එක්සත් ජනපදයේ සසප කියුබානු ආන්ඩුව විසින් නිවාස අඩස්සියේ තබා ඇති ෆ්‍රෑන්ක් ගාර්ෂියා හර්නැන්ඩේස්ව නිදහස් කරන ලෙස ඉල්ලා සිටී

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) කියුබානු රජය විසින් නිවාස අඩස්සියේ තබා ඇති ෆ්‍රෑන්ක් ගාර්ෂියා හර්නැන්ඩේස් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටී. කොමියුනිස්ට් බ්ලොග් සාමූහිකය (Comunistas Blog collective) සමග සම්බන්ධ හා තමා මාක්ස්වාදියෙකු ලෙස හඳුන්වාගන්නා ගාර්ෂියා හර්නැන්ඩේස්, ආර්ථික අර්බුදයට සහ කොවිඩ්-19 වසංගතය වඩාත් නරක අතට හැරීමට එරෙහි ඓතිහාසික විරෝධතා අතරතුර ඉරිදා අත්අඩංගුවට ගනු ලැබීය.

ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් 2021 ජූලි 11 වන ඉරිදා කියුබාවේ හවානා හි පාගමනක් පවත්වයි. (ඒපී ඡායාරූපය / එලියානා අපොන්ට්, ගොනුව)

ඉරිදා විරෝධතා අතරතුර ගාර්ෂියා හර්නැන්ඩේස් සහ අනෙකුත් සමාජවාදීන් රඳවා තබා ගැනීම පිලිබඳ කොමියුනිස්ට් බ්ලොග් සටහනෙන් පැහැදිලි වන පරිදි, රට පුරා පැමිනි දහස් ගනනක් ජනයා “හුදෙක් කලාකරුවන් හා බුද්ධිමතුන් පමනක්” නොව ජනගහනයේ පුළුල්ම ස්ථර අලලාගත් පිරිස් විය. රඳවාගෙන සිටින අනෙකුත් කියුබානු වාමාංශිකයින් අතර හවානා විශ්ව විද්‍යාලයේ තරුන භෞතික විද්‍යා ශිෂ්‍යයෙකු වන ලෙඔනාර්දෝ රොමේරෝ නෙග්‍රන්, උසස් පාසැල් සිසුවෙකු වන මාකෝ ඇන්ටෝනියෝ පෙරෙස් හර්නැන්ඩේස්, ට්‍රෙමෙන්ඩා නෝටා සඟරාවේ අධ්‍යක්ෂ මයිකල් ගොන්සාලේ විවෙරෝ සහ සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිකයෙකු වන මෙල් හෙරේරා ද සිටින අතර මොවුන් සියලු දෙනා සමාජවාදීන් ලෙස හඳුනා ගැනේ.

ගාර්ෂියා හර්නැන්ඩේස් ජූලි 12 වන සඳුදා රැඳවුම් භාරයෙන් නිදහස් කර ඇති බව කොමියුනිස්ට් බ්ලොග් අඩවියේ ඔහුගේ සගයන් ලා ඉස්කුවර්ඩා ඩයාරියෝ වෙත වාර්තා කලද, ඔහු නිවාස අඩස්සියේ හා දැඩි දේශපාලන නිරීක්ෂන යටතේ සිටී.

ඉතිහාසය හා දේශපාලන උපාය මාර්ග පිලිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් ගාර්ෂියා හර්නැන්ඩේස් සමඟ අපට ඇති සැලකිය යුතු වෙනස්කම් තිබියදීත්, ඔහු අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි මූලික ප්‍රහාරයක් ලෙස හජාජාක සලකන අතර අපි එයට සම්පූර්නයෙන්ම විරුද්ධ වෙමු. ගාර්ෂියා හර්නැන්ඩේස් අත්අඩංගුවට ගැනීමට ආන්ඩුව ගෙන ඇති පියවර පෙන්නුම් කරන්නේ, කියුබානු කම්කරුවන්ට වමේ සිට අභියෝග කිරීමට ඇති හැකියාව ගැන කියුබානු බලධාරීන් අතිශයින් කනස්සල්ලට පත්ව සිටින බවයි.

තව දුරටත්, ට්‍රොට්ස්කිවාදය හා සම්බන්ධ කෙනෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කියුබාවේ ඓතිහාසික ඇඟවුම් ඇති අතර, ට්‍රොට්ස්කිගේ ඝාතකයා වන රමොන් මර්කාඩර් 1960 දී මෙක්සිකානු බන්ධනාගාරයකින් නිදහස් වීමෙන් පසුව ෆිදෙල් කැස්ත්‍රෝ සහ චේ ගුවේරා විසින් උනුසුම් ලෙස පිලිගන්නා ලදී.

Loading