සෞඛ්‍ය කම්කරුවන් තම අරගලය සියතට ගත යුතුයි

ගතවූ සතියක පමන කාලය තුල සෞඛ්‍ය සේවකයෝ තම අයිතීන් දිනාගැනීම සඳහා අඛන්ඩව අරගලයට පැමිනියහ. නමුත් ඒවායේ නායකත්වයෙහි සිටි වෘත්තීය සමිති ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු මත එම විරෝධතා නවතනු ලැබීය.

සෞඛ්‍ය සේවක උද්ඝෝෂනයක්
  • පසුගිය සඳුදා ඉදිරිපත් කිරීමට නියමිත වූ කැබිනට් පත්‍රිකාවක් මගින් ඉල්ලීම් ලබාදෙන බවට සෞඛ්‍ය ඇමතිනිය ලබාදුන් පොරොන්දුවක් මත, 25,000 කට ආසන්න සෞඛ්‍ය සේවකයින් සහභාගිවූ අරගලය එය සංවිධානය කල පරිපූරක වෛද්ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මන්ඩලය සහ අතුරු වෛද්‍ය සේවා ඒ්කාබද්ධ පෙරමුන විසින් විසුරුවා හැරුනි.
    රසායනාගාර විද්‍යා ශිල්පීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වින්නඹු මාතාවන්, ඖෂධවේදීන්, විකිරනවේදීන් සහ චිකිත්සකයින් ඇතුලු අතිරේක වෛද්‍ය හා පරිපූරක වෛද්‍ය සේවාවන් 15 කට අයත් සේවකයෝ, දීමනා, උසස්වීම් ඇතුලු ඉල්ලීම් 14ක් ඉදිරිපත් කරමින් මෙම අරගලයට සහභාගි වූහ.
  • ජුලි 6,7 දෙදින, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් රෝහල් කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයන්ගේ රැකියා ස්ථිර කිරීම ඇතුලු ඉල්ලීම් එකොලහක් මත අසනීප නිවාඩු උද්ඝෝෂනයක් දියත් කරන ලදී. එයට දිවයින පුරා රෝහල් සියයකට වැඩි සංඛ්‍යාවක කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයෝ සහභාගි වූහ.
  • ජුලි 8 වනදා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස) නායකත්වයෙන්, ඉල්ලීම් නමයක් මත පැවැත්වීමට නියමිතව තිබූ පැය 5 ක් සේවයෙන් ඉවත්ව සිටීමේ උද්ඝෝෂනය, අදාල ඉල්ලීම් පිලිබඳව කැබිනට් මන්ඩලයේ ලේකම් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යවා ඇති හෙයින් කල් දමන බව නිවේදනය කෙරුනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජූලි 6 වනදා සඳහන් කලේ හෙද සේවකයන්ගේ ඉල්ලීම් ලැබුනහොත් තමන් දැඩි ක්‍රියාමාර්ග වලට එලඹෙන බවයි.

සෞඛ්‍ය සේවකයන්ගේ මෙම අරගල සමග අවශේෂ කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ වෙතැයි යන භීතියෙන් ආන්ඩුව ඉල්ලීම් කීපයක් ඉටු කරන බවට පොරොන්දු වී ඇත. ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට ලිපියක් යවමින් සඳහන් කර තිබුනේ උසස්වීම් සම්බන්ධ ඉල්ලීම් දෙකකට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි. කෙසේ වෙතත් අනෙකුත් ඉල්ලීම් ඊලඟ අයවැය දක්වා කල් දමා ඇත.

සමිති නායකයෝ මෙම ව්‍යාජ පොරොන්දු කම්කරුවන් මත පටවමින් ඔවුනගේ අරගල යටපත් කිරීමට පියවර ගත්හ. මෙම සිදුවීම් පෙන්නුම් කරන්නේ වෘත්තීය සමිති සෞඛ්‍ය සේවකයන්ගේ දැවෙන ප්‍රශ්න යට ගැසීමට ආන්ඩුව සමග ගනුදෙනුවක යෙදී ගෙන සිටින බවයි.

මීට පෙර රහෙනිස, සමස්ත ලංකා හෙද සේවා සංගමය සහ තවත් වෘත්තීය සමිති ඇතුලත් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ජූනි 11 වනදා පනස්දහසකට ආසන්න සෞඛ්‍ය සේවකයින් පිරිසක් සහභාගී වූ අරගලය මාස තුනකට සීමා වූ රුපියල් 7,500 ක දීමනාවකට යටත් කොට පාවා දුනි. සියලුම වෘත්තීය සමිති යමින් සිටින්නේ මෙම මාවතෙහිය.

සෞඛ්‍ය සේවකයින් ධනපති ආන්ඩු වල මෙම ව්‍යාජ පොරොන්දු වලට රැවටිය යුතු නැත. ආන්ඩුව වැඩෙන ආර්ථික අර්බුදය මධ්‍යයේ පියවර තබමින් සිටින්නේ කම්කරුවන්ගේ ඉල්ලීම් ලබාදීමට නොව කම්කරුවන් දැනටමත් භුක්ති විඳින අයිතිවාසිකම් පවා අතුගා දැමීමටය.

වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය සහායකයන් ඇතුලු සියලු සෞඛ්‍ය සේවකයන් මුහුන දී සිටින්නේ, ජීවන වියදමට සරිලන වැටුප් සහ දීමනා නොමැතිකම, වසංගතයෙන් ආරක්ෂා වීමට අත්‍යාවශ්‍ය ආරක්ෂන උපකරන හිඟය, වෘත්තීය අභිවර්ධනයට අවශ්‍ය පහසුකම් නොමැති වීම ආදී කලක් තිස්සේ පැසවමින් පවතින එක හා සමාන රුදුරු කොන්දේසි වලටය.

කොවිඩ් වසංගතයත් සමග මේ තත්වය වඩා උග්‍ර කෙරී ඇති අතර අතිශයින්ම පරිහානියට පත්වූ සෞඛ්‍ය සේවයක් සමග ඔවුන්ට ගැටීමට සිදුව ඇත. මේ තත්වය මධ්‍යයේ සමස්ත කම්කරු පන්තියේ වැඩෙන කැරලිකාරීත්වයේ කොටසක් ලෙස සෞඛ්‍ය කම්කරුවන් සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් දිගින් දිගටම අරගල වලට ඇදෙමින් සිටිති.

ගතවූ සති කිහිපය පෙන්නුම් කලේ සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන මෙම කැරලිකාරීත්වය ආන්ඩුව සමග ගනුදෙනුවකින් යටපත් කිරීමට වෘත්තීය සමිති උත්සාහ දරමින් සිටින බවයි.

එකම කොන්දේසි වලට මුහුන දෙන සෞඛ්‍ය කම්කරුවන් ශ්‍රේනිවාදී භේදකරනයන්ට ලක් කරමින් ඔවුනගේ පන්ති ශක්තිය මොට කිරීමේ කර්තව්‍යයක මෙම සමිති යෙදී සිටිති. පසුගිය සතිය පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන් තුල පැන නැගුනු අරගල ඒකාබද්ධ අරගලයක් දෙසට වර්ධනය කිරීමට එරෙහිව මෙම සමිති සියල්ල ක්‍රියා කලහ. සමිති වල සටන් පාඨය වී ඇත්තේ කම්කරුවන් ඒකාබද්ධ අරගලයකට යොමු කරන “ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදෙනු” යන්න නොව “අනෙක් ශ්‍රේනියට ලැබුන දෑට එරෙහිවනු” යන්නයි.

කම්කරුවන්ගේ උවමනා හා ඉල්ලීම් පිලිබඳව ඔවුන් අතර කෙරෙන කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් තොරව, සමිති නිලධරය තමන් විසින්ම තීන්දු කරන ඉල්ලිම් මත අරගල නිවේදනය කරති. දැවෙන අවශ්‍යතාවය මත කම්කරුවන් එම අරගල වලට සහභාගී වුවද, ඔවුන් සමග සාකච්ඡාවකින් තොරවම, ආන්ඩුව පොරොන්දු ලබා දුන් බව සඳහන් කරමින් සමිති නිලධරය ඒවා විසුරුවා හරිති.

වෘත්තීය සමිති වල මෙම කට්ටිවාදී ධනපති ගැති ක්‍රියා පිලිවෙත කම්කරු පන්තියට ගෙන එන්නේ පරාජයන්ය. එමෙන්ම මෙම සමිති කම්කරුවන්ගේ ඒකාබද්ධ සටනකට එරෙහිව ඔවුන් ශ්‍රේනිවාදය තුල සිරකරගෙන සිටින සංවිධාන බවට පත්ව ඇත. සෞඛ්‍ය සේවය තුල මෙම ශ්‍රේනිවාදී භේදකරනයේ කප්පිත්තා ලෙස ක්‍රියාත්මක වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. මෑතදී පැවති හෙද අරගලයේ ඉල්ලීම් සම්බන්ධවද කඩා පනිමින්, ධනපති රාජ්‍යයේ පරිපාලන ධුරාවලිය කම්කරුවන් මත පටවන ආන්ඩුවේ ඒ්ජන්තයා ලෙස මෙම සමිතිය විවෘතව වැඩ කලේය.

මෙම තත්වය තුල සෞඛ්‍ය කම්කරුවන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා වන අරගලය වෘත්තීය සමිති වලින් ස්වාධීනව සියතට ගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු වී ඇත.

වෘත්තීය සමිති මෙසේ කම්කරුවන්ගේ ශක්තිය දුර්වල කරද්දී ආන්ඩුව ඉන් පිටුබලය ලබාගනිමින් කම්කරු අරගල වලට එරෙහිව රුදුරු පියවර ක්‍රියාවට දමමින් සිටී. ආන්ඩුව සෞඛ්‍ය ඇතුලු තවත් ක්ෂේත්‍ර ආවරනය වන පරිදි වැඩ වර්ජන තහනම් කරමින් දැනටමත් අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා ඇත. ආන්ඩුව මෙම මර්දනය වඩා ඉහලකට නංවමින් ජුලි 6 වනදා සිට, නිරෝධායන නීති වලට මුවාවෙමින් විරෝධතා උද්ඝෝෂන තහනම් කලේය.

විරෝධතා උද්ඝෝෂන පැවැත්වීමේ මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියට එරෙහි මෙම නීතිය පනවා ගෙවීගිය දින කිහිපය තුල, ආන්ඩුව එය යොදා ගනිමින් විරෝධතා ගනනාවක්ම රුදුරු ලෙස මැඩලීය.

වෘත්තීය සමිති මෙම මර්දනය සමග මුලුමනින්ම අනුගත වී සිටිති. හෙද සමිති හා කනිෂ්ඨ කාර්ය මන්ඩල සමිති පසුගිය සතියේ පවත්වන බවට නිවේදනය කල උද්ඝෝෂන දින නියමයක් නැතිව කල් දමා තිබේ. කම්කරු උද්ඝෝෂනයන්ට එරෙහි මෙම රුදුරු ප්‍රහාරයන්ට හා වැඩ වර්ජිත කම්කරුවන් සේවයෙන් නෙරපා හැරීමට සහ සිර දඬුවම් පැමිනවීමට හැකි පරිදි පනවා ඇති අත්‍යාවශ්‍ය සේවා නියෝග වලට එරෙහිව සටන් වැදීමේ කිසිදු ක්‍රියා මාර්ගයක් මෙම සමිති සෞඛ්‍ය කම්කරුවන්ට ඉදිරිපත් කර නැත.

ආන්ඩුව විසින් එල්ල කර ඇති ප්‍රහාරය සහ වෘත්තීය සමිති වල ඊට අනුපූරක වැඩකටයුතු මගින් කම්කරුවන්ට තම සටන් ඉදිරියට ගෙනයාම සඳහා සැබෑ සංවිධාන වල අවශ්‍යතාවය මතු කර ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ සේවකයන් අතර ඒකාබද්ධ අරගලයක් දියත් කිරීම සඳහා වන සටන කම්කරුවන් තමන් අතට ගත යුතුය.

වසංගතයෙන් උග්‍ර කෙරී ඇති ධනපති ක්‍රමයේ ගෝලීය අර්බුදය මධ්‍යයේ ආන්ඩුව එහි බර කම්කරුවන් මත පටවමින් සිටී. ආන්ඩුව කියා සිටින්නේ ඉල්ලීම් ලබා දීමට මුදල් නොමැති හෙයින් කම්කරුවන් මෙම බර දැරිය යුතු බවයි.

ධනපතියන්ට ලාභ ගරාදීම සඳහා ආන්ඩුව ගෙන ගිය වැඩ කටයුතු වලින් උග්‍ර වී ඇති අර්බුදයට කම්කරුවන් වගකිව යුතු නැත. එම අර්බුදයෙන් පැන නංවා ඇති මෙම ප්‍රහාරය පරාජය කල හැක්කේ එහි මූලය වන ධනපති ක්‍රමයටම එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීමෙනි.

එසේ කල හැක්කේ වෘත්තීය සමිති වලින් බිඳී කම්කරුවන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමෙනි. මෙම කමිටු වෘත්තීය සමිති වලට එරෙහිව කම්කරුවන්ගේ ජාතික සහ ජාත්‍යන්තර ඒකාබද්ධතාවය සඳහා සටන් වදී. ඒවායේ තීන්දු ගැනෙන්නේ සාමාජිකත්වය අතරේ සිදු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් මගිනි.

මෙම පිලිවෙත් මත සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පිහිටුවාගෙන තිබෙන “සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ” සාමාජිකයන් වන අප සියලු සෞඛ්‍ය කම්කරුවන්ට ඇරයුම් කර සිටින්නේ තමන්ගේ සේවා ස්ථාන තුල එවන් කමිටු පිහිටුවා ගන්නා ලෙසයි. අනෙකුත් රටවල පිහිටුවන කම්කරු ක්‍රියාකාරී කමිටු සමග ඒකාබද්ධ වෙමින් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක් ගොඩනැගීම සඳහා අපි සටන් වදින්නෙමු.

කම්කරුවන්ට සිය අයිතිවාසිකම් දිනාගත හැක්කේ මෙම පිලිවෙත් මත සංවිධානය වෙමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙන් පමනි.

Loading