කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව ආචාර්යවරු වර්ජනය කරති

කොතලාවල  ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට ( කොජාආවිවි) විරුද්ධව දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වල දහස් ගනනක් ආචාර්යවරු බදාදා මාර්ගගත (ඔන්ලයින්) ඉගැන්වීම් වලින් ඉවත් ව සංකේත වර්ජනයක නිරත වුහ. කොජාවිවි  පනතට සහ ඊට අදාල ව 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත සංශෝධනය කරමින් ජූලි 21 නිකුත් කර ඇති ගැසට් පත්‍රය ඉවත්කර ගන්නා  ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉල්ලා සිටිති. 

කොජාආවිවි පනත, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමටත් රට තුල සිදු කර ගෙන යන මිලිටරිකරනය පුලුල්  කිරීමටත් ගෙන යන සැලසුම් වල කොටසකි. වර්ජනය කැඳවුම් කරනු ලැබුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය (විවිආස) විසිනි.

වර්ජන දිනයේ ආචාර්යවරු විශ්ව විද්‍යාල ඉදිරිපිට විරෝධතා පිකට් උද්ඝෝෂන වල යෙදුනෝ ය. උද්ඝෝෂනවලට සහභාගී  වූ ආචාර්යවරු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පරාජය කිරීමට අපි එක්සත් වෙමු ! මිලිටරි අධ්‍යාපනය සහ ජනතා අධ්‍යාපනය ඒකාබද්ධ කල නොහැක! අධ්‍යාපනය මිලිටරීකරනය නතර කරනු! ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කලහ. 

කොජාආවිවිප දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති අතර තමන්ට පාර්ලිමේන්තුවේ තිබෙන බහුතර බලය යොදා ගනිමින් එය කඩිනමින් සම්මත කර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව අපේක්ෂා කරයි. 

මුදලට පාඨමාල අලෙවි කිරීම, ඒ සඳහා අවශ්‍යය විශේෂිත ආයතන ඇතුලු පහසුකම් සම්පාදනය කිරීම, මිලිටරිය සහ සිවිල් සමාජය අතර සම්බන්ධතා ජාලයක් නිර්මානය කිරීම පනත යටතේ ක්‍රියාවට දැමෙනු ඇත.

පනතට විරුද්ධව පුලුල් මහජන විරෝධයක් වර්ධනය වෙමින් ඇත. විවිආස  වර්ජනය කැඳවුම් කලේ මෙම පනත සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ ය.

ජූලි 8 වෙනිදා මෙම පනතට එරෙහි ව පැවැත්වූ ගුරුවරුන්ගේ හා ශිෂ්‍යන්ගේ උද්ඝෝෂනයක් මැඩීම සඳහා ආන්ඩුව සෞඛ්‍යය රෙගුලාසි යොදාගෙන රුදුරු පොලිස්  ප්‍රහාරයක් මුදාහැර, ගුරු සමිති නායකයන් ඇතුලු කන්ඩායමක් නිරෝධායන කඳවුරක රැඳවීමට ද ක්‍රියා කලේය. එහෙත්, පනතට විරුද්ධව ගුරු සහ ශිෂ්‍ය විරෝධතා යලි යලිත් මතුවෙමින් තිබේ. කොජාආවිවි පනත අහෝසි කිරීම, මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත්ව  දෙසතියකට වැඩි කාලයක් වැටුප් වැඩිවීමක් ඉල්ලා අඛන්ඩ උද්ඝෝෂනයක  යෙදී සිටින දෙලක්ෂයකට අධික ගුරුවරුන්ගේ ද ප්‍රධාන ඉල්ලීමකි.

විවිආස මුලිකත්වයෙන් 'අධ්‍යාපනය මිලිටරිකරනයට එරෙහි ජනතා ව්‍යාපාරය' නමින් සංවිධානයක් ගොඩනගාගෙන තිබේ.  එය වෘත්තීය සමිති, ආගමික , සිවිල් ක්‍රියාකාරීන්ගේ හා කලාකරුවන්ගේ සංවිධාන ඇතුලු විවිධ සංවිධාන 67 ක එකතුවකි. 

පනත ඉවත් කර නොගතහොත් “සටන මහ පාරට” ගෙන යන බව විවිආස සභාපති ආචාර්ය ශාම බන්නෑහැක පවසා ඇත.   

“සටන මහ පාරට” ගෙන යාම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි ආචාර්ය බන්නැහැක පැහැදිලි කර නැත. ආචාර්යවරුන්ගේ සංගමයේ අතීත ක්‍රියාවලින් හා දැන් සුදානම් කෙරන උද්ඝෝෂන වලින් පෙන්නුම් කෙරෙන්නේ විරෝධතා හා තව තවත් පලල්  විරෝධතා ක්‍රියාවට දමා පනත ඉවත් කර ගැනීමට ආන්ඩුවට බල කිරීම හැර වෙනත් වැඩපිලිවෙලක් විවිආසට නැති බවයි. 

පලමුවෙන්ම 2018 කොජාආවිවි පනත ඉදිරිපත් කලවිට සිසුන් ඇතුලු මහජන විරෝධතා පැනනැගුනු තත්වය තුල ආන්ඩුව හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය තාවකාලිකව හකුලා ගත්තේ, ලැබෙන පලමු  අවස්ථාවේ ම එය ක්‍රියාවට දැමීම සඳහායි. 

පනත පරාජය කර ජය ගත්තේයයි අවිශිබම උදම් ඇනුවේය. ආචාර්ය සංගමය පනතට හුදු විරුධත්වය පලකිරීමකින් සෑහීමකට පත්විය. විවිආස, අවිශිබම හා අනෙකුත් සමිති වැඩෙන අන්තරායට  එරහිව කල්තියා සුදානම් වීම වැලක්වුහ. කලයුතුව තිබුනේ, සිසුන්, ආචාර්යවරුන්, කම්කරු පන්තිය වෙතට හැරී ක්‍රමයෙන් දිගහැරෙමින් තිබූ  මිලිටරීකරනයට හා අධ්‍යාපන කප්පාදුව ඇතුලු  ප්‍රහාරයන්ට එරෙහිව සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමයි.

තම පාලනය මිලිටරීකරනය අංක එක බවට පත්කරගෙන තිබෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමින ජීවන හා සමාජ අයිතීන්  තලා දැමීමට ක්‍රියාකරන තතු තුල කොජාආවිවි  පනත යලි ඉස්මත්තට ගෙන තිබේ. දැන් යලිත් අරගලවලට ඇදී  සිටින ආචාර්යවරුන්, සිසුන් සහ කම්කරුවන් මෙම ප්‍රහාරය පරාජය කිරීමේ සක්‍ය වැඩපිලිවෙලක්  සුදානම් කරගැනීම අවශ්‍යය.

එහෙත් ආවිවිසට නායකත්වයෙන් ගොඩනගා ඇති සංවිධාන 67 “ජනතා ව්‍යාපාරය” එවන් වැඩපිලිවෙලකට කිසිසේත්ම සුදානම් නැති ව්‍යාපාරයකි. එය ක්‍රියාත්මක වෙමින් සිටින්නේ බලපෑම් දැමීම මගින් ආන්ඩුව නමා ගැනීමට හැකි ය යන මිථ්‍යාව මත පදනම්වූ හුදු විරෝධතා වැඩපිලිවෙලක් තුලට වර්ධනය වන අරගලය දේශපාලනික ව අවමන්ගත කොට විරුසුවා හැරීම සඳහා ය.

මෙම “ජනතා ව්‍යාපාරය” සමන්විත වන්නේ  පහත සඳහන් සංවිධානවලිනි: විශ්ව විද්‍යායාල  වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අන්තර් සමාගම් සේවක සංගමය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමය, ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.  මෙම සංවිධාන සියල්ලම කම්කරු පන්තියේ  සහ  ශිෂ්‍යන්ගේ අරගල පාවාදීම සම්බන්ධයෙන් ඉතිහාසයක් ඇති සංවිධානයෝ ය.

ආචාර්යවරුන්ගේ දීර්ඝතම අරගලයක් වන, මහජනතාවගේ ආකර්ශනය දිනාගත්, නිදහස්  අධ්‍යාපන කප්පාදුවට එරෙහිව  සහ වැටුප් ඇතුලු ඉල්ලීම් මත  2012  ගෙන ගිය දින 100 අරගලය  එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යටත් කොට  පාවාදෙනු ද ලැබීම විවිආස ද්‍රෝහී භූමිකාව පිලිබඳ මනා උදාහරනයකි.

2012 සැප්තැම්බරයේ දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනය අතරතුර සංවිධානය කල පා ගමනක් [ලෝසවෙඅ]

වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරුනු ලෝක ධනවාදයේ අර්බුදය තුල සෑම රටකම ධනපති පාලක පන්තීන්ගේ පිලිවෙත වී ඇත්තේ අනෙකුත් සමාජ සුබසාධන මෙන් ම, අධ්‍යාපනය  සඳහා කෙරෙන රාජ්‍ය වියදම් කප්පාදුව සහ පුද්ගලීකරනය ක්‍රියාවට දැමීමයි. රාජපක්ෂ ආන්ඩුව සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දෙමින්, මහජන විරෝධය සහ පන්ති අරගල රුදුරු  ලෙස මඩිනුවස් මිලිටරිය මත පාදක  වූ ජනාධිපති ආඥාදායක පාලනයක් සඳහා තහවුරු කිරීමට ක්‍රියාකරමින් සිටියි.

ආන්ඩුව රාජ්‍ය පාලනයේ ප්‍රධාන අංශවලට සේවයේ නියුක්ත සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කරමින් හා වසංගත පාලනය මිලිටරිය යටතට ගනිමින් මිලිටරීකරන සැලසුම් වඩාත් තීව්‍ර කර තිබේ. “කොතලාවල ජාතික  ආරක්ෂක විශ්ව විද්‍යාල පනත” පාර්ලිමේන්තුව තුල කඩිනමින් සම්මත කර ගැනීමට ආන්ඩුව උත්සාහ කිරීම ද එහිම කොටසකි.

බලපෑම් දැමීමෙන් රාජපක්ෂ ආන්ඩුවේ මෙම පිලිවෙත් වෙනස්කල නොහැකි ය. එම පිලිවෙත් පරාජය කල හැක්කේ සමාජවාදී වැඩපිලිවෙල මත දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගා, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමෙනි.

Loading