විරෝධතාවන්ට එල්ල කල පොලිස් ප්‍රහාරයට එරෙහි ව දැවැන්ත මහජන විරෝධයක් වැඩෙයි

පොලීසිය විසින් විරෝධතා උද්ඝෝෂනවලට පහරදීම සහ උද්ඝෝෂකයන් නීති විරෝධී අයුරින් නිරෝධායන කඳවුරු වෙත ගෙනගොස් රඳවා තැබීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආන්ඩුවට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් එල්ල වී ඇත.

ජූලි 7 වෙනි දා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට ඉංජිනේරු සේවක සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයකට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ තවත් පස්දෙනෙකු ද, ඊට පසු දින කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය දැක්වීම පිනිස වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ පවත්වන ලද උද්ඝෝෂනයක දී ලංකා ගුරු සංගමයේ (ලංගුස) ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුලු 31 දෙනෙක් පොලීසිය විසින් අඩංගුවට ගනු ලැබූහ.

පාර්ලිමේන්තු වටරවුමේ දී අවිශිබම සහ වෘත්තීය සමිති පැවැත් වූ විරෝධතාවට එල්ල කෙරුනු පොලිස් ප්‍රහාරය

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස රැස්වීම යන චෝදනාව යටතේ බව පොලීසිය උසාවියට පවසා ඇත. අත්අඩංගුවට ගත් අය මහේස්ත්‍රාත් උසාවිය විසින් පුද්ගලික මුදල් ඇප මත මුදාහල නමුත් පොලීසිය ඔවුන් බලහත් කාරයෙන් බස් රථවල නංවාගෙන නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙන ගොස් දින 14 කට රඳවා සිටිති. ජෝසෆ් ස්ටාලින් ඇතුලු 31 දෙනා මුලතිව් හමුදා කඳවුරේ සහ නාගමුව ඇතුලු 6 දෙනා මහනුවර පල්ලේකැලේ හමුදා කඳවුර තුල රඳවා ඇත.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් සහ ඔවුන්ගේ සංවිධාන සමග බරපතල දේශපාලන නො එකඟතා තිබිය දී ම, ඔවුන්ට එරෙහි මර්දනය සමාජවාදී සමානතා පක්ෂය තරයේ හෙලා දකී.

ආන්ඩුවේ මර්දනය දිගටම ගෙන යන බව අවධාරනය කරමින්, මහජන ආරක්ෂක ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර 9 වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ “නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂන හා රැස්වීම් පැවැත්වුව හොත් එවැනි කටයුතු කරන අය ඉදිරියටත් අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන” බව යි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිරෝධායනට යොමු කලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ මත බව ඇමති වීරසේකර සහ පොලීසිය ප්‍රකාශ කල ද එය බේගලයක් බව ඔප්පු වී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂන හෝ ඇන්ටිජන් පරීක්ෂන නොකල බවත් “විරෝධතාවයේ යෙදුන පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට හෝ කල නොහැකි” බවත් මහජන පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති උපුල් රෝහන මාධ්‍යයට පවසා ඇත.

“නිරෝධායනයට යොමු කල යුත්තේ කවුද සහ කවර පදනමක් මත එසේ කලයුත්තේ ද යන්න සම්බන්ධව දැඩි මාර්ගෝපදේශ” ඇති බව ද ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ආන්ඩුවේ මෙම මර්දනයට එරෙහිව මතු වී ඇති දැවැන්ත මහජන විරෝධයේ කොටසක් ලෙස, රඳවා සිටින උද්ඝෝෂකයන් නිදහස් කරන තුරු විදුහල්පතිවරු ඇතුලු සියලු ම ගුරුවරු 12 වෙනි දා සිට ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් ඉවත් වී සිටිති.

එදින ම වෘත්තීය සමිති සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබ) විසින් මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තු වටරවුමේ පැවැත් වූ විරෝධතා උද්ඝෝෂනයට කම්කරුවෝ සහ ශිෂ්‍යයෝ සිය ගනනක් සහභාගී වුහ. හමුදා හාරයේ සිටින සිසු-කම්කරු ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු!, නිරෝධායනය මුවාවෙන් කරන සිරගත කිරීම් නතර කරනු! සහ කොතලාවල පුද්ගලික විශ්ව විද්‍යාල පනත වහා හකුලා ගනු! ආදී සටන් පාඨ සහිත බැනර් සහ පුවරු උද්ඝෝෂකයන් විසින් ප්‍රදර්ශනය කෙරුනි.

ජූලි 13 වෙනි දා, ලංකා ගුරු සංගමය, තම ප්‍රධාන ලේකම් ඇතුලු සමිති නායකයන් රඳවා සිටීම පිලිබඳ ව යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කලේය. උද්ඝෝෂනයට සහභාගී වූ සමිති නායකයින් අනීතික ලෙස බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කර ඇති බව එම පැමිනිල්ලේ සඳහන් වේ.

එමෙන් ම, ශිෂ්‍යයින් හා සිවිල් ක්‍රියාකාරීන් ඇතුලු කොටස් මෙම මර්දනය හෙලා දකිමින් සමාජ මාධ්‍ය තුල පුලුල් උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත.

මෙම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පලකරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුනවර්ධන වෙත ජුලි 12 වෙනිදා යවන ලද ලිපියක, නිරෝධායනය 'දඬුවමක් ලෙස හෝ රඳවාගැනීමේ ක්‍රමයක්' ලෙස යොදා නොගත යුතු බව සඳහන් කර තිබේ.

ව්‍යවස්ථාව තුල සඳහන් පරිදි “භාෂනයේ නිදහස, සාමකාමී රැස්වීමේ නිදහස සහ සංවිධානය වීමේ නිදහස යන වැදගත් මුලික අයිතීන් තුනක් වෙනුවෙන් පෙනීසිටීම මහජන විරෝධතා මගින් කෙරෙන” බව එම ලිපිය අවධාරනය කරයි. ව්‍යවස්ථාවේ 14(1) වගන්තිය යටතේ ප්‍රකාශිත අයිතීන් මහජන සෞඛ්‍ය උත්සුකකා වෙනුවෙන් සීමා කල හැකි නමුත් එය කල යුත්තේ නීතියට අනුව බව ද ලිපිය වැඩි දුරටත් සඳහන් කරයි.

බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවා තැබීමේ ක්‍රියාවන් “අත්තනෝමතික සහ නීති විරෝධී බවත්, එය අදාල පුද්ගලයන් ඇප මත නිදහස් කල අධිකරනයට අවමානයක්” බව ද ලිපිය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකරන නිලධාරිනී හැනා සිංගර්-හැම්ඩි ජුලි 11 ප්‍රකාශයක් නිකුත් කරමින්, “වසංගතයට විරුද්ධව බලාත්මක කර තිබෙන පියවරයන් යුක්තිසහගත මහජන සෞඛ්‍ය ආරාක්ෂාවට පිටින් නොයා යුතු” බව අවධාරනය කර ඇත.

රාජපක්ෂ ආන්ඩුවේ මෙම මර්දනය එහි ප්‍රහාරයන්ට එරෙහි ව වැඩෙන සමාජ අරගල රුදුරු ලෙස තලා දමන බවට කම්කරු-පීඩිත මහජනතාවට කරන බරපතල අනතුරු ඇඟවීමකි.

මෙම මර්දනයේ කොටසක් ලෙස ආන්ඩුව ජුලි 6 වෙනි දා විරෝධතා සහ මහජන රැස්වීම් තහනම් කලේය. ඊට පෙරාතුව, මැයි 27 දා සහ ජුනි 2 දා රාජ්‍ය අංශයේ පුලුල් ක්ෂේත්‍රයකට බලපාන පරිදි වර්ජන සහ සියලු පන්ති ක්‍රියාවන් තහනම් කරමින් ආන්ඩුව අත්‍යාවශ්‍ය සේවා නීති පැනවීය.

ඒ සමගම ආන්ඩුවේ පිලිවෙත් කවරාකාරයකින් හෝ විවේචනය කරන මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට විරුද්ධව දඩයමක් ආරම්භ කර ඇත.

ආන්ඩුව මෙම මර්දනය ක්‍රියාවට දමන්නේ, කම්කරු, ශිෂ්‍ය සහ ගොවි අරගල මාලාවක් පැන නැගී තිබිය දී ය.

පුද්ගලික ආරක්ෂක උපකරන, දීමනා සහ ප්‍රමානවත් වැටුප් ලබා නොදීමට එරෙහිව සෞඛ්‍ය කම්කරුවෝ ද, වැටුප් ඉල්ලීම් සහ වෘත්තීය ගැටලු මත තැපැල්, දුම්රිය සහ වරාය කම්කරුවෝ ද, වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට විරුද්ධ ව වතු කම්කරුවෝ ද අරගලයට පිවිස සිටිති.

මීට සමගාමී ව, අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි ව ශිෂ්‍ය සටන් ද, රසායනික පොහොර තහනමට විරුද්ධව ගොවීන්ගේ ද අරගල පුපුරා ඇත. මෙම අරගල ධනපති පන්ති පාලනයට වල කපනු ඇතැ යි රාජපක්ෂ ආන්ඩුව සලිත වී ඇත.

රාජපක්ෂ ආන්ඩුවේ මෙම මෘග මර්දනය පිටුපසින් ඇත්තේ, වසංගතය විසින් ගැඹුරු කෙරුනු, එය මුහුන දී සිටින බරපතල ආර්ථික දේශපාලන අර්බුදයයි. තම ආර්ථික දේශපාලන පිලිවෙත් වලට එරෙහිව මතුවන කවර හෝ විරෝධයක් එය නොඉවසයි. එබැවින් එය හැරී සිටින්නේ කම්කරු-පීඩිත ජනයාගේ අරගල මෘග ලෙස තලා දමන පන්ති යුද්ධයේ මාවතට ය.

ආන්ඩුවේ මර්දනයට එරෙහිව ජවිපෙ, පෙසප, අවිශිබම සහ ලංගුස ඇතුලු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වලින් සංවිධානය කෙරෙන විරෝධතා වල එල්ලය වනුයේ, රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීම මගින් එහි ජනතා විරෝධී පිලිවෙත් පරාජය කලහැකිය යන මිත්‍යාව කම්කරු-පීඩිත ජනයා තුල වගා දිගා කරමින් ඔවුන්ගේ අරගල අපසරනය කිරීම යි.

කොරෝනා වසංගතයෙන් වඩාත් තීව්‍ර කෙරී ඇති ලෝක ධනවාදයේ අර්බුදය තුල සෑම රටක ම පාලක පන්තීන්ගේ පිලිවෙත වී ඇත්තේ එහි බර කම්කරු පන්තිය මත පටවමින් මහා සංගත වල ලාභ උත්පාදක අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම සහ ඊට එරෙහි ව මතුවන පන්ති සටන් මෘග ලෙස මැඩලන ආඥාදායක පාලන තන්ත්‍රයන් කරා මාරුවීමයි.

රාජපක්ෂ ආන්ඩුව කම්කරු-පීඩිත ජනයාට එරෙහි ව තීව්‍ර කරන මර්දනය, මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායක පාලනයක් කරා එහි ධාවනයේ කොටසකි. එය පරාජය කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගැන්වෙන කම්කරු-පීඩිත ජනයාගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට පමනි.

Loading