කර්මාන්ත මුලුමනින්ම විවෘත කර ගැනීමේ උවමනාවෙන් ආන්ඩුව වෙලඳ කලාපවල කොරෝනා එන්නත්කරනය වේගවත් කරයි

පසුගිය මාසයේ සිට නිදහස් වෙලඳ කලාපවල කොරෝනා මර්දන එන්නත්කරනය වේගවත් කිරීමට ආන්ඩුව පියවර ගෙන ඇති අතර, මෙම කාර්යය සඳහා සෞඛ්‍ය සේවකයින් වෙනුවට ආරක්ෂක හමුදාවන් යොදා ගෙන ඇත.

නෙක්ස්ට් ගාමන්ට් කම්කරුවන්ගේගේරගලයක්

කොවිඩ්-19 වසංගතයේ විවිධ නව ප්‍රභේද දිවයින පුරා සීඝ්‍රව පැතිරෙන කොන්දේසි තුල, රාජපක්ෂ ආන්ඩුව එන්නත්කරනය හුවා දක්වමින් “නව සාමාන්‍යය” යටතේ සියලු ආර්ථික කටයුතු ආරම්භ කිරීමට වැඩ කරමින් සිටී.

ආන්ඩුවට සහ මහා ව්‍යාපාරිකයින්ට මෙන්ම ඔවුන්ගේ පන්දම්කාර වෘත්තීය සමිතිවලට එන්නත්කරනය වේගවත් කිරීම අවශ්‍ය වන්නේ ඇඟලුම් සේවකයින් කෙරෙහි ඇති අනුකම්පාව නිසා නොව, සංගතවල ලාභ මිරිකා ගැනීම උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම පිනිසය. ඇඟලුම් හාම්පුතුන්ගේ සංවිධානය වන ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය පෙබරවාරී මස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ තම කර්මාන්තයේ නිරත 35,000 ක් වන සේවකයින්ට එන්නත් ලබා දීමට ප්‍රමූඛතාවය දෙන ලෙසටයි.

කම්කරුවන්ට එන්නත් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරන ඇතුලු සියලුම ආරක්ෂාවන් ලබා ගැනීමේ අයිතිය පවතී. එහෙත් ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ උත්සුකය වන්නේ කම්කරුවන්ගේ ජීවිතවලට ඉහලින් ලාභය පවත්වා ගැනීමයි.

පසුගිය වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල අගුලු දැමීමෙන් පසු මැයි මස ආර්ථිකය යලි විවෘත කිරීමේ පටන් නිදහස් වෙලඳ කලාපවල සහ ඉන් පිටස්තරව පිහිටි ඇඟලුම් කම්හල්වල වසංගතය සීඝ්‍රයෙන් පැතිර ගියේය. කම්කරුවන් දහස් ගනන් රෝගයට ගොදුරු වූ අතර කිහිප දෙනෙක් මරනයට ගොදුරු වූහ. මේ හේතුවෙන්, විවිධ ප්‍රදේශවල කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් කම්හල් වසා දමන ලෙස ඉල්ලා උද්ඝෝෂනයන් හි යෙදී ගත්හ.

මෙම උද්ඝෝෂන නොතැකූ ආන්ඩුව, වෛරසය වඩවඩාත් පැතිරෙමින් පැවැතියදී පවා, ආන්ඩුව කම්හල් වසා නොදමා කම්කරුවන් දිගටම වැඩෙහි යෙදවීය. මෙය ආන්ඩුවේ ප්‍රතිපත්ති සමග සමපාත වී ඇත. දැවැන්ත විදේශ විනිමය හිඟයකින් පෙලෙන ආන්ඩුව කම්කරු ජීවිත වසංගතයට බිලි දී හෝ අපනයන ආදායම ඉහල දමා ගැනීමේ පිලිවෙතක් අනුගමනය කරයි. ජනාධිපති ප්‍රකාශ කර ඇති පරිදිම, කම්හල් විවෘතව තබා ගැනීම මේ සඳහා අවශ්‍ය කෙරේ.

කායික දුරස්ථභාවය පවත්වා ගැනීම, පිසීආර් පරීක්ෂන සිදුකිරීම, වෛරසය අසාදනය වූවන්ට නිසි ප්‍රතිකාර ලබාදීම ඇතුලු සෞඛ්‍යාරක්ෂන ක්‍රමවේදයන් සම්පාදනය කලා යයි කම්හල් පාලකයන් ප්‍රෝඩාකාරී ලෙස පැවසුවද සැබවින්ම කිසිදු විධිමත් ආකාරයකට මෙම පිලිවෙත් අනුගමනය කර නොතිබිනි. මෙහි ප්‍රතිපලයක් ලෙස, කටුනායක කලාපය තුල පිහිටි කම්හල් 69 ක සේවකයින් 2,627 දෙනෙකු කොරෝනා ආසාදිත වී ඇති බවට ජූනි 23 අද පුවත්පත වාර්තා කලේය.

මෙම තතු යටතේ සෞඛ්‍ය සේවකයින් වෙනුවට හමුදාව යොදවා එන්නත්කරනය වේගවත්ව සිදු කෙරෙමින් පවතින අතර, ජූලි 4 දා වන විට සියලුම ආයෝජන කලාප තුල මුලු සේවක සංඛ්‍යාවෙන් සියයට 60 කට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇති බව වාර්තා කෙරිනි. කෙසේවෙතත් කම්කරුවන්ට මෙම එන්නත්කරනය පිලිබඳව සැක සංකාවන් පවතී.

පසුගිය මස අගදී කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන් මුන ගැසුනු ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවෝ කම්හල් තුල ඔවුන් මුහුන දෙන අනාරක්ෂිත කොන්දේසි, වැටුප් සහ දීමනා කප්පාදු සහ වැඩ වේගවත් කිරීම්ද පිලිබඳව සාකච්ඡා කලහ.

ස්ටාර් ගාමන්ට් අංක 2 දරන ඇඟලුම් කම්හලේ කාන්තා කම්කරුවෙක් තම කම්හලේ පවතින අනතුරුදායක තත්වය සහ තමන් මුහුන දී ඇති ආර්ථික ප්‍රශ්න ගැන කතා කලාය. ඇගේ ආශ්‍රිත කම්කරුවන්ට කොරෝනා රෝගය වැලඳුනු විට සති දෙක බැගින් කිහිප විටක් තම බෝඩිම් කාමරය තුලම නිරෝධායනය වීමට ඇයට සිදුව ඇත. වරක් පීසීආර් පරීක්ෂනයකින් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් විටදී පවා ඇයට තම බෝඩිම් කාමරය තුලම නිරෝධායනය වීමට සිදුවිය. නැවත සේවයට කැඳවූ විට කිසිදු පරීක්ෂනයක් සිදු නොකෙරිනි. කම්හලේ පාලකයන් සැබෑ තොරතුරු සඟවන නමුත් පසුගිය මස අගදී කම්කරුවන් හතරපස් දෙනෙකුට රෝගය වැලඳී ඇති බව ඇය විශ්වාස කරන්නීය.

ඇයගේ මුලු වැටුප රු. 30,000 ක් වන අතර, ඉන් රු. 4,000 ක් බෝඩිම් කුලිය ලෙස ගෙවූ විට ඉතිරි වන මුදල, මෑතදී ඇතිවූ බඩු මිල ඉහල යාමත් සමග තම වියදමට පවා ප්‍රමානවත් නොවන බැවින් දෙමාපියන්ට මුදල් යැවීම අසීරු වී ඇත.

ආන්ඩුවේ කොරෝනා මර්දන වැඩපිලිවෙල ගැන කිසිදු විශ්වාසයක් නැතිබව පවසමින් ඇය මෙසේ කීවාය: “පලමු රැල්ලෙන් රෝගය අවසන්වී ඇතැයි කියා සිතුවත් දැන් හිතෙන්නේ මේ තත්වයම දිගටම තියෙයි කියල, මීට වඩා වැඩි වෙතත් අඩු වෙන්නේ නැහැ කියල.” කෙතරම් පරෙස්සම් වූවත් තමාට රෝගය ආසාදනය වූ බව ඇය තවදුරටත් පැවසුවාය.

ගොවිජනතාව බහුලව වෙසෙන ඌව පලාතෙන් පැමිනි ඇය, “ගමේ තත්වය ගැන කතා කරල වැඩක් නැහැ, පොහොර එන්නෙත් නැහැ, එයාලත් [ගොවි ජනතාව] නැතිවෙලායි තියෙන්නේ, උද්ඝෝෂන දිගටම පවත්වනවා” යැයි පවසමින් ගොවියන්ගේ කකෑරෙන වෛරය ගැන ඉඟි කලාය.

වැල්ලවායේ සිට පැමින, ස්ටාර් ගාමන්ට් අංක 1 ඇඟලුම් කම්හලේ වසර 5ක් සේවයේ නිරතව සිටින තවත් කාන්තා කම්කරුවෙකු, කම්හලේ අනාරක්ෂිත කොන්දේසි යටතේ තමන් අත්විඳි තත්වය ගැන පැහැදිලි කරමින් ප්‍රකාශ කලේ තමන්ට කොරෝනා ‍ආසාදිත වීම නිසා සහ තම ආශ්‍රිතයින්ට ආසාදනය වීම නිසා මාස 3 ක් බෝඩිමේ නිරෝධායනය වීමට සිදුවූ බවයි.

කටුනායක කලාපයේ පිහිටි, බෙල්ජියමේ ජේ.කෝර්ටෙස් සමාගමට අයත් යුනයිටඩ් ටුබැකෝ ප්‍රොසෙසින් (යූටීපී) කම්හලේ දුම්කොල කපන අංශයේ කම්කරුවන් දෙදෙනෙකු පැවසුවේ පසුගිය අප්‍රේල් මස සිට කිහිප දෙනෙකුට රෝගය වැලඳුනු බවයි.

ආන්ඩුව විසින් රෝගය මර්දනය කල බවට ගෙනයන ප්‍රෝඩාව ගැන පිලිකුලෙන් කතා කල කම්කරුවෙක් මෙසේ සඳහන් කලේය: “මර්දනය කරානම් මෙහෙම වෙන්නේ නැහැ, ගිය අවුරුද්දේ කොරෝනා මර්දනය කරා කියල කිව්වේ චන්දය නිසා. මේ යන විදියට කොරෝනා තත්වය අඩු වෙයි කියල හිතන්නේ නැහැ.” ඩෙල්ටා ප්‍රභේදය ව්‍යප්ත වුවහොත් එන්නත් ලබා දුන්නද එහි ප්‍රතිපලයක් නොවන බවද ඔහු කීවේය.

කටුනායක කලාපයේ ස්මාට් ෂර්ට් කම්හලේ කම්කරුවෙකුට අනුව, පසුගිය වසරේ 3,000 ක් කම්කරුවන් සිටි එම කම්හලේ දැන් සේවය කරන්නේ 400 -500 ක් අතර සංඛ්‍යාවකි. ඔවුන් උග්‍ර ලෙස සූරා කෑමට ලක්වේ. වසර 7 ක් කම්හලේ වැඩ කරන ඔහු තම අයිතීන් කප්පාදුව ඇති අයුරු මෙසේ පැහැදිලි කලේය: “කොරෝනාවලට කලින්නම් අපි රුපියල් 40,000ක් - 50,000ක් පඩි ගත්තා. දැන් අපිට මාසෙම වැඩට ගිහිල්ලත් 30,000 ක්වත් ගන්න බැහැ. මුලදී ඕටී (අතිකාල) පැයකට රු. 150 ක් ගෙව්වත් දැන් ගෙවන්නේ රු. 100 යි.” වැඩ වේගවත් කිරීම ගැන කතා කරමින් ඔහු සඳහන් කලේ මුලදී පේලියක ඉලක්කය කෑලි 2,500 සිට දැන් එය කෑලි 3,500 ක් දක්වා වැඩි කර ඇති බවයි.

වෘත්තීය සමිති ගැන කතා කරමින් ඔහු පැවසුවේ, ඇන්ටන් මාකස්ගේ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයේ ශාඛාවක් පිහිටවූ නමුත්, එයට කුමක් වූයේදැයි නොදන්නා බවයි. “යූනියන් එකෙන් ඉස්සර ආවා රැස්වීම් තිබ්බා, දැන් මාස තුන හතරක් ඒ වගේ කිසිම දෙයක් නැහැ” යි ඔහු කීවේය.

කම්හල් පාලකයින් විසින් රෝගී වූ කම්කරුවන් නිරෝධායන මධ්‍යස්ථානවලට නොයවා බලහත්කාරයෙන් බෝඩිම්වලම නිරෝධායනය වීමට සලසා ඇති නිසා පලාතේ බෝඩින් හිමියෝ කුපිත වී සිටිති.

ආන්ඩුවේ පිටුබලය ලබාගෙන මෙම අමානුෂික ක්‍රියාවන්හි යෙදෙන කම්හල් පාලකයින් ගැන පිලිකුලෙන් කතාකල කටුනායක ප්‍රදේශයේ බෝඩිම් හිමිකරුවෙක් ලෝසවෙඅට මෙසේ අදහස් දැක්වීය “බෝඩිම් වල ලමයි හැමදාම අපිට ඇවිත් කියනවා ගාමන්ට් එකේ මෙච්චරක් අද ලෙඩ්ඩු හම්බුනා කියලා. නමුත් ගොඩාක් තැන් වලින් හම්බෙන ලෙඩ්ඩු වෙන් කරලා තියන්නේ නෑ, ආපහු බෝඩිමට ආපුවාම හොඳට ඉන්න අයටත් ලෙඩේ බෝවෙනවා. ෆැක්ටරියෙන් හරි රජයෙන් හරි වැඩපිලිවෙලක් හදන්න ඕනා ලෙඩේ හැදෙන අයව වෙන් කරලා තියලා අනිත් අයට බෝවෙන එක නතර කරන්න. මේ යන විදිහට නම් වසංගතය ඉවර කරන්න ලැබෙන්නේ නෑ.”

ආන්ඩු ගැති මාධ්‍ය විසින් දිවයින පුරා සිදු කෙරෙන එන්නත්කරනයේ සාර්ථකත්වය ගැන පම්පෝරි ගැසුවද නිදහස් වෙලඳ කලාපවල සහ ඊට පිටින් ඇති ඇඟලුම් කම්හල්වල සේවකයින්ට කොරෝනා ආසාදනය වීම දිගටම සිදුවේ. ජූලි 8, 7 සහ 3 ලංකාදීප වාර්තාවලට අනුව මැදිරිගිරියේ ඇඟලුම් කම්හලක සේවකයින් 741 දෙනකුගෙන් 26 දෙනකුටද, බද්දේගම ඉඳිගහකැටිය ඇඟලුම් කම්හලක සේවකයින් 650 කින් 103 දෙනකුටද කොරෝනා ආසාදනය වූ අතර මෙම කම්හල් දෙකම දිගටම ක්‍රියාත්මක වේ. කොග්ගල කලාපයේ ඇඟලුම් කම්හලක සේවිකාවකට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත.

නිසි පහසුකම් නොදී සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිත අනතුරට හෙලන අතරේ, විශේෂයෙන් පුහුනුව ලැබියයුතු නිරෝධායනය සහ එන්නත්කරනය වැනි කාර්යයන් සඳහා හමුදාව යොදවා ගනිමින්, රාජපක්ෂ ආන්ඩුව මිලිටරීකරන වැඩපිලිවෙල තීව්‍රකර ඇත. නුපුහුනු හමුදා භටයින් යොදා ගනිමින් එන්නත්කරනය සිදුකිරීමෙන් ඇතිවියහැකි හානි සහ දෝෂ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කල විවේචනයක් දෙරන රූපවාහිනිය ජූලි 7 දා උපුටා දැක්වීය.

Loading