ඉහල යන කොවිඩ්-19 ආසාදන මධ්‍යයේ රාජ්‍ය සේවකයන්ට ආපසු වැඩට යන ලෙස නියෝග කෙරෙයි

(මෙහි පලවන්නේ Sri Lankan state employees ordered back to work amid rising COVID-19 infections යන මැයෙන් 2021 අගෝස්තු 5දා පලවූ ලිපියේ පරිවර්තනය යි.)

වතු ප්‍රදේශවල එන්නත්කරන මධ්‍යස්ථානවලින් පිටත රැඳී සිටින දිගු පෝලිම් (ස්තුතිය: ෆේස්බුක්)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳුදා සිට ආපසු වැඩපොලවලට පැමිනෙන ලෙස සියලු රාජ්‍ය සේවකයන්ට නියෝග කර ඇත්තේ, ඩෙල්ටා ප්‍රභේදය ඇතුලු ඉහල යන කොරෝනා වෛරස් ආසාදන පිලිබඳ ව වෛද්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් නො තකමිනි. මීට පෙර වැඩ මුර ක්‍රමයට සීමිත රාජ්‍ය සේවකයන් පිරිසකට නිවසේ සිට වැඩ කිරීමට අවසර දී තිබුනි.

ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශයක මෙසේ සඳහන් විය: “රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරයක් එන්නත්කරනය කරනු ලැබ ඇති නිසා, රාජ්‍ය සේවය යථා තත්ත්වයට ගෙන ඒමට ප්‍රමුඛතාව දිය යුතු ය.”

වැඩ මුර ක්‍රමය “මහජනයාට කාර්යක්ෂම සේවයක් සපයන්නේ නැතැ” යි ප්‍රකාශ කරමින්, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර නිවසේ සිට වැඩ කිරීම සම්බන්ධ ව නිකුත් කල සියලු චක්‍රලේඛ අහෝසි කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට උපදෙස් දුන්නේ ය.

මෙම පියවරට ඉඩ සලසමින්, රාජ්‍ය සෞඛ්‍ය බලධාරීහු ඉරිදා පලාත් අතර සංචරන තහනම ඉවත් කල හ. සියලු සේවකයන් ඔවුන්ගේ වැඩපොලවලට ආපසු පැමිනිය යුතු යයි විධානය කිරීමට අවසර දෙමින්, පුද්ගලික අංශයේ කර්මාන්ත මත පනවා තිබූ සියලු සෞඛ්‍ය සීමාවන් ආන්ඩුව විසින් ඉවත් කරන ලද්දේ මීට පෙර දීය.

රාජ්‍ය සේවයේ “සාමාන්‍ය තත්වය යලි ඇති කිරීම” පිලිබඳව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, කම්කරුවන්ගේ හා දුගීන්ගේ සුභසාධනය තකා නොවේ. ඔහු රාජ්‍ය සේවකයන්ට ආපසු වැඩට යන ලෙස නියෝග කර ඇත්තේ මහ ව්‍යාපාරිකයේ ලාභ පුම්බා ගැනීමත් ඉදිරි සිව් වසර තුල වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් බැගින් විදේශ නය ආපසු ගෙවීම්වලට අවශ්‍ය වන පරිදි විදේශ මුදල් උපයා ගැනීම සඳහා අපනයන ඉහල දමා ගැනීමත් සඳහාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ස්තුතිය: ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

ආන්ඩුව රාජ්‍ය සේවකයන් සියලු දෙන ආපසු කැඳවීමට ගත් තීරනය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞස) අලුතින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ඍජුවම ප්‍රතික්ෂේප කිරීමකි. ඉරිදා එම සංවිධානය වාර්තා කලේ, පසුගිය සතිය තුල ඩෙල්ටා ප්‍රභේදය ඇතුලු ගෝලීය කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව ආසන්න වසයෙන් මිලියන 4ක් ව තිබුනු බව යි.

“මෙම වෛරසය නැවැත්වීමට අපට මෙවලම් තිබෙනවා. එහෙත් වර්තමාන තත්ත්වය අනුව එලඹෙන සති දෙක ඇතුලත සමස්ත ආසාදන සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා යනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යි ලෝසෞස අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අද්හානොම් ගෙබ්‍රෙයෙසුස් පැවසුවේය.

මේ සම්බන්ධ ව ලෞසෞස ශ්‍රී ලංකා කාර්යාලයෙන් නිකුත් කල පනිවුඩයක් මෙසේ සඳහන් විය: “ශ්‍රී ලංකාව ද ඇතුලු ව ගෝලීය පරිමානයෙන් කොවිඩ්-19 ආසාදන ඉහල නගිමින් තිබේ. ඉහලින් ම බෝවීමේ හැකියාවක් ඇති ඩෙල්ටා ප්‍රභේදය වේගවත් කරනු ලැබ ඇත්තේ, සමාජ මිශ්‍රවීම/සංචලනය ඉහල යාම, පුද්ගලික සෞඛ්‍ය කලමනාකරන පද්ධතිය සංගතික නොවීම හා අප්‍රමානවත් එන්නත්කරනය විසිනි. අසීරුවෙන් දිනාගත් ජයග්‍රහන පරදුවට ලක්වී ඇති අතර, සෞඛ්‍ය පද්ධතීන් පිරී ඉතිරී යමින් තිබේ.”

පසුගිය සතියේ දී ශ්‍රී ලංකා විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ඔන්ලයින් රැස්වීමක දී, වෛද්‍ය මලික් පීරිස් මෙම උත්සුකයන් ප්‍රතිරාවය කලේ ය. “ඉදිරියේ මාස කිහිපය තුල ශ්‍රී ලංකාව වඩාත් නරක කොවිඩ්-19 පැතිර යාමක් අත්දකිනු ඇතැයි අනතුරු ඇඟවූයේ නැත්නම්, මහජන සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මම මගේ වගකීම නො සලකා හැරීමක් කලා වෙනවා.”

මෙම ප්‍රකාශ ගැන විමසූ විට ප්‍රතිචාර ලෙස, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කලේ ආසාදන ඉහල යාමක් ඇතැයි පිලිගත්ත ද “මොනම අගුලු දැමීමක් හෝ සිදු කිරීම ආර්ථිකය මත ප්‍රධාන බලපෑමක් සිදුකරනු ඇති” බවයි.

කොවිඩ්-19 පිලිබඳ ව ප්‍රසිද්ධියේ අදහස් පලකිරීමට අවසර ලද ලංකාවේ සෞඛ්‍ය නිලධාරියා වන හේරත්, ආසාදන අඩුකිරීමේ වගකීම පැවරෙන්නේ “මහජන සෞඛ්‍ය පියවරයන්ට බැඳී සිටිය යුතු” මහජනයා වෙත යයි අවධාරනය කලේ ය. ඔහුගේ අදහස් පසුගිය මාසය මුල දී ජනාධිපතිවරයා ප්‍රකාශ කල අදහස්වලම හුදු පුනරුච්චරනයකි. “වසංගතයට මුහුන දීමේ දී එක ම විසඳුම වන්නේ එන්නත්කරනය යි...රට විවෘත නො කර අපට ආර්ථිකය පවත්වාගෙන යාමට බැහැ” යි රාජපක්ෂ කීවේ ය.

ජූලි මාසය තුල දෛනික ආසාදන සංඛ්‍යාව 1,500ක් පමන වෙද්දී, අඟහරුවාදා වන විට සමස්ත කොරෝනා වෛරස් ආසාදන සංඛ්‍යාව 316,192 දක්වා නැගුනි. මේ සතියේ දී, දෛනික ආසාදන ගනන 2,500 දක්වා තියුනු ලෙස නැගුනි. සඳුදා සිදු වූ මරන 74ක් සමගින්, දෛනික මරන සංඛ්‍යාව ද ඒ හා සමාන ව ඉහල ගොස් ඇත්තේ, වසංගතය පටන් ගත් තැන් පටන් සිදු වූ සමස්ත මරන ගනන 4,645 තෙක් ඉහල නංවමිනි. දෛනික ව සිදු කරන 10,000ත් 15,000ත් අතර වන පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව මත මෙම නිල සංඛ්‍යා ලේඛන පදනම් වේ. මෙම පරීක්ෂන ප්‍රමානය, ස්වාධීන සෞඛ්‍ය විශේෂඥයන් විසින් යලියලිත් යෝජනා කරන සංඛ්‍යාවට වඩා බොහෝ සෙයින් අඩු ය.

රිජ්වේ ආර්යා ලමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කොවිඩ්-19 ආසාදිත ලමුන් සංඛ්‍යාවේ ඉහල යාමක් වාර්තා කර ඇත. දැනට එම රෝහල ලමුන් 70කට ප්‍රතිකාර කරයි. “ආසාදන සංඛ්‍යාව දිනකට පහක් පමනක් ව පැවති නමුත් දැන් අපට දෛනිකව රෝගීන් 15-20 අතර සංඛ්‍යාවක් වාර්තා වනවා” යි ඔහු මාධ්‍ය වෙත කීවේ ය. “අපේ දැඩි සත්කාර ඒකකයේ (අයිසීයූ) ඇඳන් හය ම පිරී ගිහින්. මේ සියලු රෝගීන්ට ප්‍රතිකාර කල හැකි ධාරිතාවක් අපට නැහැ” යි ඔහු සඳහන් කලේ, සමහර ලමුන් අනෙක් රෝහල්වලට මාරු කර යවා ඇතැයි විස්තර කරමිනි.

ඇඳන් සංඛ්‍යාව අප්‍රමානවත් නිසා, වසංගත රෝගීන්ට ප්‍රතිකාර කරන අනෙකුත් රෝහල් පිරී ඉතිරී යමින් පවතින අතර ඔක්සිජන් ඉල්ලුම ඉහලයමින් පවතී. බස්නාහිර පලාතේ රෝහල් ඒවායේ ධාරිතාව කරා ලඟා වී ඇති බවත්, කොවිඩ්-19 රෝගීන්ගෙන් සියයට 65ක් ඔක්සිජන් මත යැපෙන බවත් ඩේලි මිරර් පත්‍රය අගෝස්තු 4දා වාර්තා කලේ ය.

රටෙහි ප්‍රධානතම සෞඛ්‍ය ආයතනය වන කොලඹ ජාතික රෝහලේ කොන්දේසි බරපතල ලෙස නරක අතට හැරී ඇත. ගිය සතිය මුල දී එය දවසකට රෝගීන් 200ක් වාර්තා කල අතර, ඔවුන්ගෙන් 100කට ම ඔක්සිජන් සැපයුම අවශ්‍ය විය. දැනට එම රෝහලේ කොවිඩ්-19 ධන රෝගීන් 610ක් සිටිති.

ඉදිරි පෙල සෞඛ්‍ය කම්කරුවන් ආසාදනය වීම ඉහල යමින් පවතී. පසුගිය සතියේ එක් වාර්තාවකට අනුව, කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් 52කට කොවිඩ්-19 ආසාදනය වීම වාර්තාවී ඇති අතර එය එම රෝහලේ සේවාවන්ට බරපතල ලෙස බලපානු ඇතැයි බිය පලවී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් සියයට 72.3ක් එන්නතේ පලමු මාත්‍රා ලබාගෙන ඇතැයි ප්‍රකාශ කර ඇත්තේ, එම වයස් කාන්ඩය සඳහා එය ලෝකයේ ඉහල ම අනුපාතයන්ගෙන් එකක් යයි කියමිනි.

එහෙත් මෙම සංඛ්‍යා ලේඛන සැක සහිතය. රොයිටර් සේවයේ කොවිඩ්-19 එන්නත්කරන හසු කරගැනීමේ වාර්තාවට අනුව, ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 46.2කට එක් මාත්‍රාවක් ලැබී, සියයට 10.3ක් පමනක් සම්පූර්න එන්නත්කරනයට භාජනය වී ඇත.

ආන්ඩුව එන්නත් ලබාදීම් ඉහල නැංවීමට මංමුලා සහගත ව ක්‍රියා කරන්නේ, ජීවිත ආරක්ෂා කිරීම වෙනුවට, තවමත් ඉතිරි ව පවතින සෞඛ්‍යමය සීමාවන් ඉවත් කිරීම සඳහා ව්‍යාජ නිමිත්තක් සම්පාදනය කරගැනීමට ය. ලෝකයේ අනෙකුත් ආන්ඩු මෙන් ලංකාවේ ආන්ඩුව ද මානව ජීවිතවලට ඉහලින් ලාභය තබමින් ඉහල යන කෝවිඩ්-19 ආසාදන හා මරනවලට මහජනයා ගොදුරු කිරීමට ක්‍රියා කරමින් සිටී.

කම්කරුවන් දහස් ගනන් සේවයේ යොදවන ප්‍රධාන ඇඟලුම් කම්හල් හා විශාල සමාගම්, මාරාන්තික වෛරසය කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් අතර පතුරුවන ප්‍රධාන කොවිඩ්-19 ආසාදන මධ්‍යස්ථාන බවට පත් ව ඇත. සිය වැඩපොලවල් කරා පැමිනීමට, බොහෝ කම්කරුවෝ පිරී ඉතිරී ගිය බස් රථ හා දුම්රිය භාවිතා කරන අතර, ඒවා තුල ආරක්ෂන පියවරයන් සීමා සහිත හෝ පවතින්නේ නැති තරම්ය, සමාජ දුරස්ථකරනයට ඉඩක් නොමැත.

ආන්ඩුවේ වැඩපිලිවෙල පිලිබඳ ව උද්දාමයට පත් ලංකා වානිජ මන්ඩලයේ නියෝජිත කන්ඩායමක් පසුගිය සතියේ රාජපක්ෂ මුනගැසුනි. “ආන්ඩුවේ එන්නත්කරන වැඩ සටහන සමගින් රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහා ම, අපනයන හා සංචාරක ඇතුලු අංශ කිහිපයක් ම දිරිමත් කිරීමට තමන් කැමැත්තෙන් සිටින” බව එම නියෝජිත කන්ඩායම ජනාධිපතිවරයාට සහතික විය. සිය සාමාජිකයන් “මෙහි වාසිය ගෙන ආර්ථිකයේ ක්ෂනික වර්ධනයට දායකත්වය ලබා දෙනු ඇත” යි නියෝජිත කන්ඩායම කීවේ ය.

වසංගතය ආරම්භයේ පටන් ම, රාජපක්ෂ පාලන තන්ත්‍රය මුලුමනින් ම අවධානය යොමුකර සිටියේ මහ ව්‍යාපාර මත කොරෝනා වෛරසයේ බලපෑම කෙරෙහි ය. රාජපක්ෂ පාලනය කම්කරුවන් හා දුගීන් කෙරෙහි දක්වන නො තකා හැරීම වෙතින් අවධානය වෙනතකට හැරවීම පිනිස ජනාධිපතිවරයා හා අනෙකුන් ජාතිකවාදී පූච්චානම් දෙඩවූහ . 2020 මාර්තු 17දා ඔහු කොලඹ මාධ්‍ය වෙත මෙසේ පැවසී ය: “අනෙකුත් රටවලට හොඳ ම වෛද්‍ය පහසුකම් තිබිය හැකි වුවත්, ආසාදිත පුද්ගලයන් අපේ උත්සාහයන් මගින් සුවපත් කිරීමට අපිට හැකි වුනා.”

පසුගිය වසරේ මාර්තු 20දා ජාතික අගුලු දැමීමක් පැනවීමට රාජපක්ෂට බල කෙරුනත්, අප්‍රේල් මැද දී සීමා ඉවත් කොට ආර්ථිකය යලි විවෘත කිරීම ඇරඹුනි. එතැන් පටන්, ඉහල යන ආසාදන සංඛ්‍යාවන් හා වෛද්‍ය විශේෂඥයන්ගේ ආයාචනා නො තකමින්, ඔහුගේ ආන්ඩුව ජාතික අගුලු දැමීමකට විරුද්ධ වී ඇත. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන හා දෙමල ජාතික සන්ධානය යන ලංකාවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ, ආන්ඩුවේ මහ ව්‍යාපාරික පිලිවෙත්වලට පිටුබලය දෙමින් සිටිති.

ලෝසෞස හා අනෙකුත් විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් සමගින්, ගෙවී ගිය සති දෙක තුල කොවිඩ්-19 ආසාදන ක්ෂනික ව නැගීමේ අර්ථය වන්නේ, ලංකාව වෛද්‍යමය හා සමාජීය ව්‍යසනයකට මුහුන දෙමින් සිටින බව යි. ආන්ඩුවේ සාපරාධී ප්‍රතික්‍රියාව හා “වෛරසය සමග ජීවත් වන ලෙස” එය මහජනයාට කරන කැඳවුමට එරෙහිව කම්කරු පන්තිය තමන්ගේ ස්වාධීන දේශපාලන ප්‍රතිචාරයක් සුදානම් කර ගැනීම අවශ්‍ය ය.

අත්‍යවශ්‍ය නො වන සියලු කම්හල්, වැඩපොලවල් සහ පාසල් වසා දැමිය යුතු ය; අත්‍යවශ්‍ය නො වන සේවාවල කම්කරුවන්ට සම්පූර්න ආදායම් වන්දි සම්පාදනය කල යුතු අතර, අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත සියලු දෙනාට සම්පූර්න සෞඛ්‍ය ආරක්ෂාව සම්පාදනය කල යුතු ය.

මෙම ක්‍රියා මාර්ගයට සටන් කිරීම සඳහා, ධනපති-ගැති වෘත්තීය සමිතිවලින් බිඳිය යුතු කම්කරුවන් තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කල යුතු ය. ඉදිරිපෙල කම්කරුවන් ආරක්ෂා කිරීමටත්, සෞඛ්‍ය පහසුකම් යාවත්කාලීන හා අභිවර්ධනය කිරීමටත්, මහජනයා සම්පූර්නයෙන් එන්නත්කරනය කිරීමටත්, සෞඛ්‍ය අංශයට රුපියල් බිලියන ගනන්වල ක්ෂනික ආයෝජන වෙන් කිරීම සමග මෙම අරගලය සම්බන්ධ කල යුතු ය. මෙම ඉදිරි දර්ශනය ක්‍රියාවට දැමිය හැක්කේ සමාජවාදී පිලිවෙත් සඳහා සටන් කිරීමෙන් පමනි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා එහි ජාතික ශාඛා අවධාරනය කර ඇති පරිදි, වසංගතය ගෝලීය ව අහෝසි කර දමන තෙක් කිසිදු රටක් එයින් නිදහස් නැත. මේ සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රයත්නය ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත සම්බන්ධීකරනය කල යුතු ය. වසංගතයට ජාතික විසඳුමක් නැත.

Loading