සිරගත කර සිටින අහ්නාෆ් ජසීම් කවියාගේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වුනු රැස්වීමට වැදගත් ප්‍රතිචාරයක්

[මෙය Significant response to Sri Lankan meeting demanding release of jailed poet Ahnaf Jazeem යන මැයෙන් 2021/07/22 පලවූ ලිපියේ පරිවර්තනයයි.]

අහ්නාෆ් ජසීම් කවියා නිදහස් කිරීම ඉල්ලා සිටිමින් ගිය ඉරිදා පැවැත්වුනු ඔන්ලයින් රැස්වීම වැදගත් ශ්‍රාවකයක් ආකර්ෂනය කරගත්තේ ය. සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වුනු හා ෆේස්බුක් ඔස්සේ සජීවී ව විකාශය කෙරුනු රැස්වීම සංවිධානය කරනු ලැබුවේ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) විසිනි.

අහ්නාෆ් ජසීම් (ෆේස්බුක් ඡායාරූපය)

80කට වැඩි පිරිසක් සජීවී රැස්වීමට සම්බන්ධ වූ අතර කප්‍රනිආක ෆේස්බුක් පිටුවේ පල කෙරුනු රැස්වීමෙහි වීඩියෝව මේ වන විටත් 1000කට වැඩි දෙනෙකු විසින් නරඹනු ලැබ ඇත. 2019 අගෝස්තු මාසයේ කප්‍රනිආක පිහිටුවනු ලැබුනේ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි දේශපාලන මූලාරම්භකත්වය හා මඟපෙන්වීම ඇති ව ය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුලුතරයට අයත් 26 හැවිරිදි කවියකු වන අහ්නාෆ් ජසීම්, රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස වසරකට වැඩි කලක් මුලුල්ලේ රඳවාගනු ලැබ සිටී. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (ටීඅයිඩී) ඔහුට 'වර්ගවාදය හා අන්තවාදය සිසුන්ට ඉගැන්වීම සහ ඒ පිලිබඳ පොත් පල කිරීම' සම්බන්ධයෙන් ව්‍යාජ චෝදනා නඟා ඇත.

රැස්වීමෙහි මුලසුන හෙබවූ කප්‍රනිආක උපලේකම් ලොහාන් ගුනවීර, කමිටුව ජසීම් නිදහස් කරගැනීම සඳහා ගෙන යමින් සිටින අරගලය සැකෙවින් විස්තර කලේ ය. කවියාගේ නිදහස දිනාගත හැක්කේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පහර දෙමින් සිටින ආන්ඩුවලට ආයාචනා කිරීමෙන් නො ව කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වීමෙන් බව ඔහු අවධාරනය කලේ ය. මෙම රැස්වීම එකී අරගලයෙහි පදනම වන ජාත්‍යන්තර සමාජවාදයේ වඩා පුලුල් දේශපාලන වැඩපිලිවෙලක් සාකච්ඡා කරන බව ඔහු සඳහන් කලේ ය.

පසුව රැස්වීම අතරතුර ගුනවීර 'අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද' යන්න සාකච්ඡා කරන කප්‍රනිආක රැස්වීමට තමන් සම්බන්ධ වන බව සඳහන් කරමින් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් අගයන සියලු දෙනාට එම සාකච්ඡාවට සම්බන්ධ වන මෙන් ආරාධනා කරමින් කවියාගේ සොහොයුරා වන අෆ්හාම් ජසීම් විසින් එවන ලද පනිවිඩයක් ඉදිරිපත් කලේ ය.

කප්‍රනිආක සභාපති හා සසප දේශපාලන කමිටු සාමාජික සංජය ජයසේකර රැස්වීමේ ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින් පොලිසිය කවියාට එරෙහි ව්‍යාජ චෝදනා ගොතා ඇති අයුරු හා ඉන් පසු අත්තනෝමතික ලෙස ජසීම් සිරගත කර ඇති අයුරු විස්තර කලේ ය.

'රාජපක්ෂ ආන්ඩුව එහි මහ ව්‍යාපාර හිතැති පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තියේ අරගල නැඟී එද්දී හිතාමතා ම වර්ගවාදයට අනුබල දෙමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර එල්ල කරනවා.' ජයසේකර ප්‍රකාශ කලේ ය.

කප්‍රනිආක සභාපති සංජය ජයසේකර (ලෝසවෙඅ මාධ්‍යය)

''ජාතික ආරක්ෂාව' නමැති කඩතුරාව යොදාගෙන මේ ප්‍රහාර තීව්‍ර කිරීම සඳහාත් මුස්ලිම් විරෝධී ස්වෝත්තමවාදය උසිගැන්වීම සඳහාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙර පැවති ආන්ඩුව යටතේ සිදු වූ 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගසාකමින් ඉන්නවා.”

කවියාට එරෙහි දඩයම පරාජය කිරීම සඳහාත්, මූලික ප්‍රජාතන්ත්‍ර හා සමාජ අයිතීන් දිනාගැනීම සඳහාත් කම්කරුවන්, ආන්ඩුවේ හා සමාගම්වල ඍජු උපකරන බවට පත් ව ඇති වෘත්තීය සමිතිවලින් බිඳී, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවාගනිමින් සටන් වැදිය යුතු බව කථිකයා ප්‍රකාශ කලේ ය. කප්‍රනිආක සිය වැඩකටයුතු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් යෝජනා කරනු ලැබ ඇති ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයෙහි කොටසක් ලෙස සිදු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ය.

රැස්වීම ඇමතූ සසප දේශපාලන කමිටු සාමාජික හා ගුරු සිසු දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ නායකයකු වන කපිල ප්‍රනාන්දු සිය කමිටුව ජසීම් නිදහස් කරගැනීමේ සටනට පූර්න සහාය පල කරන බව සඳහන් කලේ ය. සියලු වර්ගවාදී බෙදීම්වලට එරෙහි ව හා සිය රැකියා හා කොන්දේසි ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකාව පුරා ගුරුවරුන්ගේ එක්සත් භාවය, ආන්ඩුවේ මුස්ලිම් විරෝධී හා දෙමල විරෝධී උද්ඝෝෂනයට අභියෝග කරන බව ඔහු කී ය.

මීලඟට රැස්වීම ඇමතුවේ විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් නිදහස් කරගැනීම සඳහා හජාජාක ගෙන යන අරගලයෙහි ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරන බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් තෝමස් ස්ක්‍රිප්ස් ය.

අහ්නාෆ් ජසීම් ආරක්ෂා කිරීම සඳහා කප්‍රනිආක නිරත ව සිටින උද්ඝෝෂනය 'ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පමනක් නො ව, රාජපක්ෂ ආන්ඩුවට එරෙහි අරගලය තුල කම්කරු පන්තිය එක්සත් කිරීමේ අත්‍යවශ්‍ය දේශපාලන කාර්යය සඳහා ද' අතිශයින් වැදගත් වන බව ස්ක්‍රිප්ස් සඳහන් කලේ ය.

ජූලියන් අසාන්ජ් නිදහස් කරගැනීම සඳහා ගෙන යන බලගතු උද්ඝෝෂනය සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකාවේ සසප වෙත සිය ස්තුතිය පිරිනැමී ය. අසාන්ජ් සහ විකිලීක්ස් 'අධිරාජ්‍යවාදී යුද අපරාධ, වද හිංසන, කුමන්ත්‍රන සැලසුම්, රාජ්‍ය ඔත්තු බැලීම් හා දූෂනය ඇතුලු 21 වැනි සියවසේ වඩාත් ම වැදගත් ජනමාධ්‍යමය හෙලිදරව් කිරීම් සිදු කොට ඇති බව' ඔහු පෙන්වා දුනි. අසාන්ජ් 'දසකයක් පුරා අනවරත දඩයමකට ලක් ව සිටින්නේ' ඒ හේතුවෙනි.

අසාන්ජ්ට එරෙහි ප්‍රහාරකයෝ 'ජනමාධ්‍යකරනයට අයත් වන්නේ හා නොවන්නේ කුමක් ද යන්න තීරනය කිරීමේ හා එම සීමා උල්ලංඝනය කරන්නවුන් සතුරු ඒජන්තයින් ලෙස සලකමින් දඬුවම් දීමේ හැකියාව ආන්ඩුවලට ලබා දෙමින්, අසාන්ජ් උදාහරනයක් බවට පත් කොට ආඥාදායක පූර්වාදර්ශයන් තහවුරු කිරීමට ඔහුගේ නඩුව යොදාගනිමින් සිටිති' යි ස්ක්‍රිප්ස් වැඩිදුරටත් පැවසී ය.

ජාත්‍යන්තර ව පාලක ප්‍රභූන්, සංගත මාධ්‍ය හා ව්‍යාජ වාම පක්ෂ අසාන්ජ්ගේ නිදහස අවුරාලීම සඳහා කල හැකි සියල්ල සිදු කල බව කථිකයා සඳහන් කලේ ය.

අසාන්ජ්ගේ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වන නිල උද්ඝෝෂනය සමන්විත වන්නේ 'ඔහුගේ දන්ඩකයින්ට, අතීතයේ මාධ්‍ය මඟින් ඔහුට අවලාද නැඟූවන්ට හා වසර ගනනාවක් මුලුල්ලේ අසාන්ජ් සිරගත කිරීම පිලිබඳ සාපරාධී නිශ්ශබ්දතාවක් පවත්වාගෙන ගිය හිටපු ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් වැනි ස්වයං ප්‍රකාශිත 'වම්මුන්ට'” දිරිසුන් ආයාචනා ඉදිරිපත් කිරීමනි යි ස්ක්‍රිප්ස් පැහැදිලි කලේ ය.

අසාන්ජ්ගේ නිදහස උදෙසා සටනට ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය කෙරෙන බව සසප අඛන්ඩ ව අවධාරනය කල බව ස්ක්‍රිප්ස් ප්‍රකාශ කලේ ය. එම පන්තියේ සහ අසාන්ජ්ගේ ඉරනම, ප්‍රජාතන්ත්‍ර අයිතීන් වෙනුවෙන් හා යුද්ධයට එරෙහි ව කෙරෙන අරගලය තුල තදින් එකට බැඳී පවතී.

සසප දේශපාලන කමිටු සාමාජික එම්. දෙවරාජා වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු නියෝජනය කරමින් රැස්වීම ඇමතී ය. දඩයමට ලක් කෙරුනු මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන් 24 දෙනා කොන්දේසි විරහිත ව රැකියාවේ පුනස්ථාපනය කිරීම සඳහා වූ සටන ඊට සමාන අන්දමින් සමස්තයක් ලෙස ප්‍රජාතන්ත්‍ර අයිතීන් උදෙසා කම්කරු පන්තියේ ස්වාධීන අරගලය සමඟ බැඳී පවතින බව ඔහු කියා සිටියේ ය. වතු වෘත්තීය සමිතිවල හා විශේෂයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය ඇති ව සමාගම හා පොලිසිය විසින් ගොතනු ලැබූ චෝදනා අනුව ඕල්ටන් වත්තේ කම්කරුවන් ඔවුන්ගේ රැකියාවලින් දොට්ට දමනු ලැබ ඇත.

ධම්මික සේනානායක සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන් රැස්වීම ඇමතී ය. ශ්‍රී ලංකාව පුරා අරගලවල නිරත ව සිටින සෞඛ්‍ය කම්කරුවන්ට, තමන් මුහුන දෙන ගැටලු මෙන් ම ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල වන ප්‍රහාර ද එක ම මූලයකින්, එනම් ධනවාදයේ අර්බුදය තුලින් ගලා එන බව අවබෝධ කරගැනීමට සිදු වූ බව ඔහු පැවසී ය.

“ධනවාදයට අභියෝග කරන ශක්තිමත් කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැඟීමට නම්, පාලක පන්තිය විසින් අවුලුවනු ලබන වර්ගවාදී බෙදීම් පරාජය කල යුතු බව කම්කරුවන් වටහාගැනීම අත්‍යවශ්‍යයි' සේනානායක ප්‍රකාශ කලේ ය.

රැස්වීමෙහි අවසන් කතාව ඉදිරිපත් කලේ කප්‍රනිආක ලේකම් සහ සසප දේශපාලන කමිටු සාමාජික ප්‍රගීත් අරවින්ද යි. ඔහුගේ කතාවෙහි ප්‍රධාන යොමුව වූයේ සමාජයෙහි පවතින වර්ගවාදී මනෝගතීන් නිසා මුස්ලිම් පුද්ගලයකු වන අහ්නාෆ් ජසීම් වෙනුවෙන් සහාය ගොනු කරගැනීම දුෂ්කර වූ බවට ව්‍යාජ වම කරන කියාපෑම් ප්‍රතික්ෂේප කිරීම යි. මෙම කියාපෑම් ඉදිරිපත් කෙරුනේ පසුගිය මස පැවැත්වුනු අහ්නාෆ් ජසීම් පිලිබඳ ඔන්ලයින් රැස්වීමක දී ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයකු වන පුබුදු ජයගොඩ විසිනි.

ව්‍යාජ වම මෙවැනි වර්ගවල ප්‍රතිගාමී තර්ක නඟන්නේ ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය සිය පාලනයේ සමස්ත ඉතිහාසය පුරා ම හිතාමතා ම වර්ගවාදී ප්‍රකෝපකරනයන් යොදාගත්තේ ය යන කරුන වසන් කිරීම සඳහා බව අරවින්ද අවධාරනය කලේ ය. ධනවාදයේ අර්බුදය උත්සන්න වූ ඕනෑ ම අවස්ථාවක කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීම සඳහා මෙම විධික්‍රම සූදානම් කොට පැවතින.

කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහාත් ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහාත්, ව්‍යාජ වමේ කම්කරු පන්ති විරෝධී ගුනය හෙලිදරව් කිරීම තීරනාත්මක වන බව කථිකයා පැහැදිලි කලේ ය. “වර්ගය, වර්නය හා සමාජ ලිංගිකත්වය (ස්ත්‍රී පුරුෂ සමාජභාවය) වැනි අනන්‍යතා මත ජාත්‍යන්තරව ම සිය දේශපාලනය පදනම් කරගන්නා ව්‍යාජ වම කම්කරු පන්තියේ ඓතිහාසික විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරනවා.”

සාකච්ඡා වාරය තුල දී කප්‍රනිආක සභාපති 'කවියා ආරක්ෂා කිරීම සඳහා ඔන්ලයින් සාකච්ඡාවලට අමතරව පිකට් උද්ඝෝෂනයක් සංවිධානය කිරීම ඵලදායක නොවන්නේ ද?” යනුවෙන් සභිකයකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දුන්නේ ය.

කුමන උද්ඝෝෂනයක් සිදු කල ද වඩාත් තීරනාත්මක සාධකය වනුයේ ඒවා පදනම් වන ඉදිරිදර්ශනය බව ජයසේකර අවධාරනය කලේ ය. ප්‍රජාතන්ත්‍ර අයිතීන් උදෙසා සටන් කරන සියලු දෙනා කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලනික ශක්තිය බලමුලුගැන්වීමෙන් තොර ව එම අයිතීන් දිනාගත නොහැකි බව අවබෝධ කරගත යුතු බව ඔහු පැවසී ය.

Loading