්නන් දැඩි සිර දඬුවම් හා දඩ වලට යටත් කෙරේ.

වරාය තුල ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ වෘත්තීය සමිතිය ඇතුලු සියලු වෘත්තීය සමිතීන්හි නිහඬත්වය මැද මෙම නියෝග ක්‍රියාත්මක කෙරේ. සියලු ධනපති විරුද්ධ පක්ෂ මෙන්ම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වාම පක්ෂ ද මෙම මර්දනකාරී පන්ති-යුද පියවරයන්ට නිහඬ ව අනුමැතිය දී ඇත.

කම්කරුවන්ට පනවා ඇති අත්‍යවශ්‍ය නියෝගය සහ පුද්ගලීකරනය පරාජය කිරීමට, රැකියා සුරක්ෂිත කර ගැනීම සහ ජීවන වියදමට සරිලන වැටුපක් දිනා ගැනීම ඇතුලු සියලු අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වරාය කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලි‌වෙල යටතේ සටන් වැදිය යුතුය. වෘත්තීය සමිතීන්ගෙන් බිඳී කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මේ සඳහා අත්‍යවශ්‍ය වේ.

Loading