වැඩි වැටුප් ඇතුලු ඉල්ලිම් මාලාවක් මත සංවර්ධන නිලධාරීන් දීපව්‍යාප්ත උද්ඝෝෂනයක

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් සංවර්ධන නිලධාරීහු දීපව්‍යාප්ත උද්ඝෝෂන මාලාවක් ආරම්භ කර ඇත. දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන මෙම උද්ඝෝෂන මාලාවේ පලමු උද්ඝෝෂනය ජුලි 19 කුරුනෑගල දී හා දෙවන උද්ඝෝෂනය 20 වෙනි දා බදුල්ල නගරයේ දී පැවැත්වුනි. කුරුනෑගල සහ බදුල්ල නගරවල පැවති උද්ඝෝෂනවලට සංවර්ධන නිලධාරීහු සිය ගනනක් සහභාගි වූ අතර, ඔවුහු තම ඉල්ලීම් ඇතුලත් සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් එම සටන් පාඨ හඬ නැගූහ.

උද්ඝෝෂනය කැඳවුම් කර ඇත්තේ සංවර්ධන නිලධාරී සේවා සංගමය (සනිසේස) විසිනි. ජුලි 27 රත්නපුර සහ 28 අනුරාධපුර නගර වල දී උද්ඝෝෂන පවත්වන බව ද සනිසේස නිවේදනය කර ඇත.

අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත, සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුලු ක්ෂේත්‍ර හා කාර්යාලගත නිලධාරීන් සඳහා කොවිඩ්-19 අවදානම් දීමනාවක්, උසස්වීම් පටිපාටියක්, වැටුප් විෂමතා ඉවත්කොට ස්ථාපිත කෙරෙන ඉහල මූලික වැටුපක් සහ 2016 සිට පත්විම් ලැබූ අයට පුර්න විශ්‍රාම වැටුපක් ඇතුලු ඉල්ලීම් ඔවුහු ඉදිරිපත් කරති.

මධ්‍යම රජයේ සහ පලාත් පාලන ආයතන වල සේවයේ නියුක්ත 160,000 පමන වන නිලධාරීන් ගේ මෙම ඉල්ලීම් වලින් වැටුප් විෂමතාවය ඇතුලු සමහරක් ඉල්ලීම් වසර ගනනාවක් නො විසඳි පවතින ගැටලු ය. “ජනාධිපති, අගමැති සහ මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුලු අදාල රාජ්‍ය නිලධාරීන්ට මෙම ගැටලු පිලිබඳව ලිඛිත ව දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැතැයි” සසේනිස ප්‍රධාන ලේකම් පවසා ඇත.

2008 වැඩ වර්ජනයේ දී නිසි උසස්වීම් පටිපාටියක් සකස් කරන බවට එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව පොරොන්දු වූ නමුත් මෙතෙක් එය ඉටු නොවූ බව සංවර්ධන නිලධාරීහු පවසති. සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගෙන සිටින්නේ දිගුකලක් රැකියා විරහිත ව සිටි උපාධිධාරීන්‍ ය. වසරක පුහුනු කාලය තුල ගෙවන්නේ රුපියල් 20,000 සොච්චම් දීමනාවකි. ජීවන වියදම වේගයෙන් ඉහල යද්දී තනි පුද්ගලයෙකුට පවා ජීවත්වීමට නොසෑහෙන මෙම දීමනාවෙන් විවාහකයෙකුට කෙසේවත් තම පවුල නඩත්තු කර ගත නොහැක.

2016 ස්ථාපිත කෙරුන නව වැටුප් ක්‍රමයට MN4 වැටුප් තලයේ ආරම්භක ඒකාබද්ධ වැටුප රුපියල් 31,490 කි. උසස්වීම් පටිපාටියට ඇතුලත් කර නැති MN5 සහ MN7 ශ්‍රේනි එම පටිපාටියට ඇතුලත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් 2016 දී සංවර්ධන නිලධාරීන් ඇතුලු අලුතෙන් බඳවා ගන්නා ලද රාජ්‍ය සේවකයන්ගේ පුර්න විශ්‍රාම වැටුප් අයිතිය කප්පාදු කෙරුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ සිදු කෙරුනු රාජ්‍ය වියදම් කප්පාදුවේ කොටසක් ලෙස ය. කොරෝනා වසංගතය විසින් තීව්‍ර කරනු ලැබ ඇති ආර්ථික අර්බුදය තුල ජාමූඅ නියෝග කර තිබෙන ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම රාජපක්ෂ ආන්ඩුව වඩාත් කඩිනම් කර ඇත.

සංවර්ධන නිලධාරි සේවා සංගමයට මෙම උද්ඝෝෂනය කැඳවීමට බල කෙරී ඇත්තේ ඉහත ප්‍රශ්න නො විසදී පැවතීම සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරීන් තුල පැසවන කෝපය සහ නොසන්සුන්කම නිසාවෙනි. ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සහ ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කට්ටිවාදී පිලිවෙතක් මත මෙම උද්ඝෝෂනයට සම්බන්ධ වී නැත.

පසුගිය කාලපරිච්චේදය පුරාම මෙම වෘත්තීය සමිති වල භූමිකාව වුයේ ධනපති ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා උද්ඝෝෂන වලට සංවර්ධන නිලධාරීන් කොටු කර ඔවුනගේ අරගල දිය කර හැරීම ය.

උද්ඝෝෂන මධ්‍යයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල සංවර්ධන නිලධාරීන් කීප දෙනෙක් උද්ඝෝෂනය පිලිබඳ තම අදහස් ඉදිරිපත් කලහ. කටුපොත කාර්යාලයේ සේවය කරන ලක්ෂ්මන් විජේවර්ධන දෙදරු පියෙකු වන අතර ඔහුගේ සේවා කාලය දෙ වසරකට වැඩි වුව ද මෙතෙක් ස්ථීර කර නැත. තමාට මාසික ව ලැබෙන්නේ රුපියල් 20,000 දීමනාව පමනක් බව ඔහු පැවසී ය. උද්ඝෝෂනයෙන් ඉල්ලීම් ලැබෙන බවට විශ්වාසයක් නොමැති බව සඳහන් කරමින් ඔහු මෙසේ කීවේ‍ ය: “හැමෝම එන නිසා මමත් ආවා. එහෙම වුනත් ඉල්ලීම් ලැබෙයි කියල විශ්වාසයක් නැහැ. තවත් කම්කරුවො මේ වගේ උද්ඝෝෂනය. කරනවා ඒ ගොල්ලන්ට ලැබිලත් නැහැනේ.”

ලැබෙන දීමනාව කිසිසේත් ප්‍රමානවත් නොවන බව පැහැදිලි කරමින් ඔහු “බිරිඳ ස්වයං රැකියාවක් කරන නිසා ගෙදර වියදමයි ලමයින්ගේ අධ්‍යාපන කටයුතුයි අමාරුවෙන් කරගන්නවා. අපට කියල තවමත් ගෙයක් හදා ගන්න බැරි උනා. දෙමව්පියන්ගේ මහගෙදර ඉන්නේ.” යැයි පැවසී ය.

“මගේ මුලික වැටුප රුපියල් 38,000 යි. දීමනා සමග රුපියල් 42,600 ක් පමන ලැබෙනවා. වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 400 යි. ජීවන වියදම තව තවත් ඉහල යනවා. ගන්න වැටුපෙන් ජීවත් වෙන්න අසීරුයි” යනුවෙන්, නම සඳහන් නොකල කුරුනෑගල ප්‍රදේශයේ සංවර්ධන නිලධාරියෙකු කියා සිටියේ ය. ඔහුගේ සේවා කාලය වසර 8 ක් වුවත් ඔහුව ද තවම ස්ථීර කර නැත.

සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතා උද්ඝෝෂනය සමාජ අයිතීන් කප්පාදුව සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඬලීම ඇතුලු රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාර වලට විරුද්ධ ව වැඩෙන කම්කරු පන්තියේ සහ පීඩිත ජනයාගේ අරගලවල කොටසකි.

වසංගතයෙන් ආරක්ෂා වීමේ පුද්ගලික ආරක්ෂක උපකරන හිඟය හා වැටුප් ප්‍රශ්න මත සෞඛ්‍ය සේවකයන් ගේ අරගල මාලාවක් මෑත දිනවල පැන නැගුනි. වැටුප් සහ වෘත්තීය ගැටලු නොවිසඳීමට විරුද්ධ ව ගුරුවරු සහ විදුහල්පතිවරු මාර්ගගත (ඔන්ලයින්) ඉගැන්වීම් වලින් ඉවත් ව අඛන්ඩ වර්ජනයක යෙදී සිටිති. වැටුප් නිසි කලට නොගෙවීම නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කම්කරුවෝ ජුලි 7 වෙනිදා උද්ඝෝෂනයක් කලහ.

වැඩ වේගවත් කිරීමට සහ වැටුප් කප්පාදුවට විරුද්ධව වතු කම්කරුවන්ගේ වර්ජන සහ උද්ඝෝෂන නිරන්තරයෙන් පැන නගිමින් පවතී. මෙයට සමගාමී ව, රසායනික පොහොර තහනමට විරුද්ධව දස දහස් ගනනක් ගොවීහු මාසයකට වැඩි කාලයක් අඛන්ඩ විරෝධාතා උද්ඝෝෂන වල නියැලී සිටිති. අධ්‍යාපනය පුද්ගලීකරනයට හා මිලිටරිකරනයට විරුද්ධව විශ්ව විද්‍යාල සිසුන්ගේ අරගල පැන නැගෙමින් පවතී.

රාජපක්ෂ ආන්ඩුවේ නායකයන්ට ලිවීමෙන් හෝ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් සංවර්ධන නිලධාරීන්ට හෝ කම්කරු පන්තියේ කවර කොටසකටවත් තම ප්‍රජාතන්ත්‍රීය හා වෘත්තීය ඉල්ලීම් ලබා ගත නොහැකි ය.

එය හුදෙක් රාජපක්ෂ ආන්ඩුවේ කැමැත්ත හෝ අකමැත්ත පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. විදේශ විනිමය සංචිතය ඩොලර් බිලයන 4ට පහත වැටී දැවැන්ත නය වගුරක එරී සිටින රාජපක්ෂ ආන්ඩුව බරපතල ආර්ථික අර්බුදයකට ගිලී සිටී. එය ලෝක ධනවාදයේ පද්ධතිගත අර්බුදයේ කොටසකි.

කොරෝනා වසංගතය විසින් මෙම අර්බුදය වඩාත් තීව්‍ර කර තිබේ. එම තතු තුල සෑම රටකම ධනපති පාලක පන්තීන්ගේ පිලිවෙත වී ඇත්තේ කම්කරු පන්තිය අතීත අරගල මගින් දිනාගත් සකල සියලු අයිතීන් වැනසීම සහ අර්බුදයේ බර අතිශය රුදුරු ලෙස කම්කරු පන්තිය මත පැටවීම ය. රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත වන්නේ ද එයයි.

ඊට එරෙහි ව පැන නගින කවර හෝ විරෝධයක් රුදුරු ලෙස තලා දැමීමට රාජපක්ෂ ආන්ඩුව පසුබට වන්නේ නැත. රාජ්‍ය අංශයේ වර්ජන තහනම් කරමින් අත්‍යාවශ්‍ය සේවා නීති බලාත්මක කිරීම, නිරෝධායන නීති වලට මුවා වී උද්ඝෝෂන තහනම් කිරීම හා උද්ඝෝෂකයන් අත් අඩංගුවට ගැනීම සහ රාජ්‍ය පරිපාලනය මිලිටරීකරනය කිරීම හරහා එම මර්දනය මුදාහැර ඇත. පන්ති යුද්ධයේ පිලිවෙත ක්‍රියාවට දමමින් රාජපක්ෂ ආන්ඩුව ධාවනය වෙමින් පවතින්නේ මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායකත්වයක් දිසාවට ය.

සංවර්ධන නිලධාරීන්ට වේවා කම්කරු පන්තියේ වෙනත් කොටසකට වේවා තම අයිතීන් දිනාගත හැක්කේ ධනපති පන්ති පාලනය අහෝසි කිරීමේ හා සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා කරන සටනක් තුල පමනි. වෘත්තීය සමිති එවන් අරගලයකට ඉඳුරා ම සතුරු ය. ලංකාවේත් ජාත්‍යන්තරවත් ඒවා ක්‍රියාත්මක වන්නේ ධනේශ්වර පාලක පන්තියේ සහ හාම්පුතුන්ගේ කාර්මික පොලිස් බල ඇනියක් ලෙසිනි.

වෘත්තීය සමිති කම්කරු පන්තියේ අරගල නිස්සාර විරෝධතාවලට කොටු කර, හුදකලා කොට පාවා දෙති. එම නිසා සංවර්ධන නිලධාරීන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය, වෘත්තීය සමිතිවලට විකල්ප වූ සහ ඒවායෙන් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩ නගා ගනිමින් අරගලය තමන් අතට ගත යුතු ය.

එම ක්‍රියාකාරී කමිටු වටා කම්කරුවන්, පීඩිත ගොවියන් සහ අවශේෂ පීඩිතයන් රැලිකර ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත අරගලය ඉදිරියට ගෙන යාම සඳහා අන් රටවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සමග එක්ව, “ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක්” ගොඩනගා ගැනීම මෙහි දී අත්‍යවශ්‍ය වේ.

Loading